මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් පුර නිග්‍රෝධාරාමයෙහි ය. ඒ දිනවල කිඹුල්වත්පුර වාසී ශාක්‍යයන් විසින් අලුතින් රැස්වීම් ශාලාවක් කරවලා එතරම් කල් ගත වුනේ නෑ. ඒ වගේ ම ශ්‍රමණයෙකු විසින් වේවා, බ්‍රාහ්මණයෙකු විසින් වේවා, කිසියම් මිනිසෙකු විසින් වේවා තව ම පාවිච්චියට අරගෙනත් නෑ. එදා කිඹුල්වත්පුරවාසී ශාක්‍යවරුන් භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්නට පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වෙත ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වූ කිඹුල්වත්පුරවාසී ශාක්‍යවරුන් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා.
“ස්වාමීනී, මෙහි කිඹුල්වත්පුරවැසි ශාක්‍යවරුන් ගේ ළඟ දී කරන ලද අලුත් රැස්වීම් ශාලාවක් තිබෙනවා. ඒ වගේ ම ඒ ශාලාව ශ්‍රමණයෙකු විසින් වේවා, බ්‍රාහ්මණයෙකු විසින් වේවා, කිසියම් මිනිසෙකු විසින් වේවා තව ම පාවිච්චියට අරගෙනත් නෑ. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ පළමුවෙන් ම එම ශාලාව පරිහරණය කරන සේක්වා! භාග්‍යවතුන් වහන්සේ විසින් පළමුව පාවිච්චි කළ එම ශාලාව කපිලවස්තුවාසී ශාක්‍යවරුන්ට පසුව පාවිච්චි කරන්නට පුළුවනි. එය කපිලවස්තුවාසී ශාක්‍යවරුන්ට බොහෝ කලක් හිතසුව පිණිස පවතිනවා ම යි.” භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩසිටීමෙන් එම ඇරයුම පිළිගෙන වදාළා.
එකල්හි කිඹුල්වත්පුරවාසී ශාක්‍යවරුන් භාග්‍යවතුන් වහන්සේ ඉවසා වදාළ බව දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට, පැදකුණු කොට රැස්වීම් ශාලාව වෙත පැමිණුනා. පැමිණ එම ශාලාව පුරා ඇතිරිලි ඇතිරුවා. ආසන පැණෙව්වා. දොරටුව අසල දිය බඳුනක් තැබුවා. තෙල් පහන් දැල්වුවා. යළි භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව සිටගත්තා. එකත්පස්ව සිටගත් කිඹුල්වත්පුරවාසී ශාක්‍යවරුන් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළා.
“ස්වාමීනී, සන්ථාගාරය පුරාවට සෑම තැන ම ඇතිරිලි ඇතුරුවා. ආසන පැණෙව්වා. දිය බඳුන පිහිටෙව්වා. තෙල් පහන් දල්වා එසෙව්වා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, යම් කරුණකට දැන් කාලය නිසි නම්, ඒ ගැන දන්නා සේක්වා!”
ඉතින් භාග්‍යවතුන් වහන්සේ සිවුරු හැඳ පොරවා, පාත්තරය ද ගෙන භික්ෂු සංඝයා සමඟ රැස්වීම් ශාලාවට වැඩම කොට වදාළා. එසේ වැඩම කොට සිරිපා දෝවනය කොට වදාළා. ඉන්පසු එම සන්ථාගාරය තුළට පිවිස එහි මැද වූ ස්ථම්භයට පිටුපා පෙරදිගට මුහුණ ලා වාඩි වී වදාළා. භික්ෂු සංඝයා ද, පා දෝවනය කොට සන්ථාගාරය තුළට පිවිස පිටුපස බිත්තියට පිටුපා පෙරදිගට මුහුණ ලා භාග්‍යවතුන් වහන්සේ පෙරටු කොට වාඩි වුනා. කිඹුල්වත්පුරවාසී ශාක්‍යවරුන් ද, පා දෝවනය කරගත්තා. සන්ථාගාරය තුළට පිවිසුනා. පෙරදිග දිශාවේ වූ බිත්තියට පිටු පා බටහිරට මුහුණ ලා භාග්‍යවතුන් වහන්සේ පෙරටු කොට වාඩි වුනා. එතකොට භාග්‍යවතුන් වහන්සේ කපිලවස්තුවාසී ශාක්‍යවරුන් හට රැය බොහෝ වේලාවක් ගෙවෙන තුරු ධර්ම කතාවෙන් කරුණු දක්වා වදාළා. සමාදන් කොට වදාළා. උත්සාහවත් කොට වදාළා. සතුටු කොට වදාළා. ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ අමතා මෙය වදාළා. “පින්වත් ආනන්දය, කපිලවස්තුවාසී ශාක්‍යවරුන් හට නිවන් මගෙහි හික්මෙන භික්ෂුව ගේ වැඩපිළිවෙල (සේඛ ප්‍රතිපදාව) ගැන කරුණු පවසන්න. මාගේ පිට මදක් ගිලන් වෙලා තියෙනවා. මා ස්වල්ප වෙලාවක් හාන්සි වී සිටින්නම්.” “එසේය, ස්වාමීනී” කියා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. එතකොට භාග්‍යවතුන් වහන්සේ සඟල සිවුර සිව් ගුණ කොට නවා අතුරා දකුණු ඇලයෙන් යුතුව දකුණු පාදයට මදක් මෑත් කොට වම් පාදය තබා මනා සිහි නුවණින් යුතුව නැගිටින හැඟීමෙන් යුතුව සිංහ සෙය්‍යාවෙන් සැතපී වදාළා.
එවිට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ මහානාම ශාක්‍යයා ඇමතුවා. “පින්වත් මහානාම, මෙහිලා ආර්ය ශ්‍රාවකයා සීල සම්පන්න වෙනවා. ඉඳුරන් හි වසන ලද දොරටු ඇති කෙනෙක් වෙනවා. අවබෝධයෙන් ම දන් වළඳන කෙනෙක් වෙනවා. නිදිවරාගෙන භාවනා කරන කෙනෙක් වෙනවා. සද්ධර්ම හතකින් සමන්විත කෙනෙක් වෙනවා. මේ ජීවිතයේ දී ම සැප සේ වාසය කළ හැකි පහසුවෙන්, නිදුකින්, විපුලව ලබන ධ්‍යාන හතරින් යුතු කෙනෙක් වෙනවා.
පින්වත් මහානාම, ආර්ය ශ්‍රාවකයා සීල සම්පන්න කෙනෙක් වන්නේ කොහොම ද? පින්වත් මහානාම, මෙහිලා ආර්ය ශ්‍රාවකයා සිල්වත් වෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයෙන් යුක්ත වෙනවා. ඉතා යහපත් ඇවතුම් පැවතුම් වලින් යුතු වෙනවා. අණු මාත්‍ර වූ වරදෙහි පවා බිය දක්නා කෙනෙක් වෙනවා. ඒ ඒ සිල් පද සමාදන් වී හික්මෙනවා. පින්වත් මහානාම, ආර්ය ශ්‍රාවකයා සීල සම්පන්න වන්නේ ඔය ආකාරයට යි.
පින්වත් මහානාම, ආර්ය ශ්‍රාවකයා ඉඳුරන් හි වසන ලද දොරටු ඇතුව ඉන්නේ කොහොම ද? පින්වත් මහානාම, මෙහිලා ආර්ය ශ්‍රාවකයා ඇසින් රූපයක් දැක, එහි නිමිති ගන්නෙ නෑ. නිමිත්තක කොටසක් වත් ගන්නෙ නෑ. ඇස නැමැති ඉන්ද්‍රිය අසංවරව වාසය කරද්දී, ඒ හේතුවෙන් ලෝභය, දොම්නස ආදී පාපී අකුසල් තමාව අර්බුදයක් කරා ගෙන යනවා නම්, එබඳු දෙයකට ඉඩ නො තබා, ඔහු ගේ ඇස සංවරය පිණිස පිළිපදිනවා. ඇස නැමැති ඉන්ද්‍රිය රැක ගන්නවා. ඇස නැමැති ඉන්ද්‍රියෙහි සංවරයට පැමිණෙනවා. කනින් ශබ්දයක් අසා ….(පෙ)…. නාසයෙන් ගඳ සුවඳක් දැන ….(පෙ)…. දිවෙන් රසයක් විඳ ….(පෙ)…. කයෙන් පහසක් ලබා ….(පෙ)…. මනසින් අරමුණක් සිතා එහි නිමිති ගන්නෙ නෑ. නිමිත්තක කොටසක් වත් ගන්නෙ නෑ. මනස නැමැති ඉන්ද්‍රිය අසංවරව වාසය කරද්දී, ඒ හේතුවෙන් ලෝභය, දොම්නස ආදී පාපී අකුසල් තමාව අර්බුදයක් කරා ගෙන යනවා නම්, එබඳු දෙයකට ඉඩ නො තබා, ඔහු ගේ මනස සංවරය පිණිස පිළිපදිනවා. මනස නැමැති ඉන්ද්‍රිය රැක ගන්නවා. මනස නැමැති ඉන්ද්‍රියෙහි සංවරයට පැමිණෙනවා. පින්වත් මහානාම, මේ ආකාරයටයි ආර්ය ශ්‍රාවකයා ඉන්ද්‍රියයන් හි දොරටු වසාගෙන ඉන්නේ.
පින්වත් මහානාම, ආර්ය ශ්‍රාවකයා අවබෝධයකින් යුතුව බොජුන් වළඳන්නේ කොහොම ද? පින්වත් මහානාම, මෙහිලා ආර්ය ශ්‍රාවකයා නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කොටයි ආහාර වළඳන්නෙ. මේ ආහාර ගන්නේ ජවය පිණිස නොවේ. මත් වීම පිණිස නොවේ. සැරසීම පිණිස නොවේ. ඒ ඒ තැන මස්පිඬු වැඩීම පිණිස නොවේ. මේ කයේ පැවැත්ම පිණිස, යැපීම පිණිස පමණයි. ආහාර නො ගැනීමෙන් ඇති වෙන වෙහෙස සංසිඳවා ගැනීම පිණිස පමණයි. බඹසරට අනුග්‍රහ පිණිස පමණයි. මේ ආහාර ගැනීමෙන් මම පැරණි බඩගිනි වේදනා නැති කර දානවා. අලුත් බඩගිනි වේදනා උපදවන්නේ නැහැ. මාගේ ජීවිත යාත්‍රාවත්, නිවැරදි ජීවන රටාවත්, පහසු විහරණයත් මෙයින් සිදුවෙනවා කියා නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරනවා. පින්වත් මහානාම, මේ ආකාරයටයි ආර්ය ශ්‍රාවකයා අවබෝධයෙන් යුක්තව බොජුන් වළඳන්නේ.
පින්වත් මහානාම, ආර්ය ශ්‍රාවකයා නිදි වරා භාවනා කිරීමෙහි යෙදෙන්නේ කොහොම ද? පින්වත් මහානාම, මෙහිලා ආර්ය ශ්‍රාවකයා දහවල් කාලයෙහි සක්මන් භාවනාවෙනුත්, වාඩි වී කරන භාවනාවෙනුත් නීවරණයන් ගෙන් සිත පිරිසිදු කරනවා. රාත්‍රියේ ප්‍රථම යාමයේ දී ත් සක්මන් භාවනාවෙනුත්, වාඩි වී කරන භාවනාවෙනුත් නීවරණයන් ගෙන් සිත පිරිසිදු කරනවා. රාත්‍රියේ මධ්‍යම යාමයේ දී දකුණු ඇලයට හැරී දකුණු පාදයට මදක් මෑත් කොට වම් පාදය තබා මනා සිහි නුවණින් යුතුව නැගිටින හැඟීමෙන් යුතුව සිංහ සෙය්‍යාවෙන් සැතපෙනවා. නැවත රාත්‍රී පශ්චිම යාමයෙහි අවදිවෙනවා. ඊට පස්සේ සක්මන් භාවනාවෙනුත්, වාඩි වී කරන භාවනාවෙනුත් නීවරණයන් ගෙන් සිත පිරිසිදු කරනවා. පින්වත් මහානාම මේ ආකාරයටයි ආර්ය ශ්‍රාවකයා නිදි වරා භාවනා කිරීමෙහි යෙදෙන්නේ.
පින්වත් මහානාම, ආර්ය ශ්‍රාවකයා සප්ත සද්ධර්මයකින් සමන්විත වන්නේ කොහොම ද? පින්වත් මහානාම, මෙහිලා ආර්ය ශ්‍රාවකයා සැදැහැ ඇති කෙනෙක් වෙනවා. ඒ කියන්නේ ‘ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේව මනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ කියල ඔහු තථාගතයන් වහන්සේ ගේ අවබෝධය අදහා ගන්නවා.
ඔහු ලැජ්ජා ඇති කෙනෙක් වෙනවා. කයින් වැරදි කිරීමට ලැජ්ජා වෙනවා. වචනයෙන් වැරදි කිරීමට ලැජ්ජා වෙනවා. මනසින් වැරදි කිරීමට ලැජ්ජා වෙනවා. පාපී අකුසල් සමඟ එක් වී සිටින්නට ලැජ්ජා වෙනවා.
ඔහු භය ඇති කෙනෙක් වෙනවා. කයින් වැරදි කිරීමට භය වෙනවා. වචනයෙන් වැරදි කිරීමට භය වෙනවා. මනසින් වැරදි කිරීමට භය වෙනවා. පාපී අකුසල් සමඟ එක් වී සිටින්නට භය වෙනවා.
ඔහු බහුශ්‍රැත කෙනෙක් වෙනවා. ඇසූ ධර්මය දරා ගන්නවා. ඇසූ ධර්මය මතකයෙන් රැස්කර ගන්නවා. යම් ඒ ධර්මයක් මුල කල්‍යාණ වේ ද, මැද කල්‍යාණ වේ ද, අවසානය කල්‍යාණ වේ ද, අර්ථ සහිත වූ ත්, පැහැදිලි ප්‍රකාශන මාධ්‍යයකින් හෙබි, මුලුමනින් ම පිරිපුන් පිරිසිදු නිවන් මඟ බඹසර යැයි ප්‍රකාශිත යම් ධර්මයක් වෙයි ද, ඒ ආකාර වූ ධර්මය ගැන බොහෝ කොට අසා ගන්නවා. ඒ ධර්මය හොඳින් දරා ගන්නවා. වචනයෙන් පුරුදු කරනවා. සිතෙන් විමසනවා. නුවණින් වටහා ගන්නවා.
ඔහු දැඩිව ගත් වීරියෙන් යුක්ත වෙනවා. ඒ කියන්නේ අකුසල් දහම් ප්‍රහාණය කිරීම පිණිසත්, කුසල් දහම් උපදවා ගැනීම පිණිසත්, ඉතාමත් බලවත් වූ දැඩි වීරියකින් යුක්ත වෙනවා. කුසල් ධර්මයන් දියුණු කර ගැනීමට අත් නො හළ වීරියකින් යුක්ත වෙනවා.
ඔහු සිහියෙන් යුක්ත වෙනවා. ඉතා උතුම් වූ සිහියකින් ද, අවස්ථාවෝචිත ප්‍රඥාවකින් ද යුක්ත වෙනවා. බොහෝ කලින් කළ දේවල්, බොහෝ කලින් පැවසූ දේවල් සිහි කරන්නට, පුන පුනා සිහි කරන්නට පුළුවන් වෙනවා.
ඔහු ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. ආර්යභාවයට පමුණුවන, අවබෝධයෙන් ම අත්හැරීමට උදව් වෙන, දුක් නැති වීම පිණිස මනාව උපකාරී වන, අනිත්‍යය දැකීමට සමර්ථ වූ ප්‍රඥාවකින් යුතු වෙනවා. පින්වත් මහානාම, මේ ආකාරයටයි ආර්ය ශ්‍රාවකයා සප්ත සද්ධර්මයෙන් යුක්ත වන්නේ.
පින්වත් මහානාම, ආර්ය ශ්‍රාවකයා සිත මෙහෙයවීමෙන් සකස් කරන ලද, මෙහිදී ම විඳින සැප විහරණ ඇති, ධ්‍යාන සතර කැමති අයුරින්, පහසුවෙන්, නිදුකින් උපදවා ගන්නේ කොහොම ද? පින්වත් මහානාම, මෙහිලා ආර්ය ශ්‍රාවකයා කාමයෙන් වෙන්ව, අකුසල් වලින් වෙන්ව, විතර්ක විචාර සහිත, ප්‍රීතිය හා සැපය ඇති පළවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා. විතර්ක විචාර සංසිඳුවාගෙන, තමා තුළ ප්‍රසන්න බව ඇති කරගෙන, සිතේ එකඟ බවින් යුතුව, විතර්ක විචාර රහිත, සමාධියෙන් හටගත් ප්‍රීතිය සැපය තියෙන දෙවෙනි ධ්‍යානය ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය ….(පෙ)…. සැප ද, දුක ද නැති කිරීමෙන්, කලින් ම මානසික සැප දුක් දෙකින් ම වෙන් වෙලා, දුක් සැප රහිත පිරිසිදු උපේක්ෂාවත් සිහියත් තියෙන හතරවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා.
පින්වත් මහානාම, යම් කලක ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් සීල සම්පන්න වෙනවා ද, ඔය අයුරින් ඉඳුරන් හි වසන ලද දොරටු ඇති කෙනෙක් වෙනවා ද, ඔය අයුරින් අවබෝධයෙන් ම දන් වළඳන කෙනෙක් වෙනවා ද, ඔය අයුරින් නිදිවරාගෙන භාවනා කරන කෙනෙක් වෙනවා ද, ඔය අයුරින් සද්ධර්ම හතකින් සමන්විත කෙනෙක් වෙනවා ද, ඔය අයුරින් මේ ජීවිතයේ දී ම සැප සේ වාසය කළ හැකි පහසුවෙන්, නිදුකින්, විපුලව ලබන ධ්‍යාන හතරින් යුතු කෙනෙක් වෙනවා ද, පින්වත් මහානාම, මේ ආර්ය ශ්‍රාවකයාට තමයි නිවන් මගෙහි බැසගත් ප්‍රතිපදාවෙන් යුතු කෙනා කියල කියන්නෙ. ඔහු නරක් නො වූ බිජුවට වලින් යුතු කෙනෙක්. ඔහුට අවබෝධඥානය උපදවා ගැනීමට පුළුවන්කම තියෙනවා. ආර්ය සත්‍යාවබෝධයට පුළුවන් කම තියෙනවා. අනුත්තර යෝගක්ඛේම නම් වූ අරහත්වය සාක්ෂාත් කරන්නට පුළුවන්කම තියෙනවා.
පින්වත් මහානාම, ඒක මේ වගේ දෙයක්. කිකිලියකට බිත්තර අටක් හෝ, දහයක් හෝ, දොළොසක් හෝ තියෙනව. ඉතින් මේ කිකිලිය ඒ බිත්තර ඉතා හොඳින් රකිනවා. හොඳින් උණුසුම් කරනවා. හොඳින් පරෙස්සම් කරනවා. හැබැයි ඒ කිකිලියට මෙවැනි ආසාවක් ඇති නො වන්නට පුළුවනි. ‘අහෝ! හැබෑවට ම කුකුළු පැටව් නිය තුඩින් හෝ හොටින් හෝ ඒ බිත්තර කටු පලාගෙන සුව සේ එළියට එනවා නම් හොඳයි’ කියා. ඇත්තෙන් ම ඒ කුකුළු පැටවුන්ට නිය තුඩින් වේවා, හොටින් වේවා ඒ බිත්තර කටු පලාගෙන සුව සේ එළියට එන්නට පුළුවන්කම තියෙනවා ම යි.
පින්වත් මහානාම, අන්න ඒ වගේ යම් කලක ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් සීල සම්පන්න වෙනවා ද, ඔය අයුරින් ඉඳුරන් හි වසන ලද දොරටු ඇති කෙනෙක් වෙනවා ද, ඔය අයුරින් අවබෝධයෙන් ම දන් වළඳන කෙනෙක් වෙනවා ද, ඔය අයුරින් නිදිවරාගෙන භාවනා කරන කෙනෙක් වෙනවා ද, ඔය අයුරින් සද්ධර්ම හතකින් සමන්විත කෙනෙක් වෙනවා ද, ඔය අයුරින් මේ ජීවිතයේ දී ම සැප සේ වාසය කළ හැකි පහසුවෙන්, නිදුකින්, විපුලව ලබන ධ්‍යාන හතරින් යුතු කෙනෙක් වෙනවා ද, පින්වත් මහානාම, මේ ආර්ය ශ්‍රාවකයාට තමයි ‘නිවන් මගෙහි බැසගත් ප්‍රතිපදාවෙන් යුතු කෙනා’ කියල කියන්නෙ. ඔහු නරක් නො වූ බිජුවට වලින් යුතු කෙනෙක්. ඔහුට අවබෝධඥානය උපදවා ගැනීමට පුළුවන්කම තියෙනවා ම යි. ආර්ය සත්‍යාවබෝධයට පුළුවන් කම තියෙනවා ම යි. අනුත්තර යෝගක්ඛේම නම් වූ අරහත්වය සාක්ෂාත් කරන්නට පුළුවන්කම තියෙනවා ම යි.
පින්වත් මහානාම, ඉතින් ඒ ආර්ය ශ්‍රාවකයා මේ අනුත්තර වූ උපේක්ෂාවෙන් යුතු, පාරිශුද්ධ සිහිය ඇති සතර වෙනි ධ්‍යානයට පැමිණ, නොයෙක් ආකාරයේ පෙර විසූ ජීවිත පිළිබඳව සිහි කරනවා. ඒ කියන්නෙ; එක ජාතියක්, ජාති දෙකක් ….(පෙ)…. මේ ආකාරයට කරුණු සහිතව, පැහැදිලි සිදුවීම් සහිතව නොයෙක් ආකාරයෙන් පෙර විසූ ජීවිත පිළිවෙල සිහි කරනවා. මෙය තමයි බිත්තර කටුව බිඳගෙන කුකුළු පැටියා එළියට එනවා වගේ ඔහු ගේ අවිද්‍යාව බිඳගෙන ප්‍රථම විද්‍යාව එළියට පැමිණීම.
පින්වත් මහානාම, ඉතින් ඒ ආර්ය ශ්‍රාවකයා මේ අනුත්තර වූ උපේක්ෂාවෙන් යුතු පාරිශුද්ධ සිහිය ඇති සතර වෙනි ධ්‍යානයට පැමිණ, සාමාන්‍ය මිනිස් ඇස ඉක්මවා ගිය, විසුද්ධ වූ දිව්‍ය ඇසින් යුතුව චුත වෙන්නා වූත්, උපදින්නා වූත්, පහත් වූත්, උසස් වූත්, වර්ණවත් වූත්, විරූපී වූත්, සුගතියේ ඉපිද සිටින්නා වූත්, දුගතියෙහි ඉපිද සිටින්නා වූත්, සත්වයන් දකිනවා. ….(පෙ)…. කර්මානුරූපව උපත කරා යන සත්වයන් දකිනවා. මෙය තමයි බිත්තර කටුව බිඳගෙන කුකුළු පැටියා එළියට එනවා වගේ ඔහු ගේ අවිද්‍යාව බිඳගෙන දෙවෙනි විද්‍යාව එළියට පැමිණීම.
පින්වත් මහානාම, ඉතින් ඒ ආර්ය ශ්‍රාවකයා මේ අනුත්තර වූ උපේක්ෂාවෙන් යුතු පාරිශුද්ධ සිහිය ඇති සතර වෙනි ධ්‍යානයට පැමිණ, ආශ්‍රවයන් ගේ ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ අරහත් ඵල චිත්ත විමුත්තිය ද, ප්‍රඥා විමුක්තිය ද, මෙහි දී ම තමා තුළ උපදවා ගත් විශිෂ්ට වූ නුවණින් සාක්ෂාත් කරගෙන එයට පැමිණ වාසය කරනවා. මෙය තමයි බිත්තර කටුව බිඳගෙන කුකුළු පැටියා එළියට එනවා වගේ ඔහු ගේ අවිද්‍යාව බිඳගෙන තුන්වෙනි විද්‍යාව එළියට පැමිණීම.
පින්වත් මහානාම, ආර්ය ශ්‍රාවකයා යම් සිල්වත් භාවයකින් යුක්ත වේ ද, මෙය ඔහු ගේ චරණයට ඇතුළත් වෙයි. පින්වත් මහානාම, ආර්ය ශ්‍රාවකයා යම් ඉඳුරන් හි වසන ලද දොරටු වලින් යුක්ත වේ ද, මෙය ද ඔහු ගේ චරණයට ඇතුළත් වෙයි. පින්වත් මහානාම, ආර්ය ශ්‍රාවකයා යම් අවබෝධයකින් බොජුන් වැළඳීමක් වෙයි ද, මෙයත් ඔහු ගේ චරණයට ඇතුළත් වෙයි. පින්වත් මහානාම, ආර්ය ශ්‍රාවකයා යම් නිදි වරා භාවනා කිරීමෙහි යුක්ත වෙයි ද, මෙයත් ඔහු ගේ චරණයට ඇතුළත් වෙයි. පින්වත් මහානාම, ආර්ය ශ්‍රාවකයා යම් සප්ත සද්ධර්මයකින් යුක්ත වෙයි ද, මෙයත් ඔහු ගේ චරණයට ඇතුළත් වෙයි. පින්වත් මහානාම, ආර්ය ශ්‍රාවකයා සිතින් සකසන ලද මෙහිදී ම සැප විහරණය විඳින යම් ධ්‍යාන හතරක් කැමති සේ ලබයි ද, නිදුකින් ලබයි ද, පහසුවෙන් ලබයි ද මෙයත් ඔහු ගේ චරණයට ඇතුළත් වෙයි.
පින්වත් මහානාම, ආර්ය ශ්‍රාවකයා නොයෙක් ආකාරයේ පෙර විසූ ජීවිත පිළිබඳව සිහි කරයි ද, ඒ කියන්නෙ; එක ජාතියක්, ජාති දෙකක් ….(පෙ)…. මේ ආකාරයට කරුණු සහිතව, පැහැදිලි සිදුවීම් සහිතව නොයෙක් ආකාරයෙන් පෙර විසූ ජීවිත පිළිවෙල සිහි කරන යම් පුබ්බේ නිවාසානුස්සති ඤාණයක් ඇද්ද, මෙය ඔහු ගේ විද්‍යාවට ඇතුළත් වෙයි.
පින්වත් මහානාම, ආර්ය ශ්‍රාවකයා සාමාන්‍ය මිනිස් ඇස ඉක්මවා ගිය, විසුද්ධ වූ දිව්‍ය ඇසින් යුතුව චුත වෙන්නා වූත්, උපදින්නා වූත්, පහත් වූත්, උසස් වූත්, වර්ණවත් වූත්, විරූපී වූත්, සුගතියෙහි ඉපිද සිටින්නා වූත්, දුගතියෙහි ඉපිද සිටින්නා වූත්, සත්වයන් දකී ද, ….(පෙ)…. කර්මානුරූපව උපත කරා යන සත්වයන් දකින යම් චුතූපපාත ඤාණයක් ඇද්ද, මෙය ඔහු ගේ විද්‍යාවට ඇතුළත් වෙයි.
පින්වත් මහානාම, ආර්ය ශ්‍රාවකයා ආශ්‍රවයන් ගේ ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ අරහත් ඵල චිත්ත විමුත්තිය ද, ප්‍රඥා විමුක්තිය ද, මෙහි දී ම තමා තුළ උපදවා ගත් විශිෂ්ට වූ නුවණින් සාක්ෂාත් කරගෙන එයට පැමිණ වාසය කිරීම නම් වූ යම් ආසවක්ඛය ඤාණයක් ඇද්ද, මෙය ඔහු ගේ විද්‍යාවට ඇතුළත් වෙයි.
පින්වත් මහානාම, මෙයට තමයි ආර්ය ශ්‍රාවකයා විද්‍යාවෙන් යුක්ත වුනා කියන්නෙ. චරණයෙන් යුක්ත වුනා කියන්නෙ. විජ්ජා-චරණ සම්පන්නයි කියන්නෙ. පින්වත් මහානාම, සනංකුමාර බ්‍රහ්මරාජයා විසිනුත් මේ ගැන ගාථාවක් පැවසුව නෙව.
“යමෙක් උපන් ගෝත්‍ර ගැන – පිළිවෙල සිහි කරනා විට,
ජන කැල මැද රජ කුමරා – ශ්‍රේෂ්ඨ බව ලබන්නේ ය.
විජ්ජා චරණින් යුතු වූ – යමෙක් සිටී නම් මෙලොවේ,
දෙව් මිනිසුන් අතරේ ඔහු – ශ්‍රේෂ්ඨ බව ලබන්නේ ය.”
පින්වත් මහානාම, සනංකුමාර බ්‍රහ්මරාජයා විසින් පවසන ලද ඔය ගාථාව මැනවින් ගැයූ ගෙයක් ම යි. නො මනා ලෙස ගැයූ ගෙයක් නොවේ. සුභාෂිතයක් ම යි. දුර්භාෂිතයක් නො වේ. අර්ථවත් දෙයක් ම යි. අනර්ථවත් දෙයක් නො වේ. භාග්‍යවතුන් වහන්සේ විසිනුත් අනුමත කොට වදාළ දෙයක්.”
ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ නැඟිට ආයුෂ්මත් ආනන්දයන් අමතා වදාළා. “සාදු! සාදු! පින්වත් ආනන්දයනි, ඔබ කිඹුල්වත්වාසී ශාක්‍යවරුන් හට සේඛ ප්‍රතිපදාව පැවසූ අයුරු ඉතා යහපති!”
මෙම දෙසුම ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වදාළා. ශාස්තෘන් වහන්සේ එය අනුමත කොට වදාළා. කිඹුල්වත්වාසී ශාක්‍යවරුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ගේ මෙම භාෂිතය සතුටින් අනුමෝදන් වුනා.
සාදු! සාදු!! සාදු!!!
නිවන් මගෙහි හික්මෙන (සේඛ) ප්‍රතිපදාව ගැන වදාළ දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M