මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර කලන්දක නිවාපය කියන වේළුවනාරාමයේ. ජාතිභූමි කියන ගමෙන් පැවිදි වූ බොහෝ භික්ෂූන් වහන්සේලා ඒ ජාතිභූමි කියන ගමේ වස් වැසුවා. වස් පවාරණය කරලා එදා භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න පැමිණුන දවසයි. භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුන ඒ භික්ෂූන් වහන්සේලා උන්වහන්සේට වන්දනා කර එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුන ඒ භික්ෂූන් වහන්සේලාට භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වදාළා.
“පින්වත් මහණෙනි, ඔය ජාතිභූමි කියන ගමෙන් පැවිදි වෙච්ච, ජාතිභූමි ගමේ වස් වසපු සබ්‍රහ්මචාරී භික්ෂූන් අතර මහත් සම්භාවනාවට පාත්‍ර වෙච්ච භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව මෙන්න මේ විදිහටයි සම්භාවනාවට පාත්‍ර වෙලා තියෙන්නෙ. ‘තමාත් අල්පේච්ඡයි. ඒ වගේම භික්ෂූන්ටත් අල්පේච්ඡ බවේ ගුණ කියනවා. තමාත් ලද දෙයින් සතුටු වන කෙනෙක්. ඒ වගේම භික්ෂූන්ටත් ලද දෙයින් සතුටු වීමේ ගුණ කියනවා. තමාත් හුදකලා විවේකයෙන් සතුටු වෙන කෙනෙක්. ඒ වගේම භික්ෂූන්ටත් හුදකලා විවේකයේ සතුට ගැන කියනවා. තමාත් පිරිස හා එක් නොවී වසන කෙනෙක්. ඒ වගේම භික්ෂූන්ටත් පිරිස හා එක් නොවීමේ ගුණ කියනවා. තමාත් පටන් ගත්තු වීරිය තියෙන කෙනෙක්. ඒ වගේම භික්ෂූන්ටත් පටන් ගත්තු වීරිය ගැන ගුණ කියනවා. තමාත් සිල්වත් කෙනෙක්. ඒ වගේම භික්ෂූන්ටත් සීල සම්පත්තියේ ගුණ කියන කෙනෙක්. තමාත් සමාධිමත් සිත් ඇති කෙනෙක්. ඒ වගේම භික්ෂූන්ටත් සමාධි සම්පත්තියේ ගුණ කියන කෙනෙක්. තමාත් ප්‍රඥාවන්ත කෙනෙක්. ඒ වගේම භික්ෂූන්ටත් ප්‍රඥා සම්පත්තියේ ගුණ කියන කෙනෙක්. තමාත් දුකෙන් නිදහස් වෙච්ච කෙනෙක්. ඒ වගේම භික්ෂූන්ටත් විමුක්ති සම්පත්තිය ගැන ගුණ කියන කෙනෙක්. තමාත් දුකින් නිදහස් වූ බවට ඤාණ දර්ශනය ලබපු කෙනෙක්. ඒ වගේ ම භික්ෂූන්ටත් දුකින් නිදහස් වීමේ ඤාණ දර්ශන සම්පත්තිය ගැන ගුණ කියන කෙනෙක්. ඔන්න ඔය කරුණුවලින් භික්ෂූන්ට අවවාද කරන කෙනෙක්. දස කථාවෙන් අවබෝධය ඇති කරවන කෙනෙක්. සදහම් කරුණු හොඳින් දක්වන කෙනෙක්. ඒ දස කථාවේ සමාදන් කරවන කෙනෙක්. එහි උනන්දු කරවන කෙනෙක්. එහි වඩාත් උනන්දු කරවන කෙනෙක්’ කියලා. සබ්‍රහ්මචාරීන් වහන්සේලා අතර ඔය විදිහට සම්භාවනාවට පත්වෙච්ච ඒ භික්ෂුව කවුද?”
“ස්වාමීනි, මන්තාණි බ්‍රාහ්මණතුමියගේ පුත්‍රරත්නය වන ආයුෂ්මත් පුණ්ණ කියල තෙරුන් වහන්සේ නමක් ඉන්නවා. ජාතිභූමියෙන් පැවිදි වෙච්ච ජාතිභූමියේ වාසය කරන සබ්‍රහ්මචාරී භික්ෂූන් අතර උන්වහන්සේව ඔය විදිහට මහත් සම්භාවනාවට ලක්වෙලා තියෙනවා. ‘තමාත් අල්පේච්ඡයි. ඒ වගේම භික්ෂූන්ටත් අල්පේච්ඡ බවේ ගුණ කියනවා. තමාත් ලද දෙයින් සතුටු වන කෙනෙක්. ඒ වගේම භික්ෂූන්ටත් ලද දෙයින් සතුටු වීමේ ගුණ කියනවා. තමාත් හුදකලා විවේකයෙන් සතුටු වෙන කෙනෙක්. ඒ වගේම භික්ෂූන්ටත් හුදකලා විවේකයේ සතුට ගැන කියනවා. තමාත් පිරිස හා එක් නොවී වසන කෙනෙක්. ඒ වගේම භික්ෂූන්ටත් පිරිස හා එක් නොවීමේ ගුණ කියනවා. තමාත් පටන් ගත්තු වීරිය තියෙන කෙනෙක්. ඒ වගේම භික්ෂූන්ටත් පටන් ගත්තු වීරිය ගැන ගුණ කියනවා. තමාත් සිල්වත් කෙනෙක්. ඒ වගේම භික්ෂූන්ටත් සීල සම්පත්තියේ ගුණ කියන කෙනෙක්. තමාත් සමාධිමත් සිත් ඇති කෙනෙක්. ඒ වගේම භික්ෂූන්ටත් සමාධි සම්පත්තියේ ගුණ කියන කෙනෙක්. තමාත් ප්‍රඥාවන්ත කෙනෙක්. ඒ වගේම භික්ෂූන්ටත් ප්‍රඥා සම්පත්තියේ ගුණ කියන කෙනෙක්. තමාත් දුකෙන් නිදහස් වෙච්ච කෙනෙක්. ඒ වගේම භික්ෂූන්ටත් විමුක්ති සම්පත්තිය ගැන ගුණ කියන කෙනෙක්. තමාත් දුකින් නිදහස් වූ බවට ඤාණ දර්ශනය ලබපු කෙනෙක්. ඒ වගේම භික්ෂූන්ටත් දුකින් නිදහස් වීමේ ඤාණ දර්ශන සම්පත්තිය ගැන ගුණ කියන කෙනෙක්. ඔන්න ඔය කරුණුවලින් භික්ෂූන්ට අවවාද කරන කෙනෙක්. දස කථාවෙන් අවබෝධය ඇතිකරවන කෙනෙක්. සදහම් කරුණු හොඳින් දක්වන කෙනෙක්. ඒ දස කථාවේ සමාදන් කරවන කෙනෙක්. එහි උනන්දු කරවන කෙනෙක්. එහි වඩාත් උනන්දු කරවනවා’ කියල උන්වහන්සේව ම තමයි මහත් සම්භාවනාවට පත් වෙලා තියෙන්නෙ.”
ඒ වෙලාවේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමීපයේ වාඩිවෙලා හිටියා. ඉතින් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මේ විදිහට හිතුණා. ‘ආයුෂ්මත් මන්තාණිපුත්ත පුණ්ණයන් වහන්සේට කොච්චර ලාභයක්ද? ආයුෂ්මත් මන්තාණිපුත්ත පුණ්ණයන් වහන්සේට කොයිතරම් හොඳ ලාභයක්ද? නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලා ශාස්තෘන් වහන්සේ ඉදිරියේ ආයුෂ්මත් පුණ්ණයන් වහන්සේගේ ගුණ වර්ණනාව කතා කරනවානෙ. ශාස්තෘන් වහන්සේත් ඒක අනුමෝදන් වෙනවානෙ. අපටත් කවදා හරි දවසක ආයුෂ්මත් මන්තාණිපුත්ත පුණ්ණයන් ඇසුරු කරන්න ලැබෙනවා නම් කොච්චර දෙයක්ද! කතා බස් කරන්න ලැබෙනවා නම් කොච්චර දෙයක්ද!’ කියලා.
ඉතින් ඊටපස්සේ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කැමති තාක් කල් වාසය කරලා සැවැත් නුවර බලා චාරිකාවේ වැඩියා. අනුපිළිවෙලින් චාරිකාවේ වඩිමින් සැවැත් නුවරට ම වැඩම කළා. සැවැත් නුවරදී භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. ආයුෂ්මත් මන්තාණිපුත්ත පුණ්ණයන් වහන්සේට මේ කාරණය ආරංචි වුනා. ‘භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරට වැඩියා. දැන් සැවැත් නුවර ජේතවනයේ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ වැඩඉන්නවා’ කියල.
ඉතින් ආයුෂ්මත් මන්තාණිපුත්ත පුණ්ණයන් වහන්සේ තම කුටිය පිළිවෙලකට සකස් කරලා, පාත්තර සිවුරු අරගෙන සැවැත් නුවර බලා චාරිකාවෙ පිටත් වුණා. පිළිවෙලින් චාරිකාවේ වැඩමකරලා සැවැත් නුවරටත් පැමිණුනා. සැවැත් නුවර ජේතවනයේ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ වැඩසිටිය භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න ගියා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරල එකත්පස්ව වාඩිවුනා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒ එකත්පස්ව වාඩිවුණු මන්තාණිපුත්ත පුණ්ණයන්ට ධර්ම කථාවෙන් කරුණු දැක්වුවා. සමාදන් කෙරෙව්වා. උනන්දු කෙරෙව්වා. සතුටු කළා. ආයුෂ්මත් මන්තාණිපුත්ත පුණ්ණයන් වහන්සේත් භාග්‍යවතුන් වහන්සේ වෙතින් ධර්ම කථාවෙන් කරුණු දැනගෙන, සමාදන් වෙලා, උනන්දු වෙලා, සතුටු වෙලා භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය සතුටින් පිළිගත්තා. අනුමෝදන් වුණා. ආසනයෙන් නැගිටලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැදකුණු කළා. ඊට පස්සේ දවල් කාලෙ ගතකරන්න අන්ධ වනයට ගියා.
එතකොට එක්තරා භික්ෂුවක් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේව හොයාගෙන ගියා. ගිහින් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මේ කාරණය කිව්වා.
“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, මන්තාණිපුත්ත පුණ්ණ නම් භික්ෂුව ගැන ඔබවහන්සේ නිතරම ගුණ කිව්වා නේද? අන්න ඒ ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙතින් ධර්ම කථා අහල කරුණු ඉගෙන ගෙන, සමාදන් වෙලා, උත්සාහවත් වෙලා, සතුටු වෙලා, භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය සතුටින් පිළිගත්තා. අනුමෝදන් වුනා. ඊට පස්සේ අසුනෙන් නැගිටලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැදකුණු කළා. ඊට පස්සෙ දවල් කාලෙ ගතකරන්න අන්ධ වනයට වැඩියා” කියල.
එතකොට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ හනි හනිකට පත්කඩයත් අරගෙන ආයුෂ්මත් මන්තාණිපුත්ත පුණ්ණයන් වහන්සේ පිටිපස්සෙන් උන්වහන්සේගේ හිස පෙනි පෙනී වැඩම කළා. ආයුෂ්මත් මන්තාණිපුත්ත පුණ්ණයන් වහන්සේත් අන්ධ වනය ඇතුළට ම වැඩියා. එක්තරා රුක් සෙවණක දවල් කාලය ගෙවන්න වාඩිවුනා. එතකොට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේත් අන්ධ වනය ඇතුළට ම වැඩියා. එක්තරා රුක් සෙවණක දවල් කාලය ගත කරන්න වාඩිවුනා. ඉතින් හවස් වුනාට පස්සෙ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාවනාවෙන් නැගිට්ටා. ආයුෂ්මත් මන්තාණිපුත්ත පුණ්ණයන් වහන්සේ ළඟට ගියා. ගිහින් ආයුෂ්මත් මන්තාණිපුත්ත පුණ්ණයන් වහන්සේ සමඟ සතුටු සාමීචි කතා බහේ යෙදුනා. ඊට පස්සෙ පැත්තකින් වාඩිවුනා. ඒ වෙලාවේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ආයුෂ්මත් මන්තාණිපුත්ත පුණ්ණයන් වහන්සේගෙන් මෙන්න මෙහෙම ඇහුවා.
“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඔබ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ බඹසර රකින කෙනෙක්ද?”
“එහෙමයි, ආයුෂ්මතුන් වහන්ස.”
“ඉතින් ආයුෂ්මතුන් වහන්සේ සීල විසුද්ධිය ඉලක්ක කරගෙන ද භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නෙ?”
“එහෙමත් නෑ. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස.”
“එහෙම නම් ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, චිත්ත විසුද්ධිය ඉලක්ක කරගෙන ද භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නෙ?”
“එහෙමත් නෑ. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස.”
“එහෙම නම් ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, දිට්ඨි විසුද්ධිය ඉලක්ක කරගෙන ද භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නෙ?”
“එහෙමත් නෑ. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස.”
“එහෙම නම් ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, කංඛාවිතරණ විසුද්ධිය ඉලක්ක කරගෙන ද භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නෙ?”
“එහෙමත් නෑ. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස.”
“එහෙම නම් ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධිය ඉලක්ක කරගෙන ද භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නෙ?”
“එහෙමත් නෑ. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස.”
“එහෙම නම් ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, පටිපදා ඤාණදස්සන විසුද්ධිය ඉලක්ක කරගෙන ද භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නෙ?”
“එහෙමත් නෑ. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස.”
“එහෙම නම් ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඤාණදස්සන විසුද්ධිය ඉලක්ක කරගෙන ද භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නෙ?”
“එහෙමත් නෑ. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස.”
“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මං ඔබෙන් ඇසුවා ‘සීල විසුද්ධිය ඉලක්ක කරගෙන ද ඔබ භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නෙ?’ කියල. එතකොට ඔබ කියනවා ‘එහෙම නෑ. ආයුෂ්මතුනි’ කියල. ඊටපස්සෙ මං ඔබෙන් ඇහුවා ‘එහෙම නම් ප්‍රිය ආයුෂ්මතුනි, චිත්ත විසුද්ධිය ඉලක්ක කරගෙන ද ඔබ භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර හැසිරෙන්නෙ?’ කියල. ඒකට ඔබ පිළිතුරු දුන්නෙත් ‘එහෙම නෑ. ප්‍රිය ආයුෂ්මතුනි’ කියල. ඊටපස්සෙ මං ඔබෙන් ඇහුවා ‘එහෙම නම් ප්‍රිය ආයුෂ්මතුනි, දිට්ඨි විසුද්ධිය ….(පෙ)…. කංඛාවිතරණ විසුද්ධිය ….(පෙ)…. මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධිය ….(පෙ)…. පටිපදා ඤාණදස්සන විසුද්ධිය ….(පෙ)…. එහෙම නම් ප්‍රිය ආයුෂ්මතුනි, ඤාණදස්සන විසුද්ධිය ඉලක්ක කරගෙන ද භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර හැසිරෙන්නෙ? කියල. එතකොටත් ඔබ පිළිතුරු දුන්නෙ ‘එහෙම නෑ. ආයුෂ්මතුනි’ කියලයි. එහෙම නම් ප්‍රිය ආයුෂ්මතුනි, ඔබ භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර හැසිරෙන්නේ කුමක් ඉලක්ක කරගෙනද?”
“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර හැසිරෙන්නේ උපාදාන රහිතව පිරිනිවන් පෑමටයි.”
“ඉතින් ආයුෂ්මතුනි, එතකොට උපාදාන රහිතව පිරිනිවන් පෑම කියල කියන්නේ සීල විසුද්ධියටද?”
“නෑ, ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස.”
“එහෙම නම් ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, උපාදාන රහිතව පිරිනිවන් පෑම කියල කියන්නේ චිත්ත විසුද්ධියටද?”
“නෑ, ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස.”
“එහෙම නම් ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, උපාදාන රහිතව පිරිනිවන් පෑම කියල කියන්නේ දිට්ඨි විසුද්ධියටද?”
“නෑ, ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස.”
“එහෙම නම් ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, උපාදාන රහිතව පිරිනිවන් පෑම කියල කියන්නේ කංඛාවිතරණ විසුද්ධියටද?”
“නෑ, ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස.”
“එහෙම නම් ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, උපාදාන රහිතව පිරිනිවන් පෑම කියල කියන්නේ මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධියටද?”
“නෑ, ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස.”
“එහෙම නම් ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, උපාදාන රහිතව පිරිනිවන් පෑම කියල කියන්නේ පටිපදා ඤාණදස්සන විසුද්ධියටද?”
“නෑ, ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස.”
“එහෙම නම් ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, උපාදාන රහිතව පිරිනිවන් පෑම කියල කියන්නේ ඤාණදස්සන විසුද්ධියටද?”
“නෑ, ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස.”
“එහෙම නම් ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, උපාදාන රහිතව පිරිනිවන් පෑම කියල කියන්නේ මේවායින් තොර වූ දෙයක් ද?”
“නෑ, ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස.”
“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ‘උපාදාන රහිතව පිරිනිවන් පෑම කියල කියන්නේ සීල විසුද්ධියටද?’ කියල මං ඔබෙන් ඇසූ විට, ‘නෑ. ආයුෂ්මතුනි’ කියල පිළිතුරු දුන්නා. ඊට පස්සෙ ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ‘උපාදාන රහිතව පිරිනිවන් පෑම කියල කියන්නේ චිත්ත විසුද්ධියටද?’ කියල මං ඔබෙන් ඇසූ විට, ‘නෑ. ආයුෂ්මතුනි’ කියල පිළිතුරු දුන්නා. ඊට පස්සෙ ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ‘උපාදාන රහිතව පිරිනිවන් පෑම කියල කියන්නේ දිට්ඨි විසුද්ධියටද?’ කියල මං ඔබෙන් ඇසූ විට, ‘නෑ. ආයුෂ්මතුනි’ කියල පිළිතුරු දුන්නා. ඊට පස්සෙ ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ‘උපාදාන රහිතව පිරිනිවන් පෑම කියල කියන්නේ කංඛාවිතරණ විසුද්ධියටද?’ කියල මං ඔබෙන් ඇසූ විට, ‘නෑ. ආයුෂ්මතුනි’ කියල පිළිතුරු දුන්නා. ඊට පස්සෙ ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ‘උපාදාන රහිතව පිරිනිවන් පෑම කියල කියන්නේ මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධියටද?’ ….(පෙ)…. පටිපදා ඤාණදස්සන විසුද්ධියටද? ….(පෙ)…. ඤාණදස්සන විසුද්ධියට ද?‘ කියල මං ඔබෙන් ඇසූ විට, ‘නෑ. ආයුෂ්මතුනි’ කියල පිළිතුරු දුන්නා. ඊට පස්සෙ ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ‘උපාදාන රහිතව පිරිනිවන් පෑම කියල කියන්නේ මේ ධර්මයන්ගෙන් තොර වූ දෙයකටද?’ කියල මං ඔබෙන් ඇසූ විට, ‘නෑ. ආයුෂ්මතුනි’ කියල පිළිතුරු දුන්නා. ඇත්තෙන් ම ප්‍රිය ආයුෂ්මතුනි, ඔය කතාව තේරුම් ගත යුත්තෙ කොහොමද?”
“ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ උපාදාන රහිතව පිරිනිවන් පෑම වශයෙන් සීල විසුද්ධිය පණවා වදාළ සේක් නම්, උපාදාන රහිතව පිරිනිවන් පාන්නේ උපාදාන සහිත කෙනෙක් ම යි. ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ උපාදාන රහිතව පිරිනිවන් පෑම වශයෙන් චිත්ත විසුද්ධිය පණවා වදාළ සේක් නම්, උපාදාන රහිතව පිරිනිවන් පාන්නේ උපාදාන සහිත කෙනෙක් ම යි. ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ උපාදාන රහිතව පිරිනිවන් පෑම වශයෙන් දිට්ඨි විසුද්ධිය පණවා වදාළ සේක් නම්, උපාදාන රහිතව පිරිනිවන් පාන්නේ උපාදාන සහිත කෙනෙක් ම යි. ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ උපාදාන රහිතව පිරිනිවන් පෑම වශයෙන් කංඛාවිතරණ විසුද්ධිය පණවා වදාළ සේක් නම්, උපාදාන රහිතව පිරිනිවන් පාන්නේ උපාදාන සහිත කෙනෙක් ම යි. ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ උපාදාන රහිතව පිරිනිවන් පෑම වශයෙන් මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධිය පණවා වදාළ සේක් නම්, උපාදාන රහිතව පිරිනිවන් පාන්නේ උපාදාන සහිත කෙනෙක් ම යි. ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ උපාදාන රහිතව පිරිනිවන් පෑම වශයෙන් පටිපදා ඤාණදස්සන විසුද්ධිය පණවා වදාළ සේක් නම්, උපාදාන රහිතව පිරිනිවන් පාන්නේ උපාදාන සහිත කෙනෙක් ම යි. ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ උපාදාන රහිතව පිරිනිවන් පෑම වශයෙන් ඤාණදස්සන විසුද්ධිය පණවා වදාළ සේක් නම්, උපාදාන රහිතව පිරිනිවන් පාන්නේ උපාදාන සහිත කෙනෙක් ම යි. ප්‍රිය ආයුෂ්මතුනි, මේ ධර්මයන්ගෙන් තොරව උපාදාන රහිතව පිරිනිවන් පානවා නම් පෘථග්ජනයෙකුටත් පිරිනිවන් පාන්ට පුළුවනි. ප්‍රිය ආයුෂ්මතුනි, පෘථග්ජනයා මේ ධර්මයන්ගෙන් තොරයි.
ප්‍රිය ආයුෂ්මතුනි, මං මේ ගැන ඔබට උපමාවක් කියා දෙන්නම්. බුද්ධිමත් කෙනෙකුට උපමා වලිනුත් අර්ථ අවබෝධ කරන්න පුළුවනි. ප්‍රිය ආයුෂ්මතුනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. සැවැත් නුවර ඉන්න පසේනදී කොසොල් රජ්ජුරුවන්ට සාකේත නුවරට යන්න හදිසි ගමනක් යෙදෙනවා. ඉතින් ඒ ගමන වෙනුවෙන් සැවැත් නුවරත්, සාකේත නුවරත් අතර හොඳට පුහුණු කරපු වාහන හතක් සූදානම් කරනවා. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, කොසොල් රජ්ජුරුවො සැවැත් නුවර ඇතුළු නුවර දොරෙන් පිටත් වෙලා පළවෙනි පුහුණු වෙච්ච වාහනයට නගිනවා. ඒ පුහුණු වෙච්ච පළවෙනි වාහනයෙන් ගිහිල්ලා, පුහුණු වෙච්ච දෙවෙනි වාහනයට නගිනවා. පුහුණු වෙච්ච දෙවෙනි වාහනයෙන් ගිහිල්ලා, පුහුණු වෙච්ච තුන්වෙනි වාහනයට නගිනවා. පුහුණු වෙච්ච තුන්වෙනි වාහනයෙන් ගිහිල්ලා, පුහුණු වෙච්ච හතරවෙනි වාහනයට නගිනවා. පුහුණු වෙච්ච හතරවෙනි වාහනයෙන් ගිහිල්ලා පුහුණු වෙච්ච පස්වෙනි වාහනේට නගිනවා. පුහුණු වෙච්ච පස්වෙනි වාහනයෙන් ගිහිල්ලා පුහුණු වෙච්ච හයවෙනි වාහනයට නගිනවා. පුහුණු වෙච්ච හයවෙනි වාහනයෙන් ගිහිල්ල පුහුණු වෙච්ච හත්වෙනි වාහනයට නගිනවා. පුහුණු වෙච්ච හත්වෙනි වාහනයෙන් ගිහිල්ලා සාකේත නුවර ඇතුල් නගරයෙ දොරටුව ළඟට එනවා.
ඇතුල් නගරයෙ දොරටුව ළඟට ආපු රජ්ජුරුවන් ගෙන් යහළු මිත්‍රයන් නෑදෑයින් මෙහෙම අහනවා. ‘මහරජතුමනි, ඔබ සැවැත් නුවර ඉඳල සාකේත නුවර ඇතුල් නගරෙ දොරටුව ළඟට ආවෙ මේ පුහුණු වෙච්ච වාහනයෙන් ද?’ කියලා. එහෙම ඇහුවොත් ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, පසේනදී කොසොල් රජ්ජුරුවො නියම විදිහට උත්තර දෙනවා නම් කොයි ආකාරයට උත්තර දෙයි ද?”
“ප්‍රිය ආයුෂ්මතුනි, කොසොල් රජ්ජුරුවො නියම විදිහට උත්තර දෙනවා නම්, මෙන්න මේ විදිහටයි උත්තර දෙන්න ඕන. ‘මං සැවැත් නුවර ඉන්න කොට සාකේතයට එන්න හදිසි කාරණයක් යෙදුනා. ඉතින් සැවැතටත් සාකේතයටත් අතර පුහුණු වෙච්ච වාහන හතක් පිළියෙල කරල තිබුනා. මං සැවැතේ ඇතුළු නගරෙ දොරටුවෙන් නික්මිලා පුහුණු වෙච්ච පළවෙනි වාහනයට නැග්ගා. ඒ පළවෙනි වාහනයෙන් දෙවෙනි වාහනේ ළඟට ආවා. පුහුණු වෙච්ච පළවෙනි වාහනය අත්හැරියා. පුහුණු වෙච්ච දෙවෙනි වාහනේට නැග්ගා. ඒ වාහනයෙන් පුහුණු වෙච්ච තුන්වෙනි වාහනය ළඟට ආවා. පුහුණු වෙච්ච දෙවෙනි වාහනේ අත්හැරියා. පුහුණු වෙච්ච තුන්වෙනි වාහනේට නැග්ගා. ඒ වාහනයෙන් පුහුණු වෙච්ච හතරවෙනි වාහනේ ළඟට ගියා. අර පුහුණු වෙච්ච තුන්වෙනි වාහනය අත්හැරියා. පුහුණු වෙච්ච හතරවෙනි වාහනේට නැග්ගා. ඒ වාහනයෙන් පුහුණු වෙච්ච පස්වෙනි වාහනේ ළඟට ගියා. පුහුණු වෙච්ච හතරවෙනි වාහනේ අත්හැරියා. පුහුණු වෙච්ච පස්වෙනි වාහනයට නැග්ගා. පුහුණු වෙච්ච පස්වෙනි වාහනයෙන් පුහුණු වෙච්ච හයවෙනි වාහනේ ළඟට ගියා. පුහුණු වෙච්ච පස්වෙනි වාහනේ අත්හැරියා. පුහුණු වෙච්ච හයවෙනි වාහනේට නැග්ගා. පුහුණු වෙච්ච හයවෙනි වාහනයෙන් පුහුණු වෙච්ච හත්වෙනි වාහනේ ළඟට ගියා. පුහුණු වෙච්ච හයවෙනි වාහනේ අත්හැරියා. පුහුණු වෙච්ච හත්වෙනි වාහනේට නැග්ගා. ඒ පුහුණු වෙච්ච හත්වෙනි වාහනයෙන් තමයි සාකේතයේ ඇතුල් නගරයේ දොරටුව ළඟට ආවේ’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, පසේනදී කොසොල් රජ්ජුරුවො නියම විදිහට උත්තර දෙනවා නම්, ඔය විදිහට තමයි උත්තර දෙන්නෙ.”
ප්‍රිය ආයුෂ්මතුනි, ඔන්න ඔය විදිහමයි. සීල විසුද්ධිය තියෙන්නෙ චිත්ත විසුද්ධිය ලබාගැනීම පිණිස ම යි. චිත්ත විසුද්ධිය තියෙන්නෙ දිට්ඨි විසුද්ධිය ලබාගැනීම පිණිස ම යි. දිට්ඨි විසුද්ධිය තියෙන්නෙ කංඛාවිතරණ විසුද්ධිය ලබාගැනීම පිණිස ම යි. කංඛාවිතරණ විසුද්ධිය තියෙන්නෙ මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධිය ලබාගැනීම පිණිස ම යි. මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධිය තියෙන්නෙ පටිපදා ඤාණදස්සන විසුද්ධිය ලබාගැනීම පිණිස ම යි. පටිපදා ඤාණදස්සන විසුද්ධිය තියෙන්නෙ ඤාණදස්සන විසුද්ධිය ලබා ගැනීම පිණිස ම යි. ඤාණදස්සන විසුද්ධිය තියෙන්නෙ උපාදාන රහිතව පිරිනිවන් පෑම පිණිස ම යි. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මං භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර හැසිරෙන්නේ මේ උපාදාන රහිතව පිරිනිවන් පෑම ඉලක්ක කරගෙන ම යි.”
එතකොට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ආයුෂ්මත් මන්තාණිපුත්ත පුණ්ණයන් වහන්සේ ගෙන් මෙන්න මෙහෙම ඇහුවා.
“ආයුෂ්මතුන් වහන්සේගේ නම මොකක්ද? සබ්‍රහ්මචාරීන් වහන්සේලා ආයුෂ්මතුන්ව දන්නෙ මොන නමින්ද?” කියලා.
“ප්‍රිය ආයුෂ්මතුනි, මගේ නම පුණ්ණ. නමුත් සබ්‍රහ්මචාරීන් වහන්සේලා මාව හඳුන්වන්නෙ මන්තාණිපුත්ත යන නමින්.”
“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඇත්තෙන් ම අසිරිමත්! ආයුෂ්මතුන් වහන්ස, ඇත්තෙන් ම අද්භූතයි! ශ්‍රැතවත් ශ්‍රාවකයෙකු විසින් ඉතා හොඳින් ශාස්තෘ ශාසනය දැනගෙන තියෙන්නෙ යම් අයුරකින් නම්, අන්න ඒ අයුරින් ආයුෂ්මත් මන්තාණිපුත්ත පුණ්ණයන් වහන්සේ ඉතා ගාම්භීර ප්‍රශ්න බොහොම අගේට විසඳලා දුන්නා. යම් කෙනෙකුට ආයුෂ්මත් මන්තාණිපුත්ත පුණ්ණයන්ව දකින්න ලැබෙනවා නම්, ඇසුරු කරන්න ලැබෙනවා නම් ඒ සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ඒක ලාභයක්. මහත් වූ ලාභයක්. ආයුෂ්මත් මන්තාණිපුත්ත පුණ්ණයන්ව දුහුල් සළු පොටක් හිස් මුදුනින් පිළිගන්නවා වගේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ආයුෂ්මතුන්ව ඉහළින් පිළිඅරගෙන බැහැදකිනවා නම් ඒ සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ඒකත් ලාභයක්. ඇසුරු කරන එකත් ලාභයක්. අපටත් ඉතා හොඳ ලාභයක්. අපටත් යහපත් ලැබීමක්. ආයුෂ්මත් මන්තාණිපුත්ත පුණ්ණයන් දැකගන්න අපටත් ලැබුනා. ඇසුරු කරන්න අපටත් ලැබුනා.
එතකොට ආයුෂ්මත් මන්තාණිපුත්ත පුණ්ණයන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.
“ඔය ආයුෂ්මතුන්ගේ නම මොකක්ද? සබ්‍රහ්මචාරීන් වහන්සේලා ආයුෂ්මතුන්ව හඳුන්වන්නෙ මොන නමින්ද?” කියලා.
“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මගේ නම උපතිස්ස, සබ්‍රහ්මචාරීන් වහන්සේලා මාව හඳුන්වන්නෙ ‘සාරිපුත්ත’ යන නමින්.”
“ඒකාන්තයෙන් ම ශාස්තෘන් වහන්සේ නමක් හා සමානව වැඩසිටින පින්වත් ශ්‍රාවකයන් වහන්සේ නමක් සමඟ නෙව මං මේ සාකච්ඡා කරල තියෙන්නෙ. ඇත්තෙන් ම මං මේ කතා කළේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සමඟ කියල දන්නෙ නෑ. යම් විදිහකින් මට ඒ බව දැනගන්න ලැබුණා නම් මේ වැඩඉන්නෙ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ කියල, මට මෙච්චර දෙයක්වත් වැටහෙන එකක් නෑ. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ආශ්චර්යයි! ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, අද්භූතයි! ශ්‍රැතවත් ශ්‍රාවකයෙකු විසින් ඉතා හොඳින් ශාස්තෘ ශාසනය දැනගෙන තියෙන්නේ යම් අයුරකින් නම්, අන්න ඒ අයුරින් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ඉතා ගාම්භීර ප්‍රශ්න බොහෝම අගේට විමසුවා. සබ්‍රහ්මචාරීන් වහන්සේලාට මේක හරි ලාභයක්. සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ඉතාම හොඳ ලාභයක්. සාරිපුත්තයන් වහන්සේව ඒ ඇත්තන්ට දැකගන්න ලැබෙනවා. ඇසුරු කරන්නත් ලැබෙනවා. දුහුල් සළු පොටක් හිස් මුදුනින් පිළිගන්නවා වගේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේව හිස් මුදුනින් පිළිගන්නවා. උන්වහන්සේලාට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේව දැකගන්න ලැබෙනවා. ඇසුරු කරන්න ලැබෙනවා. ඒක ඒ ඇත්තන්ට ලාභයක්. ඒක ඉතාම හොඳ ලාභයක්. අපටත් ලාභයක්. අපටත් ඉතාම හොඳ ලාභයක්. අපටත් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේව දැකගන්න ලැබුනා. ඇසුරු කරන්න ලැබුනා.”
ඉතින් ඔය විදිහට ඒ අතිශයින් ම ශ්‍රේෂ්ඨ වූ මහරහතන් වහන්සේලා දෙනම ඔවුනොවුන්ගේ සුන්දර කතා බහ ඉතා සතුටින් අනුමෝදන් වුනා.
සාදු! සාදු!! සාදු!!!
පුහුණු වෙච්ච වාහනය උපමා කොට වදාළ දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M