මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද ආරාමයෙහිය. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියා භික්ෂුසංඝයා අමතා වදාළා. “පින්වතුන් වහන්ස” කියා ඒ භික්ෂූන් ද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.
“පින්වත් මහණෙනි, සොඳුරු වූ හුදෙකලා වාසයෙන් යුතු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාග වශයෙන් තෝරා දීමත් කියා දෙන්නම්. එය අසන්න. මනාකොට නුවණින් මෙනෙහි කරන්න. මා කියාදෙන්නම්.”
“එසේය, ස්වාමීනී” කියා ඒ භික්ෂූන් ද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.
“අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් වෙන්නේ නෑ. ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය පතන්නෙත් නෑ. යමක් අතීතයට ගියාද, එය නැතිවෙලා ඉවරයි. අනාගත වූ යමක් ඇද්ද, එය තවම පැමිණිලා නෑ.
යම් දෙයක් වර්තමානයෙහි තිබෙනවාද, ඒ ඒ අවස්ථාවෙදි නුවණින් විමසා බලනවා. කෙලෙස්වලට ඇදිලා යන්නෙ නෑ. කෙලෙස් සමඟ එකතු වී ඇවිස්සෙන්නේ නෑ. නුවණැති කෙනා ඔය විදිහටයි විදසුන් වඩන්නේ.
අදම යි කෙලෙස් තවන වීරියෙන් මෙය කළ යුත්තේ. හෙට මරණයට පත්වේ දැයි කවුද දන්නේ. මහත් වූ සේනා ඇති මාරයා සමඟ කිසි ගිවිසුමක් ගසා නැහැ නෙව.
ඔය අයුරින් ධර්මයෙහි හැසිරෙන කෙලෙස් තවන වීරියෙන් යුතු කෙනා රෑ දහවල් දෙකෙහිම කම්මැලි නොවී වාසය කරනවාද, ඒකාන්තයෙන්ම ඔහු සොඳුරු වූ හුදෙකලාවෙහි ඇලුණු කෙනා කියලයි මුනිරජාණන් පවසන්නේ.”
පින්වත් මහණෙනි, අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් වෙන්නේ කොහොමද? ‘මං ඉස්සර හිටියේ මෙබඳු රූපයක් ඇතිවයි’ කියල අතීතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතනවා. ‘මං ඉස්සර හිටියේ මෙබඳු විඳීම් ඇතිවයි’ කියල අතීතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතනවා. ‘මං ඉස්සර හිටියේ මෙබඳු සඤ්ඤා ඇතිවයි’ කියල අතීතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතනවා. ‘මං ඉස්සර හිටියේ මෙබඳු සංස්කාර ඇතිවයි’ කියල අතීතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතනවා. ‘මං ඉස්සර හිටියේ මෙබඳු විඤ්ඤාණයක් ඇතිවයි’ කියල අතීතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතනවා. පින්වත් මහණෙනි, මෙයට තමයි කියන්නේ අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් වෙනවා කියලා.
පින්වත් මහණෙනි, අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් නොවෙන්නේ කොහොමද? ‘මං ඉස්සර හිටියේ මෙබඳු රූපයක් ඇතිවයි’ කියල අතීතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතන්නේ නෑ. ‘මං ඉස්සර හිටියේ මෙබඳු විඳීම් ඇතිවයි’ කියල අතීතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතන්නේ නෑ. ‘මං ඉස්සර හිටියේ මෙබඳු සඤ්ඤා ඇතිවයි’ කියල අතීතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතන්නේ නෑ. ‘මං ඉස්සර හිටියේ මෙබඳු සංස්කාර ඇතිවයි’ කියල අතීතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතන්නේ නෑ. ‘මං ඉස්සර හිටියේ මෙබඳු විඤ්ඤාණයක් ඇතිවයි’ කියල අතීතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතන්නේ නෑ. පින්වත් මහණෙනි, මෙයට තමයි කියන්නේ අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් නොවෙනවා කියලා.
පින්වත් මහණෙනි, ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය පතන්නේ කොහොමද? ‘අනාගතයෙහි මට මෙබඳු වූ රූපයක් ඇතිවෙනවා නම්’ කියල අනාගතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතනවා. ‘අනාගතයෙහි මට මෙබඳු වූ විඳීමක් ඇතිවෙනවා නම්’ කියල අනාගතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතනවා. ‘අනාගතයෙහි මට මෙබඳු වූ සඤ්ඤාවක් ඇතිවෙනවා නම්’ කියල අනාගතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතනවා. ‘අනාගතයෙහි මට මෙබඳු වූ සංස්කාර ඇතිවෙනවා නම්’ කියල අනාගතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතනවා. ‘අනාගතයෙහි මට මෙබඳු වූ විඤ්ඤාණයක් ඇතිවෙනවා නම්’ කියල අනාගතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතනවා. පින්වත් මහණෙනි, මෙයට තමයි කියන්නේ ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය පතනවා කියලා.
පින්වත් මහණෙනි, ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය නොපතන්නේ කොහොමද? ‘අනාගතයෙහි මට මෙබඳු වූ රූපයක් ඇතිවෙනවා නම්’ කියල අනාගතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතන්නේ නෑ. ‘අනාගතයෙහි මට මෙබඳු වූ විඳීමක්. ….(පෙ)…. මෙබඳු වූ සඤ්ඤාවක් ….(පෙ)…. මෙබඳු වූ සංස්කාර ….(පෙ)…. මෙබඳු වූ විඤ්ඤාණයක් ඇතිවෙනවා නම්’ කියල අනාගතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතන්නේ නෑ. පින්වත් මහණෙනි, මෙයට තමයි කියන්නේ ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය නොපතනවා කියලා.
පින්වත් මහණෙනි, වර්තමානය තුළ හටගත් දේවල් කෙරෙහි ඇදිලා යන්නේ කොහොමද? පින්වත් මහණෙනි මෙහිලා අශ්‍රැතවත් පෘථග්ජනයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලා හඳුනන්නේ නැහැ. ආර්ය ධර්මයට දක්ෂත් නැහැ. ආර්ය ධර්මයෙහි හික්මිලත් නෑ. සත්පුරුෂයන් හඳුනන්නේ නෑ. සත්පුරුෂ ධර්මයට දක්ෂත් නෑ. සත්පුරුෂ ධර්මයෙහි හික්මිලත් නෑ. ඔහු රූපය ආත්මය හැටියට මුලාවෙන් දකිනවා. රූපයෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ ආත්මය තුළ රූපය තියෙනවා කියල හෝ රූපය තුළ ආත්මය තියෙනවා කියලා හෝ මුලාවෙන් දකිනවා. විඳීම ආත්මය හැටියට මුලාවෙන් දකිනවා. විඳීමෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ ආත්මය තුළ විඳීම තියෙනවා කියල හෝ විඳීම තුළ ආත්මය තියෙනවා කියලා හෝ මුලාවෙන් දකිනවා. හඳුනාගැනීම ආත්මය හැටියට මුලාවෙන් දකිනවා. හඳුනාගැනීමෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ ආත්මය තුළ හඳුනාගැනීම තියෙනවා කියල හෝ හඳුනාගැනීම තුළ ආත්මය තියෙනවා කියලා හෝ මුලාවෙන් දකිනවා. සංස්කාර ආත්මය හැටියට මුලාවෙන් දකිනවා. සංස්කාරවලින් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ ආත්මය තුළ සංස්කාර තියෙනවා කියල හෝ සංස්කාර තුළ ආත්මය තියෙනවා කියලා හෝ මුලාවෙන් දකිනවා. විඤ්ඤාණය ආත්මය හැටියට මුලාවෙන් දකිනවා. විඤ්ඤාණයෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ ආත්මය තුළ විඤ්ඤාණය තියෙනවා කියල හෝ විඤ්ඤාණය තුළ ආත්මය තියෙනවා කියලා හෝ මුලාවෙන් දකිනවා. පින්වත් මහණෙනි, ඔය විදිහටයි වර්තමානයෙහි හටගත් දේවල් කෙරෙහි ඇදිලා යන්නේ.
පින්වත් මහණෙනි, වර්තමානය තුළ හටගත් දේවල් කෙරෙහි ඇදිලා නොයන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලා හඳුනනවා. ආර්ය ධර්මයට දක්ෂයි. ආර්ය ධර්මයෙහි හික්මිලා ඉන්නේ. සත්පුරුෂයන් හඳුනනවා. සත්පුරුෂ ධර්මයට දක්ෂයි. සත්පුරුෂ ධර්මයෙහි හික්මිලා ඉන්නේ. ඔහු රූපය ආත්මය හැටියට මුලාවෙන් දකින්නේ නෑ. රූපයෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ ආත්මය තුළ රූපය තියෙනවා කියල හෝ රූපය තුළ ආත්මය තියෙනවා කියලා හෝ මුලාවෙන් දකින්නේ නෑ. විඳීම ….(පෙ)…. හඳුනාගැනීම ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය ආත්මය හැටියට මුලාවෙන් දකින්නේ නෑ. විඤ්ඤාණයෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ ආත්මය තුළ විඤ්ඤාණය තියෙනවා කියල හෝ විඤ්ඤාණය තුළ ආත්මය තියෙනවා කියලා හෝ මුලාවෙන් දකින්නේ නෑ. පින්වත් මහණෙනි, ඔය විදිහටයි වර්තමානයෙහි හටගත් දේවල් කෙරෙහි ඇදිලා නොයන්නේ.
“අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් වෙන්නේ නෑ. ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය පතන්නෙත් නෑ. යමක් අතීතයට ගියා ද, එය නැතිවෙලා ඉවරයි. අනාගත වූ යමක් ඇද්ද, එය තවම පැමිණිලා නෑ.
යම් දෙයක් වර්තමානයෙහි තිබෙනවාද, ඒ ඒ අවස්ථාවෙදි නුවණින් විමසා බලනවා. කෙලෙස්වලට ඇදිලා යන්නෙ නෑ. කෙලෙස් සමඟ එකතු වී ඇවිස්සෙන්නේ නෑ. නුවණැති කෙනා ඔය විදිහටයි විදසුන් වඩන්නේ.
අදම යි කෙලෙස් තවන වීරියෙන් මෙය කළ යුත්තේ. හෙට මරණයට පත්වේදැයි කවුද දන්නේ. මහත් වූ සේනා ඇති මාරයා සමඟ කිසි ගිවිසුමක් ගසා නැහැ නෙව.
ඔය අයුරින් ධර්මයෙහි හැසිරෙන කෙලෙස් තවන වීරියෙන් යුතු කෙනා රෑ දහවල් දෙකෙහිම කම්මැලි නොවී වාසය කරනවාද, ඒකාන්තයෙන්ම ඔහු සොඳුරු වූ හුදෙකලාවෙහි ඇලුණු කෙනා කියලයි මුනිරජාණන් පවසන්නේ.”
පින්වත් මහණෙනි, සොඳුරු වූ හුදෙකලා වාසයෙන් යුතු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාග වශයෙන් තෝරා දීමත් කියා දෙන්නම් කියලා යමක් උදෙසා මා කිව්වා නම්, ඒ කියන ලද්දේ ඔය කාරණය පිණිසයි.
භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ භික්ෂූන් වහන්සේලා ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
සොඳුරු හුදෙකලාවේ ඇලී සිටීම පිළිබඳව වදාළ දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M