මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කපිලවස්තු නගරයේ නිග්‍රෝධාරාමයෙහිය. එදා භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා, පාත්‍රය ද ගෙන කපිලවස්තුවේ පිණ්ඩපාතයේ වැඩියා. කපිලවස්තුවේ පිඬු සිඟා වැඩම කොට දානයෙන් පසු පිණ්ඩපාතයෙන් වැළකී කාළඛේමක ශාක්‍ය රජුගේ විහාරයට දිවාවිහරණය පිණිස වැඩම කළා. ඒ දිනවල කාළඛේමක ශාක්‍ය රජුගේ විහාරයෙහි පණවන ලද ඇඳන් ආදී ආසනයන් බොහෝ තිබුනා. භාග්‍යවතුන් වහන්සේට කාළඛේමක ශාක්‍ය රජුගේ විහාරයේ පණවන ලද බොහෝ ආසනයන් දකින්නට ලැබුනා. දැක භාග්‍යවතුන් වහන්සේට මෙය සිතුනා.
“කාළඛේමක ශාක්‍ය රජුගේ විහාරයේ බොහෝ සෙනසුන් පණවලා තියෙනවා නෙව. මෙහි බොහෝ භික්ෂූන් වහන්සේලා සිටිනවා වත්ද?” කියලා.
ඒ දිනවල ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ බොහෝ භික්ෂූන් වහන්සේලා සමඟ ඝටා නම් ශාක්‍යයාගේ විහාරයේ සිවුරු සකස් කිරීම් ආදිය කරනවා. එදා භාග්‍යවතුන් වහන්සේ සවස් වරුවේ භාවනාවෙන් නැගිට ඝටා නම් ශාක්‍යයාගේ විහාරයට වැඩම කළා. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩසිටියා. වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ අමතා වදාළා.
“පින්වත් ආනන්ද, කාළඛේමක ශාක්‍යයා ගේ විහාරයේ බොහෝ සෙනසුන් පණවා තියෙනවා නෙව. ඔය විහාරයේ බොහෝ භික්ෂූන් වාසය කරනවාද?”
“ස්වාමීනී, කාළඛේමක ශාක්‍යයාගේ විහාරයේ බොහෝ සෙනසුන් පණවලයි තියෙන්නේ. ඔය විහාරයේ බොහෝ භික්ෂූන් වහන්සේලා ඉන්නවා. ස්වාමීනී, අපගේ සිවුරු කරන කාලය පැමිණිලා නෙව තියෙන්නේ.”
“පින්වත් ආනන්ද, පිරිස සමඟම ඉන්න, පිරිස සමඟ ඇලුණු, පිරිස සමඟම ඇලී වසන, සමූහයාත් එක්කම ඉන්න, සමූහයාට ඇලුණු, සමූහයා ගෙන්ම සතුටු වන භික්ෂුව සුන්දර නෑ. පින්වත් ආනන්ද, පිරිස සමඟම ඉන්න, පිරිස සමඟ ඇලුණු, පිරිස සමඟම ඇලී වසන, සමූහයාත් එක්කම ඉන්න, සමූහයාට ඇලුණු, සමූහයාගෙන්ම සතුටු වන ඒ භික්ෂුව යම් නෙක්ඛම්ම සුඛයක් ඇද්ද, හුදෙකලා සැපයක් ඇද්ද, සංසිඳුණු සැපයක් ඇද්ද, අවබෝධයෙන් ලත් සැපයක් ඇද්ද, ඒ සැපය පහසුවෙන් ලැබෙන, කැමති සේ ලැබෙන, නිදුකින් ලැබෙන කෙනෙක් වෙනවා යන කරුණ කිසි දවසක සිදුවෙන්නේ නෑ. නමුත් පින්වත් ආනන්ද යම් භික්ෂුවක් පිරිසෙන් වෙන්වෙලා, තනිවෙලා, හුදෙකලා වෙලා වාසය කරනවාද, ඒ භික්ෂුව නම්, මෙයට කැමති විය යුතුයි. එනම්, යම් නෙක්ඛම්ම සුඛයක් ඇද්ද, හුදෙකලා සැපයක් ඇද්ද, සංසිඳුණු සැපයක් ඇද්ද, අවබෝධයෙන් ලත් සැපයක් ඇද්ද, ඒ සැපය පහසුවෙන් ලබනවාය, කැමති සේ ලබනවාය, නිදුකින් ලබනවාය යන කාරණයයි. එය නම් සිදුවන්නට පුළුවනි.
පින්වත් ආනන්ද, පිරිස සමඟම ඉන්න, පිරිස සමඟ ඇලුණු, පිරිස සමඟම ඇලී වසන, සමූහයාත් එක්කම ඉන්න, සමූහයාට ඇලුණු, සමූහයාගෙන්ම සතුටුවන ඒ භික්ෂුව යම් රූප, අරූප ධ්‍යාන ආදී චිත්ත විමුක්තියක් ඇද්ද, එය හෝ අරහත්ඵල සමාධි සංඛ්‍යාත නොවෙනස් වන ලොව්තුරු විමුක්තියක් ඇද්ද, එය හෝ උපදවාගෙන වාසය කරනවාය යන කරුණ කිසි දවසක සිදුවෙන්නේ නෑ. නමුත් පින්වත් ආනන්ද, යම් භික්ෂුවක් පිරිසෙන් වෙන්වෙලා, තනිවෙලා, හුදෙකලා වෙලා වාසය කරනවාද, ඒ භික්ෂුව නම්, මෙයට කැමති විය යුතුයි. එනම්, යම් රූප, අරූප ධ්‍යාන ආදී චිත්ත විමුක්තියක් ඇද්ද, එය හෝ අරහත්ඵල සමාධි සංඛ්‍යාත නොවෙනස් වන ලොව්තුරු විමුක්තියක් ඇද්ද, එය හෝ උපදවාගෙන වාසය කරනවාය යන කාරණයයි. එය නම් සිදුවන්නට පුළුවනි.
පින්වත් ආනන්දය, යම් රූපයක් කෙරෙහි ආශාවෙන් ඇලිලා ඉන්නවා නම්, යම් රූපයකට කැමති වී සිටිනවා නම්, එබඳු වූ රූපය නැසී වැනසී වෙනස් වෙලා ගිය විට, ඒ හේතුවෙන් ශෝක වැළපීම් දුක් දොම්නස් උපදින්නේ නැත්නම්, එබඳු වූ එකම රූපයක්වත් මම දකින්නේ නෑ.
පින්වත් ආනන්දය, තථාගතයන් වහන්සේ මැනැවින් අවබෝධ කරන ලද මේ වාසය කිරීමක් තියෙනවා. එනම්, මේ සියලු නිමිති මෙනෙහි නොකිරීමෙන්, ආධ්‍යාත්මයෙහි ශූන්‍යතා සමාපත්තිය උපදවාගෙන වාසය කිරීමයි. පින්වත් ආනන්දය, ඔය ශූන්‍යතා සමාපත්තියෙන් වාසය කරන තථාගතයන් වහන්සේ කරා පැමිණෙන්නා වූ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා, රජවරු, රාජමහාමාත්‍යවරු, අන්‍යාගමිකයින්, අන්‍යාගමික ශ්‍රාවකයින් ඉන්නවා. නමුත් පින්වත් ආනන්ද, ඒ පිරිස් අතරේදීත් තථාගතයන් වහන්සේ ඉන්නේ විවේකයට නැඹුරු වූ සිතිනුයි. විවේකයටම යොමු වූ, විවේකයෙහිම බැසගත්, අභ්‍යන්තර හුදෙකලාවෙන් යුතු නෙක්ඛම්මයට ඇලුණු, සියලුම කෙලෙස් උපදවන ධර්මයන්ගෙන් බැහැර වූ, නිවනට නැඹුරු වූ සිතිනුයි. ඉතින් තථාගතයන් වහන්සේ එබඳු නෛර්යාණික වූ, නිවන් ප්‍රතිසංයුත්ත කථාවක්ම යි කතා කරන්නේ. පින්වත් ආනන්ද, එහෙයින් භික්ෂුව වුනත් කැමති වෙනවා නම් ආධ්‍යාත්මයෙහි ශූන්‍යතා සමාපත්තිය උපදවාගෙන වාසය කරන්නට ඕනෙයි කියල, ඒ භික්ෂුව විසින්, පින්වත් ආනන්ද, ආධ්‍යාත්මය තුළම යි සිත පිහිටුවිය යුත්තේ. තැන්පත් කළ යුත්තේ. එකඟ කළ යුත්තේ. සමාධිමත් කළ යුත්තේ.
පින්වත් ආනන්ද, භික්ෂුව ආධ්‍යාත්මය තුළම සිත පිහිටුවන්නේ, තැන්පත් කරන්නේ, එකඟ කරන්නේ, සමාධිමත් කරන්නේ කොහොමද? පින්වත් ආනන්ද, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක විචාර සහිත, ප්‍රීතිය හා සැපය ඇති පළවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා. විතර්ක විචාර සංසිඳුවාගෙන, තමා තුළ ප්‍රසන්න බව ඇති කරගෙන, සිතේ එකඟ බවින් යුතුව, විතර්ක විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය සැපය තියෙන දෙවෙනි ධ්‍යානය ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය ….(පෙ)…. හතරවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා. පින්වත් ආනන්ද, ඔය විදිහටයි භික්ෂුව ආධ්‍යාත්මය තුළම සිත පිහිටුවන්නේ. තැන්පත් කරන්නේ. එකඟ කරන්නේ. සමාධිමත් කරන්නේ.
ඉතින් ඔහු ආධ්‍යාත්මයේ ශූන්‍යතාවය මෙනෙහි කරනවා. නමුත් ආධ්‍යාත්මයේ ශූන්‍යතාවය මෙනෙහි කරන ඔහු තුළ ශූන්‍යතාවෙහි සිත බැස ගන්නේ නෑ. පහදින්නේ නෑ. පිහිටන්නේ නෑ. නිදහස් වෙන්නේ නෑ. පින්වත් ආනන්ද, භික්ෂුව මේ තිබෙන්නා වූ ස්වභාවය ගැන මෙහෙමයි දැනගන්නේ. ‘ආධ්‍යාත්මයේ ශූන්‍යතාවය මෙනෙහි කරද්දී ආධ්‍යාත්ම ශූන්‍යතාවය තුළ මගේ සිත බැසගන්නේ නෑ නෙව. පහදින්නේ නැහැ නෙව. පිහිටන්නේ නැහැ නෙව. සිත නිදහස් වෙන්නේ නැහැ නෙව’ කියලා. එතකොට එකරුණ පිළිබඳව භික්ෂුව නුවණින් දැනගන්නවා. ඔහු බාහිර ශූන්‍යතාව මෙනෙහි කරනවා. ….(පෙ)…. ඔහු ආධ්‍යාත්මික වූත්, බාහිර වූත් ශූන්‍යතාව මෙනෙහි කරනවා. ….(පෙ)…. ඔහු ආනෙඤ්ජ හෙවත් අරූප සමාපත්තිය මෙනෙහි කරනවා. අරූප සමාපත්තිය මෙනෙහි කරද්දීත් අරූප සමාධියේ සිත බැසගන්නේ නෑ. පහදින්නේ නෑ. පිහිටන්නේ නෑ. නිදහස් වෙන්නේ නෑ. පින්වත් ආනන්ද, භික්ෂුව මේ තිබෙන්නා වූ ස්වභාවය ගැන මෙහෙමයි දැනගන්නේ. ‘ආනෙඤ්ජ හෙවත් අරූප සමාපත්තිය මෙනෙහි කරද්දී අරූප සමාපත්තිය තුළ මගේ සිත බැසගන්නේ නෑ නෙව. පහදින්නේ නැහැ නෙව. පිහිටන්නේ නැහැ නෙව. සිත නිදහස් වෙන්නේ නැහැ නෙව’ කියලා. එතකොට එකරුණ පිළිබඳව භික්ෂුව නුවණින් දැනගන්නවා.
පින්වත් ආනන්ද, එතකොට ඒ භික්ෂුව විසින් කලින් ඇතිකරගත් සමාධි නිමිත්ත මුල්කොට ආධ්‍යාත්මයේම සිත පිහිටුවිය යුතුයි. හොඳින් තැන්පත් කළ යුතුයි. එකඟ කළ යුතුයි. සමාධිමත් කළ යුතුයි. ඊට පස්සේ ඔහු ආධ්‍යාත්මික ශූන්‍යතාවය මෙනෙහි කරනවා. එතකොට ආධ්‍යාත්මික ශූන්‍යතාව මෙනෙහි කරන ඔහු තුළ ආධ්‍යාත්මික ශූන්‍යතාව කෙරෙහි සිත බැසගන්නවා. පහදිනවා. පිහිටනවා. මිදෙනවා. පින්වත් ආනන්ද, මේ තත්වය ඇතිවුනාම භික්ෂුව මේ විදිහට දැනගන්නවා. ‘ආධ්‍යාත්ම ශූන්‍යතාවය මෙනෙහි කරන මා තුළ ආධ්‍යාත්ම ශූන්‍යතාවය කෙරෙහි සිත බැසගන්නවා. පහදිනවා. පිහිටනවා. මිදෙනවා’ කියලා. ඒ පිළිබඳව ඔහු මනා නුවණින් යුක්තව ඉන්නවා. ඒ වගේම ඔහු බාහිර ශූන්‍යතාවය මෙනෙහි කරනවා ….(පෙ)…. ඔහු ආධ්‍යාත්මික, බාහිර ශූන්‍යතාවය මෙනෙහි කරනවා. ….(පෙ)…. ඒ වගේම අරූප සමාපත්තිය මෙනෙහි කරනවා. අරූප සමාපත්තිය මෙනෙහි කරද්දී ඔහුගේ සිත අරූප සමවත තුළ බැසගන්නවා. පහදිනවා. පිහිටනවා. මිදෙනවා. මේ ස්වභාවය ඇතිවුනාම භික්ෂුව මේ විදිහට දැනගන්නවා. ‘අරූප සමාපත්තිය මෙනෙහි කරන්නා වූ මාගේ සිත අරූප සමාපත්තිය තුළ බැසගන්නවා. පහදිනවා. පිහිටනවා. මිදෙනවා’ කියලා. එහි ඇති ස්වභාවය නුවණින් දැනගන්නවා.
පින්වත් ආනන්ද, මෙම භාවනාවෙන් වාසය කරන භික්ෂුවට සක්මන් කරන්නට හිතෙනවා. එතකොට ඔහු සක්මන් කරනවා. ‘මේ විදිහට සක්මන් කරන්නා වූ මා තුළ ඇලීම් ගැටීම් ආදියෙන් හටගන්නා පාපී අකුසල ධර්මයන් මේ සිත හඹාගෙන එන්නේ නැත’ කියා. එතකොට ඒ ගැනත් ඔහු නුවණින් යුක්තව ඉන්නවා.
පින්වත් ආනන්ද, මෙම භාවනාවෙන් වාසය කරන භික්ෂුවට සිටගෙන සිටින්නට හිතෙනවා. එතකොට ඔහු සිටගෙන ඉන්නවා. ‘මේ විදිහට සිටගෙන ඉන්නා වූ මා තුළ ඇලීම් ගැටීම් ආදියෙන් හටගන්නා පාපී අකුසල ධර්මයන් මේ සිත හඹාගෙන එන්නේ නැත’ කියා. එතකොට ඒ ගැනත් ඔහු නුවණින් යුක්තව ඉන්නවා.
පින්වත් ආනන්ද, මෙම භාවනාවෙන් වාසය කරන භික්ෂුවට වාඩිවෙන්නට හිතෙනවා. එතකොට ඔහු වාඩිවෙනවා. ‘මේ විදිහට වාඩි වී සිටින්නා වූ මා තුළ ඇලීම් ගැටීම් ආදියෙන් හටගන්නා පාපී අකුසල ධර්මයන් මේ සිත හඹාගෙන එන්නේ නැත’ කියා. එතකොට ඒ ගැනත් ඔහු නුවණින් යුක්තව ඉන්නවා.
පින්වත් ආනන්ද, මෙම භාවනාවෙන් වාසය කරන භික්ෂුවට සැතපෙන්නට හිතෙනවා. එතකොට ඔහු සැතපී ඉන්නවා. ‘මේ විදිහට සැතපී ඉන්නා වූ මා තුළ ඇලීම් ගැටීම් ආදියෙන් හටගන්නා පාපී අකුසල ධර්මයන් මේ සිත හඹාගෙන එන්නේ නැත’ කියා. එතකොට ඒ ගැනත් ඔහු නුවණින් යුක්තව ඉන්නවා.
පින්වත් ආනන්ද, මෙම භාවනාවෙන් වාසය කරන භික්ෂුවට කතා බස් කරන්නට සිතෙනවා. එතකොට ඔහු යම් කතාවක් ඉතා පහත්ද, ලාමකද, පෘථග්ජනයන්ගේ ලෝකයට අයත්ද, ශ්‍රේෂ්ඨ නොවෙයිද, අයහපත පිණිස පවතියිද, කළකිරීමට උපකාරී නොවෙයිද, විරාගය පිණිස හේතු නොවෙයිද, කෙලෙස් නැසීම පිණිස හේතු නොවෙයිද, සංසිඳීම පිණිස හේතු නොවෙයිද, විශිෂ්ට ඤාණය පිණිස හේතු නොවෙයිද, අවබෝධය පිණිස හේතු නොවෙයිද, නිවන පිණිස හේතු නොවෙයිද, එබඳු කථා නොකරයි. ඒ කවර කථාද යත්; රජවරු ගැන කථා, සොරු ගැන කථා, මහ ඇමතිවරුන් ගැන කථා, හමුදාව ගැන කථා, භය ගැන කථා, යුද්ධය ගැන කථා, ආහාර ගැන කථා, බීම වර්ග ගැන කථා, වස්ත්‍ර ගැන කථා, ඇඳ පුටු ගැන කථා, මල් වර්ග ගැන කථා, සුවඳ වර්ග ගැන කථා, ඤාතීන් ගැන කථා, වාහන ගැන කථා, ගම් ගැන කථා, නියම් ගම් ගැන කථා, නගර ගැන කථා, ජනපද ගැන කථා, කාන්තාවන් ගැන කථා, පුරුෂයින් ගැන කථා, වීරයින් ගැන කථා, වීදි ගැන කථා, කුඹල් හලේ කථා, මියගිය අය ගැන කථා, විවිධ දේවල් ගැන කථා, ලෝකය පිළිබඳ කථා, මුහුද පිළිබඳ කථා, ඔය ආදී තවත් කථාවන් ඇද්ද, මෙවැනි කිසි කථාවක් මම කියන්නේ නෑ’ කියලා. ඔය විදිහට භික්ෂුව කතාව තුළත් නුවණින් යුක්ත වෙනවා.
ඒ වගේම පින්වත් ආනන්ද, යම් මේ කථාවක් කෙලෙස් තුනී කරයිද, සිතට වීරිය ඇතිකර දෙයිද, ඒකාන්තයෙන්ම අවබෝධයෙන්ම කළකිරීම පිණිස, විරාගය පිණිස, කෙලෙස් දුරුවීම පිණිස, සංසිඳීම පිණිස, විශිෂ්ට ඤාණය පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතියිද, ඒ කවර කථාද යත්; අල්පේච්ඡ ජීවිතය ගැන කථාව, ලද දෙයින් සතුට වීම ගැන කථාව, හුදෙකලා විවේකය ගැන කථාව, පිරිස සමඟ නොඇලීම ගැන කථාව, කෙලෙස් නැසීමට පටන්ගත් වීරිය ගැන කථාව, සීලය ගැන කථාව, සමාධිය ගැන කථාව, ප්‍රඥාව ගැන කථාව, විමුක්තිය ගැන කථාව, විමුක්ති ඤාණ දර්ශනය ගැන කථාව යන මේ කතාවන් ඇද්ද, මෙවැනි කථාවක් තමයි මා කතා කරන්නේ’ කියල කතාව පිළිබඳව ඉතා හොඳ සිහිනුවණින් යුක්ත වෙනවා.
පින්වත් ආනන්ද, මෙම භාවනාවෙන් භාවනා කරන භික්ෂුව යමක් කල්පනා කරන්නට හිතනවා නම්, යම් මේ කල්පනාවන් අතර හීන වූ, ලාමක වූ, පෘථග්ජනයන්ට අයත් වූ, අනාර්ය වූ, අයහපත පිණිස පවතින, කළකිරීම පිණිස නොපවතින, විරාගය පිණිස නොපවතින, නිරෝධය පිණිස නොපවතින, සංසිඳීම පිණිස නොපවතින, විශිෂ්ට ඤාණය පිණිස නොපවතින, අවබෝධය පිණිස නොපවතින, නිවන පිණිස නොපවතින, යම් කල්පනාවන් ඇද්ද, ඒ කියන්නේ; කාමය පිළිබඳව කල්පනා කිරීම, තරහ ඇතිවෙන කරුණු ගැන කල්පනා කිරීම, හිංසාකාරී දේ ගැන කල්පනා කිරීම යන මේවා නම් මම කල්පනා කරන්නේ නැහැ’ කියලා. තමන් ගේ කල්පනාව පිළිබඳවත් මනා සිහි නුවණින් යුක්ත වෙනවා.
ඒ වගේ ම පින්වත් ආනන්ද, යම් මේ කල්පනාවන් ආර්ය වේද, නිවනට උපකාරී වෙනවාද, ඒ කල්පනාවල් පුරුදු කරන කෙනෙකුට මනාකොට දුක් ක්ෂය වී යනවාද, ඒ කවර කල්පනාවක්ද යත්; කාමයන්ගෙන් නික්මීම පිළිබඳ කල්පනාව, තරහ අමනාප නැතිකම පිළිබඳ කල්පනාව, හිංසා රහිත බව ගැන කල්පනාව යන මේ කල්පනාවල් තමයි මා කරන්නේ’ කියලා ඔහු කල්පනා කරන දේ ගැනත් සිහිනුවණින් යුක්ත වෙනවා.
පින්වත් ආනන්ද, කාම ගුණ පහක් තියෙනවා. මොනවාද ඒ පහ? ඇසින් දැක්ක යුතු ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇතිවෙන, කෙලෙස් ඇතිවෙන රූප තියෙනවා. කනින් ඇසිය යුතු ශබ්ද ….(පෙ)…. නාසයට දැනෙන ගඳ සුවඳ ….(පෙ)…. දිවට දැනෙන රස ….(පෙ)…. කයෙන් දත යුතු ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇතිවෙන, කෙලෙස් ඇතිවෙන පහස තියෙනවා. පින්වත් ආනන්ද, මේ තමයි පඤ්ච කාම ගුණ. භික්ෂුව විසින් තමන්ගේ සිත ඔය පඤ්ච කාම ගුණයන් පිළිබඳව ක්‍රියාත්මක වන ආකාරය ගැන නිතර නිතර නුවණින් විමසා බැලිය යුතුයි. මේ පඤ්ච කාම ගුණ අතර කවර හෝ කාම ගුණයකට ඇලුණු සිතක් ඇතුව මේ සිත හැසිරෙනවාද කියා. එතකොට පින්වත් ආනන්ද, නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරන භික්ෂුවට මෙහෙම දැනගන්නට ලැබෙනවා නම්, ‘මාගේ සිත මේ පඤ්ච කාමගුණයන්ගේ ඒ ඒ රූප, ශබ්ද ආදී කිසිවක් කෙරෙහි මාගේ සිත හැසිරෙනවාය’ කියා මෙවැනි ස්වභාවයක් තියෙනවා නම් භික්ෂුව එය දැනගන්නවා. ‘මේ පඤ්ච කාම ගුණයන් කෙරෙහි යම් ඡන්දරාගයක් ඇද්ද, එය මා තුළ ප්‍රහීණ වෙලා නැහැ නෙව’ කියලා. මේ විදිහටත් ඔහු නුවණින් යුක්ත වෙනවා.
ඒ වගේම පින්වත් ආනන්ද, භික්ෂුව නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරද්දී මේ විදිහට දැනගන්නවා නම්, ඒ කියන්නේ ‘මේ පඤ්ච කාම ගුණයන් අතර, කිසිම කාම අරමුණකට ඇදිලා යන ස්වභාවයකින් මේ සිත පවතින්නේ නැතැ’යි කියලා, ඔය ස්වභාවයෙන් ඇතිවිටත් භික්ෂුව එය දැනගන්නවා. ‘පඤ්ච කාම ගුණයන් කෙරෙහි ඇති යම් ඡන්දරාගයක් ඇද්ද, එය මට ප්‍රහීණ වෙලා තියෙනවා’ කියලා ඔය කාරණය ගැනත් මනා සිහි නුවණින් යුක්ත වෙනවා.
පින්වත් ආනන්ද, භික්ෂුව විසින් යම් තැනක ඇතිවීම, නැතිවීම නුවණින් දකිමින් වාසය කළ යුතුද, එබඳු වූ උපාදානස්කන්ධ පහක් තියෙනවා. ඒ කියන්නේ; ‘රූපය කියන්නේ මේකයි. රූපයේ හටගැනීම කියන්නේ මේකයි. රූපය නිරුද්ධවීම කියන්නේ මේකයි. විඳීම කියන්නේ මේකයි. විඳීම හටගන්නවා කියන්නේ මේකයි. විඳීම නිරුද්ධවෙනවා කියන්නේ මේකයි. සඤ්ඤාව කියන්නේ මේකයි. ….(පෙ)…. සංස්කාර කියන්නේ මේවා. ….(පෙ)…. විඤ්ඤාණය කියන්නේ මේකයි. විඤ්ඤාණය හටගන්නවා කියන්නේ මේකයි. විඤ්ඤාණය නිරුද්ධවෙනවා කියන්නේ මේකයි’ කියල මේ පඤ්ච උපාදානස්කන්ධය පිළිබඳව හටගැනීමත්, නිරුද්ධවීමත් නුවණින් විමසමින් වාසය කරද්දී පඤ්ච උපාදානස්කන්ධය තුළ ‘මම වෙමි’යි යන යම් මාන්නයක් ඇද්ද, එය ප්‍රහීණ වී යනවා. එවැනි ස්වභාවයක් ඇති වූ විට භික්ෂුව මෙහෙම දැනගන්නවා. පඤ්ච උපාදානස්කන්ධය තුළ යම් අස්මිමානයක් ඇද්ද, එය මට ප්‍රහීණ වෙලයි තියෙන්නේ කියලා. ඔය විදිහට ඒ ගැනත් සිහිනුවණින් යුක්ත වෙනවා.
පින්වත් ආනන්ද, මේ කියපු ධර්මයන් ඒකාන්තයෙන්ම කුසල් වලටයි අයිති. ආර්යයි. ලෝකෝත්තරයි. ඔය ධර්ම තුළට පවිටු මාරයාට බැසගන්නට පුළුවන්කමක් නෑ.
පින්වත් ආනන්ද, මේ ගැන කුමක්ද සිතන්නේ? ශාස්තෘවරයා විසින් තමාව බැහැර කරද්දීත්, ශ්‍රාවකයා ශාස්තෘවරයා පසුපස හඹා යා යුත්තේ කවර යහපතක් දැකීම හේතුවෙන්ද?”
“ස්වාමීනී, අපගේ ධර්මයන් තිබෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි. භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන කරගෙනයි. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කරගෙනයි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේට ම මේ වදාළ කරුණෙහි අර්ථය වැටහෙන සේක් නම් මැනවි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා තමයි භික්ෂූන් දරාගන්නේ.”
“පින්වත් ආනන්ද, ශ්‍රාවකයා සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ ආදිය හේතු කොට ගෙන ශාස්තෘ වහන්සේ පසුපස හඹා යා යුතු නෑ. මක් නිසාද යත්; ආනන්දය, පැවිදිව බොහෝ කල් ගත වන විට ඔහුට මේ ධර්මයන් අහලා, මතක තබාගෙන, වචනයෙන් පුරුදු කරලා, මනසින් මෙනෙහි කරලා, ප්‍රඥාවෙන් තේරුම් අරගෙන සිටින්නට පුළුවනි. නමුත් පින්වත් ආනන්ද, මේ කෙලෙස් තුනී කරන, සිතේ දියුණුව සළසාලන, ඒකාන්තයෙන්ම අවබෝධයෙන් කළකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, විශිෂ්ට ඤාණය පිණිස, සම්බෝධිය පිණිස, නිවන පිණිස හේතුවන කථාවන් තියෙනවා. ඒ කවර කථාවන් ද යත්; අල්පේච්ඡ ජීවිතය ගැන කථාව, ලද දෙයින් සතුටු වීම ගැන කථාව, හුදෙකලා විවේකය ගැන කථාව, පිරිස සමඟ නොඇලීම ගැන කථාව, කෙලෙස් නැසීමට පටන්ගත් වීරිය ගැන කථාව, සීලය ගැන කථාව, සමාධිය ගැන කථාව, ප්‍රඥාව ගැන කථාව, විමුක්තිය ගැන කථාව, විමුක්ති ඤාණ දර්ශනය ගැන කථාව. මෙබඳු වූ කතාවන් දැනගැනීම පිණිසයි තමන්ව බැහැර කළත්, ශ්‍රාවකයා ශාස්තෘන් වහන්සේ පසුපස හඹා යා යුත්තේ.
මෙසේ ඇති කල්හි පින්වත් ආනන්ද, ආචාර්යවරයාගේ උපද්‍රවය ඇතිවෙනවා. මෙසේ ඇති කල්හි අන්තේවාසිකයාගේ උපද්‍රවයත් ඇතිවෙනවා. මෙසේ ඇති කල්හි බ්‍රහ්මචරිය උපද්‍රවයත් ඇතිවෙනවා.
පින්වත් ආනන්ද, ආචාර්යවරයාගේ උපද්‍රවය ඇතිවන්නේ කොහොමද? පින්වත් ආනන්ද, මෙහිලා එක්තරා ශාස්තෘවරයෙක් අරණ්‍ය, රුක් සෙවන, පර්වතය, දිය ඇලි, ගිරිගුහා, සොහොන, වනගැබ, එළිමහන් තැන, පිදුරු ගෙවල් ආදී හුදෙකලා ස්ථාන ඇසුරු කරගෙන ඉන්නවා. මෙසේ හුදෙකලා වාසය කරගෙන ඉන්න ඔහු වෙත බ්‍රාහ්මණවරු, ගෘහපතිවරු, නියම්ගම් වැසියෝ, ජනපදවාසීන් ආදිය එනවා. එතකොට ඒ බ්‍රාහ්මණ, ගෘහපතිවරු, නියම්ගම්, ජනපද වැසියන් පිරිවරාගත් විට ඒ ශාස්තෘවරයා එයින් මත්වෙනවා. එයට ආශා කරනවා. ගිජු වෙනවා. සිව්පසය බහුල බවට පැමිණෙනවා. පින්වත් ආනන්දය, ආචාර්යවරයාගේ උපද්‍රවය කියන්නේ මෙයටයි. ආචාර්ය උපද්‍රවය හේතුවෙන් කෙලෙස් සහිත වූ, පුනර්භවය ඇති කරවන, පීඩා සහිත වූ දුක් විපාක ඇති, මත්තෙහි ජාති ජරා මරණ ඇතිකරවන යම් අකුසල් ඇද්ද, ඒ අකුසල් විසින් ඒ ආචාර්යවරයාව විනාශ කළා වෙනවා. පින්වත් ආනන්ද, ඔය විදිහටයි ආචාර්යවරයාගේ උපද්‍රවය සිදුවන්නේ.
පින්වත් ආනන්ද, අන්තේවාසිකයාගේ උපද්‍රවය යනු කුමක්ද? ඒ ශාස්තෘවරයාගේම ශ්‍රාවකයෙක් ඉන්නවා. ඔහුත් ශාස්තෘවරයාගේ විවේකය අනුව යමින් අරණ්‍ය, රුක් සෙවන, පර්වතය, දිය ඇලි, ගිරිගුහා, සොහොන, වනගැබ, එළිමහන් තැන, පිදුරු ගෙවල් ආදී හුදෙකලා ස්ථාන ඇසුරු කරගෙන ඉන්නවා. මෙසේ හුදෙකලාව වාසය කරගෙන ඉන්න ඔහු වෙත බ්‍රාහ්මණවරු, ගෘහපතිවරු, නියම්ගම් වැසියෝ, ජනපදවාසීන් ආදිය එනවා. එතකොට ඒ බ්‍රාහ්මණ, ගෘහපතිවරු, නියම්ගම්, ජනපද වැසියන් පිරිවරාගත් විට ඒ අන්තේවාසිකයා එයින් මත්වෙනවා. එයට ආශා කරනවා. ගිජු වෙනවා. සිව්පසය බහුල බවට පැමිණෙනවා. පින්වත් ආනන්දය, අන්තේවාසිකයාගේ උපද්‍රවය කියන්නේ මෙයටයි. අන්තේවාසික උපද්‍රවය හේතුවෙන් කෙලෙස් සහිත වූ, පුනර්භවය ඇතිකරවන, පීඩා සහිත වූ දුක් විපාක ඇති, මත්තෙහි ජාති ජරා මරණ ඇතිකරවන යම් අකුසල් ඇද්ද, ඒ අකුසල් විසින් ඒ අන්තේවාසිකයාව විනාශ කළා වෙනවා. පින්වත් ආනන්ද, ඔය විදිහටයි අන්තේවාසිකයාගේ උපද්‍රවය සිදුවන්නේ.
පින්වත් ආනන්ද, බ්‍රහ්මචරිය උපද්‍රවය ඇතිවෙන්නේ කොහොමද? පින්වත් ආනන්ද, මෙහිලා අරහත් සම්මාසම්බුද්ධ වූ, විජ්ජාචරණ සම්පන්න වූ, සුගත වූ, ලෝකවිදූ වූ, අනුත්තරෝ පුරිසදම්ම සාරථී වූ, සත්ථා දේවමනුස්සානං වූ, බුද්ධ වූ, භගවත් වූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපදිනවා. උන්වහන්සේ ද අරණ්‍ය, රුක් සෙවන, පර්වතය, දිය ඇලි, ගිරිගුහා, සොහොන, වනගැබ, එළිමහන් තැන, පිදුරු ගෙවල් ආදී හුදෙකලා ස්ථාන ඇසුරු කරගෙන ඉන්නවා. මෙසේ හුදෙකලා වාසය කරගෙන ඉන්න තථාගතයන් වහන්සේ වෙත බ්‍රාහ්මණවරු, ගෘහපතිවරු, නියම්ගම් වැසියෝ, ජනපදවාසීන් ආදිය එනවා. එතකොට ඒ බ්‍රාහ්මණ, ගෘහපතිවරු, නියම්ගම්, ජනපද වැසියන් පිරිවරාගත් විට ඒ තථාගතයන් වහන්සේ එයින් මත්වෙන්නේ නෑ. එයට ආශා කරන්නෙ නෑ. ගිජු වෙන්නෙ නෑ. සිව්පසය බහුල බවට පැමිණෙන්නෙ නෑ.
පින්වත් ආනන්දය, ඒ තථාගත වූ, සම්මාසම්බුදු වූ ශාස්තෘන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ඉන්නවා. ඔහුත් ශාස්තෘන් වහන්සේගේ විවේකය අනුව යමින් අරණ්‍ය, රුක් සෙවන, පර්වතය, දිය ඇලි, ගිරිගුහා, සොහොන, වනගැබ, එළිමහන් තැන, පිදුරු ගෙවල් ආදී හුදෙකලා ස්ථාන ඇසුරු කරගෙන ඉන්නවා. මෙසේ හුදෙකලා වාසය කරගෙන ඉන්න ඔහු වෙත බ්‍රාහ්මණවරු, ගෘහපතිවරු, නියම්ගම් වැසියෝ, ජනපදවාසීන් ආදිය එනවා. එතකොට ඒ බ්‍රාහ්මණ, ගෘහපතිවරු, නියම්ගම්, ජනපද වැසියන් පිරිවරාගත් විට ඒ ශ්‍රාවකයා එයින් මත්වෙනවා. එයට ආශා කරනවා. ගිජු වෙනවා. සිව්පසය බහුල බවට පැමිණෙනවා. පින්වත් ආනන්දය, බ්‍රහ්මචරිය උපද්‍රවය කියන්නේ මෙයටයි. බ්‍රහ්මචරිය උපද්‍රවය හේතුවෙන් කෙලෙස් සහිත වූ, පුනර්භවය ඇති කරවන, පීඩා සහිත වූ දුක් විපාක ඇති, මත්තෙහි ජාති ජරා මරණ ඇතිකරවන යම් අකුසල් ඇද්ද, ඒ අකුසල් විසින් ඒ ශ්‍රාවකයාව විනාශ කළා වෙනවා. පින්වත් ආනන්ද, ඔය විදිහටයි බ්‍රහ්මචරිය උපද්‍රවය සිදුවන්නේ.
පින්වත් ආනන්ද, එහිලා යම් මේ ආචාර්ය උපද්‍රවයක් ඇද්ද, යම් අන්තේවාසික උපද්‍රවයක් ඇද්ද, ඒ උපද්‍රවයන්ට වඩා බ්‍රහ්මචරිය උපද්‍රවය නිසා බලවත් දුක් ඇතිවෙනවා. කටුක විපාක ඇතිවෙනවා. කොටින්ම නිරයේ පවා යනවා.
එම නිසා පින්වත් ආනන්ද, මාව ඇසුරු කළ යුත්තේ මෛත්‍රී ප්‍රතිපත්තියෙනුයි. වෛරී ප්‍රතිපත්තියෙන් ඇසුරු කරන්න එපා! එය ඔබට බොහෝ කලක් හිත සුව පිණිස පවතීවි.
පින්වත් ආනන්ද, ශ්‍රාවකයෝ ශාස්තෘන් වහන්සේව වෛරී ප්‍රතිපත්තියෙන් මිසක්, මෛත්‍රී ප්‍රතිපත්තියෙන් ඇසුරු නොකරන්නේ කොහොමද? පින්වත් ආනන්ද, මෙහිලා ශාස්තෘන් වහන්සේ ශ්‍රාවකයින්ට ධර්මය දේශනා කරනවා. අනුකම්පාවෙන්, හිතවත්ව, අනුකම්පාව උපදවාගෙන ‘මෙය ඔබට හිත පිණිස පවතිනවා. මෙය ඔබට සුව පිණිස පවතිනවා’ කියලා. නමුත් ඒ ශාස්තෘන් වහන්සේගේ වචනය ශ්‍රාවකයන් අහන්න කැමති වෙන්නේ නෑ. සවන් යොමන්නේ නෑ. කරුණු අවබෝධ කරගැනීමට සිත පිහිටුවන්නේ නෑ. ශාස්තෘ ශාසනයෙන් බැහැරවයි කටයුතු කරන්නේ. පින්වත් ආනන්ද, ඔය විදිහටයි ශ්‍රාවකයෝ ශාස්තෘන් වහන්සේ කෙරෙහි වෛරී ප්‍රතිපත්තියෙන් කටයුතු කරන්නේ, මෛත්‍රී ප්‍රතිපත්තියෙන් තොරව වාසය කරන්නේ.
පින්වත් ආනන්ද, ශ්‍රාවකයෝ ශාස්තෘන් වහන්සේව මෛත්‍රී ප්‍රතිපත්තියෙන් මිසක්, වෛරී ප්‍රතිපත්තියෙන් ඇසුරු නොකරන්නේ කොහොමද? පින්වත් ආනන්ද, මෙහිලා ශාස්තෘන් වහන්සේ ශ්‍රාවකයින්ට ධර්මය දේශනා කරනවා. අනුකම්පාවෙන්, හිතවත්ව, අනුකම්පාව උපදවාගෙන ‘මෙය ඔබට හිත පිණිස පවතිනවා. මෙය ඔබට සුව පිණිස පවතිනවා’ කියලා. එතකොට ඒ ශාස්තෘන් වහන්සේගේ වචනය ශ්‍රාවකයන් අහන්න කැමති වෙනවා. සවන් යොමනවා. කරුණු අවබෝධ කරගැනීමට සිත පිහිටුවනවා. ශාස්තෘ ශාසනයෙන් බැහැරව කටයුතු කරන්නේ නෑ. පින්වත් ආනන්ද, ඔය විදිහටයි ශ්‍රාවකයෝ ශාස්තෘන් වහන්සේ කෙරෙහි මෛත්‍රී ප්‍රතිපත්තියෙන් කටයුතු කරන්නේ, වෛරී ප්‍රතිපත්තියෙන් තොරව වාසය කරන්නේ.
එනිසා පින්වත් ආනන්ද, මා කෙරෙහි මෛත්‍රී ප්‍රතිපත්තියෙන් වාසය කරන්න. වෛරී ප්‍රතිපත්තියෙන් වාසය කරන්නට එපා! එය ඔබට බොහෝ කලක් හිත සුව පිණිස පවතිනවා. පින්වත් ආනන්ද, වළං හදන්නෙක් අමු අමුවේ මැටි බඳුන් හදනවාද, ඒ විදිහට මං කටයුතු කරන්නේ නෑ. පින්වත් ආනන්ද, මා නැවත නැවතත් කරුණු විග්‍රහ කොට කියනවා. පින්වත් ආනන්ද, නැවත නැවතත් මා දොස් බැහැර කරමින් කියනවා. එහෙම කියන්නේ යම් සාරයක් ඇද්ද, එහි පිහිටුවන්නටයි.
භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
ශූන්‍යතා සමාපත්තිය ගැන වදාළ විස්තරාත්මක දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M