මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” යි කියල, භික්ෂූන් වහන්සේලා ඇමතුවා. ‘පින්වතුන් වහන්ස’ කියල ඒ භික්ෂූන් වහන්සේලාත් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේදී තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළේ.
පින්වත් මහණෙනි, සමථ විදර්ශනා භාවනාව දියුණු වේගෙන යන කොට භික්ෂුව විසින් කරුණු පහක් ගැන කලින් කලට සිහි කරන්න ඕන. මොනවාද ඒ පහ?
(1)
පින්වත් මහණෙනි, භික්ෂුවක් යම් අරමුණක් මුල් කරගෙන, යම් කාරණයක් මුල් කරගෙන හිතන්න පටන් ගන්න කොට රාග සහිත වූ ත්, ද්වේෂ සහිත වූ ත්, මෝහ සහිත වූ ත්, පාපී අකුසල් සිතුවිලි උපදිනවා නම් එතකොට ඒ භික්ෂුව කළ යුත්තේ ඒ අරමුණෙන් තමන්ගේ අවධානය ඉවත් කරලා වෙනත් කුසල් අරමුණක් මෙනෙහි කිරීමයි. එතකොට වෙන්නේ ඒ අකුසල් අරමුණින් බැහැරව වෙනත් කුසල් අරමුණක් සිතන්න පටන්ගත්තු නිසා, අර රාග සහිත වූ ත්, ද්වේෂ සහිත වූ ත්, මෝහ සහිත වූ ත් පාපී අකුසල් සිතුවිලි නැති වෙලා යෑමයි. අභාවයට පත්වීමයි. ඒ පාපී සිතුවිලි නැතිවීමෙන් තමන් තුළ ම සිත පිහිටනවා. තැන්පත් වෙනවා. එකඟ වෙනවා. සමාධිමත් වෙනවා.
පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. දක්ෂ වඩුවෙක් හරි, ඒ වඩුඋන්නැහේගේ ගෝලයෙක් හරි ඉන්නවා කියල හිතමු. ඉතින් ඔහු සියුම් ඇණයකින් ගොරෝසු ඇණයක් තද කරනවා. එක්කො බැහැර කරනවා. එහෙම නැත්නම් ඇදල දානවා.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි භික්ෂුවක් යම් අරමුණක් මුල් කරගෙන, යම් කාරණයක් මුල් කරගෙන හිතන්න පටන් ගන්න කොට රාග සහිත වූ ත්, ද්වේෂ සහිත වූ ත්, මෝහ සහිත වූ ත් පාපී අකුසල් සිතුවිලි උපදිනවා නම් එතකොට ඒ භික්ෂුව කළ යුත්තේ ඒ අරමුණෙන් තමන්ගේ අවධානය ඉවත් කරලා වෙනත් කුසල් අරමුණක් මෙනෙහි කිරීමයි. එතකොට වෙන්නේ ඒ අකුසල් අරමුණින් බැහැරව වෙනත් කුසල් අරමුණක් සිතන්න පටන්ගත්තු නිසා, අර රාග සහිත වූ ත්, ද්වේෂ සහිත වූ ත්, මෝහ සහිත වූ ත් පාපී අකුසල් සිතුවිලි නැතිවෙලා යෑමයි. අභාවයට පත්වීමයි. ඒ පාපී සිතුවිලි නැතිවීමෙන් තමන් තුළ ම සිත පිහිටනවා. තැන්පත් වෙනවා. එකඟ වෙනවා. සමාධිමත් වෙනවා.
(2)
පින්වත් මහණෙනි, ඉදින් ඒ භික්ෂුව අකුසල් අරමුණ බැහැර කරමින් වෙනත් කුසල් අරමුණක් සිහි කරද්දී රාග සහිත වූ ත්, ද්වේෂ සහිත වූ ත්, මෝහ සහිත වූ ත් පාපී අකුසල සිතුවිලි ම හටගත්තොත්, ඒ භික්ෂුව විසින් කළ යුත්තේ මේකයි. පාපී අකුසල විතර්කවල භයානක පැත්ත ගැන නුවණින් විමසීමයි. ‘මේවා තමයි අකුසල විතර්ක. මේ අකුසල විතර්ක හොඳ දේවල් නම් නොවෙයි. මේ අකුසල විතර්කවලින් අන්තිමේ දී ලැබෙන්නේ දුක් විපාක විතරයි’ කියලා. ඉතින් ඒ විදිහට ඒ පාපී විතර්කවල භයානක පැත්ත ගැන නුවණින් විමසද්දී අර රාග සහිත වූ ත්, ද්වේෂ සහිත වූ ත්, මෝහ සහිත වූ ත් පාපී අකුසල විතර්ක නැතිවෙලා යනවා. අභාවයට පත්වෙනවා. ඒ අකුසල විතර්ක නැති වීම නිසා, තමන් තුළ ම සිත පිහිටනවා. තැන්පත් වෙනවා. එකඟ වෙනවා. සමාධිමත් වෙනවා.
පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. ලස්සනට සැරසෙන්න කැමති තරුණ දුවක් හෝ පුතෙක් හෝ ඉන්නවා. ඉතින් එයාලගේ බෙල්ලට සර්ප කුණක් හරි, බලු කුණක් හරි, මිනිස් කුණක් හරි වැටුනොත් පිළිකුල් කරනවා, ලැජ්ජා වෙනවා, අප්පිරියා වෙනවා.
පින්වත් මහණෙනි, අන්න ඒ වගේ භික්ෂුව අකුසල් අරමුණ බැහැර කරමින් වෙනත් කුසල් අරමුණක් සිහි කරද්දී රාග සහිත වූ ත්, ද්වේෂ සහිත වූ ත්, මෝහ සහිත වූ ත් පාපී අකුසල සිතුවිලි ම හටගත්තොත්, ඒ භික්ෂුව විසින් කළ යුත්තේ මේකයි. ඒ පාපී අකුසල විතර්කවල භයානක පැත්ත ගැන නුවණින් විමසීමයි. ‘මේවා තමයි අකුසල විතර්ක. මේ අකුසල විතර්ක හොඳ දේවල් නම් නොවෙයි. මේ අකුසල විතර්කවලින් අන්තිමේදී ලැබෙන්නේ දුක් විපාක විතරයි’ කියලා. ඉතින් ඒ විදිහට ඒ පාපී විතර්කවල භයානක පැත්ත ගැන නුවණින් විමසද්දී අර රාග සහිත වූ ත්, ද්වේෂ සහිත වූ ත්, මෝහ සහිත වූ ත් පාපී අකුසල විතර්ක නැතිවෙලා යනවා. අභාවයට පත්වෙනවා. ඒ අකුසල විතර්ක නැතිවීම නිසා, තමන් තුළ ම සිත පිහිටනවා. තැන්පත් වෙනවා. එකඟ වෙනවා. සමාධිමත් වෙනවා.
(3)
පින්වත් මහණෙනි, ඉතින් ඒ භික්ෂුව ඒ විදිහට අකුසල් විතර්කවල භයානක පැත්ත නුවණින් විමසද්දිත්, රාග සහිත වූ ත්, ද්වේෂ සහිත වූ ත්, මෝහ සහිත වූ ත් පාපී අකුසල විතර්ක උපන්නොත් එතකොට ඒ භික්ෂුව කළ යුත්තේ මෙයයි. ඒ විතර්ක මෙනෙහි නොකොට, සිහි නොකොට සිටීමයි. ඒ විදිහට අකුසල විතර්ක සිහි නොකර, මෙනෙහි නොකර ඉන්න කොට ඒ රාග සහිත වූ ත්, ද්වේෂ සහිත වූ ත්, මෝහ සහිත වූ ත් පාපී අකුසල විතර්ක නැති වෙලා යනවා. අභාවයට පත්වෙනවා. ඒ පාපී විතර්ක නැතිවීම නිසා, තමන් තුළ ම සිත පිහිටනවා. තැන්පත් වෙනවා. එකඟ වෙනවා. සමාධිමත් වෙනවා.
පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. ඇස් ඇති පුරුෂයෙක් තමන් ඉදිරියට එන රූප දකින්න අකමැති නම් එයා කරන්නේ ඇස් වහගන්න එක. එහෙම නැත්නම් අහක බලාගන්න එක.
ඔන්න ඔය විදිහම යි පින්වත් මහණෙනි, ඒ භික්ෂුව ඒ විදිහට අකුසල් විතර්කවල භයානක පැත්ත නුවණින් විමසද්දිත්, රාග සහිත වූ ත්, ද්වේෂ සහිත වූ ත්, මෝහ සහිත වූ ත් පාපී අකුසල විතර්ක උපන්නොත් එතකොට ඒ භික්ෂුව කළ යුත්තේ මෙයයි. ඒ විතර්ක මෙනෙහි නොකොට, සිහි නොකොට සිටීමයි. ඒ විදිහට අකුසල විතර්ක සිහි නොකර, මෙනෙහි නොකර ඉන්න කොට ඒ රාග සහිත වූ ත්, ද්වේෂ සහිත වූ ත්, මෝහ සහිත වූ ත් පාපී අකුසල විතර්ක නැතිවෙලා යනවා. අභාවයට පත්වෙනවා. ඒ පාපී විතර්ක නැතිවීම නිසා, තමන් තුළ ම සිත පිහිටනවා. තැන්පත් වෙනවා. එකඟ වෙනවා. සමාධිමත් වෙනවා.
(4)
පින්වත් මහණෙනි, භික්ෂුව ඔය විදිහට ඒ පාපී අකුසල විතර්ක සිහි නොකර සිටිද්දීත්, මෙනෙහි නොකර සිටිද්දීත් රාග සහිත වූ ත්, ද්වේෂ සහිත වූ ත්, මෝහ සහිත වූ ත් පාපී අකුසල උපන්නොත්, එතකොට ඒ භික්ෂුව කළ යුත්තේ මෙයයි. අර පාපී අකුසල විතර්ක සකස් වෙවී පිහිටන ආකාරය විමසීමයි. ඒ විදිහට සිතේ පාපී අකුසල විතර්ක සකස් වෙන තැන අල්ලගෙන විමසන විට ඒ රාග සහිත වූ ත්, ද්වේෂ සහිත වූ ත්, මෝහ සහිත වූ ත් පාපී අකුසල විතර්ක නැතිවෙලා යනවා. අභාවයට පත්වෙනවා. ඒ පාපී විතර්ක නැතිවීම නිසා, තමන් තුළ ම සිත පිහිටනවා. තැන්පත් වෙනවා. එකඟ වෙනවා. සමාධිමත් වෙනවා.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් වේගයෙන් යනවා කියල හිතමු. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘මං මොකටද වේගෙන් යන්නෙ? නෑ. මං හෙමින් යනවා.’ ඉතින් දැන් ඔහු හෙමින් යනවා. එතකොට ඔහු මෙහෙම හිතනවා. ‘මං මොකටද හෙමින් යන්නෙ? නෑ. මං නවතිනවා.’ එහෙම හිතන ඔහු නවතිනවා. ඊට පස්සෙ ඔහු මෙහෙම හිතනවා. ‘මං මොකටද නැවතිලා ඉන්නෙ? මීට වඩා හොඳයි වාඩිවෙන එක.’ එතකොට ඔහු වාඩිවෙනවා. ඊට පස්සෙ ඔහු මෙහෙම හිතනවා. ‘මං මොකටද වාඩිවෙන්නෙ? මීට වඩා හොඳයි හාන්සිවෙන එක.’ එතකොට ඔහු හාන්සි වෙනවා. පින්වත් මහණෙනි, ඒ පුරුෂයා අර අමාරු අමාරු ඉරියව් අත්හැර අත්හැර, ලේසි ලේසි ඉරියව්වලට ආවා.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ම භික්ෂුව ඒ පාපී අකුසල විතර්ක සිහි නොකර සිටිද්දීත්, මෙනෙහි නොකර සිටිද්දීත් රාග සහිත වූ ත්, ද්වේෂ සහිත වූ ත්, මෝහ සහිත වූ ත් පාපී අකුසල විතර්ක උපන්නොත්, එතකොට ඒ භික්ෂුව කළ යුත්තේ මෙයයි. අර පාපී අකුසල විතර්ක සකස් වෙවී පිහිටන ආකාරය විමසීමයි. ඒ විදිහට සිතේ පාපී අකුසල විතර්ක සකස් වෙන තැන අල්ලගෙන විමසන විට ඒ රාග සහිත වූ ත්, ද්වේෂ සහිත වූ ත්, මෝහ සහිත වූ ත් පාපී අකුසල විතර්ක නැතිවෙලා යනවා. අභාවයට පත්වෙනවා. ඒ පාපී විතර්ක නැතිවීම නිසා, තමන් තුළ ම සිත පිහිටනවා. තැන්පත් වෙනවා. එකඟ වෙනවා. සමාධිමත් වෙනවා.
(5)
පින්වත් මහණෙනි, භික්ෂුවට ඒ විදිහට අකුසල විතර්කයන් පටන්ගන්න තැන ඉඳල නුවණින් මෙනෙහි කරද්දීත් පාපී අකුසල විතර්ක ඇතිවුනොත්, ඒවා එක්කො රාගයෙන් හැදිච්ච දේවල්. එක්කො ද්වේෂයෙන් හැදිච්ච දේවල්. එක්කො මුළාව නිසා හැදිච්ච දේවල්. එතකොට ඒ භික්ෂුව දත්මිටි කා ගෙන, දිව තල්ලට තද කරගෙන කුසල් සිතින්, ඒ අකුසල් සිතට හොඳ හැටියට නිග්‍රහ කළ යුතුයි. තදින් මැඬලිය යුතුයි. හොඳට වෙහෙසවිය යුතුයි. එහෙම කරන කොට ඒ කියන්නෙ ඒ භික්ෂුව දත් මිටි කා ගෙන, දිව තල්ලට තද කරගෙන, කුසල් සිතින් ඒ අකුසල් සිතට හොඳ හැටියට නිග්‍රහ කරන කොට, තදින් මැඬලන කොට, හොඳට වෙහෙසවන කොට රාග සහිත වූ, ද්වේෂ සහිත වූ, මෝහ සහිත වූ, ඒ පාපී අකුසල විතර්ක නැතිවෙලා යනවා. අභාවයට පත්වෙනවා. ඒ අකුසල විතර්ක නැති වීමෙන් තමන් තුළ ම සිත පිහිටනවා. තැන්පත් වෙනවා. එකඟ වෙනවා. සමාධිගත වෙනවා.
පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. ශක්ති සම්පන්න පුරුෂයෙක් දුර්වල මිනිහෙකුගේ ඔළුවෙන් හරි අල්ලගෙන, ඇඟෙන් හරි අල්ලගෙන, තදින් නිග්‍රහ කරනවා නම්, හොඳ හැටියට මඬිනවා නම්, හොඳ හැටියට වෙහෙසවනවා නම් අන්න ඒ වගේ ම යි.
භික්ෂුවට ඒ විදිහට අකුසල විතර්කයන් පටන්ගන්න තැන ඉඳල නුවණින් මෙනෙහි කරද්දීත් පාපී අකුසල විතර්ක ඇතිවුනොත්, ඒවා එක්කො රාගයෙන් හැදිච්ච දේවල්. එක්කො ද්වේෂයෙන් හැදිච්ච දේවල්. එක්කො මුළාව නිසා හැදිච්ච දේවල්. එතකොට ඒ භික්ෂුව දත්මිටි කා ගෙන, දිව තල්ලට තද කරගෙන කුසල් සිතින්, ඒ අකුසල් සිතට හොඳ හැටියට නිග්‍රහ කළ යුතුයි. තදින් මැඬලිය යුතුයි. හොඳට වෙහෙසවිය යුතුයි. එහෙම කරන කොට ඒ කියන්නෙ ඒ භික්ෂුව දත් මිටි කා ගෙන, දිව තල්ලට තද කරගෙන, කුසල් සිතින් ඒ අකුසල් සිතට හොඳ හැටියට නිග්‍රහ කරන කොට, තදින් මැඬලන කොට, හොඳට වෙහෙසවන කොට රාග සහිත වූ, ද්වේෂ සහිත වූ, මෝහ සහිත වූ, ඒ පාපී අකුසල විතර්ක නැතිවෙලා යනවා. අභාවයට පත්වෙනවා. ඒ අකුසල විතර්ක නැතිවීමෙන් තමන් තුළ ම සිත පිහිටනවා. තැන්පත් වෙනවා. එකඟ වෙනවා. සමාධිගත වෙනවා.
පින්වත් මහණෙනි, යම් දවසක භික්ෂුවක් යම් කිසි අරමුණක් සිහිකරන කොට රාග සහිත, ද්වේෂ සහිත, මෝහ සහිත පාපී අකුසල විතර්ක උපදිනවා නම්, ඒ අරමුණින් බැහැර වෙලා කුසල් සහගත අරමුණක සිත පිහිටුවා ගනිද්දී ඒ රාග සහිත, ද්වේෂ සහිත, මෝහ සහිත පාපී අකුසල විතර්ක නැතිවෙලා යනවා. අභාවයට පත්වෙනවා. ඒ පාපී විතර්ක නැති වීම නිසා තමා තුළ ම සිත පිහිටනවා. තැන්පත් වෙනවා. එකඟ වෙනවා. සමාධිමත් වෙනවා.
ඒ පාපී අකුසල විතර්කවල භයානක විපාක නුවණින් විමසද්දීත් රාග සහිත, ද්වේෂ සහිත, මෝහ සහිත පාපී අකුසල විතර්ක නැතිවෙලා යනවා. අභාවයට පත් වෙනවා. ඒ පාපී විතර්ක නැතිවීම නිසා තමා තුළ ම සිත පිහිටනවා. තැන්පත් වෙනවා. එකඟ වෙනවා. සමාධිමත් වෙනවා.
ඒ පාපී අකුසල විතර්ක සිහි නොකොට, මෙනෙහි නොකොට සිටිද්දීත් රාග සහිත, ද්වේෂ සහිත, මෝහ සහිත පාපී අකුසල විතර්ක නැතිවෙලා යනවා. අභාවයට පත්වෙනවා. ඒ පාපී විතර්ක නැතිවීම නිසා තමා තුළ ම සිත පිහිටනවා. තැන්පත් වෙනවා. එකඟ වෙනවා. සමාධිමත් වෙනවා.
ඒ පාපී අකුසල විතර්කවල පටන් ගන්න තැන නුවණින් විමසද්දීත් රාග සහිත, ද්වේෂ සහිත, මෝහ සහිත පාපී අකුසල විතර්ක නැතිවෙලා යනවා. අභාවයට පත්වෙනවා. ඒ පාපී විතර්ක නැතිවීම නිසා තමා තුළ ම සිත පිහිටනවා. තැන්පත් වෙනවා. එකඟ වෙනවා. සමාධිමත් වෙනවා.
දත්මිටි කාගෙන, දිවෙන් තල්ල තද කර ගෙන, කුසල් සිතින් අකුසල් සිතට හොඳට නිග්‍රහ කරන කොට, තදින් මඬින කොට, බලවත්ව වෙහෙස කරවන කොට, රාග සහිත, ද්වේෂ සහිත, මෝහ සහිත පාපී අකුසල විතර්ක නැතිවෙලා යනවා. අභාවයට පත්වෙනවා. ඒ පාපී විතර්ක නැතිවීම නිසා තමා තුළ ම සිත පිහිටනවා. තැන්පත් වෙනවා. එකඟ වෙනවා. සමාධිමත් වෙනවා.
පින්වත් මහණෙනි, මෙන්න මේ භික්ෂුවටයි කියන්නේ ‘සිතිවිලි හැසිරෙන මාර්ගයන් වසඟ කරගත්ත කෙනා’ කියලා. එතකොට යම් විතර්කයක් කැමති නම්, ඒක විතරයි හිතන්නෙ. යම් විතර්කයක් අකමැති නම්, ඒක විතර්ක කරන්නෙ නෑ. අන්න ඒ භික්ෂුව තණ්හාව නැති කළා, සංයෝජන උදුරලා දැම්මා, මානයේ සැබෑම තත්වය ඉතා හොඳින් අවබෝධ කිරීමෙන්, දුක අවසානයකට පත්කළා කියල කියනවා.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. ඒ භික්ෂූන් වහන්සේලා මේ දේශනාව අහල ගොඩාක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනාව සාදු නාද දෙමින් ඉතා සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
කුසල් සිතුවිලි පිහිටුවා ගැනීම ගැන වදාළ දෙසුම නිමා විය.
දෙවෙනි සීහනාද වර්ගයයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M