මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ නාදිකා ගමේ ගඩොලින් කළ ආවාසයක. ඒ දවස්වලම ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේත්, ආයුෂ්මත් නන්දිය ස්වාමීන් වහන්සේත්, ආයුෂ්මත් කිම්බිල ස්වාමීන් වහන්සේත් වාසය කළේ ගෝසිංග නම් වූ සල් වනයක. එදා සවස් වරුවේ භාවනාවෙන් නැගී සිටි භාග්‍යවතුන් වහන්සේ ගෝසිංග සල් වනය කරා වැඩම කළා.
එතකොට ගෝසිංග වනය රැක බලාගන්න පාලකයා භාග්‍යවතුන් වහන්සේ වඩිනවා දුර දී ම දැක්කා. දැකල භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “හා! හා! පින්වත් ශ්‍රමණය, මේ වනයට නම් වඩින්න එපා! මේ වනයේ තමන්ගේ යහපත කැමති ශ්‍රමණයන් වහන්සේලා තුන් නමක් වැඩඉන්නවා. ඉතින් ඔබ වහන්සේ වැඩලා ඒ ඇත්තන්ට කරදර කරන්ට එපා!” කියලා.
ඒ මොහොතෙ ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට ඒ වන පාලකයා භාග්‍යවතුන් වහන්සේ සමඟ ඔය අයුරින් කතා බස් කරනවා ඇහුනා. ඇහිලා ඒ වන පාලකයට මෙහෙම කිව්වා. “පින්වත් වන පාලකතුමනි, අපගේ භාග්‍යවතුන් වහන්සේගේ වැඩම වීම වළක්වන්න එපා! ඔය වැඩම කොට වදාළ භාග්‍යවතුන් වහන්සේ තමයි අපගේ ශාස්තෘන් වහන්සේ!” කියලා.
ඉතින් ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ, ආයුෂ්මත් නන්දිය හා ආයුෂ්මත් කිම්බිල ස්වාමීන් වහන්සේලා වෙත ගියා. ගිහින් ආයුෂ්මත් නන්දිය ස්වාමීන් වහන්සේටත්, ආයුෂ්මත් කිම්බිල ස්වාමීන් වහන්සේටත් මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මෙහෙට වඩින්න. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මෙහෙට වඩින්න. මෙන්න අපගේ ශාස්තෘන් වහන්සේ වන භාග්‍යවතුන් වහන්සේ වැඩම කරල!” කියලා.
ඊට පස්සෙ ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේත්, ආයුෂ්මත් නන්දිය, ආයුෂ්මත් කිම්බිල යන ස්වාමීන් වහන්සේලාත්, භාග්‍යවතුන් වහන්සේ පිළිගන්න පෙර ගමන් කළා. එක නමක් භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍ර සිවුරු පිළිගත්තා. එක නමක් වැඩසිටින ආසනය පිළියෙල කළා. තවත් නමක් පා දෝවනය කරන පැන් පිළියෙල කළා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒ ආසනේ වැඩසිටියා. පා දෝවනය කළා. ඊට පස්සෙ ඒ ආයුෂ්මත් තෙරුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා.
එකත්පස්ව වාඩිවුණු ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙහෙම ඇහුවා.
“ඉතින් පින්වත් අනුරුද්ධ, කොහොම ද සැප සනීප? පහසුවෙන් ඉන්නවා නෙ? පිණ්ඩපාතෙන් කරදරයක් නෑ නේද?”
“භාග්‍යවතුන් වහන්ස, අපි සනීපෙන් ඉන්නවා. භාග්‍යවතුන් වහන්ස, අපි පහසුවෙන් ඉන්නවා. ස්වාමීනි, ඒ වගේම අපට පිණ්ඩපාතෙනුත් කරදරයක් නෑ.”
“පින්වත් අනුරුද්ධ, කොහොමද සමඟිය එහෙම? සමගිව සතුටින් වාද විවාද නැතුව ඉන්නවා නේ? එකිනෙකා කිරියි වතුරයි වගේ ප්‍රිය ඇසින් බලමින් වාසය කරනවා නේ?”
“ඇත්තෙන් ම ස්වාමීනි, අපි සමඟියෙන් ඉන්නෙ. අපි සමඟියෙන් සතුටු වෙනවා. වාද විවාද කරගන්නෙ නෑ. කිරියි වතුරයි එකතු වුනා වගේ අපි එකිනෙකා ප්‍රිය ඇසින් බලමින් තමයි වාසය කරන්නෙ.”
“පින්වත් අනුරුද්ධ, ඔබ කොයි විදිහටද සමගිව ඉන්නෙ? සමගිව සතුටු වෙන්නෙ? වාද විවාද නැතිව ඉන්නෙ? කිරියි වතුරයි එකතු වුනා වගේ එකිනෙකා ප්‍රිය ඇසින් බලමින් ඉන්නෙ?”
“ස්වාමීනි, මට මේ විදිහටයි හිතෙන්නෙ. ‘ඇත්තෙන් ම මට ලාභයක්! ඇත්තෙන් ම මට යහපත් ලාභයක්! මේ වගේ උතුම් සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමඟ එකට ජීවත් වෙන්න වාසනාව ලැබුනා නෙව’ කියල. ස්වාමීනි, මේ ආයුෂ්මතුන් වහන්සේලා මං ඉදිරියේ වැඩසිටියත් නැතත් මේ ආයුෂ්මතුන් වහන්සේලා කෙරෙහි මෛත්‍රී සහගත වැඩකටයුතුවලින් ම යුක්ත වෙලයි මං ඉන්නෙ. ඒ වගේ ම මේ ආයුෂ්මතුන් වහන්සේලා මං ඉදිරියේ හිටියත් නැතත් මේ ආයුෂ්මතුන් වහන්සේලා කෙරෙහි මෛත්‍රී සහගත කතා බහෙන් ම යි මං ඉන්නෙ. මේ ආයුෂ්මතුන් වහන්සේලා මං ඉදිරියේ සිටියත් නැතත් මේ ආයුෂ්මතුන් වහන්සේලා කෙරෙහි මෛත්‍රී සහගත අදහස්වලින් ම යි මං ඉන්නෙ. ස්වාමීනි, මට මෙහෙමත් හිතෙනවා. ‘මගේ හිත අයින් කරල මේ ආයුෂ්මතුන් වහන්සේලාගේ හිතේ ස්වභාවය මං ඇති කරගන්නවා’ කියල. ඉතින් ස්වාමීනි, මං මගේ හිත පැත්තකින් තියෙනවා. මේ ආයුෂ්මතුන් වහන්සේලා හිතන විදිහට ම හිතනවා. එතකොට ස්වාමීනි, අපි වෙනස් වෙන්නෙ සිරුරුවලින් විතරයි. අපි හදවත්වලින් එකයි.”
ඊට පස්සෙ ආයුෂ්මත් නන්දිය ස්වාමීන් වහන්සේත් ….(පෙ)…. ඊට පස්සෙ ආයුෂ්මත් කිම්බිල ස්වාමීන් වහන්සේත් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “ස්වාමීනි, මටත් මේ විදිහටයි හිතෙන්නෙ ‘ඇත්තෙන් ම මට ලාභයක්. ඇත්තෙන් ම මට යහපත් ලාභයක්. මේ වගේ උතුම් සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමඟ එකට ජීවත් වෙන්න වාසනාව ලැබුණා නෙව’ කියල. මේ ආයුෂ්මතුන් වහන්සේලා මං ඉදිරියේ වැඩහිටියත් නැතත් මේ ආයුෂ්මතුන් වහන්සේලා කෙරෙහි මෛත්‍රී සහගත වැඩකටයුතුවලින් ම යුක්ත වෙලයි මං ඉන්නෙ. ඒ වගේම මේ ආයුෂ්මතුන් වහන්සේලා මං ඉදිරියේ හිටියත් නැතත් මේ ආයුෂ්මතුන් වහන්සේලා කෙරෙහි මෛත්‍රී සහගත කතා බහෙන් ම යි මං ඉන්නෙ. මේ ආයුෂ්මතුන් වහන්සේලා මං ඉදිරියේ හිටියත් නැතත් මේ ආයුෂ්මතුන් වහන්සේලා කෙරෙහි මෛත්‍රී සහගත අදහස්වලින් ම යි මං ඉන්නෙ. ස්වාමීනි, මට මෙහෙමත් හිතෙනවා. ‘මගේ හිත අයින් කරල මේ ආයුෂ්මතුන් වහන්සේලාගේ හිතේ ස්වභාවය මං ඇති කරගන්නවා’ කියලා. ඉතින් ස්වාමීනි, මං මගේ හිත පැත්තකින් තියනවා. මේ ආයුෂ්මතුන් වහන්සේලා සිතන විදිහට ම සිතනවා. එතකොට ස්වාමීනි, අපි වෙනස් වෙන්නෙ සිරුරුවලින් විතරයි. අපි හදවත්වලින් එකයි.”
“ස්වාමීනි, ඔන්න ඔය විදිහටයි අපි සමඟියෙන් ඉන්නෙ. ඔය විදිහටයි අපි සමඟියෙන් සතුටු වෙන්නෙ. ඔය විදිහටයි අපි වාද විවාද නොකර ඉන්නෙ. ඔය විදිහටයි අපි කිරියි වතුරයි එක් වුනා වගේ එකිනෙකා ප්‍රිය ඇසින් බලමින් ඉන්නෙ.”
“සාදු! සාදු! පින්වත් අනුරුද්ධ, ඒ වගේ ම පින්වත් අනුරුද්ධ, ඔබ අප්‍රමාදීව නේද ඉන්නෙ? කෙලෙස් තවන වීරියෙන් නේද ඉන්නෙ? දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරෙනවා නේද?”
“ස්වාමීනි, ඇත්තෙන් ම අපි අප්‍රමාදීව ඉන්නෙ. අපි කෙලෙස් තවන වීරියෙනු යි ඉන්නෙ. අපි දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරෙනවා.”
“පින්වත් අනුරුද්ධ, ඔබ කොයි ආකාරයෙන් ද අප්‍රමාදී වෙලා කෙලෙස් තවන වීරියෙන් යුක්ත වෙලා, දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරෙන්නෙ?”
“ස්වාමීනි, අප අතරින් කෙනෙක් පිණ්ඩපාතෙ කරගෙන ඉස්සෙල්ල ම වැඩියොත්, එයා තමයි ආසන පිළියෙල කරන්නෙ. වළඳන පැන්, පාවිච්චි කරන පැන් වෙනම තියනවා. ඉතිරි ඉඳුල් දාන භාජනේ වෙනම තියනවා. ඊට පස්සෙ පිණ්ඩපාතෙ වැඩම කරලා, පිණ්ඩපාතෙත් අරගෙන පහුවෙලා එන කෙනා, අනිත් ආයුෂ්මතුන් වහන්සේලා වළඳල ඉතිරි වෙලා තිබුනොත් කැමති නම් වළඳනවා. අකැමති නම් ඒ ඉඳුල් අස් කරනවා. නැත්නම් සතුන් නැති වතුරකට දානවා. ඊට පස්සෙ ආසන ආයෙමත් තැන්පත් කරනවා. වළඳන පැන්, පාවිච්චි කරන පැන් භාජන අයින් කරනවා. ඉඳුල් භාජන සෝදල පැත්තකින් තියෙනවා. දන් ශාලාව අතුගානවා. වළඳන පැන් කළය හිස් වෙලා නම්, පාවිච්චියට ගන්න පැන් කළය හිස් වෙලා නම්, වැසිකිළියට ගෙනියන පැන් කළය හිස් වෙලා නම් ඒවාට පැන් පුරනවා. ඉතින් වතුර කළය බර නම් දෙවෙනි කෙනෙකුට අතින් අඬගහල දෙන්නත් එක්ක උස්සගෙන එනවා. ස්වාමීනි, අපි ඒ වෙනුවෙන්වත් කතා බස් කරන්නෙ නෑ. නමුත් දවස් පහකට වතාවක් මුළු රාත්‍රිය ම ධර්ම සාකච්ඡාවෙන් කල් යවනවා. ස්වාමීනි, ඔන්න ඔය විදිහටයි අපි අප්‍රමාදී වෙලා කෙලෙස් තවන වීරිය ඇතිව දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරෙන්නෙ.”
“සාදු! සාදු! පින්වත් අනුරුද්ධ. ඉතින් පින්වත් අනුරුද්ධ, ඔබ ඒ විදිහට අප්‍රමාදී වෙලා කෙලෙස් තවන වීරියෙන් යුක්තව දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරෙද්දි, සාමාන්‍ය මිනිස් ස්වභාවය ඉක්මවා ගිය ශ්‍රේෂ්ඨ ඤාණදර්ශන විශේෂයක් ඇති කරගෙන සැපසේ වාසය කිරීමකුත් ලැබුවාද?”
“ස්වාමීනි, එහෙම නොලැබී තියෙන්නෙ කොහොමද? ස්වාමීනි, අපි කැමතිතාක් කාමයෙන් වෙන්ව, අකුසලයෙන් වෙන්ව, විතර්ක විචාර සහිත, මානසික විවේකයෙන් හටගත් ප්‍රීති සැපය ඇති පළවෙනි ධ්‍යානය ඇති කරගෙන ඉන්නවා. ස්වාමීනි, අපි අප්‍රමාදී වෙච්ච නිසා, කෙලෙස් තවන වීරියෙන් ඉන්න නිසා, දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරෙන නිසා තමයි අපිට සාමාන්‍ය මිනිස් හැකියාව ඉක්මවා ගිය ශ්‍රේෂ්ඨ ඤාණදර්ශන විශේෂයක් වන ඔය සැපසේ වාසය කරන සමාධිය ලබාගන්න පුළුවන් වුනේ.”
“සාදු! සාදු! අනුරුද්ධ, ඉතින් අනුරුද්ධ, ඔය සැප සහගත පැවැත්ම ඉක්මවා ගිහින්, ඔය සැප සහගත පැවැත්ම සංසිඳවාගෙන, ඔයිට වඩා දියුණු කරපු සාමාන්‍ය මිනිස් ස්වභාවය ඉක්මවා ගිය ශ්‍රේෂ්ඨ ඤාණදර්ශනයකින් යුතු සැපසේ සිටීමකුත් ලබාගන්න පුළුවන් වුනාද?”
“ස්වාමීනි, එහෙම නො ලැබී තියෙන්නෙ කොහොමද? ස්වාමීනි, අපි කැමතිතාක් විතර්ක විචාර සංසිඳවලා තමා තුළ ප්‍රසන්න බවක් ඇති කරගෙන, සිතේ එකඟ බව තියෙන, විතර්ක විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිසැපය තියෙන දෙවන ධ්‍යානයත් ලබාගෙන ඉන්නවා. ස්වාමීනි, අර කලින් සමාධිය ඉක්මවලා, සංසිඳවාගෙන සාමාන්‍ය මිනිස් ස්වභාවය ඉක්මවා ගිය ශ්‍රේෂ්ඨ ඤාණදර්ශනයක් හැටියට ලබාගත්තු සැප සහගත පැවැත්ම ඔන්න ඕකයි.”
“සාදු! සාදු! අනුරුද්ධ, ඉතින් අනුරුද්ධ, ඔය සැප සහගත පැවැත්ම ඉක්මවා ගිහින්, ඔය සැප සහගත පැවැත්ම සංසිඳවාගෙන, සාමාන්‍ය මිනිස් ස්වභාවයට වැඩි, ශ්‍රේෂ්ඨ ඤාණදර්ශනයක් හැටියට ලබාගත්තු තවත් සැප සහගත පැවැත්මක් තියෙනවාද?”
“ස්වාමීනි, එහෙම නොලැබී තියෙන්නෙ කොහොමද? ස්වාමීනි, අපි කැමතිතාක් ප්‍රීතියට ඇලෙන්නෙ නැතිව උපේක්ෂාවෙන් ඉන්නවා. හොඳ සිහි නුවණින් යුක්තව කයෙන් සැපයකුත් විඳිනවා. ආර්යයන් වහන්සේලා ඒකට කිව්වෙ ‘උපේක්ෂාවෙන් යුක්ත, සිහියෙන් යුක්ත සැප සේ වාසය කිරීම’ කියලයි. ඒ තුන් වෙනි ධ්‍යානයත් අපි ලබාගත්තා. ස්වාමීනි, අර සමාධිය ඉක්මවා ගිහින්, ඒ සමාධිය සංසිඳවාගෙන සාමාන්‍ය මිනිස් ස්වභාවය ඉක්මවා ගිය ශ්‍රේෂ්ඨ ඤාණදර්ශනයක් හැටියට ඔය සමාධි සැපය ලබාගන්න අපට පුළුවන් වුනා.”
“සාදු! සාදු! අනුරුද්ධ, ඉතින් අනුරුද්ධ, ඔය සැප සහගත පැවැත්ම ඉක්මවා ගිහින්, ඔය සැපය සංසිඳවාගෙන, ඔය සමාධියට අමතරව මිනිස් ස්වභාවය ඉක්මවා ගිය ශ්‍රේෂ්ඨ ඤාණදර්ශන විශේෂයක් හැටියට සැපසේ වාසය කරන තවත් සමාධි ලැබුවාද?”
“ස්වාමීනි, එහෙම නොලැබී තියෙන්නෙ කොහොමද? ස්වාමීනි, අපිට කැමතිතාක් සැප දුක නැති කරල මානසික සොම්නස් දොම්නස් කලින් ම අත්හැරලා, දුක් සැප රහිත, පිරිසිදු උපේක්ෂාවත් සිහියත් තියෙන හතර වන ධ්‍යානය ඇති කරගන්න පුළුවන් වුනා. ස්වාමීනි, අර කලින් සමාධිය ඉක්මවා ගිහින්, කලින් සමාධිය සංසිඳවාගෙන සාමාන්‍ය මිනිස් ස්වභාවයට වඩා ශ්‍රේෂ්ඨ ඤාණදර්ශන විශේෂයක් හැටියට ඔය සමාධිය ඇති කරගන්න පුළුවන් වුනා.”
“සාදු! සාදු! අනුරුද්ධ, ඉතින් අනුරුද්ධ, ඔය සැප සහගත පැවැත්ම ඉක්මවා ගිහින්, ඔය සැප සහගත පැවැත්ම සංසිඳවාගෙන, සාමාන්‍ය මිනිස් ස්වභාවයට වැඩි, ශ්‍රේෂ්ඨ ඤාණදර්ශනයක් හැටියට ලබාගත්ත තවත් සැප සහගත පැවැත්මක් තියෙනවාද?”
“ස්වාමීනි, එහෙම නොලැබී තියෙන්නෙ කොහොමද? ස්වාමීනි, අපිට කැමතිතාක් සියලු රූප සඤ්ඤා ඉක්මවා ගිහින්, මානසිකව ඇතිවෙන හැම සඤ්ඤාවක් ම ඉක්මවා ගිහින්, විවිධාකාර සඤ්ඤා සිහි කරන්නෙ නැතුව ‘අනන්ත වූ ආකාසය’ කියල ආකාසානඤ්චායතන සමාධියත් ලබාගන්න පුළුවන් වුනා. ස්වාමීනි, අර සමාධිය ඉක්මවා ගිහින්, ඒ සමාධිය සංසිඳවාගෙන, සාමාන්‍ය මිනිස් ස්වභාවය ඉක්මවා ගිය ශ්‍රේෂ්ඨ වූ ඤාණදර්ශනයක් හැටියට ඔන්න ඔය සමාධි සැපය ලබාගත්තා.”
“සාදු! සාදු! අනුරුද්ධ, ඉතින් අනුරුද්ධ, ඔය සැප සහගත පැවැත්මත් ඉක්මවා ගිහින්, ඔය සැප සහගත පැවැත්ම සංසිඳවාගෙන, සාමාන්‍ය මිනිස් ස්වභාවයට වැඩි, ශ්‍රේෂ්ඨ ඤාණදර්ශනයක් හැටියට ලබාගත්තු තවත් සැප සහගත පැවැත්මක් තියෙනවාද?”
“ස්වාමීනි, එහෙම නොලැබී තියෙන්නෙ කොහොමද? ස්වාමීනි, අපි කැමතිතාක් හැම ආකාරයෙන් ම ආකාසානඤ්චායතනය ඉක්මවා ගිහින් ‘විඤ්ඤාණය අනන්තයි’ කියල විඤ්ඤාණඤ්චායතන සමාධියත් ලබා ගන්න පුළුවන් වුනා ….(පෙ)…. හැම ආකාරයෙන් ම විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ගිහින් ‘මොකවත් නෑ’ කියල ආකිඤ්චඤ්ඤායතන සමාධියත් ලබා ගන්න පුළුවන් වුනා ….(පෙ)…. හැම ආකාරයෙන් ම ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා ගිහින් නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාධියත් ලබාගන්න පුළුවන් වුනා. ස්වාමීනි, අර කලින් සමාධිය ඉක්මවා, සංසිඳවාගෙන, සාමාන්‍ය මිනිස් ස්වභාවය ඉක්මවා ගිය ශ්‍රේෂ්ඨ වූ ඤාණදර්ශනයක් හැටියට ලබාගත්තු සැප සහගත පැවැත්ම ඔන්න ඕකයි.”
“සාදු! සාදු! අනුරුද්ධ, ඉතින් අනුරුද්ධ, ඔය සැප සහගත පැවැත්මත් ඉක්මවා ගිහින්, ඔය සැප සහගත පැවැත්ම සංසිඳවාගෙන, සාමාන්‍ය මිනිස් ස්වභාවයට වැඩි, ශ්‍රේෂ්ඨ ඤාණදර්ශනයක් හැටියට ලබාගත්තු තවත් සැප සහගත පැවැත්මක් තියෙනවාද?”
“ස්වාමීනි, එහෙම නොලැබී තියෙන්නෙ කොහොමද? ස්වාමීනි, අපිට කැමතිතාක් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා ගිහින්, සඤ්ඤා විඳීම් නිරුද්ධ වෙච්ච නිරෝධ සමාපත්තිය ලබාගන්න පුළුවන් වුනා. ප්‍රඥාවෙන් යථාර්ථය දැකල, ආශ්‍රවයන් ප්‍රහාණය කරගන්නත් පුළුවන් වුනා. ස්වාමීනි, අර සමාධිය ඉක්මවා ගිහින්, ඒ සමාධිය සංසිඳවගෙන, සාමාන්‍ය මිනිස් ස්වභාවයට වැඩි ශ්‍රේෂ්ඨ ඤාණදර්ශනයක් හැටියට ඔය සමාධි සැපය ලබාගන්න අපට පුළුවන් වුනා. ස්වාමීනි, ඔය සමාධියටත් වඩා ශ්‍රේෂ්ඨ වූ, ඔය සමාධියට වඩා සැපවත් වූ වෙන සැප සහගත පැවැත්මක් අපි දකින්නෙ නෑ.”
“සාදු! සාදු! අනුරුද්ධ, ඇත්තෙන් ම අනුරුද්ධ ඔය සමාධියට වඩා උසස් වූ ඔය සමාධියට වඩා සැපවත් වූ වෙනත් සැප සහගත පැවැත්මක් නෑ ම යි.”
ඉතින් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ, ආයුෂ්මත් නන්දිය, ආයුෂ්මත් කිම්බිල ස්වාමීන් වහන්සේලාව ඔය ධර්ම කතාවෙන් කරුණු දක්වලා, සමාදන් කරවලා, උත්සාහවත් කරවලා, සතුටු කරවලා, ආසනෙන් නැගිටල වැඩියා.
ඊට පස්සෙ ආයුෂ්මත් අනුරුද්ධ, ආයුෂ්මත් නන්දිය, ආයුෂ්මත් කිම්බිල යන ස්වාමීන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පසු ගමන් ගියා. පසු ගමන් ගිහින් ආපසු පැමිණි ආයුෂ්මත් නන්දිය, ආයුෂ්මත් කිම්බිල ස්වාමීන් වහන්සේලා ආයුෂ්මත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේට මෙහෙම කිව්වා.
“ප්‍රිය ආයුෂ්මත් අනුරුද්ධ, දැන් ඔබ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ අපගේ ආසවක්ඛය ඤාණය දක්වා ම කරුණු හෙළිදරව් කළා නේද? ඒ වුනාට අපි මේ මේ සමාධි සමාපත්ති ලබල ඉන්නවා කියල ආයුෂ්මත් අනුරුද්ධ සමඟ අපි කතා බස් කරල නැහැ නෙව.”
“ඒක ඇත්ත. ආයුෂ්මතුන් වහන්සේලා මේ මේ සමාධි සමාපත්ති ලබාගෙන ඉන්නවා කියල මා එක්ක කිව්වෙ නෑ තමයි. ඉතිං ඒ වුනාට මගේ හිතෙන් ආයුෂ්මතුන්ලාගේ සිත මම දැක්කා නෙව. එතකොට මං දැනගත්තා ආයුෂ්මතුන් වහන්සේලා මේ මේ සමාධි සමාපත්තිවලින් යුක්තයි කියල. අනික මට දෙවිවරුත් කිව්ව නෙ ආයුෂ්මතුන් වහන්සේලා මේ මේ සමාධි සමාපත්තිවලින් යුක්තයි කියලා. අන්න ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ වෙලාවෙ මං ඔක්කොම කිව්වේ.”
එදා දීඝපරජන කියල දිව්‍යරාජයෙක් භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න ගියා. භාග්‍යවතුන් වහන්සේව බැහැදැකලා, වන්දනා කරලා එකත්පස්ව හිටගත්තා. හිටගෙන භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “ස්වාමීනි, මේ වජ්ජීන්ට ලාභයක් ම යි. මේ වජ්ජීන්ට යහපත් ලාභයක් ම යි. යම් තැනක තථාගත වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩඉන්නවා නම්, යම් තැනක ආයුෂ්මත් අනුරුද්ධ, ආයුෂ්මත් නන්දිය, ආයුෂ්මත් කිම්බිල යන පින්වත් ස්වාමීන් වහන්සේලා තුන් නම වැඩඉන්නවා නම් ඒ වජ්ජීන්ට ලාභයක් ම යි. යහපත් ලාභයක් ම යි” කියලා.
දීඝපරජන දිව්‍යරාජයාගේ ප්‍රීති ඝෝෂාව අහපු භූමාටු දෙවියොත් ‘යම් තැනක අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේත්, යම් තැනක ආයුෂ්මත් අනුරුද්ධ, ආයුෂ්මත් නන්දිය, ආයුෂ්මත් කිම්බිල යන ස්වාමීන් වහන්සේලා තුන් නමත් වැඩඉන්නවා නම්, පින්වත්නි, ඒක වජ්ජීන්ට ලාභයක්! ඒක වජ්ජීන්ට යහපත් ලාභයක්!’ කියලා ප්‍රීති ඝෝෂා කළා. භූමාටු දෙවියන්ගේ ප්‍රීති ඝෝෂාව අහලා චාතුම්මහාරාජික දෙවියොත් ප්‍රීති ඝෝෂා කළා ….(පෙ)…. තාවතිංස දෙවියොත් ප්‍රීති ඝෝෂා කළා ….(පෙ)…. යාම දෙවියොත් ප්‍රීති ඝෝෂා කළා ….(පෙ)…. තුසිත දෙවියොත් ප්‍රීති ඝෝෂා කළා ….(පෙ)…. නිම්මාණරතී දෙවියොත් ප්‍රීති ඝෝෂා කළා ….(පෙ)…. පරනිම්මිතවසවර්ති දෙවියොත් ප්‍රීති ඝෝෂා කළා ….(පෙ)…. බ්‍රහ්මකායික දෙවියොත් ප්‍රීති ඝෝෂා කළා. ‘පින්වත්නි, යම් තැනක අරහත් වූ සම්මා සම්බුදු වූ තථාගතයන් වහන්සේ වැඩඉන්නවා නම්, යම් තැනක ආයුෂ්මත් අනුරුද්ධ, ආයුෂ්මත් නන්දිය, ආයුෂ්මත් කිම්බිල යන ස්වාමීන් වහන්සේලා තුන් නම වැඩසිටිනවා නම් ඒ වජ්ජීන්ට ලාභයක්! යහපත් ලාභයක්!’ කියලා. ඒ ක්ෂණයෙහිදී ඒ මොහොතේදී ඒ ආයුෂ්මත් තෙරුන් වහන්සේලාගේ කීර්තිය බ්‍රහ්ම ලෝකය දක්වා පැතිරී ගියා.”
“පින්වත් දීඝ, ඒක එහෙම ම යි. පින්වත් දීඝ, ඒක එහෙම ම යි. ඒ වගේ ම ඔය කුලපුත්‍රයන් තුන් දෙනා යම් පවුලකින් ගිහි ගෙදරින් නික්මිලා මහණ වුනා ද, ඒ පවුල්වල උදවිය ඒ දරුවන් ගැන සිත පහදවාගෙන සිහි කරනවා ද, ඒක ඒ පවුල්වලට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතිනවා.
පින්වත් දීඝ, ඒ වගේම යම් පරම්පරාවකින් නික්මිලා, ඔය කුලපුත්‍රයන් තුන් දෙනා මේ මහණ ජීවිතේට පත්වුනා ද, ඒ ඤාති පරපුර මේ දරුවන් ගැන සිත පහදවාගෙන සිහි කරනවා නම්, ඒක ඒ කුල පරම්පරාවට බොහෝ කලක් හිත සුව පිණිස පවතිනවා.
පින්වත් දීඝ, ඒ වගේම මේ කුලපුත්‍රයන් තුන් දෙනා යම් ගමකින් නික්මිලා උතුම් මහණකම ලබාගත්තා ද, ඒ ගම්වාසීන් මේ දරුවන් තුන් දෙනා ගැන හිත පහදවාගෙන සිහි කරනවා නම්, ඒක මේ ගම්වාසීන්ට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතිනවා.
පින්වත් දීඝ, මේ කුලපුත්‍රයන් තුන් දෙනා යම් නියම් ගමකින් නික්මිලා උතුම් මහණ ජීවිතේ ලබාගත්තා ද, ඒ නියම් ගම්වාසීන් මේ පින්වත් දරුවන් තුන් දෙනා ගැන සිත පහදවාගෙන සිහි කරනවා නම්, ඒක ඒ නියම් ගම්වාසීන්ට බොහෝ කලක් හිත සුව පිණිස පවතිනවා.
පින්වත් දීඝ, මේ කුලපුත්‍රයන් තුන් දෙනා යම් නගරයකින් නික්මිලා උතුම් පැවිදි ජීවිතේ ලබාගත්තා ද, ඒ නගරවාසීනුත් මේ පින්වත් දරුවන් තුන් දෙනා ගැන හිත පහදවාගෙන සිහි කරනවා නම්, ඒක ඒ නගරවාසීන්ට බොහෝ කලක් හිත සුව පිණිස පවතිනවා.
පින්වත් දීඝ, යම් ජනපදයකින් නික්මිලා මේ කුලපුත්‍රයන් තුන් දෙනා මේ උතුම් මහණ ජීවිතේට පත්වුනා ද, ඒ ජනපදවාසීන් මේ පින්වත් දරුවන් තුන් දෙනා ගැන සිත පහදවාගෙන සිහි කරනවා නම්, ඒ ජනපදවාසීන්ට ඒක බොහෝ කලක් හිත සුව පිණිස පවතිනවා.
පින්වත් දීඝ, රජ කුලයේ සියලු දෙනාත්, මේ කුලපුත්‍රයන් තුන් දෙනා ගැන හිත පහදවාගෙන සිහි කළොත් ඒක ඒ රජ කුලේ ඇත්තන්ට බොහෝ කලක් හිත සුව පිණිස පවතිනවා.
පින්වත් දීඝ, බ්‍රාහ්මණ කුලේ උදවියත් මේ කුලපුත්‍රයන් තුන් දෙනා ගැන හිත පහදවාගෙන සිහි කළොත්, ඒ බ්‍රාහ්මණ කුලේ ඇත්තන්ටත් ඒක බොහෝ කලක් හිත සුව පිණිස පවතිනවා.
ඒ වගේ ම පින්වත් දීඝ, වෙළඳ කුලේ උදවිය මේ කුලපුත්‍රයන් තුන් දෙනා ගැන හිත පහදවාගෙන සිහි කළොත්, ඒ වෙළඳ කුලේ ඇත්තන්ටත් ඒක බොහෝ කලක් හිත සුව පිණිස පවතිනවා.
ඒ වගේ ම පින්වත් දීඝ, මෙහෙකාර කුලේ උදවිය මේ කුලපුත්‍රයන් තුන් දෙනා ගැන හිත පහදවාගෙන සිහි කළොත්, ඒ මෙහෙකාර කුලේ ඇත්තන්ටත් ඒක බොහෝ කලක් හිත සුව පිණිස පවතිනවා.
පින්වත් දීඝ, දෙවියන් සහිත ලෝකයා ම, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාව ම මේ කුලපුත්‍රයන් තුන් දෙනා ගැන සිත පහදවාගෙන සිහි කළොත්, ඒක දෙවියන් සහිත ලෝකයාට ම, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවට ම බොහෝ කලක් හිත සුව පිණිස පවතිනවා.
පින්වත් දීඝ, බලන්න මේ කුලපුත්‍රයන් තුන් දෙනා බොහෝ ජනයාට හිත සුව පිණිස ප්‍රතිපත්තියේ යෙදිලයි ඉන්නෙ. බොහෝ ජනයාට සැප පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙව් මිනිස් ප්‍රජාවගේ හිත සුව පිණිස ප්‍රතිපත්තියේ යෙදිලයි ඉන්නෙ.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. දීඝපරජන දිව්‍යරාජයා මේ ගැන ගොඩාක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ කරුණු සාදු නාද නංවමින් සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
ගෝසිංග සල් වනයේදී වදාළ කුඩා දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M