මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහිය. එදා දානයෙන් පසු පිණ්ඩපාතයෙන් වැළකී සිටි බොහෝ භික්ෂූන් වහන්සේලා උපස්ථාන ශාලාවෙහි රැස්ව වැඩහිඳ කතා බස් කරමින් සිටින විට මෙම කතාව ඇතිවුණා.
“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, තථාගතයන් වහන්සේගේ මහා ඉර්ධිමත් බව, මහා ආනුභාවය නම්, ආශ්චර්යයයි! අද්භූතයි! පිරිනිවන් පා වදාළ, කෙලෙස් සිඳලූ, සසර ගමන නැසූ, භව ගමන ගෙවාලූ, සියලු දුක් ඉක්මවා ගිය, බුදුවරයන් වහන්සේලා අතීතයෙහිත් වැඩසිටියාද, ඒ බුදුරජාණන් වහන්සේලා ගැන අප තථාගතයන් වහන්සේ දන්නා සේක්ම යි. ඒ කියන්නේ ‘ඒ භාග්‍යවතුන් වහන්සේලා මේ මේ ක්ෂත්‍රීය, බ්‍රාහ්මණාදී ජාතීන්ගෙන් යුක්තයි; ඒ භාග්‍යවතුන් වහන්සේලා මේ මේ නම්වලින් යුක්තයි; ඒ භාග්‍යවතුන් වහන්සේලා මේ මේ ගෝත්‍ර නාමයන්ගෙන් යුක්තයි; ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු වූ සීලයන්ගෙන් යුක්තයි; ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු වූ ධර්මයෙන් යුක්තයි; ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු වූ ප්‍රඥාවෙන් යුක්තයි; ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු වූ හැසිරීමෙන් යුක්තයි; ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු වූ විමුක්තියෙන් යුක්තයි’ කියල.”
මෙසේ කතා බස් කළ විට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලාට මෙය පැවසුවා. “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, තථාගතයන් වහන්සේලා ආශ්චර්යවත්ම යි! ආශ්චර්යය වූ ධර්මයන්ගෙන් සමන්විතම යි! ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, තථාගතයන් වහන්සේලා අද්භූතම යි! අද්භූත වූ ධර්මයන්ගෙන් සමන්විතම යි!”
ඒ භික්ෂූන් අතර ඔය කතාබහ යි අඩාල වුනේ. එවිට භාග්‍යවතුන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට උපස්ථාන ශාලාවට වැඩම කළා. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩසිටියා. වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා වදාළා.
“පින්වත් මහණෙනි, දැන් මේ වෙලාවෙහි ඔබ රැස්ව කතාබස් කරමින් සිටියේ කුමක් ගැනද? මේ අඩාල වුනේ ඔබ ගේ කවර කතාවක්ද?”
“ස්වාමීනී, දානයෙන් පසු පිණ්ඩපාතයෙන් වැළකී උපස්ථාන ශාලාවේ රැස්වී හුන් අප අතරේ මෙන්න මේ කතාවයි ඇතිවුනේ. ‘ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ආශ්චර්යයි! ….(පෙ)…. ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු වූ විමුක්තියෙන් යුක්තයි කියල.’ මේ විදිහට කතා කළ විට, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ අපට මෙහෙම කිව්වා. ‘ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, තථාගතයන් වහන්සේලා ආශ්චර්යවත් ම යි! ආශ්චර්ය වූ ධර්මයන්ගෙන් සමන්විතම යි! ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, තථාගතයන් වහන්සේලා අද්භූත ම යි! අද්භූත වූ ධර්මයන්ගෙන් සමන්විතම යි!’ ස්වාමීනී, අප ගේ මේ කතා බහ තමයි අඩාල වුනේ. එතකොට තමයි භාග්‍යවතුන් වහන්සේ වැඩම කළේ.”
එවිට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් ඇමතුවා. “එසේ වී නම් පින්වත් ආනන්දය, තථාගතයන් වහන්සේගේ ආශ්චර්ය වූත්, අද්භූත වූත් ධර්මයන් පිළිබඳව ඔබට බොහෝ සෙයින් වැටහේවා!”
“ස්වාමීනී, මෙය මා විසින් අසන ලද්දේ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි ම යි. පිළිගන්නා ලද්දේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහිම යි. ‘පින්වත් ආනන්දය, බෝධිසත්වයන් වහන්සේ ඉතා හොඳ සිහියෙන් හා නුවණින් යුතුවයි තුසිත දෙවියන් අතර උපදින්නේ’ කියලා. ස්වාමීනී, බෝධිසත්වයන් වහන්සේ මනා සිහිනුවණින් යුතුව තුසිත දෙව්ලොව උපන්නේය කියන යමක් ඇද්ද, ස්වාමීනී, මෙය මම භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්ය වූත්, අද්භූත වූත් ධර්මයක් හැටියට දරාගෙන සිටිමි.
ස්වාමීනී, මෙය මා විසින් අසන ලද්දේ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි ම යි. පිළිගන්නා ලද්දේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහිම යි. ‘පින්වත් ආනන්දය, බෝධිසත්වයන් වහන්සේ ඉතා හොඳ සිහියෙන් හා නුවණින් යුතුවයි තුසිත දෙව් ලොව වැඩසිටියේ’ කියලා. ස්වාමීනී, බෝධිසත්වයන් වහන්සේ මනා සිහිනුවණින් යුතුව තුසිත දෙව්ලොව වැඩසිටියා කියන යමක් ඇද්ද, ස්වාමීනී, මෙය මම භාග්‍යවතුන් වහන්සේ ගේ ආශ්චර්ය වූත්, අද්භූත වූත් ධර්මයක් හැටියට දරාගෙන සිටිමි.
ස්වාමීනී, මෙය මා විසින් අසන ලද්දේ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි ම යි. පිළිගන්නා ලද්දේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහිම යි. ‘පින්වත් ආනන්දය, බෝධිසත්වයන් වහන්සේ එහි ආයුෂ ඇතිතාක්ම තුසිත දෙවියන් අතර සිටියා’ කියලා. ස්වාමීනී, බෝධිසත්වයන් වහන්සේ එහි ආයුෂ ඇති තාක්ම තුසිත දෙවියන් අතර වැඩසිටියා කියන යමක් ඇද්ද, ස්වාමීනී, මෙය මම භාග්‍යවතුන් වහන්සේ ගේ ආශ්චර්ය වූත්, අද්භූත වූත් ධර්මයක් හැටියට දරාගෙන සිටිමි.
ස්වාමීනී, මෙය මා විසින් අසන ලද්දේ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි ම යි. පිළිගන්නා ලද්දේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහිම යි. ‘පින්වත් ආනන්දය, බෝධිසත්වයන් වහන්සේ ඉතා හොඳ සිහියෙන් හා නුවණින් යුතුව තුසිත දෙව් ලොවින් චුත වී මව්කුස පිළිසිඳ ගත්තා’ කියලා. ස්වාමීනී, බෝධිසත්වයන් වහන්සේ මනා සිහිනුවණින් යුතුව තුසිත දෙව්ලොවින් චුත වී මව්කුස පිළිසිඳ ගත්තාය කියන යමක් ඇද්ද, ස්වාමීනී, මෙය මම භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්ය වූත්, අද්භූත වූත් ධර්මයක් හැටියට දරාගෙන සිටිමි.
ස්වාමීනී, මෙය මා විසින් අසන ලද්දේ භාග්‍යවතුන් වහන්සේ ගේ ඉදිරියෙහිම යි. පිළිගන්නා ලද්දේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහිම යි. ‘පින්වත් ආනන්දය, යම් වෙලාවක බෝධිසත්වයන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුතව මව්කුස පිළිසිඳ ගන්නවාද, ඒ මොහොතේදී දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බමුණන් සහිත දෙව්මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයේ දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය අප්‍රමාණ වූ, උදාර වූ, ආලෝකයක් පහළ වෙනවා. එතකොට ඉතා දුක් සහිත වූත්, නොවැසී තිබෙන්නා වූත්, අඳුරු වූත්, ඝන අඳුරින් යුතු වූත් යම් ලෝකාන්තරික නම් නිරයක් ඇද්ද, එහි මේ සා මහත් ඉර්ධිමත්, මේ සා මහත් ආනුභාව ඇති හිරු සඳු දෙදෙනාගේ ආලෝකය ස්පර්ශ නොවෙත්ද, එබඳු වූ ලෝකාන්තරික නිරයේ පවා දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය අප්‍රමාණ වූ, උදාර වූ, ආලෝකයක් පහළ වෙනවා. ඒ ලෝකාන්තරික නිරයෙහි ඉපදුනු සතුන් ඉන්නවා. ඔවුනුත් ඒ ආලෝකයෙන් තමයි එකිනෙකා හඳුනාගන්නේ. ‘භවත්නි, මෙහි තවත් සතුන් ඉපදිලා ඉන්නවා නෙව’ කියලා. මේ දස සහස්සී ලෝක ධාතුව ම කම්පා වෙනවා. බලවත්ව කම්පා වෙනවා. අතිශයින් ම කම්පා වෙනවා. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය අප්‍රමාණ වූ, උදාර වූ, ආලෝකයක් පහළ වෙනවා’ කියලා. ඉතින් ස්වාමීනී, ….(පෙ)…. මම මෙයත් භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්ය වූත්, අද්භූත වූත් ධර්මයක් හැටියට දරාගෙන සිටිමි.
ස්වාමීනී, මෙය මා විසින් අසන ලද්දේ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි ම යි. පිළිගන්නා ලද්දේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි ම යි. ‘පින්වත් ආනන්දය, යම් වෙලාවක බෝධිසත්වයන් වහන්සේ මව්කුස පිළිසිඳ ගන්නවාද, එතකොට ‘බෝධිසත්වයන්ටවත්, බෝසත් මෑණියන්ටවත්, මනුෂ්‍යයෙක් වේවා, අමනුෂ්‍යයෙක් වේවා ඒ කිසිවෙක් හෝ පීඩාවක් කරන්නට එපා!’ කියල සතර වරම් දිව්‍ය පුත්‍රයන් සිව් දිශාවෙන් ආරක්ෂාව පිණිස පැමිණිලා ඉන්නවා’ කියලා. ඉතින් ස්වාමීනී, ….(පෙ)…. මම මෙයත් භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්ය වූත්, අද්භූත වූත් ධර්මයක් හැටියට දරාගෙන සිටිමි.
ස්වාමීනී, මෙය මා විසින් අසන ලද්දේ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි ම යි. පිළිගන්නා ලද්දේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි ම යි. ‘පින්වත් ආනන්දය, යම් වෙලාවක බෝධිසත්වයන් වහන්සේ මව්කුස පිළිසිඳ ගන්නවාද, එතකොට බෝසත් මෑණියන් ස්වභාවයෙන් ම සීලවන්තියක් බවට පත්වෙනවා. සතුන් මැරීමෙන් වෙන්වෙනවා. සොරකමින් වෙන්වෙනවා. කාම මිත්‍යාචාරයෙන් වෙන්වෙනවා. බොරු කීමෙන් වෙන්වෙනවා. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වෙන්වෙනවා’ කියල. ඉතින් ස්වාමීනී, ….(පෙ)…. මම මෙයත් භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්ය වූත්, අද්භූත වූත් ධර්මයක් හැටියට දරාගෙන සිටිමි.
ස්වාමීනී, මෙය මා විසින් අසන ලද්දේ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි ම යි. පිළිගන්නා ලද්දේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි ම යි. ‘පින්වත් ආනන්දය, යම් වෙලාවක බෝධිසත්වයන් වහන්සේ මව්කුස පිළිසිඳ ගන්නවාද, එතකොට බෝසත් මාතාව තුළ පුරුෂයින් පිළිබඳව කාම ගුණ ප්‍රතිසංයුක්ත සිතක් උපදින්නේ නෑ. ඒ වගේම කිසිම පුරුෂයෙකු විසින් රාග චිත්තයෙන් ඒ බෝසත් මාතාව යටකරන්නට බැහැ’ කියල. ඉතින් ස්වාමීනී, ….(පෙ)…. මම මෙයත් භාග්‍යවතුන් වහන්සේ ගේ ආශ්චර්ය වූත්, අද්භූත වූත් ධර්මයක් හැටියට දරාගෙන සිටිමි.
ස්වාමීනී, මෙය මා විසින් අසන ලද්දේ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි ම යි. පිළිගන්නා ලද්දේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි ම යි. ‘පින්වත් ආනන්දය, යම් වෙලාවක බෝධිසත්වයන් වහන්සේ මව්කුස පිළිසිඳ ගන්නවාද, එතකොට බෝසත් මෑණියන් පංච කාම සැපය ලබන්නියක් වෙනවා. ඉතින් ඈ ඒ පංච කාම සැපයෙන් සතුටු වෙවී, ඉතාමත් ප්‍රීතියෙන් වාසය කරනවා’ කියලා. ඉතින් ස්වාමීනී, ….(පෙ)…. මම මෙයත් භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්ය වූත්, අද්භූත වූත් ධර්මයක් හැටියට දරාගෙන සිටිමි.
ස්වාමීනී, මෙය මා විසින් අසන ලද්දේ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි ම යි. පිළිගන්නා ලද්දේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි ම යි. ‘පින්වත් ආනන්දය, යම් වෙලාවක බෝධිසත්වයන් වහන්සේ මව්කුස පිළිසිඳ ගන්නවාද, එදා සිට බෝසත් මෑණියන්ට කිසිම අසනීපයක් ඇතිවෙන්නේ නෑ. බෝසත් මෑණියන් ක්ලාන්ත නොවුණු කයකින් යුතුව සැපසේ වසනවා. ඒ වගේම බෝසත් මෑණියන් තම කුස තුළ සිටින නොපිරිහුණු ඉඳුරන් ඇති සියලු අඟ පසඟ ඇති බෝසතාණන්ව දකිනවා. පින්වත් ආනන්ද, එය මෙවැනි දෙයක්. ඉතාමත් සුන්දර වූත්, ස්වාභාවික වූත්, අටැස් ඇති, හොඳින් ඔපමට්ටම් කළ වෛරෝඩි මැණිකක් තියෙනවා. එහි නිල් වේවා, කහ වේවා, රතු වේවා, සුදු වේවා, පඬු පැහැ වේවා නූලක් අමුණා තියෙනවා. ඇස් ඇති පුරුෂයෙක් ඒ නූල අතේ පටලවලා ඒ මැණික දෙස බලනවා. ‘මේ වෛරෝඩි මැණික හරි ලස්සනයි නෙව. ස්වාභාවිකයි නෙව. අටැස් ඇති හොඳින් ඔපමට්ටම් කළ එකක් නෙව. මේ මැණික අමුණලා තියෙන්නේ නිල් වේවා, කහ වේවා, රතු වේවා, සුදු වේවා, පඬු පැහැ වේවා නූලෙන් නෙව’ කියලා. පින්වත් ආනන්ද, අන්න ඒ විදිහම යි යම් වෙලාවක බෝධිසත්වයන් වහන්සේ මව්කුස පිළිසිඳ ගන්නවාද, එදා සිට බෝසත් මෑණියන්ට කිසිම අසනීපයක් ඇතිවෙන්නේ නෑ. බෝසත් මෑණියන් ක්ලාන්ත නොවුණු කයකින් යුතුව සැපසේ වසනවා. ඒ වගේම බෝසත් මෑණියන් තම කුස තුළ සිටින නොපිරිහුණු ඉඳුරන් ඇති සියලු අඟ පසඟ ඇති බෝසතාණන්ව දකිනවා’ කියලා. ඉතින් ස්වාමීනී, ….(පෙ)…. මම මෙයත් භාග්‍යවතුන් වහන්සේ ගේ ආශ්චර්ය වූත්, අද්භූත වූත් ධර්මයක් හැටියට දරාගෙන සිටිමි.
ස්වාමීනී, මෙය මා විසින් අසන ලද්දේ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි ම යි. පිළිගන්නා ලද්දේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි ම යි. ‘පින්වත් ආනන්දය, බෝසතාණන් වහන්සේ උපත ලබා දින හතකින් බෝධිසත්ව මෑණියන් කළුරිය කරනවා. ඒ වගේම තුසිත දෙව්ලොව උපදිනවා’ කියලා. ඉතින් ස්වාමීනී, ….(පෙ)…. මම මෙයත් භාග්‍යවතුන් වහන්සේ ගේ ආශ්චර්ය වූත්, අද්භූත වූත් ධර්මයක් හැටියට දරාගෙන සිටිමි.
ස්වාමීනී, මෙය මා විසින් අසන ලද්දේ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි ම යි. පිළිගන්නා ලද්දේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි ම යි. ‘පින්වත් ආනන්දය, අනිත් ස්ත්‍රීන් දරුවන් බිහිකිරීමේදී දස මසක් හෝ නව මසක් ඒ දරුවන්ව කුසේ දරා ඉන්නවා. නමුත් බෝසත් මාතාව ඒ අයුරින් බෝසතාණන්ව බිහිකරන්නේ නෑ. සම්පූර්ණ දස මසක්ම බෝසතුන් කුසෙහි දරා සිට තමයි බිහිකරන්නේ’ කියලා. ඉතින් ස්වාමීනී, ….(පෙ)…. මම මෙයත් භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්ය වූත්, අද්භූත වූත් ධර්මයක් හැටියට දරාගෙන සිටිමි.
ස්වාමීනී, මෙය මා විසින් අසන ලද්දේ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි ම යි. පිළිගන්නා ලද්දේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි ම යි. ‘පින්වත් ආනන්දය, අන්‍ය ස්ත්‍රීන් වාඩිවෙන ඉරියව්වෙන් හෝ හාන්සිවෙන ඉරියව්වෙන් හෝ තමයි දරුවන් බිහිකරන්නේ. නමුත් බෝසත් මාතාව බෝසතාණන්ව බිහිකරන්නේ එහෙම නොවෙයි. බෝසත් මාතාව සිටගෙන සිටිද්දීම යි බෝසතාණන් වහන්සේව බිහිකරන්නේ’ කියලා. ඉතින් ස්වාමීනී, ….(පෙ)…. මම මෙයත් භාග්‍යවතුන් වහන්සේ ගේ ආශ්චර්ය වූත්, අද්භූත වූත් ධර්මයක් හැටියට දරාගෙන සිටිමි.
ස්වාමීනී, මෙය මා විසින් අසන ලද්දේ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි ම යි. පිළිගන්නා ලද්දේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි ම යි. ‘පින්වත් ආනන්දය, යම් වෙලාවක බෝසතාණන් වහන්සේ මව්කුසින් නික්මෙනවාද, එතකොට පළමුවෙන් ම උන්වහන්සේව පිළිගන්නේ දෙවියන් විසිනුයි. ඊට පස්සේ තමයි මිනිසුන් විසින් පිළිගන්නේ’ කියලා. ඉතින් ස්වාමීනී, ….(පෙ)…. මම මෙයත් භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්ය වූත්, අද්භූත වූත් ධර්මයක් හැටියට දරාගෙන සිටිමි.
ස්වාමීනී, මෙය මා විසින් අසන ලද්දේ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි ම යි. පිළිගන්නා ලද්දේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි ම යි. ‘පින්වත් ආනන්දය, යම් වෙලාවක බෝසතාණන් වහන්සේ මව්කුසින් නික්මෙනවාද, ඒ බෝසතාණන් වහන්සේ පොළොවට නොපැමිණ සිටියදී ම සතර වරම් දිව්‍ය පුත්‍රයන් තමයි උන්වහන්සේව පිළිගෙන මව් ඉදිරියෙහි තබන්නේ. ‘පින්වත් දේවිය, සතුටු වනු මැනැව. නුඹවහන්සේට මහේශාක්‍ය වූ පුත් රුවනක් උපන්නේය’ කියලා. ඉතින් ස්වාමීනී, ….(පෙ)…. මම මෙයත් භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්ය වූත්, අද්භූත වූත් ධර්මයක් හැටියට දරාගෙන සිටිමි.
ස්වාමීනී, මෙය මා විසින් අසන ලද්දේ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි ම යි. පිළිගන්නා ලද්දේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි ම යි. ‘පින්වත් ආනන්දය, යම් වෙලාවක බෝසතාණන් වහන්සේ මව්කුසින් නික්මෙනවාද, ඉතා පිරිසිඳුවයි නික්මෙන්නේ. දිය නොතැවරී, සෙම නොතැවරී, ලේ නොතැවරී, කිසිදු අසූචියක් නොතැවරී, පිරිසිදුවයි බිහිවන්නේ. පින්වත් ආනන්ද, එය මෙවැනි දෙයක්. කසී වස්ත්‍රයක දැමූ මාණික්‍ය රත්නයක් තියෙනවා. ඒ මාණික්‍ය රත්නය කසී සළුව සමඟ තැවරිලා නෑ. කසී සළුවත් මාණික්‍ය රත්නය සමඟ තැවරිලා නෑ. මක් නිසාද යත්; ඒ දෙකම පිරිසිදු නිසයි. පින්වත් ආනන්ද, අන්න ඒ වගේම යි. යම් වෙලාවක බෝසතාණන් වහන්සේ මව්කුසින් නික්මෙනවාද, ඉතා පිරිසිදුවයි නික්මෙන්නේ. දිය නොතැවරී, සෙම නොතැවරී, ලේ නොතැවරී, කිසිදු අසූචියක් නොතැවරී, පිරිසිදුවයි බිහිවන්නේ’ කියලා. ඉතින් ස්වාමීනී, ….(පෙ)…. මම මෙයත් භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්ය වූත්, අද්භූත වූත් ධර්මයක් හැටියට දරාගෙන සිටිමි.
ස්වාමීනී, මෙය මා විසින් අසන ලද්දේ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි ම යි. පිළිගන්නා ලද්දේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි ම යි. ‘පින්වත් ආනන්දය, යම් වෙලාවක බෝසතාණන් වහන්සේ මව්කුසින් නික්මෙනවාද, එතකොට අහසින් ජලධාරා දෙකක් පහළවෙනවා. එකක් සිසිලසයි. අනෙක උණුසුමින් යුක්තයි. එයින් බෝධිසත්වයන් වහන්සේටත්, බෝසත් මෑණියන්ටත් ජලයෙන් කළ යුතු දේ කෙරෙනවා’ කියලා. ඉතින් ස්වාමීනී, ….(පෙ)…. මම මෙයත් භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්ය වූත්, අද්භූත වූත් ධර්මයක් හැටියට දරාගෙන සිටිමි.
ස්වාමීනී, මෙය මා විසින් අසන ලද්දේ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි ම යි. පිළිගන්නා ලද්දේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි ම යි. ‘පින්වත් ආනන්දය, බෝසතාණන් වහන්සේ උපන් සැණින් සම වූ පාවලින් බිම සිටගන්නවා. උතුරු දෙසට මුහුණලා පියවර සතක් ඇවිද යනවා. උන්වහන්සේට සුදු සේසත් දරා තිබෙද්දී හැම දිශාවක් දෙසම හොඳින් බලනවා. අභීත වූ වචනයක් කියනවා. ‘මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. මේ අන්තිම ආත්ම භාවයයි. නැවත දැන් පුනර්භවයක් නැතැ’යි කියලා. ඉතින් ස්වාමීනී, ….(පෙ)…. මම මෙයත් භාග්‍යවතුන් වහන්සේ ගේ ආශ්චර්ය වූත්, අද්භූත වූත් ධර්මයක් හැටියට දරාගෙන සිටිමි.
ස්වාමීනී, මෙය මා විසින් අසන ලද්දේ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි ම යි. පිළිගන්නා ලද්දේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි ම යි. ‘පින්වත් ආනන්දය, යම් වෙලාවක බෝසතාණන් වහන්සේ මව්කුසින් නික්මෙනවාද, ඒ මොහොතේදී දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බමුණන් සහිත දෙව්මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයේ දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය අප්‍රමාණ වූ, උදාර වූ, ආලෝකයක් පහළ වෙනවා. එතකොට ඉතා දුක් සහිත වූත්, නොවැසී තිබෙන්නා වූත්, අඳුරු වූත්, ඝන අඳුරින් යුතු වූත් යම් ලෝකාන්තරික නම් නිරයක් ඇද්ද, එහි මේ සා මහත් ඉර්ධිමත්, මේ සා මහත් ආනුභාව ඇති හිරු සඳු දෙදෙනාගේ ආලෝකය පවා ස්පර්ශ නොවෙත්ද, එබඳු වූ ලෝකාන්තරික නිරයේ පවා දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය අප්‍රමාණ වූ, උදාර වූ, ආලෝකයක් පහළ වෙනවා. ඒ ලෝකාන්තරික නිරයෙහි ඉපදුනු සතුන් ඉන්නවා. ඔවුනුත් ඒ ආලෝකයෙන් තමයි එකිනෙකා හඳුනාගන්නේ. ‘භවත්නි, මෙහි තවත් සතුන් ඉපදිලා ඉන්නවා නෙව’ කියලා. මේ දස සහස්සී ලෝක ධාතුවම කම්පා වෙනවා. බලවත්ව කම්පා වෙනවා. අතිශයින්ම කම්පා වෙනවා. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය අප්‍රමාණ වූ, උදාර වූ, ආලෝකයක් පහළ වෙනවා’ කියලා. ඉතින් ස්වාමීනී, ….(පෙ)…. මම මෙයත් භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්ය වූත්, අද්භූත වූත් ධර්මයක් හැටියට දරාගෙන සිටිමි.”
“එසේ වී නම් පින්වත් ආනන්ද, ඔබ තථාගතයන් වහන්සේගේ මේ ආශ්චර්ය අද්භූත ධර්මයත් මතක තබාගන්න. පින්වත් ආනන්ද, තථාගතයන් වහන්සේට විඳීම් උපදින්නෙත් ප්‍රකටවම යි. පවතින්නෙත් ප්‍රකටවම යි. නැතිවී යන්නෙත් ප්‍රකටවම යි. සඤ්ඤා උපදින්නෙත් ප්‍රකටවම යි. පවතින්නේත් ප්‍රකටවම යි. නැතිවී යන්නෙත් ප්‍රකටවම යි. විතර්ක උපදින්නෙත් ප්‍රකටවම යි. පවතින්නේත් ප්‍රකටවම යි. නැතිවී යන්නෙත් ප්‍රකටවම යි. පින්වත් ආනන්ද, මෙයත් තථාගතයන් වහන්සේගේ ආශ්චර්ය, අද්භූත ධර්මයක් හැටියට දරා ගන්න.”
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේට විඳීම් උපදින්නෙත් ප්‍රකටවම යි. පවතින්නෙත් ප්‍රකටවම යි. නැතිවී යන්නෙත් ප්‍රකටවම යි. සඤ්ඤා උපදින්නෙත් ප්‍රකටවම යි. පවතින්නෙත් ප්‍රකටවම යි. නැතිවී යන්නෙත් ප්‍රකටවම යි. විතර්ක උපදින්නෙත් ප්‍රකටවම යි. පවතින්නෙත් ප්‍රකටවම යි. නැතිවී යන්නෙත් ප්‍රකටවම යි යන කරුණක් ඇද්ද, ඉතින් ස්වාමීනී, මම මෙයත් භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්ය වූත්, අද්භූත වූත් ධර්මයක් හැටියට දරාගෙන සිටිමි.”
ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ මෙය පැවසුවා. ශාස්තෘන් වහන්සේ එය අනුමත කොට වදාළා. සතුටු සිත් ඇති ඒ භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වදාළ ධර්මය සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
ආශ්චර්ය අද්භූත ධර්මයන් ගැන වදාළ දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M