මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමයේ. ඒ කාලයේ ම අචිරවත සමණුද්දේසයන් වහන්සේ අරණ්‍ය කුටියක වාසය කළා. එදා ජයසේන රාජකුමාරයා ව්‍යායාම පිණිස එම අරණ්‍යයේ එහා මෙහා ඇවිදිමින් සිටියදී අචිරවත සමණුද්දේසයන් වෙත පැමිණුනා. පැමිණ අචිරවත සමණුද්දේසයන් සමඟ සතුටු වුනා. සතුටුවිය යුතු පිළිසඳර කතාබහේ යෙදී එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් ජයසේන රාජකුමාරයා අචිරවත සමණුද්දේසයන්ට මෙය පැවසුවා.
“භවත් අග්ගිවෙස්සන, මේ ශාසනයෙහි අප්‍රමාදීව, කෙලෙස් තවන වීරියෙන්, දහමට දිවි පුදා වාසය කරන භික්ෂුව චිත්ත ඒකාග්‍රතාවය ලබනවාය කියල මං අහලා තියෙනවා.”
“පින්වත් රාජකුමාරය, ඒක එහෙමම තමයි. පින්වත් රාජකුමාරය, ඒක එහෙමම තමයි. මේ ශාසනයෙහි අප්‍රමාදීව, කෙලෙස් තවන වීරියෙන්, දහමට දිවි පුදා වාසය කරන භික්ෂුව චිත්ත ඒකාග්‍රතාවය ලබනවා.”
“භවත් අග්ගිවෙස්සන, ඔබවහන්සේ ධර්මය අසා ඇති පිළිවෙලට, පුහුණු කළ පිළිවෙලට මට ධර්ම දේශනා කරන සේක් නම් මැනවි.”
“පින්වත් රාජකුමාරය, අසා ඇති පිළිවෙලට, පුහුණු කළ පිළිවෙලට බණ කියන්නට මට පුළුවන්කමක් නෑ. පින්වත් රාජකුමාරය, මං අසා ඇති පිළිවෙලට, පුහුණු කළ පිළිවෙලට ඔබට බණ කියනවා නම්, ඔබත් මා කියන්නා වූ ධර්මයේ අර්ථ අවබෝධ කරන්නේ නැත්නම්, එතකොට එය මට මහන්සියක් වේවි. එය මට වෙහෙසක් වේවි.”
“භවත් අග්ගිවෙස්සන, ඔබවහන්සේ ඇසූ පිළිවෙලට, පුහුණු කළ පිළිවෙලට මට ධර්ම දේශනා කරන සේක්වා! මම භවත් අග්ගිවෙස්සනයන්ගේ බණට අනුව ඒ අර්ථ දැනගන්නවා නම් තමයි හොඳ.”
“පින්වත් රාජකුමාරය, මා ඇසූ පිළිවෙලට, පුහුණු කළ පිළිවෙලට ඔබට බණ කියන්නම්. එතකොට ඔබ මා කියන බණේ අර්ථ අවබෝධ කරගත්තොත් ඒක තමයි කුසලය. මා කියූ බණෙහි අර්ථ ඔබ අවබෝධ කරගත්තේ නැත්නම්, ඒ විදිහටම තමන්ගේ දැනුම අනුව ඉන්න. ඒ ගැන මගෙන් වැඩිපුර ප්‍රශ්න කරන්න එපා!”
“භවත් අග්ගිවෙස්සන, ඔබවහන්සේ ඇසූ පිළිවෙලට, පුහුණු කළ පිළිවෙලට මට ධර්මය දේශනා කරන සේක්වා! ඉදින් මං භවත් අග්ගිවෙස්සනයන්ගේ බණෙහි අර්ථය තේරුම් ගත්තොත් ඒක කුසලයක් තමයි. යම්හෙයකින් භවත් අග්ගිවෙස්සනයන්ගේ බණෙහි අර්ථය මට නොතේරුනොත් මං එය නොතේරුන හැටියටම ඉන්නම්. මං ඒ ගැන භවත් අග්ගිවෙස්සනයන්ගෙන් වැඩිමනක් ප්‍රශ්න කිරීම් කරන්නට යන්නේ නැහැ.”
එතකොට අචිරවත සමණුද්දේසයන් වහන්සේ තමන් ඇසූ පිළිවෙලට, පුහුණු කළ පිළිවෙලට ජයසේන රාජකුමාරයාට ධර්මය දේශනා කළා. එසේ දේශනා කළ විට ජයසේන රාජකුමාරයා අචිරවත සමණුද්දේසයන්ට මෙහෙම කිව්වා. “භවත් අග්ගිවෙස්සන, යම් භික්ෂුවක් මේ ශාසනයෙහි අප්‍රමාදීව, කෙලෙස් තවන වීරියෙන්, දහමට දිවි පුදා වාසය කරද්දී චිත්ත ඒකාග්‍රතාවය ලබනවා යන කරුණක් ඇද්ද, ඒක වෙන්න පුළුවන් එකක් නොවෙයි. අවකාශ රහිත දෙයක්ම යි” කියල ජයසේන රාජකුමාරයා අචිරවත සමණුද්දේසයන් වහන්සේ හට චිත්ත සමාධිය පිණිස භික්ෂුවට ඉඩක් නැති බවත්, අවකාශ නැති බවත් ප්‍රකාශ කොට හුනස්නෙන් නැගිට පිටත් වුනා.
එතකොට අචිරවත සමණුද්දේසයන් වහන්සේ ජයසේන රාජකුමාරයා පිටත්ව ගොස් නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් අචිරවත සමණුද්දේසයන් වහන්සේ ජයසේන රාජකුමාරයා සමඟ යම් බඳු කතා බහක් ඇතිවුනාද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැලකළා.
එසේ පැවසූ විට භාග්‍යවතුන් වහන්සේ අචිරවත සමණුද්දේසයන් හට මෙය පැවසුවා. “පින්වත් අග්ගිවෙස්සන, යමක් කාමයන්ගෙන් නික්මීමෙන් ම දැනගත යුතුද, කාමයන්ගෙන් නික්මීමෙන් ම දැකගත යුතුද, කාමයන්ගෙන් නික්මීමෙන් ම පැමිණිය යුතුද, කාමයන්ගෙන් නික්මීමෙන් ම සාක්ෂාත් කළ යුතුද, එය ඔය විදිහට කොහොම නම් ලබන්නටද? කාමය මැද වාසය කරන, කාමයන් අනුභව කරමින් ඉන්න, කාම විතර්කයන් විසින් තමන්ව කකා සිටින, කාම දැවිල්ලෙන් දැවි දැවී ඉන්න, කාමය ම සොයන්නට වෙහෙසෙමින් ඉන්න ඔය ජයසේන රාජකුමාරයා, ඒකාන්තයෙන්ම ඒ දහම දැනගන්නේය, දකින්නේය, සාක්ෂාත් කරන්නේය යන කාරණය නම් වෙන්න පුළුවන් දෙයක් නොවෙයි.
පින්වත් අග්ගිවෙස්සන, ඒක මේ වගේ දෙයක්. දමනය වූ ඇත්තු දෙන්නෙක් ඉන්නවා. එහෙම නැත්නම් අශ්වයන් දෙන්නෙක් ඉන්නවා. එහෙම නැත්නම් ගවයන් දෙන්නෙක් ඉන්නවා. මොවුන් ඉතාමත් හොඳින් දමනය වෙලයි ඉන්නේ. හොඳින් හික්මිලයි ඉන්නේ. ඒ වගේම දමනය කරන්නට ගෙනා ඇත්තු දෙන්නෙක් හෝ ගවයන් දෙන්නෙක් හෝ අශ්වයන් දෙන්නෙක් හෝ ඉන්නවා. හැබැයි ඔවුන් දමනය වෙලත් නෑ. හික්මිලත් නෑ. පින්වත් අග්ගිවෙස්සන, මේ ගැන කුමක්ද සිතන්නේ? අර හොඳින් දමනය වූ, හොඳින් හික්මුණු ඇත්තු දෙන්නා හෝ අශ්වයින් දෙන්නා හෝ ගවයින් දෙන්නා හෝ ඉන්නවා නෙව. ඔවුන් දමනය වෙලාම, දමනය වූ බවට පත්වුනා නොවේද?”
“එසේය, ස්වාමීනී”
“එතකොට දමනය නොවුණු, නොහික්මුණු ඇත්තු දෙන්නා හෝ අශ්වයෝ දෙන්නා හෝ ගවයන් දෙන්නා හෝ දමනය නොවී සිටිද්දීම දමනය වූ බවට පත්වෙනවාද? දමනය නොවී සිටිද්දීම දමනය වූ ස්වභාවයට පැමිණෙනවාද? ඒ කිව්වේ අර හොඳින් දමනය වුණු, හොඳින් හික්මුණු ඇත්තු දෙන්නා වගේ, අශ්වයන් දෙන්නා වගේ, ගවයන් දෙන්නා වගේ වෙනවාද?”
“ස්වාමීනී, එහෙම වෙන්නේ නෑ.”
“පින්වත් අග්ගිවෙස්සන, මේකත් ඒ විදිහම තමයි. යමක් කාමයන්ගෙන් නික්මීමෙන්ම දැනගත යුතුද, කාමයන්ගෙන් නික්මීමෙන් ම දැකගත යුතුද, කාමයන්ගෙන් නික්මීමෙන් ම පැමිණිය යුතුද, කාමයන්ගෙන් නික්මීමෙන් ම සාක්ෂාත් කළ යුතුද, එය ඔය විදිහට කොහොම නම් ලබන්නටද? කාමය මැද වාසය කරන, කාමයන් අනුභව කරමින් ඉන්න, කාම විතර්කයන් විසින් තමන්ව කකා සිටින, කාම දැවිල්ලෙන් දැවි දැවී ඉන්න, කාමය ම සොයන්නට වෙහෙසෙමින් ඉන්න ඔය ජයසේන රාජකුමාරයා, ඒකාන්තයෙන්ම ඒ දහම දැනගන්නේය, දකින්නේය, සාක්ෂාත් කරන්නේය යන කාරණය නම් වෙන්න පුළුවන් දෙයක් නොවෙයි.
පින්වත් අග්ගිවෙස්සන, මෙවැනි දෙයක් තියෙනවා. ගමකට හෝ නියම් ගමකට හෝ නුදුරින් විශාල පර්වතයක් තියෙනවා. ඉතින් යහළුවන් දෙදෙනෙක් ඒ ගමෙන් හෝ නියම් ගමෙන් හෝ නික්මී එකිනෙකාගේ අත් අල්ලාගෙන ඒ පර්වතය ළඟට එනවා. ඇවිත් එක යාළුවෙක් පහළ ඉන්නවා. අනිත් එක්කෙනා පර්වතය උඩට නගිනවා. එතකොට පර්වතයේ පහළ ඉන්න යාළුවා, පර්වතය මුදුනේ ඉන්න යහළුවාට මෙහෙම කියනවා. ‘එම්බා යහළුව, කන්ද මුදුනේ සිටිද්දී ඔබට මොනවද පෙනෙන්නේ?’ එතකොට ඔහු මෙහෙම කියනවා. ‘යහළුවා, මේ කන්ද මුදුනේ සිටිද්දී මට ලස්සන ආරාම පේනවා. ලස්සන වනාන්තර පේනවා. ලස්සන බිම් පේනවා. ලස්සන පැන් පොකුණු පේනවා’ කියලා. එතකොට අර බිම හිටපු එක්කෙනා මෙහෙම කියනවා. ‘එම්බා යහළුව, ඕක වෙන්න පුළුවන් එකක් නොවෙයි. අවකාශ රහිත ම යි. කඳු මුදුනට නැග ඔබ ලස්සන ආරාම දකිනවාය, ලස්සන වනාන්තර දකිනවාය, ලස්සන භූමි දකිනවාය, ලස්සන පැන් පොකුණු දකිනවාය කියන එක වෙන්න පුළුවන් දෙයක් නොවෙයි’ කියලා. එතකොට අර කන්ද උඩ හිටපු යාළුවා කන්දේ පහළට බැහැලා අනිත් යාළුවාව අතින් අල්ලාගෙන ආයෙමත් කන්ද උඩට නගිනවා. නැගලා මොහොතක් විවේක අරගෙන, මෙහෙම කියනවා. ‘යහළුවා, කන්ද මුදුනේ ඔබට පේන්නේ මොනවාද?’ ඔහු මෙහෙම කියනවා. ‘යහළුව, කන්ද මුදුනේ ඉන්න මට ලස්සන ආරාම පේනවා. ලස්සන වනාන්තර පේනවා. ලස්සන භූමි භාග පේනවා. ලස්සන පැන් පොකුණු පේනවා’ කියලා. එතකොට ඔහු මෙහෙම කියනවා. ‘ඉතින් යහළුවා, ඔබ දැන් මට මෙහෙම කිව්වා නේද? අපි මෙහෙම දන්නවාය, එම්බා යහළුව, ඔබ කන්ද මුදුනේ ඉඳලා ලස්සන ආරාම ….(පෙ)…. ලස්සන පැන්පොකුණු දකිනවාය කියන එක වෙන්න පුළුවන් එකක් නොවේය, අවකාශ රහිතයි කියලා. දැන් ඔබ මෙහෙමත් කියනවා. අපි මේ විදිහට දන්නවාය කියල. යහළුවා, මං පර්වතය උඩට නැග්ගාම ලස්සන ආරාම පේනවාය ….(පෙ)…. ලස්සන පැන් පොකුණු පේනවාය’ කියලා. එතකොට ඒ යාළුවා මෙහෙම කිව්වා. ‘යහළුව, ඒක ඇත්ත. මේ විශාල පර්වතයෙන් වැහිලා හිටපු නිසයි දැක ගත යුතු දේ මං දැක්කේ නැත්තේ.’
පින්වත් අග්ගිවෙස්සන, ඒ විදිහම තමයි. ඒ මහා පර්වතයට වඩා අතිශයින්ම විශාල වූ අවිද්‍යා ස්කන්ධයෙන් වැහිලයි, වෙලිලයි, එතිලයි, හාත්පසින්ම වෙලිලයි ජයසේන කුමාරයා ඉන්නේ. ඉතින් ඔහු යමක් කාමයන්ගෙන් නික්මීමෙන් ම දැනගත යුතුද, කාමයන්ගෙන් නික්මීමෙන් ම දැකගත යුතුද, කාමයන්ගෙන් නික්මීමෙන් ම පැමිණිය යුතුද, කාමයන්ගෙන් නික්මීමෙන් ම සාක්ෂාත් කළ යුතුද, කාමය මැද වාසය කරන, කාමයන් අනුභව කරමින් ඉන්න, කාම විතර්කයන් විසින් තමන්ව කකා සිටින, කාම දැවිල්ලෙන් දැවි දැවී ඉන්න, කාමය ම සොයන්නට වෙහෙසෙමින් ඉන්න ඔය ජයසේන රාජකුමාරයා, ඒකාන්තයෙන්ම ඒ දහම දැනගන්නේය, දකින්නේය, සාක්ෂාත් කරන්නේය යන කාරණය නම් වෙන්න පුළුවන් දෙයක් නොවෙයි.
පින්වත් අග්ගිවෙස්සන, ඉතින් ඔබ ජයසේන රාජකුමාරයාට ඔය උපමා දෙක කිව්වා නම්, ජයසේන රාජකුමාරයා ඔබේ බණට පහදිනවාය කියන කරුණ, පැහැදිලා ඔබට ප්‍රසන්න වූ ආකාරය පවත්වනවාය කියන කරුණ පුදුම දෙයක් නොවෙයි.”
“අනේ ස්වාමීනී, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වැටහෙන පරිද්දෙන් පෙර නොඇසූ විරූ ආශ්චර්යවත් වූ මේ උපමා දෙක ජයසේන රාජකුමාරයාට කියන්නට මට කොහොම නම් පහළ වෙයිද?”
“පින්වත් අග්ගිවෙස්සන, ඒක මේ වගේ දෙයක්. ඔටුණු පළන් රජෙක් ඉන්නවා. ඔහු ඇතුන් අල්ලන තැනැත්තා අමතා මෙහෙම කියනවා. ‘එම්බා යහළු ඇතුන් අල්ලන තැනැත්ත, ඔබ එන්න. රාජකීය හස්තිරාජයාගේ පිට නැගී ඇත්තු ඉන්න වනානන්තරයට ගිහින් හොඳට ඇතෙක් බලලා රජ්ජුරුවන්ගේ ඇතාගේ බෙල්ලේ ගැටගහලා බඳින්න.’ පින්වත් අග්ගිවෙස්සන, අර ඇත්තු අල්ලන කෙනා ‘එසේය, දේවයනි’ කියල ඔටුණු පළන් රජතුමාට පිළිතුරු දීලා රජ්ජුරුවන්ගේ ඇතා පිට නැගී වනාන්තරයට යනවා. ගිහින් වනයේ ඉන්න ඇතෙක් දැකලා රාජකීය ඇතාගේ බෙල්ලේ ඌව ගැටගහනවා. ඊට පස්සේ රාජකීය ඇතා අර කැලේ හිටපු ඇතාව එළිමහනට අරගෙන එනවා. පින්වත් අග්ගිවෙස්සන, මෙපමණකිනුත් කැලේ සිටින ඇතා එළිමහනට පැමිණියා වෙනවා. පින්වත් අග්ගිවෙස්සන, කැලේ හිටපු ඇතාට ඒ කැලයෙහි යම් ඇත්වනයක් ඇද්ද, ඒ ගැනම යි සිතේ බැඳීම තියෙන්නේ. ඉන්පසු ඇතුන් අල්ලන මිනිසා ඔටුණු පළන් රජ්ජුරුවන්ට දැනුම් දෙනවා ‘දේවයන් වහන්ස, මහා වනයේ හිටපු ඇතාව එළිමහනට අරගෙන ආවා’ කියලා.
එතකොට පින්වත් අග්ගිවෙස්සන, ඒ ඔටුණු පළන් රජතුමා ඇතුන් හික්මවන කෙනෙකු ඇමතුවා. ‘එම්බා යහළුව, ඇතුන් හික්මවන තැනැත්ත, ඔබ එන්න. කැලෙන් ගෙනාපු ඇතා දමනය කරන්න. වනාන්තරයේ සිටීමෙන් ඇතා තුළ තිබුණු ගතිගුණ හොඳින් දමනය කිරීම පිණිස, අරණ්‍යයේ සිටීමෙන් ඇතා තුළ හටගත් කල්පනා හොඳින් දමනය කිරීම පිණිස, අරණ්‍යවාසයෙන්ම ඇතාට ඇති වූ යම් කරදර පීඩා වෙහෙස ඇත්නම් ඒවා හොඳින් දමනය කිරීම පිණිස, ගමෙහි සිත් අලවා ගැනීම පිණිස, මිනිසුන් කැමැති වන ගතිගුණවල පිහිටුවීම පිණිස ඇතාව දමනය කරන්න.’
පින්වත් අග්ගිවෙස්සන, ඒ ඇතුන් දමනය කරන පුද්ගලයා ‘එසේය, දේවයන් වහන්ස’ කියල ඔටුණු පළන් රජතුමාට පිළිතුරු දී විශාල ටැඹක් පොළොවෙහි හිටවලා වනාන්තරයෙන් ගෙනාපු ඇතාගේ බෙල්ල ඒ කණුවේ ගැටගහනවා. එහෙම කරන්නේ ඇතා තුළ තිබෙන කැලේ ගතිය සංසිඳවන්නයි. කැලේට ආශා සිතුවිලි ඇතිවීම සංසිඳුවන්නයි. කැලේ වාසයෙන් ඇති වූ කරදර, පීඩා, වෙහෙස සංසිඳුවන්නයි. ගමට ආශාව ඇතිකරවන්නයි. මිනිසුන්ගේ සිත් අලවන ගතිගුණ වලට පුහුණු කරවන්නයි. ඉතින් ඇතුන් දමනය කරන පුද්ගලයා යම් වචනයක් නිදොස්ද, කනට ඉතා මිහිරියිද, ප්‍රේමාන්විතද, හෘදයාංගමද, ශිෂ්ටසම්පන්නයිද, බොහෝ ජනයා කැමති මනාප වෙයිද, එබඳු වූ වචනවලින් අර ඇතාට කතා කරනවා.
පින්වත් අග්ගිවෙස්සන, යම් දවසක අර කැලෙන් ගෙනාපු ඇතා ඇත්තු දමනය කරන පුද්ගලයා ගේ කනට නිදොස් වූ, මිහිරි වූ, පෙම්වත් වූ, හෘදයාංගම වූ, ශිෂ්ට සම්පන්න වූ, බොහෝ ජනයා කැමති වූ වචන අසයිද, එය ඇසීමට කන් යොමු කරයිද, ඒ වචනවල අර්ථ තේරුම් ගන්න මහන්සි ගනියිද, එතකොට ඇත්තු දමනය කරන පුද්ගලයා ඇතා ළඟට තණ කොළත්, වතුරත් කිට්ටු කරනවා.
පින්වත් අග්ගිවෙස්සන, කැලෙන් ගෙනාපු ඇතා යම් දවසක ඇත්තු දමනය කරන පුද්ගලයාගේ තණ බඳුනත්, දිය බඳුනත් පිළිගන්නවාද, එතකොට ඇතුන් දමනය කරන පුද්ගලයාට මෙහෙම හිතෙනවා. ‘හරි. දැන් ඉතින් මේ කැලෙන් ගෙනාපු ඇතා ජීවත් වෙනවා’ කියලා. ඊට පස්සේ ඇතුන් දමනය කරන්නා තවදුරටත් ඔහුව හික්මවනවා. ‘භවත, ඔසවන්න. භවත බිම තබන්න’ කියලා. පින්වත් අග්ගිවෙස්සන, යම් දිනක පටන් ඇතුන් දමනය කරන්නාගේ එසවීම්, බිමතැබීම් ආදී වචනවලට කීකරුව ඒ අවවාදයට අනුව ඒ කැලෙන් ගෙනා ඇතා කටයුතු කරයිද, එතකොට ඇතුන් දමනය කරන තැනැත්තා තවදුරටත් ඔහුව හික්මවනවා. ‘භවත, දැන් ඔහොමම ඉස්සරහට යන්න. භවත, ආපහු හැරිලා එන්න’ කියලා.
පින්වත් අග්ගිවෙස්සන, යම් දිනෙක පටන් ඇතුන් දමනය කරන්නාගේ ඉදිරියට ගමන් කරවීම, හැරී ඒම ආදී වචනවලට කීකරුව ඒ අවවාදයට අනුව කැලෙන් ගෙනා ඇතා කටයුතු කරයිද, ඇතුන් දමනය කරන තැනැත්තා ඔහුව තවදුරටත් හික්මවනවා. ‘භවත, දැන් හිටගන්න. භවත, වාඩිවෙන්න’ කියලා.
පින්වත් අග්ගිවෙස්සන, යම් දිනෙක පටන් ඇතුන් දමනය කරන්නාගේ හිටගන්න, වාඩිවෙන්න ආදී වචනවලට කීකරුව ඒ අවවාදයට අනුව කැලෙන් ගෙනා ඇතා කටයුතු කරයිද, ඇතුන් දමනය කරන තැනැත්තා ඔහුව තවදුරටත් ආනෙඤ්ජ කියන පුහුණුවට යොමුකරනවා. ‘ඇතාගේ සොඬෙහි විශාල ඵලකයක් බඳිනවා. හෙණ්ඩුව අතින් ගත් පුරුෂයෙක් ඇතාගේ බෙල්ල මත වාඩිවෙනවා. හෙණ්ඩුව ගත් පුරුෂයන් හාත්පසින් පිරිවරාගෙන හිටගන්නවා. ඇතුන් දමනය කරන පුද්ගලයා දිග හෙණ්ඩුවක් අරගෙන ඉදිරියෙන්ම හිටගෙන ඉන්නවා. ඉතින් ඔහු ආනෙඤ්ජ කියන පුහුණුව කරද්දී ඉස්සරහා පාද සොලවන්නේ නෑ. පසු පාද සොලවන්නේ නෑ. පෙරකය සොලවන්නේ නෑ. පසුකය සොලවන්නේ නෑ. හිස සොලවන්නේ නෑ. කන් සොලවන්නේ නෑ. දළ සොලවන්නේ නෑ. නගුට සොලවන්නේ නෑ. සොඬ සොලවන්නේ නෑ. එතකොට ඒ කැලෙන් ගෙනාපු හස්තියා ආයුධ පහර, කඩු පහර, හී පහර, අනුන්ගේ ආයුධ පහර, බෙර හඬ, පනා බෙර හඬ, වස්දඬු හඬ, සක් හඬ ආදී ඝෝෂාවන්ද ඉවසනවා. සියලු වංක, දොස් දුරු කළ, සියලු කහට බැහැර කළ, රජුටම සුදුසු වූ, රාජ පරිභෝජනීය වූ, රජුගේම අවයවයක්ය යන තත්වයට ඇතා පත්වෙනවා.
පින්වත් අග්ගිවෙස්සන, ඔය විදිහම තමයි මෙලොව අරහත් වූ, සම්මාසම්බුදු වූ, විජ්ජාචරණ සම්පන්න වූ, සුගත වූ, ලෝකවිදූ වූ, අනුත්තරෝ පුරිසදම්ම සාරථී වූ, සත්ථා දේවමනුස්සානං වූ, බුද්ධ වූ, භගවත් වූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි පහළ වෙනවා. ඒ තථාගතයන් වහන්සේ දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ, දෙවි මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයා හට ස්වකීය විශිෂ්ට වූ ඤාණයෙන් සාක්ෂාත් කරන ලද ධර්මය දේශනා කරනවා. ඒ තථාගතයන් වහන්සේ මුල කල්‍යාණ වූ, මධ්‍යයෙහි කල්‍යාණ වූ, අවසානය කල්‍යාණ වූ, අර්ථ සහිත වූ, පැහැදිලි ප්‍රකාශන මාධ්‍යයෙන් හෙබි, ධර්මය දේශනා කරනවා. මුළුමනින්ම පිරිපුන්, පිරිසිදු වූ නිවන් මඟ බඹසර ප්‍රකාශ කරනවා.
එතකොට ගෘහපතියෙක් හෝ වේවා, ගෘහපති පුත්‍රයෙක් හෝ වේවා, යම් කිසි කුලයක උපන් කෙනෙක් ඒ ධර්මය අසනවා. ඔහු ඒ ධර්මය ඇසීමෙන් පසු තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගන්නවා. ඔහු ඒ ශ්‍රද්ධා ලාභයෙන් යුක්තව මේ අයුරින් නුවණින් සලකා බලනවා. ‘ගෘහ වාසය කරදර සහිතයි. කෙලෙස් උපදවන මගකුයි තියෙන්නෙ. නමුත් පැවිදි බව අභ්‍යාවකාශය වගෙයි. ගිහි ගෙදර වාසය කරන කෙනෙකුට ඒකාන්ත පරිපූර්ණ වූ, ඒකාන්ත පාරිශුද්ධ වූ, පිරිසිදු කළ සංඛයක් බඳු වූ මේ ශාසන බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන එක ලෙහෙසි දෙයක් නොවෙයි. මා ගිහිගෙයින් නික්ම කෙස්, රැවුල් බහා කසාවත් දරා, සසුනෙහි පැවිදි වෙන එක තමයි හොඳ’ කියා නුවණින් සලකනවා. ඉතින් ඔහු පසු කලෙක ස්වල්ප වූ දේපල වස්තුව වේවා අත්හරිනවා. මහත් වූ දේපල වස්තුව වේවා අත්හරිනවා. ස්වල්ප වූ නෑදෑ පිරිස් වේවා අත්හරිනවා. මහත් වූ නෑදෑ පිරිස් වේවා අත්හරිනවා. ගිහි ගෙයින් නික්මෙනවා. කෙස් රැවුල් බහා, කසාවත් දරා, සසුනෙහි පැවිදි වෙනවා.
පින්වත් අග්ගිවෙස්සන, මෙපමණකින් ආර්ය ශ්‍රාවකයා එළිමහනට ආවා වෙනවා. පින්වත් අග්ගිවෙස්සන, යම් මේ පඤ්ච කාම ගුණයක් ඇද්ද, දෙවි මිනිසුන් ඇලී ඉන්නේ ඒකටම යි. තථාගතයන් වහන්සේ අර ශ්‍රාවකයාව තවදුරටත් හික්මවනවා.
‘පින්වත් භික්ෂුව, එන්න. සිල්වත් වෙන්න. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවරව වසන්න. යහපත් ඇවතුම් පැවතුම්වලින් යුක්ත වෙන්න. ඉතා කුඩා වරදේ පවා භය දකින්න. ශික්ෂා පදවල සමාදන්ව හොඳින් හික්මෙන්න.’
ඉතින් පින්වත් අග්ගිවෙස්සන, යම් දවසක භික්ෂුව සිල්වත් වෙයිද, ප්‍රාතිමෝක්ෂ සංවරයෙන්ද සංවර වී වසයිද, යහපත් ඇවතුම් පැවතුම්වලින් යුතු වෙයිද, ඉතා කුඩා වරදක් කරන්නටත් බිය වෙයිද, ශික්ෂා පදවල සමාදන් වී හික්මෙයිද එතකොට තථාගතයන් වහන්සේ ඒ භික්ෂුව වැඩිදුරටත් හික්මවනවා. ‘පින්වත් භික්ෂුව, එන්න. ඇස්, කන් ආදී ඉන්ද්‍රියයන් හොඳින් සංවර කරගෙන ඉන්න. ඒ කියන්නේ ඇස නම් වූ ඉන්ද්‍රිය අසංවරව ඉන්න කොට ලෝභ, ද්වේෂ ආදී පාපී අකුසල ධර්මයන් තමාගේ පස්සෙන් පන්නනවා නම්, ඇසින් රූප දැක එබඳු වූ නිමිති නොගෙන ඉන්න. ඒ නිමිතිවල කොටසක් වත් නොගෙන ඉන්න. ඇස සංවර කරගැනීමට පිළිපදින්න. ඇස නම් වූ ඉන්ද්‍රිය රකින්න. ඇස නම් වූ ඉන්ද්‍රියේ සංවර බවට පැමිණෙන්න. කනෙන් ශබ්දයක් අසා ….(පෙ)…. නාසයෙන් ආඝ්‍රාණය කොට ….(පෙ)…. දිවෙන් රස විඳ ….(පෙ)…. කයින් පහස ලබා ….(පෙ)…. මනස නම් වූ ඉන්ද්‍රිය අසංවරව ඉන්න කොට ලෝභ, ද්වේෂ ආදී පාපී අකුසල ධර්මයන් තමාගේ පස්සෙන් පන්නනවා නම්, මනසින් අරමුණු දැන එබඳු වූ නිමිති නොගෙන ඉන්න. ඒ නිමිතිවල කොටසක්වත් නොගෙන ඉන්න. මනස සංවර කරගැනීමට පිළිපදින්න. මනස නම් වූ ඉන්ද්‍රිය රකින්න. මනස නම් වූ ඉන්ද්‍රියේ සංවර බවට පැමිණෙන්න.’
එතකොට පින්වත් අග්ගිවෙස්සන, යම් දවසක භික්ෂුව සංවර කරගත් ඉඳුරන් ගෙන් යුතුව ඉන්නවාද, තථාගතයන් වහන්සේ ඔහුව වැඩිදුරටත් හික්මවනවා. ‘පින්වත් භික්ෂුව, මෙහි එන්න. අවබෝධයෙන් යුක්තව දන් වළඳන්න. ඒ කියන්නේ නුවණින් විමසමින්ම ආහාර ගන්න. මේ ආහාර ගන්නේ ජවය පිණිස නොවෙයි; මත් වීම පිණිස නොවෙයි; ඇඟපත සැරසීමට නොවෙයි; අඩු තැන් පුරවා ගැනීමට නොවෙයි; මේ ශරීරයේ පැවැත්ම පිණිස විතරයි. යැපෙන්නට විතරයි. වෙහෙස සංසිඳවා ගන්න විතරයි. බඹසර ජීවිතයට රුකුල් දීම පිණිස විතරයි. මේ අයුරින් පැරණි බඩගිනි වේදනා මං බැහැර කරනවා. අලුතින් බඩගිනි වේදනාවක් උපදවන්නේ නෑ. මගේ ජීවිතය නිවැරදි ලෙස පහසුවෙන් පවත්වාගෙන යනවා’ කියලා.
පින්වත් අග්ගිවෙස්සන, යම් දවසක භික්ෂුව වළඳන දානය පිළිබඳව අවබෝධයෙන් යුක්ත නම්, තථාගතයන් වහන්සේ ඔහුව වැඩිදුරටත් හික්මවනවා. ‘පින්වත් භික්ෂුව, එන්න. නිදිවරාගෙන ඉන්න පුරුදු වෙන්න. ඒ මෙහෙමයි. දවල් කාලෙදී සක්මන් කරමින්, වාඩි වී භාවනා කරමින් නීවරණ ධර්මයන් ගෙන් සිත පිරිසිදු කරන්න. රාත්‍රියේ මුල් යාමයේ දී සක්මනින්ද, වාඩි වී භාවනා කිරීමෙන්ද නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරන්න. රෑ මැදියම් යාමේදී දකුණු පැත්තට ඇලවෙලා දකුණු පාදය උඩින් වම් පාදය මදක් මෑත් කොට තබාගෙන මං පාන්දරින් නැගිටිනවා යන අදහස දැඩි කොට ගෙන හොඳ සිහි නුවණින් යුතුව සිංහ සෙය්‍යාවෙන් සැතපෙන්න. රාත්‍රියේ පාන්දර ජාමෙට නැගිට සක්මන් කරමිනුත්, වාඩි වී භාවනා කරමිනුත් නීවරණ ධර්මයන් ගෙන් සිත පිරිසිදු කරන්න.’
පින්වත් අග්ගිවෙස්සන, යම් දවසක භික්ෂුව නිදිවරාගෙන භාවනා කිරීමෙහි යෙදෙනවාද, එතකොට තථාගතයන් වහන්සේ ඔහුව තවදුරටත් හික්මවනවා. ‘පින්වත් භික්ෂුව, එන්න. ඉතා සිහි නුවණින් යුතුව ඉන්න. ඒ කියන්නේ, ඉදිරියට යන කොටත්, ආපසු හැරී එන කොටත් එය සිහි නුවණින්ම කරන්න. ඉදිරිය බලන විටත්, වටපිට බලන විටත් සිහි නුවණින්ම කරන්න. අත් පා හකුලන විටත්, දිගහරින විටත්, සිහි නුවණින්ම කරන්න. දෙපට සිවුරු, තනිපොට සිවුරු, පාත්‍ර ආදිය පාවිච්චි කරන විටත් සිහි නුවණින්ම කරන්න. දන් වළඳන විට, යමක් පානය කරන විට, අනුභව කරන විට, යමක් රස විඳින විට සිහි නුවණින්ම කරන්න. වැසිකිළි කැසිකිළි යන විට පවා සිහි නුවණින්ම කරන්න. ගමන් කරන විටත්, නැවතී සිටින විටත්, වාඩි වී ඉන්න විටත්, නිදන විටත්, නිදිවරන විටත්, කථා බස් කරන විටත්, නිහඬව සිටින විටත් සිහි නුවණින්ම කරන්න.’
පින්වත් අග්ගිවෙස්සන, යම් දවසක භික්ෂුව සිහි නුවණින් යුක්තව වාසය කරයිද, එතකොට තථාගතයන් වහන්සේ ඔහුව තවදුරටත් හික්මවනවා. ‘පින්වත් භික්ෂුව, එන්න. හුදෙකලා සේනාසන තියෙනවා නෙව. ඒ කියන්නේ අරණ්‍යය, රුක් සෙවන, කඳු, දියඇලි, ගිරිගුහා, සොහොන්, වන ගැබ, එළිමහන, පිදුරුගෙවල් ආදිය තියෙනවා නෙව. අන්න ඒවා ඇසුරේ ඉන්න’ කියලා. එතකොට ඔහු අරණ්‍යය, රුක් සෙවන, කඳු, දියඇලි, ගිරිගුහා, සොහොන්, වන ගැබ, එළිමහන, පිදුරුගෙවල් ආදිය ඇසුරු කරගෙන ඉන්නවා.
ඉතින් ඒ භික්ෂුව සවස් වරුවේ පිණ්ඩපාතයෙන් වැළකිලා පළඟක් බැඳගෙන වාඩිවෙනවා. කය ඍජු කරගෙන භාවනා අරමුණෙහි සිහිය පිහිටුවාගෙන ඉන්නවා. ඔහු තමාගේ ලෝකයේ ඇති ලෝභය ප්‍රහාණය කොට, ලෝභය බැහැර වූ සිතින් වාසය කරනවා. ලෝභයෙන් සිත පිරිසිදු කරනවා. ද්වේෂය බැහැර කොට ද්වේෂ රහිත සිතින් වාසය කරනවා. සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරනවා. ද්වේෂයෙන් හිත පිරිසිදු කරනවා. නිදිමත, අලස බව ප්‍රහාණය කොට, එය බැහැර වූ සිතින් වාසය කරනවා. ආලෝක සඤ්ඤාවෙන් යුතුව, සිහි නුවණින් යුතුව, නිදිමත අලස බවින් සිත පිරිසිදු කරනවා. සිතේ විසිරීමත්, පසුතැවිල්ලත් ප්‍රහාණය කොට, සිතේ විසිරීමෙන් තොරව තමා තුළ සංසිඳුණු සිතින් වාසය කරනවා. සිතේ විසිරීමෙනුත්, පසුතැවිල්ලෙනුත් සිත පිරිසිදු කරනවා. සැකය ප්‍රහාණය කොට, සැකයෙන් එතෙර වී වාසය කරනවා. කුසල ධර්මයන් පිළිබඳව ‘අරක කොහොමද? මේක කොහොමද?’ යන සැකයෙන් තොරව වාසය කරනවා. සැකයෙන් සිත පිරිසිදු කරනවා.
ඉතින් ඔහු සිත කිලුටු කරන, ප්‍රඥාව දුර්වල කරන, ඔය පංච නීවරණ ප්‍රහාණය කොට කෙලෙස් තවන වීරියෙන් යුතුව, මනා නුවණින් යුතුව මනා සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දෙක බැහැර කොට කය පිළිබඳව කායානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා. වේදනාවන් පිළිබඳව ….(පෙ)…. සිත පිළිබඳව ….(පෙ)…. කෙලෙස් තවන වීරියෙන් යුතුව, මනා නුවණින් යුතුව මනා සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දෙක බැහැර කොට ධර්මයන් පිළිබඳව ධම්මානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා.
පින්වත් අග්ගිවෙස්සන, ඒක මේ වගේ දෙයක්. ඇතුන් දමනය කරන තැනැත්තා විශාල ටැඹක් පොළොවෙහි හිටවලා වනාන්තරයෙන් ගෙනාපු ඇතාගේ බෙල්ල ඒ කණුවේ ගැටගැහුවා නෙව. එහෙම කළේ ඇතා තුළ තිබෙන කැලේ ගතිය සංසිඳවන්නයි. කැලේට ආශා සිතුවිලි ඇතිවීම සංසිඳුවන්නයි. කැලේ වාසයෙන් ඇති වූ කරදර, පීඩා, වෙහෙස සංසිඳුවන්නයි. ගමට ආශාව ඇතිකරවන්නයි. මිනිසුන්ගේ සිත් අලවන ගතිගුණවලට පුහුණුකරන්නයි. පින්වත් අග්ගිවෙස්සන අන්න ඒ විදිහටම ආර්ය ශ්‍රාවකයාට මේ සතර සතිපට්ඨානය තමයි සිත ගැටගහන තැන. ඒක කරන්නේ ගිහි ගෙදරට පුරුදු වෙච්ච ගතිගුණ දමනය කරන්නයි. ගිහිගෙදරට ආශා කරන සිතුවිලි දමනය කරන්නයි. ගිහි සිතුවිලිවලින් ඇති වූ කරදර, පීඩා, වෙහෙස දමනය කරන්නයි. ආර්ය සත්‍යාවබෝධය ඇතිකරවා දෙන්නයි. නිවන අවබෝධ කරවන්නයි.
තථාගතයන් වහන්සේ ඒ ශ්‍රාවකයාව තවදුරටත් හික්මවනවා. පින්වත් භික්ෂුව, ඔබ එන්න. කය පිළිබඳව කායානුපස්සනා භාවනාවෙන් වාසය කරන්න. කාම අරමුණු හා බැඳුණු කල්පනාවල් සිත සිත ඉන්න එපා! වේදනාවන් පිළිබඳව වේදනානුපස්සනා භාවනාවෙන් වාසය කරන්න ….(පෙ)…. සිත පිළිබඳව ….(පෙ)…. ධර්මයන් පිළිබඳව ධම්මානුපස්සනා භාවනාවෙන් වාසය කරන්න. කාම අරමුණු හා බැඳුණු කල්පනාවල් සිත සිත ඉන්න එපා!’
ඉතින් ඔහු විතර්ක විචාර සංසිඳුවාගෙන, තමා තුළ ප්‍රසන්න බව ඇති කරගෙන, සිතේ එකඟ බවින් යුතුව, විතර්ක විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය සැපය තියෙන දෙවෙනි ධ්‍යානයත් ලබාගෙන වාසය කරනවා. ඊළඟට තුන්වෙනි ධ්‍යානයත් ….(පෙ)…. ඊළඟට හතරවෙනි ධ්‍යානයත් ලබාගෙන වාසය කරනවා.
ඒ භික්ෂුව ඔය විදිහට සමාධිගත සිතක් ඇති වුනාම, සිත පිරිසිදු වුනාම, සිත බබලන කොට, උපක්ලේශ නැති වුනාම, හිත මෘදු වුනාම, අවබෝධයට සුදුසු වුනාම, නොසෙල්වී තිබුනාම, අකම්පිත වුනාම, තමන් කලින් ගත කළ ජීවිත ගැන දැකීමේ නුවණ ලබාගන්න සිත මෙහෙයවනවා. එතකොට ඔහු නොයෙක් ආකාරයේ පෙර ජීවිත ගත කළ හැටි සිහි කරනවා. ඒ කියන්නෙ; එක ජීවිතයක්, ජීවිත දෙකක්, ….(පෙ)…. ඔය විදිහට කරුණු සහිතව, පැහැදිලි විස්තර ඇතිව, නොයෙක් ආකාරයෙන් තමන් ගත කළ අතීත ජීවිත ගැන සිහි කරනවා.
ඉතින් ඒ භික්ෂුව ඔය විදිහට සමාධිගත සිතක් ඇති වුනාම, සිත පිරිසිදු වුනාම, සිත බබලන කොට, උපක්ලේශ නැති වුනාම, හිත මෘදු වුනාම, අවබෝධයට සුදුසු වුනාම, නොසෙල්වී තිබුනාම, අකම්පිත වුනාම, සත්වයන් චුත වෙන, උපදින හැටි දැකීමේ නුවණ ලබාගන්න සිත මෙහෙයවනවා. එතකොට ඔහු සාමාන්‍ය මිනිසුන්ගේ දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින් චුත වෙන, උපදින සත්වයන් දකිනවා. උසස් පහත්, ලස්සන කැත, සුගති දුගතිවල කර්මානුරූපව සත්වයන් උපදින හැටි දකිනවා. ‘අනේ, මේ භවත් සත්වයින් කයින් දුසිරිත් කරලා, ….(පෙ)…. සුගති දුගතිවල කර්මානුරූපව සත්වයන් උපදින හැටි දකිනවා.
ඉතින් ඒ භික්ෂුව ඔය විදිහට සමාධිගත සිතක් ඇති වුනාම, සිත පිරිසිදු වුනාම, සිත බබලන කොට, උපක්ලේශ නැති වුනාම, හිත මෘදු වුනාම, අවබෝධයට සුදුසු වුනාම, නොසෙල් වී තිබුනාම, අකම්පිත වුනාම, ආශ්‍රව ක්ෂය කළ බවට අවබෝධය ලැබීමේ නුවණ ලබාගන්න සිත මෙහෙයවනවා. ඉතින් ඒ භික්ෂුව ‘මේක තමයි දුක’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේක තමයි දුකේ හටගැනීම’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේ තමයි දුකේ නිරුද්ධ වීම’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේ තමයි දුක් නිරුද්ධ වීමේ මාර්ගය’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේවා තමයි ආශ්‍රව’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේ තමයි ආශ්‍රවයන් ගේ හටගැනීම’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේ තමයි ආශ්‍රව නිරුද්ධ වීම’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේ තමයි ආශ්‍රව නිරුද්ධ වීමේ මාර්ගය’ කියල යථාර්ථය අවබෝධ කරනවා.
ඔය විදිහට ඒ භික්ෂුව යථාර්ථය දැනගන්න කොට, යථාර්ථය දැකගන්න කොට, කාම ආශ්‍රවයෙනුත් සිත නිදහස් වෙනවා. භව ආශ්‍රවයෙනුත් සිත නිදහස් වෙනවා. අවිජ්ජා ආශ්‍රවයෙනුත් සිත නිදහස් වෙනවා. ආශ්‍රවයන් ගෙන් සිත නිදහස් වුනාම සියලු දුකින් තමන් නිදහස් වූ බවට අවබෝධය ඇති වෙනවා. ‘ඉපදීම නැති වුනා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුතු දේ කළා. නිවන පිණිස වෙන කළයුතු දෙයක් නෑ’ කියල දැනගන්නවා.
ඒ අරහත් භික්ෂුව සීතල, රස්නය, බඩගින්න, පිපාසය, මැසි මදුරු පහස, අව් සුළංවලින් ඇතිවන පීඩාවන්, සර්පාදීන්ගෙන් ඇතිවෙන පීඩාවන්, නපුරු ලෙස පවසන, නපුරු ලෙස පැමිණි දරුණු වචන, උපන් ශාරීරික වේදනා, ඉතා තියුණු වූ, දුක් වූ, කටුක වූ, කර්කශ වූ, අමිහිරි වූ, අමනාප වූ, ප්‍රාණය නිරුද්ධ වෙන තරමේ ශාරීරික වේදනා වුනත් ඉවසන කෙනෙක් වෙනවා. සියලු රාග, ද්වේෂ, මෝහ දුරුකළ, සියලු කසට බැහැර කළ ඒ ශ්‍රාවකයා ආහුනෙය්‍යයි. පාහුනෙය්‍යයි. දක්ඛිණෙය්‍යයි. අඤ්ජලිකරණීයයි. ලොවට උතුම් පින්කෙතයි.
පින්වත් අග්ගිවෙස්සන, වයසට ගියත්, රජ්ජුරුවන්ගේ ඇතා කලුරිය කරන්නේ දමනය නොවී නම්, නොහික්මී නම්, මහලු වුනත් රජ්ජුරුවන්ගේ ඇතා දමනය නොවුණු මරණයෙන් කළුරිය කළා කියලයි කියන්නේ. පින්වත් අග්ගිවෙස්සන, මධ්‍යම වයසේදී රජ්ජුරුවන්ගේ ඇතා ….(පෙ)…. පින්වත් අග්ගිවෙස්සන, ළදරු වයසේදී රජ්ජුරුවන්ගේ ඇතා කලුරිය කරන්නේ දමනය නොවී නම්, නොහික්මී නම්, ළදරු වුනත් රජ්ජුරුවන්ගේ ඇතා දමනය නොවුණු මරණයෙන් කළුරිය කළා කියලයි කියන්නේ.
ඒ වගෙයි පින්වත් අග්ගිවෙස්සන, ස්ථවිර භික්ෂුවක් වුනත් කළුරිය කරන්නේ ඛීණාශ්‍රව රහත් කෙනෙක් හැටියට නොවෙයි නම්, ඒ ස්ථවිර භික්ෂුව දමනය නොවූ මරණයකින්ම කළුරිය කළා කියලයි කියන්නේ. පින්වත් අග්ගිවෙස්සන, මධ්‍යම භික්ෂුවක් වුනත් කළුරිය කරන්නේ ….(පෙ)…. පින්වත් අග්ගිවෙස්සන, නවක භික්ෂුවක් වුනත් කළුරිය කරන්නේ ඛීණාශ්‍රව රහත් කෙනෙක් හැටියට නොවෙයි නම්, ඒ නවක භික්ෂුව දමනය නොවූ මරණයකින්ම කළුරිය කළා කියලයි කියන්නේ.
පින්වත් අග්ගිවෙස්සන, වයසට ගියත්, රජ්ජුරුවන්ගේ ඇතා කලුරිය කරන්නේ හොඳින් දමනය වෙලා නම්, හොඳින් හික්මිලා නම්, මහලු වුනත් රජ්ජුරුවන්ගේ ඇතා දමනය වූ මරණයෙන් කළුරිය කළා කියලයි කියන්නේ. පින්වත් අග්ගිවෙස්සන, මධ්‍යම වයසේදී රජ්ජුරුවන්ගේ ඇතා ….(පෙ)…. පින්වත් අග්ගිවෙස්සන, ළදරු වයසේදී රජ්ජුරුවන්ගේ ඇතා කලුරිය කරන්නේ හොඳින් දමනය වෙලා නම්, හොඳින් හික්මිලා නම්, ළදරු වුනත් රජ්ජුරුවන්ගේ ඇතා දමනය වූ මරණයෙන් කළුරිය කළා කියලයි කියන්නේ.
ඒ වගෙයි පින්වත් අග්ගිවෙස්සන, ස්ථවිර භික්ෂුවක් වුනත් කළුරිය කරන්නේ ඛීණාශ්‍රව රහත් කෙනෙක් හැටියට නම්, ඒ ස්ථවිර භික්ෂුව දමනය වූ මරණයකින්ම කළුරිය කළා කියලයි කියන්නේ. පින්වත් අග්ගිවෙස්සන, මධ්‍යම භික්ෂුවක් වුනත් කළුරිය කරන්නේ ….(පෙ)…. පින්වත් අග්ගිවෙස්සන, නවක භික්ෂුවක් වුනත් කළුරිය කරන්නේ ඛීණාශ්‍රව රහත් කෙනෙක් හැටියට නම්, ඒ නවක භික්ෂුව දමනය වූ මරණයකින්ම කළුරිය කළා කියලයි කියන්නේ.
භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ අචිරවත සමණුද්දේසයන් වහන්සේ ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
දමනය වූ භූමියට පත්වීම ගැන වදාළ දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M