මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද ජේතවනාරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි”යි කියා භික්ෂුසංඝයා අමතා වදාළා. ඒ භික්ෂූන් ද “පින්වතුන් වහන්සැ”යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙම දේශනය වදාළා.
“පින්වත් මහණෙනි, සාරිපුත්තයන් යහපත් කුසල් ගුණයෙන් යුක්තයි. පින්වත් මහණෙනි, සාරිපුත්තයන් මහා ප්‍රඥාවකින් යුක්තයි. පින්වත් මහණෙනි, සාරිපුත්තයන් ඉතා පළල් වූ ප්‍රඥාවකින් යුක්තයි. පින්වත් මහණෙනි, සාරිපුත්තයන් සතුට උපදවන ප්‍රඥාවකින් යුක්තයි. පින්වත් මහණෙනි, සාරිපුත්තයන් අතිශය වේගවත් ප්‍රඥාවකින් යුක්තයි. පින්වත් මහණෙනි, සාරිපුත්තයන් තීක්ෂණ ප්‍රඥාවකින් යුක්තයි. පින්වත් මහණෙනි, සාරිපුත්තයන් අවබෝධයක් තුළින් නොඇලෙන ප්‍රඥාවකින් යුක්තයි. පින්වත් මහණෙනි, සාරිපුත්තයන් අඩමසක් පුරාවට අනුපිළිවෙලින් ධර්ම විදර්ශනාව විදර්ශනා කරනවා. පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහටයි සාරිපුත්තයන්ගේ අනුපද ධර්ම විදර්ශනාව තියෙන්නේ.
පින්වත් මහණෙනි, මෙහිලා සාරිපුත්ත කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත වූ, විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති ප්‍රථම ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. එතකොට ඒ ප්‍රථම ධ්‍යානයෙහි යම් ධර්මයන් ඇද්ද, ඒ කියන්නේ විතර්කය ද, විචාරය ද, ප්‍රීතිය ද, සුඛය ද, ඒකාග්‍රතාවය ද ඒ වගේම ස්පර්ශය, වේදනා, සඤ්ඤා, චේතනා, චිත්ත, ඡන්ද, අධිමෝක්ෂ, විරිය, සිහිය, උපේක්ෂා, මනසිකාර යන යමක් ඇද්ද, සාරිපුත්තයන් තුළ ඒ ධර්මයන් අනුපිළිවෙලින් විමසීමෙන් ලත් අවබෝධයක් තියෙනවා. එනිසා සාරිපුත්තයන් තුළ ඒ ධර්මයන් ඇතිවන්නේ ප්‍රකටවමයි. ඒවා පවතින්නේත් ප්‍රකටවමයි. ඒවා නැති වී යන්නේත් ප්‍රකටවමයි. එතකොට ඔහු මේ විදිහටයි එය දැනගන්නේ. ‘මා තුළ මේ ධර්මයන් මේ ආකාරයෙන් පැවැත්මකට සකස් නොවී හටගන්නවා. හටගෙන නිරුද්ධ වෙලා යනවා’ කියලා. ඉතින් ඔහු ඒ ධර්මයන් තුළ බැසගන්නෙ නෑ. නොබැස ගන්නා නිසා ඇසුරු කරන්නේ නෑ. ඇසුරු නොකරන නිසා එයට බැඳෙන්නෙ නෑ. නොබැඳෙන නිසා මනාකොට නිදහස් වෙනවා. එතකොට ඒ කිසිවකට නොඇලී, සීමාවලට හසු නොවුන සිතින් වාසය කරනවා. ඒ වගේම ඔහු තවදුරටත් ඒ පිළිබඳව නිස්සරණයක් තියෙන බව අවබෝධ කරගන්නවා. එයම බහුල වශයෙන් කරන ඔහුට එයම වැටහෙනවා.
පින්වත් මහණෙනි, මෙහිලා සාරිපුත්ත විතර්ක විචාරයන් සංසිඳවීමෙන්, තමා තුළ සිතේ පැහැදීම ඇතිව, එකඟ බව ඇතිව, විතර්ක රහිත වූ, විචාර රහිත වූ, සමාධියෙන් හටගත් ප්‍රීති සුඛය ඇති දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. එතකොට ඒ දෙවෙනි ධ්‍යානයෙහි යම් ධර්මයන් ඇද්ද, ඒ කියන්නේ තමා තුළ ඇති සිතේ පැහැදීම ද, ප්‍රීතිය ද, සුඛය ද, ඒකාග්‍රතාවය ද ඒ වගේම ස්පර්ශය, වේදනා, සඤ්ඤා, චේතනා, චිත්ත, ඡන්ද, අධිමෝක්ෂ, විරිය, සිහිය, උපේක්ෂා, මනසිකාර යන යමක් ඇද්ද, සාරිපුත්තයන් තුළ ඒ ධර්මයන් අනුපිළිවෙලින් විමසීමෙන් ලත් අවබෝධයක් තියෙනවා. එනිසා සාරිපුත්තයන් තුළ ඒ ධර්මයන් ඇතිවන්නේ ප්‍රකටවමයි. ඒවා පවතින්නෙත් ප්‍රකටවමයි. ඒවා නැති වී යන්නෙත් ප්‍රකටවමයි. එතකොට ඔහු මේ විදිහටයි එය දැනගන්නේ. ‘මා තුළ මේ ධර්මයන් මේ ආකාරයෙන් පැවැත්මකට සකස් නොවී හටගන්නවා. හටගෙන නිරුද්ධ වෙලා යනවා’ කියලා. ඉතින් ඔහු ඒ ධර්මයන් තුළ බැසගන්නෙ නෑ. නොබැස ගන්නා නිසා ඇසුරු කරන්නේ නෑ. ඇසුරු නොකරන නිසා එයට බැඳෙන්නෙ නෑ. නොබැඳෙන නිසා මනාකොට නිදහස් වෙනවා. එතකොට ඒ කිසිවකට නොඇලී, සීමාවලට හසු නොවුන සිතින් වාසය කරනවා. ඒ වගේම ඔහු තවදුරටත් ඒ පිළිබඳව නිස්සරණයක් තියෙන බව අවබෝධ කරගන්නවා. එයම බහුල වශයෙන් කරන ඔහුට එයම වැටහෙනවා.
පින්වත් මහණෙනි, මෙහිලා සාරිපුත්ත ප්‍රීතියට නොඇලීමෙන්, උපේක්ෂාවෙන් යුක්තව වාසය කරනවා. සිහියෙන් නුවණින් යුක්තව කයින් සැපයකුත් විඳිනවා. ආර්යයන් වහන්සේලා යම් ධ්‍යානයක් ‘උපේක්ෂාවෙන් යුක්ත සිහියෙන් යුක්ත සැප විහරණයක්’ය කියල ප්‍රශංසා කරයි ද, ඒ තුන්වෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. එතකොට ඒ තුන්වෙනි ධ්‍යානයෙහි යම් ධර්මයන් ඇද්ද, ඒ කියන්නේ සැපය ද, සිහිය ද, නුවණ ද, ඒකාග්‍රතාවය ද, ඒ වගේම ස්පර්ශය, වේදනා, සඤ්ඤා, චේතනා, චිත්ත, ඡන්ද, අධිමෝක්ෂ, විරිය, සිහිය, උපේක්ෂා, මනසිකාර යන යමක් ඇද්ද, සාරිපුත්තයන් තුළ ඒ ධර්මයන් අනුපිළිවෙලින් විමසීමෙන් ලත් අවබෝධයක් තියෙනවා. එනිසා සාරිපුත්තයන් තුළ ඒ ධර්මයන් ඇතිවන්නේ ප්‍රකටවමයි. ඒවා පවතින්නෙත් ප්‍රකටවමයි. ඒවා නැති වී යන්නෙත් ප්‍රකටවමයි. එතකොට ඔහු මේ විදිහටයි එය දැනගන්නේ. ‘මා තුළ මේ ධර්මයන් මේ ආකාරයෙන් පැවැත්මකට සකස් නොවී හටගන්නවා. හටගෙන නිරුද්ධ වෙලා යනවා’ කියලා. ඉතින් ඔහු ඒ ධර්මයන් තුළ බැසගන්නෙ නෑ. නොබැස ගන්නා නිසා ඇසුරු කරන්නේ නෑ. ඇසුරු නොකරන නිසා එයට බැඳෙන්නෙ නෑ. නොබැඳෙන නිසා මනාකොට නිදහස් වෙනවා. එතකොට ඒ කිසිවකට නොඇලී, සීමාවලට හසු නොවුන සිතින් වාසය කරනවා. ඒ වගේම ඔහු තවදුරටත් ඒ පිළිබඳව නිස්සරණයක් තියෙන බව අවබෝධ කරගන්නවා. එයම බහුල වශයෙන් කරන ඔහුට එයම වැටහෙනවා.
පින්වත් මහණෙනි, මෙහිලා සාරිපුත්ත සැපය ද ප්‍රහාණය කොට, දුක ද ප්‍රහාණය කොට, මානසික සොම්නස් දොම්නස් දෙක කලින්ම දුරු කොට, දුක් රහිත වූ සැප රහිත වූ උපේක්ෂා සතිපාරිශුද්ධියෙන් යුතු සතරවෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. එතකොට ඒ සතරවෙනි ධ්‍යානයෙහි යම් ධර්මයන් ඇද්ද, ඒ කියන්නේ උපේක්ෂාව ද, දුක් සැප රහිත විඳීම ද, සැහැල්ලු වී ඇති බව ද, සිත නොවිසිරී පැවතීමද, පාරිශුද්ධ සිහියෙන් යුතු චිත්ත ඒකාග්‍රතාවය ද ඒ වගේම ස්පර්ශය, වේදනා, සඤ්ඤා, චේතනා, චිත්ත, ඡන්ද, අධිමෝක්ෂ, විරිය, සිහිය, උපේක්ෂා, මනසිකාර යන යමක් ඇද්ද, සාරිපුත්තයන් තුළ ඒ ධර්මයන් අනුපිළිවෙලින් විමසීමෙන් ලත් අවබෝධයක් තියෙනවා. එනිසා සාරිපුත්තයන් තුළ ඒ ධර්මයන් ඇතිවන්නේ ප්‍රකටවමයි. ඒවා පවතින්නෙත් ප්‍රකටවමයි. ඒවා නැති වී යන්නෙත් ප්‍රකටවමයි. එතකොට ඔහු මේ විදිහටයි එය දැනගන්නේ. ‘මා තුළ මේ ධර්මයන් මේ ආකාරයෙන් පැවැත්මකට සකස් නොවී හටගන්නවා. හටගෙන නිරුද්ධ වෙලා යනවා’ කියලා. ඉතින් ඔහු ඒ ධර්මයන් තුළ බැසගන්නෙ නෑ. නොබැස ගන්නා නිසා ඇසුරු කරන්නේ නෑ. ඇසුරු නොකරන නිසා එයට බැඳෙන්නෙ නෑ. නොබැඳෙන නිසා මනාකොට නිදහස් වෙනවා. එතකොට ඒ කිසිවකට නොඇලී, සීමාවලට හසු නොවුන සිතින් වාසය කරනවා. ඒ වගේම ඔහු තවදුරටත් ඒ පිළිබඳව නිස්සරණයක් තියෙන බව අවබෝධ කරගන්නවා. එයම බහුල වශයෙන් කරන ඔහුට එයම වැටහෙනවා.
පින්වත් මහණෙනි, මෙහිලා සාරිපුත්ත මුළුමනින්ම රූප සඤ්ඤාවන් ඉක්මවා යෑමෙන්, ඕළාරික සඤ්ඤා අභාවයට පත්කිරීමෙන්, නා නා සඤ්ඤා මෙනෙහි නොකිරීමෙන් ‘අනන්ත වූ ආකාශය’ යැයි ආකාසානඤ්චායතනය උපදවාගෙන වාසය කරනවා. එතකොට ඒ ආකාසානඤ්චායතනයෙහි යම් ධර්මයන් ඇද්ද, ඒ කියන්නේ ආකාසානඤ්චායතන සඤ්ඤාව ද, චිත්ත ඒකාග්‍රතාවය ද ඒ වගේම ස්පර්ශය, වේදනා, සඤ්ඤා, චේතනා, චිත්ත, ඡන්ද, අධිමෝක්ෂ, විරිය, සිහිය, උපේක්ෂා, මනසිකාර යන යමක් ඇද්ද, සාරිපුත්තයන් තුළ ඒ ධර්මයන් අනුපිළිවෙලින් විමසීමෙන් ලත් අවබෝධයක් තියෙනවා. එනිසා සාරිපුත්තයන් තුළ ඒ ධර්මයන් ඇතිවන්නේ ප්‍රකටවමයි. ඒවා පවතින්නෙත් ප්‍රකටව ම යි. ඒවා නැති වී යන්නෙත් ප්‍රකටව ම යි. එතකොට ඔහු මේ විදිහටයි එය දැනගන්නේ. ‘මා තුළ මේ ධර්මයන් මේ ආකාරයෙන් පැවැත්මකට සකස් නොවී හටගන්නවා. හටගෙන නිරුද්ධ වෙලා යනවා’ කියලා. ඉතින් ඔහු ඒ ධර්මයන් තුළ බැසගන්නෙ නෑ. නොබැස ගන්නා නිසා ඇසුරු කරන්නේ නෑ. ඇසුරු නොකරන නිසා එයට බැඳෙන්නෙ නෑ. නොබැඳෙන නිසා මනාකොට නිදහස් වෙනවා. එතකොට ඒ කිසිවකට නොඇලී, සීමාවලට හසු නොවුන සිතින් වාසය කරනවා. ඒ වගේම ඔහු තවදුරටත් ඒ පිළිබඳව නිස්සරණයක් තියෙන බව අවබෝධ කරගන්නවා. එයම බහුල වශයෙන් කරන ඔහුට එයම වැටහෙනවා.
පින්වත් මහණෙනි, මෙහිලා සාරිපුත්ත මුළුමනින්ම ආකාසානඤ්චායතනය ඉක්මවා යෑමෙන්, ‘අනන්ත වූ විඤ්ඤාණය’ යැයි විඤ්ඤාණඤ්චා÷යතනය උපදවාගෙන වාසය කරනවා. එතකොට ඒ විඤ්ඤාණඤ්චායතනයෙහි යම් ධර්මයන් ඇද්ද, ඒ කියන්නේ විඤ්ඤාණඤ්චායතන සඤ්ඤාව ද, චිත්ත ඒකාග්‍රතාවය ද ඒ වගේම ස්පර්ශය, වේදනා, සඤ්ඤා, චේතනා, චිත්ත, ඡන්ද, අධිමෝක්ෂ, විරිය, සිහිය, උපේක්ෂා, මනසිකාර යන යමක් ඇද්ද, සාරිපුත්තයන් තුළ ඒ ධර්මයන් අනුපිළිවෙලින් විමසීමෙන් ලත් අවබෝධයක් තියෙනවා. එනිසා සාරිපුත්තයන් තුළ ඒ ධර්මයන් ඇතිවන්නේ ප්‍රකටවමයි. ඒවා පවතින්නෙත් ප්‍රකටවමයි. ඒවා නැති වී යන්නෙත් ප්‍රකටවමයි. එතකොට ඔහු මේ විදිහටයි එය දැනගන්නේ. ‘මා තුළ මේ ධර්මයන් මේ ආකාරයෙන් පැවැත්මකට සකස් නොවී හටගන්නවා. හටගෙන නිරුද්ධ වෙලා යනවා’ කියලා. ඉතින් ඔහු ඒ ධර්මයන් තුළ බැසගන්නෙ නෑ. නොබැස ගන්නා නිසා ඇසුරු කරන්නේ නෑ. ඇසුරු නොකරන නිසා එයට බැඳෙන්නෙ නෑ. නොබැඳෙන නිසා මනාකොට නිදහස් වෙනවා. එතකොට ඒ කිසිවකට නොඇලී, සීමාවලට හසු නොවුන සිතින් වාසය කරනවා. ඒ වගේම ඔහු තවදුරටත් ඒ පිළිබඳව නිස්සරණයක් තියෙන බව අවබෝධ කරගන්නවා. එයම බහුල වශයෙන් කරන ඔහුට එයම වැටහෙනවා.
පින්වත් මහණෙනි, මෙහිලා සාරිපුත්ත මුළුමනින්ම විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා යෑමෙන්, ‘කිසිවක් නැත’ යැයි ආකිඤ්චඤ්ඤායතනය උපදවාගෙන වාසය කරනවා. එතකොට ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි යම් ධර්මයන් ඇද්ද, ඒ කියන්නේ ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාවද, චිත්ත ඒකාග්‍රතාවයද, ඒ වගේම ස්පර්ශය, වේදනා, සඤ්ඤා, චේතනා, චිත්ත, ඡන්ද, අධිමෝක්ෂ, විරිය, සිහිය, උපේක්ෂා, මනසිකාර යන යමක් ඇද්ද, සාරිපුත්තයන් තුළ ඒ ධර්මයන් අනුපිළිවෙලින් විමසීමෙන් ලත් අවබෝධයක් තියෙනවා. එනිසා සාරිපුත්තයන් තුළ ඒ ධර්මයන් ඇතිවන්නේ ප්‍රකටවමයි. ඒවා පවතින්නෙත් ප්‍රකටවමයි. ඒවා නැති වී යන්නෙත් ප්‍රකටවමයි. එතකොට ඔහු මේ විදිහටයි එය දැනගන්නේ. ‘මා තුළ මේ ධර්මයන් මේ ආකාරයෙන් පැවැත්මකට සකස් නොවී හටගන්නවා. හටගෙන නිරුද්ධ වෙලා යනවා’ කියලා. ඉතින් ඔහු ඒ ධර්මයන් තුළ බැස ගන්නෙ නෑ. නොබැස ගන්නා නිසා ඇසුරු කරන්නේ නෑ. ඇසුරු නොකරන නිසා එයට බැඳෙන්නෙ නෑ. නොබැඳෙන නිසා මනාකොට නිදහස් වෙනවා. එතකොට ඒ කිසිවකට නොඇලී, සීමාවලට හසු නොවුන සිතින් වාසය කරනවා. ඒ වගේම ඔහු තවදුරටත් ඒ පිළිබඳව නිස්සරණයක් තියෙන බව අවබෝධ කරගන්නවා. එයම බහුල වශයෙන් කරන ඔහුට එයම වැටහෙනවා.
පින්වත් මහණෙනි, මෙහිලා සාරිපුත්ත මුළුමනින්ම ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා යෑමෙන්, නේවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවාගෙන වාසය කරනවා. ඔහු ඒ සමාපත්තියෙන් නැගිටින්නේ සිහියෙන් යුක්තවමයි. ඉතින් ඔහු සිහියෙන් යුක්තව ඒ සමාපත්තියෙන් නැගිට, යම් ධර්මයක් අතීතයට ගියාද, නිරුද්ධ වුනාද, වෙනස්ව ගියාද, ඒවා නුවණින් මෙනෙහි කරනවා. ‘මා තුළ මේ ධර්මයන් මේ ආකාරයෙන් පැවැත්මකට සකස් නොවී හටගන්නවා. හටගෙන නිරුද්ධ වෙලා යනවා’ කියලා. ඉතින් ඔහු ඒ ධර්මයන් තුළ බැසගන්නෙ නෑ. නොබැස ගන්නා නිසා ඇසුරු කරන්නේ නෑ. ඇසුරු නොකරන නිසා එයට බැඳෙන්නෙ නෑ. නොබැඳෙන නිසා මනාකොට නිදහස් වෙනවා. එතකොට ඒ කිසිවකට නොඇලී, සීමාවලට හසු නොවුන සිතින් වාසය කරනවා. ඒ වගේම ඔහු තවදුරටත් ඒ පිළිබඳව නිස්සරණයක් තියෙන බව අවබෝධ කරගන්නවා. එයම බහුල වශයෙන් කරන ඔහුට එයම වැටහෙනවා.
පින්වත් මහණෙනි, මෙහිලා සාරිපුත්ත මුළුමනින්ම නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා යෑමෙන්, සඤ්ඤා වේදයිත නිරෝධයට පැමිණ වාසය කරනවා. ප්‍රඥාවෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ කොට ආශ්‍රවයන් ක්ෂය කරලත් තියෙනවා. ඉතින් ඔහු ඒ සමාපත්තියෙන් නැගිටින්නේ සිහියෙන් යුක්තවමයි. ඉතින් ඔහු සිහියෙන් යුක්තව ඒ සමාපත්තියෙන් නැගිට, යම් ධර්මයක් අතීතයට ගියාද, නිරුද්ධ වුනාද, වෙනස්ව ගියාද, ඒවා නුවණින් මෙනෙහි කරනවා. ‘මා තුළ මේ ධර්මයන් මේ ආකාරයෙන් පැවැත්මකට සකස් නොවී හටගන්නවා. හටගෙන නිරුද්ධ වෙලා යනවා’ කියලා. ඉතින් ඔහු ඒ ධර්මයන් තුළ බැසගන්නෙ නෑ. නොබැස ගන්නා නිසා ඇසුරු කරන්නේ නෑ. ඇසුරු නොකරන නිසා එයට බැඳෙන්නෙ නෑ. නොබැඳෙන නිසා මනාකොට නිදහස් වෙනවා. එතකොට ඒ කිසිවකට නොඇලී, සීමාවලට හසු නොවුන සිතින් වාසය කරනවා. ඒ වගේම ඔහු තවදුරටත් ඒ පිළිබඳව වෙන නිස්සරණයක් නැතිබව අවබෝධ කරගන්නවා. එයම බහුල වශයෙන් කිරීම තුළ කරන්නට වෙනත් දෙයක් නැති බවත් ඔහුට වැටහෙනවා.
පින්වත් මහණෙනි, ආර්ය වූ සීලස්කන්ධයෙහි බොහෝ කල් වශීභාවයට පත්කොට පාරමීභාවයට පත්කොට තිබෙයි කියා, ඒ වගේම ආර්ය වූ සමාධිස්කන්ධයෙහි බොහෝ කල් වශීභාවයට පත්කොට පාරමීභාවයට පත්කොට තිබෙයි කියා, ඒ වගේම ආර්ය වූ ප්‍රඥාස්කන්ධයෙහි බොහෝ කල් වශීභාවයට පත්කොට පාරමීභාවයට පත්කොට තිබෙයි කියා, ඒ වගේම ආර්ය වූ විමුක්තියෙහි බොහෝ කල් වශීභාවයට පත්කොට පාරමීභාවයට පත්කොට තිබෙයි කියා, යමෙක් ගැන මනාකොට කියන්නේ නම්, එසේ මනාකොට කියන්නේ සාරිපුත්තයන් ගැනමයි. ආර්ය වූ සීලස්කන්ධයෙහි වශීප්‍රාප්තව, පාරමීප්‍රාප්ත වුනෙත්, ආර්ය වූ සමාධිස්කන්ධයෙහි වශීප්‍රාප්තව, පාරමීප්‍රාප්ත වුනෙත්, ආර්ය වූ ප්‍රඥාස්කන්ධයෙහි වශීප්‍රාප්තව, පාරමීප්‍රාප්ත වුනෙත්, ආර්ය වූ විමුක්තියෙහි වශීප්‍රාප්තව, පාරමීප්‍රාප්ත වුනෙත් සාරිපුත්තයන් ම යි.
ඒ වගේම පින්වත් මහණෙනි, භාග්‍යවතුන් වහන්සේගේ අනුජාත පුත්‍රරත්නය, ලය මඬලෙහි උපන් පුත්‍රරත්නය, මුවින් පහළ වූ පුත්‍රරත්නය, ධර්මයෙන් හටගත්, ධර්මයෙන් නිර්මිත වූ, ධර්ම දායාදය වූ, ආමිස දායාද නොවූ පුත්‍රරත්නය යැයි කියා යම් කෙනෙකුට කියයි නම් එය මනාකොට පවසන්නේ සාරිපුත්තයන් ගැනමයි. භාග්‍යවතුන් වහන්සේගේ ලය මඬලෙහි උපන්, මුවින් පහළ වූ, ධර්මයෙන් උපන්, ධර්මයෙන් නිර්මිත, ධර්ම දායාදය වූ, ආමිස දායාදය නොවූ පුත්‍රයා වනාහී සාරිපුත්තයන්මය.
පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් ප්‍රවර්තනය කරන අනුත්තර වූ ධර්ම චක්‍රය මනාකොට ඒ අනුවම ප්‍රවර්තනය කරන්නේ සාරිපුත්තයන් ය.
භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ භික්ෂූන් වහන්සේලා ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
අනුපිළිවෙලින් දියුණු කළ ධර්මය ගැන වදාළ දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M