මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේළුවනයෙහි ය. එදා වච්ඡගොත්ත පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතා කොට නිමවා, එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වුන වච්ඡගොත්ත පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.
“මං භවත් ගෞතමයන් වහන්සේ සමඟ මේ කතා කළේ බොහෝ කාලයකට පස්සෙයි. භවත් ගෞතමයන් වහන්සේ මට කුසල් සහ අකුසල් පිළිබඳව කෙටියෙන් දේශනා කරන සේක් නම් ඉතා මැනව.”
“පින්වත් වච්ඡය, මා කුසල් සහ අකුසල් පිළිබඳව කෙටියෙන් වුනත් කියා දෙනවා. ඒ වගේ ම වච්ඡය, කුසල් සහ අකුසල් පිළිබඳව විස්තරාත්මකව වුනත් කියා දෙනවා. කෙසේ වෙතත් මං පින්වත් වච්ඡය, ඔබට කුසල් අකුසල් පිළිබඳව කෙටියෙන් කියා දෙන්නම්. එය සවන් යොමා අසන්න. මැනවින් මෙනෙහි කරන්න. කියා දෙන්නම්.”
“එසේය භවත” කියා වච්ඡගොත්ත පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.
“පින්වත් වච්ඡය, ලෝභය යනු අකුසලය යි. අලෝභය යනු කුසලය යි. පින්වත් වච්ඡය, ද්වේෂය යනු අකුසලය යි. අද්වේෂය යනු කුසලය යි. පින්වත් වච්ඡය, මෝහය යනු අකුසලය යි. අමෝහය යනු කුසලය යි. එතකොට පින්වත් වච්ඡය, ඔය විදිහට මේ දේවල් තුනක් අකුසල්. මේ දේවල් තුනක් කුසල්.
පින්වත් වච්ඡය, සතුන් මැරීම අකුසලය යි. සතුන් මැරීමෙන් වැළකී සිටීම කුසලය යි. පින්වත් වච්ඡය, සොරකම් කිරීම අකුසලය යි. සොරකමින් වැළකී සිටීම කුසලය යි. පින්වත් වච්ඡය, වැරදි කාම සේවනයෙහි යෙදීම අකුසලය යි. වැරදි කාම සේවනයෙන් වැළකී සිටීම කුසලය යි. පින්වත් වච්ඡය, බොරු කීම අකුසලය යි. බොරු කීමෙන් වැළකී සිටීම කුසලය යි. පින්වත් වච්ඡය, කේලාම් කීම අකුසලය යි. කේලාම් කීමෙන් වැළකී සිටීම කුසලය යි. පින්වත් වච්ඡය, ඵරුෂ වචන කීම අකුසලය යි. ඵරුෂ වචනයෙන් වැළකී සිටීම කුසලය යි. පින්වත් වච්ඡය, ලාමක හිස් වචන කීම අකුසලය යි. ලාමක හිස් වචනයෙන් වැළකී සිටීම කුසලය යි. පින්වත් වච්ඡය, අභිධ්‍යාව නම් වූ අනුන් සතු දෙයට ආශා කිරීම අකුසලය යි. අනුන් සතු දෙයට ආශා නො කිරීම කුසලය යි. පින්වත් වච්ඡය, ව්‍යාපාදය නම් වූ ද්වේෂයෙන් යුතුව සිටීම අකුසලය යි. ද්වේෂ නො කිරීම කුසලය යි. පින්වත් වච්ඡය, මිත්‍යා දෘෂ්ඨිය ඇතිව සිටීම අකුසලය යි. සම්මා දිට්ඨියෙන් යුතු වීම කුසලය යි.
එතකොට පින්වත් වච්ඡය, ඔය විදිහට මේ දේවල් දහයක් අකුසල්. දහයක් කුසල්.
පින්වත් වච්ඡය, යම් කලෙක භික්ෂුව ගේ තෘෂ්ණාව ප්‍රහාණය වුනා නම්, මුලින් ම වැනසී ගියා නම්, මුදුන් කරටිය විනාශ වූ තල් ගසක් මෙන් වුනා නම්, අභාවයට ගියා නම්, නැවත නූපදන ස්වභාවයට පත් වුනා නම්, අන්න ඒ භික්ෂුව රහතන් වහන්සේ නමක්. ඒ භික්ෂුව ක්ෂීණාශ්‍රව කෙනෙක්. බඹසර වැස නිම වූ කෙනෙක්. කළ යුතු දෙය කළ කෙනෙක්. කෙලෙස් බර බැහැර කළ කෙනෙක්. අනුපිළිවෙලින් යහපතට පත් වූ කෙනෙක්. භව සංයෝජනය ක්ෂය වූ කෙනෙක්. අවබෝධයෙන් යුක්තව විමුක්තියට පත් වූ කෙනෙක්.”
“එසේ වී නම් භවත් ගෞතමයන් වහන්සේ වැඩ සිටින සේක්වා! භවත් ගෞතමයන් වහන්සේ හැර භවත් ගෞතමයන් වහන්සේ ගේ ශ්‍රාවක වූ එක් භික්ෂුවක් හෝ ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙහි දී ම තමන් ගේ විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කොට පැමිණ වාසය කරනවා ද?”
“පින්වත් වච්ඡය, මා ගේ ශ්‍රාවක වූ යම් භික්ෂූන් වහන්සේලා ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙහි දී ම තමන් ගේ විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කොට පැමිණ වාසය කරනවා නම් එබඳු භික්ෂූන් වහන්සේලා සියක් නමක් නොවේ, දෙසිය නමක් නොවේ, තුන්සිය නමක් නොවේ, හාරසිය නමක් නොවේ, පන්සිය නමක් නොවේ, තව ඉතා බොහෝ භික්ෂූන් වහන්සේලා ඉන්නවා.”
“එසේ වී නම් භවත් ගෞතමයන් වහන්සේ වැඩ සිටින සේක්වා! භික්ෂූන් වහන්සේලා ද පසෙක සිටිත්වා! භවත් ගෞතමයන් වහන්සේ ගේ ශ්‍රාවක වූ එක් භික්ෂුණියක් හෝ ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙහි දී ම තමන් ගේ විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කොට පැමිණ වාසය කරන්නී ද?”
“පින්වත් වච්ඡය, මා ගේ ශ්‍රාවක වූ යම් භික්ෂුණීන් වහන්සේලා ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙහි දී ම තමන් ගේ විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කොට පැමිණ වාසය කරනවා නම් එබඳු භික්ෂුණීන් සියක් නමක් නොවේ, දෙසිය නමක් නොවේ, තුන්සිය නමක් නොවේ, හාරසිය නමක් නොවේ, පන්සිය නමක් නොවේ, තව ඉතා බොහෝ භික්ෂුණීන් ඉන්නවා.”
“එසේ වී නම් භවත් ගෞතමයන් වහන්සේ වැඩ සිටින සේක්වා! භික්ෂූන් වහන්සේලා ද පසෙක සිටිත්වා! භික්ෂුණීන් වහන්සේලා ද පසෙක සිටිත්වා! භවත් ගෞතමයන් වහන්සේ ගේ ශ්‍රාවක වූ ගිහි ගෙයි වසමින් සුදු වත් හඳිමින් බ්‍රහ්මචාරීව සිටින එක් උපාසකයෙක් හෝ ඕරම්භාගීය සංයෝජන දුරු කොට ඕපපාතිකව සුද්ධාවාස බඹලොව ඉපිද නැවත පෙරලා මෙලොවට නො එන ස්වභාවයෙන් යුතුව එහිම පිරිනිවන් පානවා නම් එබඳු වූ ගිහි උපාසක කෙනෙක් සිටී ද?”
“පින්වත් වච්ඡය, මා ගේ ශ්‍රාවක වූ ගිහි ගෙයි වසමින් සුදු වත් හඳිමින් බ්‍රහ්මචාරීව සිටින යම් උපාසක පින්වතුන් ඕරම්භාගීය සංයෝජන දුරු කොට ඕපපාතිකව සුද්ධාවාස බඹලොව ඉපිද නැවත පෙරලා මෙලොවට නො එන ස්වභාවයෙන් යුතුව එහිම පිරිනිවන් පානවා නම්, එබඳු වූ උපාසක පින්වතුන් සිය දෙනෙක් නොවේ, දෙසිය දෙනෙක් නොවේ, තුන්සිය දෙනෙක් නොවේ, හාරසිය දෙනෙක් නොවේ, පන්සිය දෙනෙක් නොවේ, තව ඉතා බොහෝ උපාසක පින්වතුන් ඉන්නවා.”
“එසේ වී නම් භවත් ගෞතමයන් වහන්සේ වැඩ සිටින සේක්වා! භික්ෂූන් වහන්සේලා ද පසෙක සිටිත්වා! භික්ෂුණීන් වහන්සේලා ද පසෙක සිටිත්වා! ගිහිව වසමින් සුදු වත් දරා බ්‍රහ්මචාරීව සිටින උපාසක පින්වතුන් පසෙක සිටිත්වා! ගිහි ගෙයි වසමින් සුදු වත් හඳිමින් බ්‍රහ්මචාරිනීව සිටින උපාසිකාවන් ද පසෙක සිටිත්වා! භවත් ගෞතමයන් වහන්සේ ගේ ශ්‍රාවක වූ ගිහි ගෙයි වසමින් සුදු වත් හඳිමින් විවාහ ජීවිත ගෙවන එක් උපාසක පින්වතෙක් හෝ ශාසන ධර්මයෙහි යෙදෙනවා නම්, අවවාදයට අනුව වාසය කරනවා නම්, සැකයෙන් එතෙර සිටී නම්, ‘කෙසේද කෙසේද’ යන අවිනිශ්චිත බව දුරු කොට සිටී නම්, ශාස්තෘ ශාසනයෙහි විශාරද බවට පත්ව බාහිර උපකාර රහිතව සිටී නම් එබඳු වූ ගිහි උපාසක පින්වතෙක් සිටී ද?”
“පින්වත් වච්ඡය, මාගේ ශ්‍රාවක වූ ගිහි ගෙයි වසමින් සුදු වත් හඳිමින් විවාහ ජීවිත ගෙවන උපාසක පින්වතුන් ශාසන ධර්මයෙහි යෙදෙනවා නම්, අවවාදයට අනුව වාසය කරනවා නම්, සැකයෙන් එතෙර සිටිනවා නම්, ‘කෙසේද කෙසේද’ යන අවිනිශ්චිත බව දුරු කොට සිටිනවා නම්, ශාස්තෘ ශාසනයෙහි විශාරද බවට පත්ව බාහිර උපකාර රහිතව සිටිනවා නම්, එබඳු වූ උපාසක පින්වතුන් සිය දෙනෙක් නොවේ, දෙසිය දෙනෙක් නොවේ, තුන්සිය දෙනෙක් නොවේ, හාරසිය දෙනෙක් නොවේ, පන්සිය දෙනෙක් නොවේ, තව ඉතා බොහෝ උපාසක පින්වතුන් ඉන්නවා.”
“එසේ වී නම් භවත් ගෞතමයන් වහන්සේ වැඩ සිටින සේක්වා! භික්ෂූන් වහන්සේලා ද පසෙක සිටිත්වා! භික්ෂුණීන් වහන්සේලා ද පසෙක සිටිත්වා! ගිහිව වසමින් සුදු වත් දරා බ්‍රහ්මචාරීව සිටින උපාසක පින්වතුන් පසෙක සිටිත්වා! ගිහි ගෙයි වසමින් සුදු වත් හඳිමින් විවාහ ජීවිත ගෙවන උපාසක පින්වතුන් පසෙක සිටීවා! භවත් ගෞතමයන් වහන්සේ ගේ ශ්‍රාවක වූ ගිහි ගෙයි වසමින් සුදු වත් හඳිමින් බ්‍රහ්මචාරිනීව සිටින එක් උපාසිකාවක් හෝ ඕරම්භාගීය සංයෝජන දුරු කොට ඕපපාතිකව සුද්ධාවාස බඹලොව ඉපිද නැවත පෙරලා මෙලොවට නො එන ස්වභාවයෙන් යුතුව එහිම පිරිනිවන් පාන්නී නම් එබඳු වූ ගිහි උපාසිකාවක් සිටී ද?”
“පින්වත් වච්ඡය, මා ගේ ශ්‍රාවිකා වූ ගිහි ගෙයි වසමින් සුදු වත් හඳිමින් බ්‍රහ්මචාරිනීව සිටින යම් උපාසිකාවන් ඕරම්භාගීය සංයෝජන දුරු කොට ඕපපාතිකව සුද්ධාවාස බඹලොව ඉපිද නැවත පෙරලා මෙලොවට නො එන ස්වභාවයෙන් යුතුව එහිම පිරිනිවන් පානවා නම්, එබඳු වූ උපාසිකාවන් සිය දෙනෙක් නොවේ, දෙසිය දෙනෙක් නොවේ, තුන්සිය දෙනෙක් නොවේ, හාරසිය දෙනෙක් නොවේ, පන්සිය දෙනෙක් නොවේ, තව ඉතා බොහෝ උපාසිකාවන් ඉන්නවා.”
“එසේ වී නම් භවත් ගෞතමයන් වහන්සේ වැඩ සිටින සේක්වා! භික්ෂූන් වහන්සේලා ද පසෙක සිටිත්වා! භික්ෂුණීන් වහන්සේලා ද පසෙක සිටිත්වා! ගිහිව වසමින් සුදු වත් දරා බ්‍රහ්මචාරීව සිටින උපාසක පින්වතුන් පසෙක සිටිත්වා! ගිහි ගෙයි වසමින් සුදු වත් හඳිමින් විවාහ ජීවිත ගෙවන උපාසක පින්වතුන් පසෙක සිටිත්වා! ගිහි ගෙයි වසමින් සුදු වත් හඳිමින් බ්‍රහ්මචාරිනීව සිටින උපාසිකාවන් ද පසෙක සිටිත්වා!
භවත් ගෞතමයන් වහන්සේ ගේ ශ්‍රාවිකා වූ ගිහි ගෙයි වසමින් සුදු වත් හඳිමින් විවාහ ජීවිත ගෙවන එක් උපාසිකාවක් හෝ ශාසන ධර්මයෙහි යෙදෙන්නී නම්, අවවාදයට අනුව වාසය කරන්නී නම්, සැකයෙන් එතෙර සිටින්නී නම්, ‘කෙසේද කෙසේද’ යන අවිනිශ්චිත බව දුරු කොට සිටින්නී නම්, ශාස්තෘ ශාසනයෙහි විශාරද බවට පත්ව බාහිර උපකාර රහිතව සිටින්නී නම් එබඳු වූ ගිහි උපාසිකාවක් සිටින්නී ද?”
“පින්වත් වච්ඡය, මාගේ ශ්‍රාවිකා වූ ගිහි ගෙයි වසමින් සුදු වත් හඳිමින් විවාහ ජීවිත ගෙවන උපාසිකාවන් ශාසන ධර්මයෙහි යෙදෙනවා නම්, අවවාදයට අනුව වාසය කරනවා නම්, සැකයෙන් එතෙර සිටිනවා නම්, ‘කෙසේද කෙසේද’ යන අවිනිශ්චිත බව දුරු කොට සිටිනවා නම්, ශාස්තෘ ශාසනයෙහි විශාරද බවට පත්ව බාහිර උපකාර රහිතව සිටිනවා නම්, එබඳු වූ උපාසිකාවන් සිය දෙනෙක් නොවේ, දෙසිය දෙනෙක් නොවේ, තුන්සිය දෙනෙක් නොවේ, හාරසිය දෙනෙක් නොවේ, පන්සිය දෙනෙක් නොවේ, තව ඉතා බොහෝ උපාසිකාවන් ඉන්නවා.”
“භවත් ගෞතමයන් වහන්ස, යම්හෙයකින් මේ ධර්මය භවත් ගෞතමයන් වහන්සේ පමණක් අවබෝධ කොට වැඩ සිටිනවා නම්, භික්ෂූන් වහන්සේලා අවබෝධ නො කොට සිටිනවා නම්, මෙසේ මේ නිවන් මග ඒ අංගයෙන් අසම්පූර්ණ යි. නමුත් භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් භවත් ගෞතමයන් වහන්සේත් මේ ධර්මය අවබෝධ කොට වැඩසිටිත් ද, එසෙයින් ම භික්ෂූන් වහන්සේලා ත් අවබෝධ කොට වැඩසිටිත් ද, මෙසේ මේ නිවන් මඟ ඒ අංගයෙන් සම්පූර්ණ යි.
භවත් ගෞතමයන් වහන්ස, යම්හෙයකින් මේ ධර්මය භවත් ගෞතමයන් වහන්සේ පමණක් අවබෝධ කොට වැඩ සිටිනවා නම්, භික්ෂූන් වහන්සේලා ද අවබෝධ කොට සිටිනවා නම්, නමුත් භික්ෂුණීන් වහන්සේලා අවබෝධ කොට නො සිටිනවා නම්, මෙසේ මේ නිවන් මග ඒ අංගයෙන් අසම්පූර්ණ යි. එහෙත් භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් භවත් ගෞතමයන් වහන්සේත් මේ ධර්මය අවබෝධ කොට වැඩසිටිත් ද, එසෙයින් ම භික්ෂූන් වහන්සේලා ත් අවබෝධ කොට වැඩසිටිත් ද, එසෙයින් ම භික්ෂුණීන් වහන්සේලා ත් අවබෝධ කොට වැඩසිටිත් ද, මෙසේ මේ නිවන් මඟ ඒ අංගයෙනුත් සම්පූර්ණ යි.
භවත් ගෞතමයන් වහන්ස, යම්හෙයකින් මේ ධර්මය භවත් ගෞතමයන් වහන්සේ පමණක් අවබෝධ කොට වැඩ සිටිනවා නම්, භික්ෂූන් වහන්සේලා ද අවබෝධ කොට සිටිනවා නම්, භික්ෂුණීන් වහන්සේලා ද අවබෝධ කොට සිටිනවා නම්, එසේ නමුත් ගිහි ගෙදර සිටින සුදු වත් හැඳ බ්‍රහ්මචාරීව සිටින උපාසක පින්වතුන් මේ ධර්මය අවබෝධ කොට නො සිටිනවා නම්, මෙසේ මේ නිවන් මග ඒ අංගයෙන් අසම්පූර්ණ යි. එහෙත් භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් භවත් ගෞතමයන් වහන්සේත් මේ ධර්මය අවබෝධ කොට වැඩසිටිත් ද, එසෙයින් ම භික්ෂූන් වහන්සේලා ත් අවබෝධ කොට වැඩසිටිත් ද, එසෙයින් ම භික්ෂුණීන් වහන්සේලා ත් අවබෝධ කොට වැඩසිටිත් ද, ගිහි ගෙදර සිටින සුදු වත් හැඳ බ්‍රහ්මචාරීව සිටින උපාසක පින්වතුන් මේ ධර්මය අවබෝධ කොට සිටිත් ද, මෙසේ මේ නිවන් මඟ ඒ අංගයෙනුත් සම්පූර්ණයි.
භවත් ගෞතමයන් වහන්ස, යම්හෙයකින් මේ ධර්මය භවත් ගෞතමයන් වහන්සේ පමණක් අවබෝධ කොට වැඩ සිටිනවා නම්, භික්ෂූන් වහන්සේලා ද අවබෝධ කොට සිටිනවා නම්, භික්ෂුණීන් වහන්සේලා ද අවබෝධ කොට සිටිනවා නම්, ගිහි ගෙදර සිටින සුදු වත් හැඳ බ්‍රහ්මචාරීව සිටින උපාසක පින්වතුන් මේ ධර්මය අවබෝධ කොට සිටිනවා නම්, එසේ නමුත් ගිහි ගෙදර සිටින සුදු වත් හැඳ විවාහ ජීවිත ගෙවන උපාසක පින්වතුන් මේ ධර්මය අවබෝධ කොට නො සිටිනවා නම්, මෙසේ මේ නිවන් මග ඒ අංගයෙන් අසම්පූර්ණ යි.
එහෙත් භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් භවත් ගෞතමයන් වහන්සේත් මේ ධර්මය අවබෝධ කොට වැඩසිටිත් ද, එසෙයින් ම භික්ෂූන් වහන්සේලා ත් අවබෝධ කොට වැඩසිටිත් ද, එසෙයින් ම භික්ෂුණීන් වහන්සේලා ත් අවබෝධ කොට වැඩසිටිත් ද, ගිහි ගෙදර සිටින සුදු වත් හැඳ බ්‍රහ්මචාරීව සිටින උපාසක පින්වතුන් මේ ධර්මය අවබෝධ කොට සිටිත් ද, ගිහි ගෙදර සිටින සුදු වත් හැඳ විවාහ ජීවිත ගෙවන උපාසක පින්වතුනුත් මේ ධර්මය අවබෝධ කොට සිටිත් ද, මෙසේ මේ නිවන් මඟ ඒ අංගයෙනුත් සම්පූර්ණ යි.
භවත් ගෞතමයන් වහන්ස, යම්හෙයකින් මේ ධර්මය භවත් ගෞතමයන් වහන්සේ පමණක් අවබෝධ කොට වැඩ සිටිනවා නම්, භික්ෂූන් වහන්සේලා ද අවබෝධ කොට සිටිනවා නම්, භික්ෂුණීන් වහන්සේලා ද අවබෝධ කොට සිටිනවා නම්, ගිහි ගෙදර සිටින සුදු වත් හැඳ බ්‍රහ්මචාරීව සිටින උපාසක පින්වතුන් මේ ධර්මය අවබෝධ කොට සිටිනවා නම්, ගිහි ගෙදර සිටින සුදු වත් හැඳ විවාහ ජීවිත ගෙවන උපාසක පින්වතුනුත් මේ ධර්මය අවබෝධ කොට සිටිනවා නම්, එසේ නමුත් ගිහි ගෙදර සිටින සුදු වත් හැඳ බ්‍රහ්මචාරිනීව සිටින උපාසිකාවන් මේ ධර්මය අවබෝධ නො කොට සිටිනවා නම් මෙසේත් මේ නිවන් මග ඒ අංගයෙන් අසම්පූර්ණ යි.
එහෙත් භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් භවත් ගෞතමයන් වහන්සේත් මේ ධර්මය අවබෝධ කොට වැඩසිටිත් ද, එසෙයින් ම භික්ෂූන් වහන්සේලා ත් අවබෝධ කොට වැඩසිටිත් ද, එසෙයින් ම භික්ෂුණීන් වහන්සේලා ත් අවබෝධ කොට වැඩසිටිත් ද, ගිහි ගෙදර සිටින සුදු වත් හැඳ බ්‍රහ්මචාරීව සිටින උපාසක පින්වතුන් මේ ධර්මය අවබෝධ කොට සිටිත් ද, ගිහි ගෙදර සිටින සුදු වත් හැඳ විවාහ ජීවිත ගෙවන උපාසක පින්වතුනුත් මේ ධර්මය අවබෝධ කොට සිටිත් ද, ගිහි ගෙදර සිටින සුදු වත් හැඳ බ්‍රහ්මචාරිනීව සිටින උපාසිකාවන් මේ ධර්මය අවබෝධ කොට සිටිත් ද, මෙසේ මේ නිවන් මඟ ඒ අංගයෙනුත් සම්පූර්ණ යි.
භවත් ගෞතමයන් වහන්ස, යම්හෙයකින් මේ ධර්මය භවත් ගෞතමයන් වහන්සේ පමණක් අවබෝධ කොට වැඩ සිටිනවා නම්, භික්ෂූන් වහන්සේලා ද අවබෝධ කොට සිටිනවා නම්, භික්ෂුණීන් වහන්සේලා ද අවබෝධ කොට සිටිනවා නම්, ගිහි ගෙදර සිටින සුදු වත් හැඳ බ්‍රහ්මචාරීව සිටින උපාසක පින්වතුන් මේ ධර්මය අවබෝධ කොට සිටිනවා නම්, ගිහි ගෙදර සිටින සුදු වත් හැඳ විවාහ ජීවිත ගෙවන උපාසක පින්වතුන් මේ ධර්මය අවබෝධ කොට සිටිනවා නම්, ගිහි ගෙදර සිටින සුදු වත් හැඳ බ්‍රහ්මචාරිනීව සිටින උපාසිකාවන් මේ ධර්මය අවබෝධ කොට සිටිනවා නම්, එසේ නමුත් ගිහි ගෙදර සිටින සුදු වත් හැඳ විවාහ ජීවිත ගෙවන උපාසිකාවනුත් මේ ධර්මය අවබෝධ නො කොට සිටිනවා නම්, මෙසේත් මේ නිවන් මග ඒ අංගයෙන් අසම්පූර්ණ යි.
එහෙත් භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් භවත් ගෞතමයන් වහන්සේත් මේ ධර්මය අවබෝධ කොට වැඩසිටිත් ද, එසෙයින් ම භික්ෂූන් වහන්සේලා ත් අවබෝධ කොට වැඩසිටිත් ද, එසෙයින් ම භික්ෂුණීන් වහන්සේලා ත් අවබෝධ කොට වැඩසිටිත් ද, ගිහි ගෙදර සිටින සුදු වත් හැඳ බ්‍රහ්මචාරීව සිටින උපාසක පින්වතුන් මේ ධර්මය අවබෝධ කොට සිටිත් ද, ගිහි ගෙදර සිටින සුදු වත් හැඳ විවාහ ජීවිත ගෙවන උපාසක පින්වතුන් මේ ධර්මය අවබෝධ කොට සිටිත් ද, ගිහි ගෙදර සිටින සුදු වත් හැඳ බ්‍රහ්මචාරිනීව සිටින උපාසිකාවනුත් මේ ධර්මය අවබෝධ කොට සිටිත් ද, ගිහි ගෙදර සිටින සුදු වත් හැඳ විවාහ ජීවිත ගෙවන උපාසිකාවනුත් මේ ධර්මය අවබෝධ කොට සිටිත් ද මෙසේ මේ නිවන් මඟ ඒ අංගයෙනුත් සම්පූර්ණ යි.
භවත් ගෞතමයන් වහන්ස, ගංගා නදිය සාගරය දෙසට ම නැමිලා, සාගරය දෙසට ම නැඹුරු වෙලා, සාගරය දෙසට ම බරවෙලා මහා සයුරෙහි හැපී එය හා එක්වී සිටී ද, අන්න ඒ වගේ ම යි භවත් ගෞතමයන් වහන්සේ ගේ ගිහි පැවිදි ශ්‍රාවක පිරිස නිවනට නැමිලා, නිවනට නැඹුරු වෙලා, නිවනට බරවෙලා, ඒ අමා නිවනෙහි හැපී එය හා එක්වෙලයි සිටින්නේ. භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත යි. ….(පෙ)…. ඒ මං භවත් ගෞතමයන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මය ත්, භික්ෂුසංඝයා ත් සරණ යනවා. භවත් ගෞතමයන් වහන්සේ සමීපයෙහි මා පැවිදි බව ත්, උපසම්පදාව ත් ලබන්නේ නම් කොයි තරම් දෙයක් ද!”
“පින්වත් වච්ඡය, යම් කෙනෙක් කලින් වෙන ආගමක ඉඳලා, මේ බුදු සසුනෙහි පැවිදි බව කැමති වෙනවා නම්, උපසම්පදාව කැමති වෙනවා නම්, ඒ තැනැත්තා සාර මාසයක් පිරිවෙස් වසන්නට ඕන. ඒ සිව් මස ඇවෑමෙන් ඔහු ගැන සතුටු සිත් ඇති භික්ෂූන් වහන්සේලා පැවිදි කරාවි. භික්ෂු භාවය පිණිස උපසම්පදා කරාවි. ඒ වගේ ම මෙහි ලා මා විසින් පුද්ගලයන් සතු විවිධ ස්වභාවය ද දැනගෙනයි ඉන්නෙ.”
“ඉදින් ස්වාමීනී, කලින් අන්‍යාගමිකව සිටි කෙනෙක් මේ බුදු සසුනෙහි පැවිදි බව කැමතිව, උපසම්පදාව කැමතිව සාර මාසයක් පිරිවෙස් වසනවා නම්, ඒ සාර මාසය ඇවෑමෙන් ඔහු ගැන සතුටු සිත් භික්ෂූන් වහන්සේලා ඔහුව පැවිදි කරනවා නම් භික්ෂු භාවය පිණිස උපසම්පදා කරනවා නම්, මම සතර අවුරුද්දක පරිවාස කාලයක් වුණත් ගෙවන්නට කැමතියි. ඒ සතර අවුරුද්ද ඇවෑවෙන් සතුටු සිත් ඇති භික්ෂූන් වහන්සේලා මාව පැවිදි කරන සේක්වා! භික්ෂු භාවය පිණිස උපසම්පදා කරන සේක්වා!”
ඉතින් වච්ඡගොත්ත පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිදි බව ලැබුවා. උපසම්පදාව ලැබුවා. එතකොට ආයුෂ්මත් වච්ඡගොත්තයන් වහන්සේ උපසම්පදාව ලබා නොබෝ කලකින්, උපසම්පදාව ලබා දෙසතියකින් පසු භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්නට පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වුන ආයුෂ්මත් වච්ඡගොත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, සේඛ ඤාණයකින්, සේඛ විද්‍යාවකින් යමක් අවබෝධ කළ යුතු ද, එය මා විසින් අවබෝධ කරගත්තා. භාග්‍යවතුන් වහන්සේ මට තවදුරටත් ධර්ම දේශනා කරන සේක්වා!”
“එසේ වී නම් පින්වත් වච්ඡ, ඔබ මේ ධර්ම දෙක තවදුරටත් වඩන්න. සමථය ත්, විදර්ශනාවත්. පින්වත් වච්ඡ, සමථය ත්, විදර්ශනාව ත් යන මේ ධර්ම දෙක ඔබ මත්තෙහි මැනවින් වැඩුවොත් අනේකධාතු ප්‍රතිවේධය පිණිස එය පවතීවි.
එතකොට පින්වත් වච්ඡ, ඒ ඔබ නොයෙක් ආකාර වූ ඉර්ධි ප්‍රාතිහාර්යය කරන්නට යම්තාක් කැමති වන්නේ නම්, ඒ කියන්නෙ, ‘මං තනි කෙනෙක් වගේ සිට බොහෝ ආකාර ඇතිකරගන්නවා. බොහෝ ආකාර ඇතිව සිට තනි කෙනෙක් වෙනවා. ඒ වගේ ම මං බිත්ති, පවුරු, පදනම් වල නො ගැටී ඉන් එහාට අහසින් යන්නා සේ යනවා. ඒ වගේ ම මං ජලයෙහි කිමිදෙන්නා සේ පොළොවෙහි කිමිදෙනවා. ඒ වගේ ම මං පොළොවෙහි සක්මන් කරන්නා සේ ජලයෙහිත් ඇවිදිනවා. ඒ වගේ ම මං කුරුල්ලෙක් අහසෙහි පියාඹන්නා සේ භාවනා ඉරියව්වෙන් අහසින් යනවා. ඒ වගේ ම මං මේසා මහා ඉර්ධිමත් මේසා මහානුභාව සම්පන්න සඳ හිරු පවා අතින් පිරිමදිනවා. ඒ වගේ ම බඹ ලොව දක්වා මේ ඉර්ධි ප්‍රාතිහාර්යයෙන් යුතු කයින් වසඟයෙහි පවත්වනවා’ කියල. ඒ ඒ ප්‍රාතිහාර්යයන් පිළිබඳව, ඒ ඒ කටයුත්ත පිළිබඳව දක්ෂභාවයට පත්වන්නට ඔබට පුළුවන්කම තියෙනවා.
එතකොට පින්වත් වච්ඡ, ඒ ඔබ කැමති වෙනවා නම්; ඒ කියන්නෙ ‘මං සාමාන්‍ය මිනිස් ඇසීම ඉක්මවා ගිය, ඉතා පිරිසිදු වූ දිව්‍යමය ශ්‍රවණයෙන් යුතුව දිව්‍ය වූ ත්, මානුෂික වූ ත්, දුර වූ ත්, ළඟ වූ ත් යම් දෙවැදෑරුම් ශබ්දයන් ඇද්ද, ඒවත් අසනවා’ කියල. මෙසේ ඒ ඒ දිව්‍ය ශ්‍රවණය පිළිබඳව, ඒ ඒ කටයුත්ත පිළිබඳව දක්ෂභාවයට පත්වන්නට ඔබට පුළුවන්කම තියෙනවා.
එතකොට පින්වත් වච්ඡ, ඒ ඔබ කැමති වෙනවා නම්; ‘මං බාහිර සත්වයන් ගේ බාහිර පුද්ගලයන් ගේ සිතේ ස්වභාවයන් මගේ සිතින් පිරිසිඳ දැන ගන්නවා කියා. ඒ කියන්නෙ, මං සරාගී සිත සරාගී සිතක් වශයෙන් දැනගන්නවා. මං වීතරාගී සිත වීතරාගී සිතක් වශයෙන් දැනගන්නවා. මං සදෝෂී සිත සදෝෂී සිතක් වශයෙන් දැනගන්නවා. මං වීතදෝෂී සිත වීතදෝෂී සිතක් වශයෙන් දැනගන්නවා. මං සමෝහී සිත සමෝහී සිතක් වශයෙන් දැනගන්නවා. මං වීතමෝහී සිත වීතමෝහී සිතක් වශයෙන් දැනගන්නවා. මං හැකිළුණු සිත හැකිළුණු සිතක් වශයෙන් දැනගන්නවා. මං විසිරුණු සිත විසුරුණු සිතක් වශයෙන් දැනගන්නවා. මං මහග්ගත සිත මහග්ගත සිතක් වශයෙන් දැනගන්නවා. මං අමහග්ගත සිත අමහග්ගත සිතක් වශයෙන් දැනගන්නවා. මං සඋත්තර සිත සඋත්තර සිතක් වශයෙන් දැනගන්නවා. මං අනුත්තර සිත අනුත්තර සිතක් වශයෙන් දැනගන්නවා. මං සමාහිත සිත සමාහිත සිතක් වශයෙන් දැනගන්නවා. මං අසමාහිත සිත අසමාහිත සිතක් වශයෙන් දැනගන්නවා. මං විමුත්ත සිත විමුත්ත සිතක් වශයෙන් දැනගන්නවා. මං අවිමුත්ත සිත අවිමුත්ත සිතක් වශයෙන් දැනගන්නවා. ඒ ඒ පරචිත්ත විජානනය පිළිබඳව, ඒ ඒ කටයුත්ත පිළිබඳව දක්ෂභාවයට පත්වන්නට ඔබට පුළුවන්කම තියෙනවා.
එතකොට පින්වත් වච්ඡ, ඒ ඔබ කැමති වෙනවා නම්; ‘මං නොයෙක් ආකාරයෙන් පෙර විසූ ජීවිත පිළිබඳව සිහි කරනවා. ඒ කියන්නෙ; එක ජාතියක්, ජාති දෙකක්, ජාති තුනක්, ජාති හතරක්, ජාති පහක්, ජාති දහයක්, ජාති විස්සක්, ජාති තිහක්, ජාති හතළිහක්, ජාති පනහක්, ජාති සීයක්, ජාති දහසක්, ජාති ලක්ෂයක්, ඒ වගේ ම නොයෙක් සංවට්ට කල්ප, නොයෙක් විවට්ට කල්ප, නොයෙක් සංවට්ට විවිට්ට කල්ප සිහි කරනවා. මං අසවල් තැන හිටියා, මෙබඳු නමින් හිටියා, මෙබඳු ගෝත්‍ර නාමයෙන් හිටියා, මෙබඳු හැඩරුවින් හිටියා, මෙබඳු ආහාර වැළඳුවා, මෙබඳු සැප දුක් වින්ඳා, මේ අයුරින් ජීවිතය අවසන් වුනා. ඒ මං එතනින් චුත වුනා. අසවල් තැන ඉපදුනා. අසවල් තැන හිටියා. මෙබඳු නමින් හිටියා, මෙබඳු ගෝත්‍ර නාමයෙන් හිටියා, මෙබඳු හැඩරුවින් හිටියා, මෙබඳු ආහාර වැළඳුවා, මෙබඳු සැප දුක් වින්ඳා, මේ අයුරින් ජීවිතය අවසන් වුනා. ඒ මං එතනින් චුත වුනා. මෙතන ඉපදුනා ආදී වශයෙන්. මෙසේ මං කරුණු සහිත ප්‍රධාන සිදුවීම් සහිතව නොයෙක් ආකාරයෙන් පෙර විසූ ජීවිත පිළිබඳව සිහිකරනවා’ කියල. ඒ ඒ පුබ්බේනිවාසානුස්සති ඤාණය පිළිබඳව, ඒ ඒ කටයුත්ත පිළිබඳව දක්ෂභාවයට පත්වන්නට ඔබට පුළුවන්කම තියෙනවා.
එතකොට පින්වත් වච්ඡ, ඒ ඔබ කැමති වෙනවා නම්; ‘මං සාමාන්‍ය මිනිසුන් ගේ දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින් චුත වෙන උපදින සත්වයන් දකිනවා කියල. ඒ කියන්නෙ; උසස් පහත්, ලස්සන කැත, සුගති දුගතිවල කර්මානුරූපව සත්වයන් උපදින හැටි දකිනවා. ‘අනේ, මේ භවත් සත්වයින් කයින් දුසිරිත් කරල, වචනින් දුසිරිත් කරල, මනසින් දුසිරිත් කරල, ආර්යයන් වහන්සේලාට අපහාස කරලා, මිත්‍යා දෘෂ්ටික වෙලා, මිත්‍යා දෘෂ්ටිකව කටයුතු කරමින් ඉඳල, කය බිඳී මැරුණට පස්සේ අපායෙ ඉපදිලා ඉන්නව. දුගතියෙ ඉපදිලා ඉන්නවා. විනිපාත කියන නිරයෙ ඉපදිලා ඉන්නවා’ කියල. ඒ වගේ ම ‘මේ භවත් සත්වයන් කයින් සුචරිතයේ යෙදිල, වචනයෙන් සුචරිතයේ යෙදිල, මනසින් සුචරිතයේ යෙදිල, ආර්යයන් වහන්සේලාට අපහාස නො කොට, සම්මා දිට්ඨිය ඇතුව ඉඳල, සම්මා දිට්ඨියෙන් යුක්ත ක්‍රියා වල යෙදිල, කය බිඳී මැරුණට පස්සේ සුගතිය කියන යහපත් ලෝකෙ ඉපදිලා ඉන්නවා’ කියල. මේ විදිහට සාමාන්‍ය මිනිසුන් ගේ දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින්, සත්වයන් චුත වෙන උපදින හැටි දකිනවා. උසස් පහත්, ලස්සන කැත, සුගති දුගති වල කර්මානුරූපව සත්වයන් උපදින හැටි දකිනවා කියල. ඒ චුතූපපාත ඤාණය පිළිබඳව, ඒ කටයුත්ත පිළිබඳව දක්ෂභාවයට පත්වන්නට ඔබට පුළුවන්කම තියෙනවා.
එතකොට පින්වත් වච්ඡ, ඒ ඔබ කැමති වෙනවා නම්; ‘මං ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මෙහි දී ම තමන් ගේ විශිෂ්ට වූ ඤාණයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරනවා කියල. ඒ ඒ ආශ්‍රවයන් ක්ෂය වීම පිළිබඳව, ඒ ඒ කටයුත්ත පිළිබඳව දක්ෂභාවයට පත්වන්නට ඔබට පුළුවන්කම තියෙනවා.”
ඉතින් අයුෂ්මත් වච්ඡගොත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළ අවවාදය සතුටින් පිළිගෙන අනුමෝදන්ව අසුනෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැදකුණු කොට නික්ම වැඩියා. ඊටපසු ආයුෂ්මත් වච්ඡගොත්තයන් වහන්සේ තනිව ම හුදෙකලා වුනා. අප්‍රමාදී වුනා. කෙලෙස් තවන වීරියෙන් යුතු වුනා. කාය ජීවිත දෙක්හි අපේක්ෂා රහිතව ධර්මයෙහි හැසිරෙද්දී, යම් උතුම් අර්ථයක් පිණිස කුල පුත්‍රයන් මනා කොට ගිහි ජීවිතය අත්හැර බුදු සසුනෙහි පැවිදි වෙද්ද, බඹසර ජීවිතයේ නිමාව වන ඒ උතුම් අරහත්වය මෙහි දී ම තමන් ගේ විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කළා. ‘ඉපදීම ක්ෂය වුනා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුත්ත කළා. මත්තෙහි කළ යුතු කිසිවක් නැතැ’යි අවබෝධ කරගත්තා. ඉතින් ආයුෂ්මත් වච්ඡගොත්තයන් වහන්සේ ද, රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වුනා.
ඒ දිනවල බොහෝ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්නට වඩිනවා. ඉතින් ආයුෂ්මත් වච්ඡගොත්තයන් වහන්සේ දුරින් ම වඩින්නා වූ ඒ භික්ෂූන් දැක්කා. දැක ඒ භික්ෂූන් වෙත පැමිණුනා. පැමිණ ඒ භික්ෂූන්ට මෙය පැවසුවා. “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, දැන් ඔබවහන්සේලා ඔය කෙහේ වඩින ගමන් ද?” “ප්‍රිය ආයුෂ්මත, අපි මේ භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්නට යි වඩින්නේ.” “අනේ, ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, එහෙම නම් මගේ වචනයෙන් නළල් තලය බිම තබා භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී පාද පද්මය වන්දනා කළ මැනැව. මෙසේ ද පැවසුව මැනැව. ‘ස්වාමීනී, වච්ඡගොත්ත භික්ෂුව නළල් තලය බිම තබා භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී පාද පද්මය වන්දනා කරයි. මෙසේ ත් කියයි. මා විසින් භාග්‍යවතුන් වහන්සේව හොඳින් සේවනය කරන ලද සේක. මා විසින් සුගතයන් වහන්සේව හොඳින් සේවනය කරන ලද සේක’ කියා.” “එසේය, ප්‍රිය ආයුෂ්මත” කියා ඒ භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් වච්ඡගොත්තයන් හට පිළිතුරු දුන්නා.
ඉතින් ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වුන ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළා. ‘ස්වාමීනී, වච්ඡගොත්ත භික්ෂුව නළල් තලය බිම තබා භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී පාද පද්මය වන්දනා කරයි. මෙසේ ත් කියයි. මා විසින් භාග්‍යවතුන් වහන්සේව හොඳින් සේවනය කරන ලද සේක. මා විසින් සුගතයන් වහන්සේව හොඳින් සේවනය කරන ලද සේක’ කියල.
“පින්වත් මහණෙනි, ඔය වච්ඡගොත්ත භික්ෂුව ගේ සිත මා විසින් කලින් ම මගේ සිතින් පිරිසිඳ දැක්කා. පින්වත් මහණෙනි, ඒ වච්ඡගොත්ත භික්ෂුව ත්‍රිවිද්‍යාලාභී කෙනෙක්. මහා ඉර්ධිමත්. මහානුභාවසම්පන්නයි. ඔය කාරණය දෙවිවරුත් මට දැනුම් දුන්නා. ‘ස්වාමීනී, වච්ඡගොත්ත භික්ෂුව ත්‍රිවිද්‍යාලාභී යි. මහා ඉර්ධිමත්, මහානුභාවසම්පන්න යි’ කියල.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙම දේශනය ඉතාම සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
වච්ඡගොත්ත පිරිවැජියාට වදාළ විස්තරාත්මක දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M