මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියල භික්ෂූන් වහන්සේලා ඇමතුවා. “පින්වතුන් වහන්ස” කියල ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ වෙලාවෙ තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළේ.
“පින්වත් මහණෙනි, හැම ආශ්‍රවයන්ම සංවර කරගන්නට උපකාරී වන කරුණු තමයි මා ඔබට දැන් කියා දෙන්නෙ. ඉතින් ඔබ මෙය ඉතා හොඳින් අහගෙන ඉන්න. නුවණින් තේරුම් ගන්න. මා දැන් කියා දෙන්නම්.” “එහෙමයි ස්වාමීනී” කියල ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ වෙලාවෙ තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළේ.
“පින්වත් මහණෙනි, ආශ්‍රවයන් ක්ෂය කිරීම ගැන මා කියා දෙන්නෙ දැනගන්න කෙනාටත්, දැකගන්න කෙනාටත් විතරයි. එහෙම නැතිව දන්නෙ නැති, දකින්නෙ නැති කෙනාට නෙවෙයි. පින්වත් මහණෙනි, මොකක් දැනගන්න, මොකක් දැකගන්න කෙනාගෙ ද ආශ්‍රවයන් ක්ෂය වෙන්නෙ? යෝනිසෝ මනසිකාරයත්, අයෝනිසෝ මනසිකාරයත් යන දෙක දැනගන්න, දැකගන්න කෙනාගේ තමයි ආශ්‍රවයන් නැති වෙන්නෙ.
පින්වත් මහණෙනි, හට නොගත් ආශ්‍රවයන් පවා අයෝනිසෝ මනසිකාරයෙන් තමයි හටගන්නෙ. හටගෙන තියෙන ආශ්‍රවයනුත් වර්ධනය වෙනවා. එහෙත් යෝනිසෝ මනසිකාරයේ යෙදෙන කෙනා තුළ නූපන් ආශ්‍රවයන් හටගන්නෙත් නෑ. හටගෙන තියෙන ආශ්‍රවයන් පවා නැතිවෙලා යනවා.
පින්වත් මහණෙනි, ආශ්‍රව ජාතියක් තියෙනවා, ඒවා නැති කරන්නට ඕන දර්ශනයෙනුයි. තව ආශ්‍රව ජාතියක් තියෙනවා, ඒවා නැති කරන්නට ඕන සංවර වීමෙනුයි. තව ආශ්‍රව ජාතියක් තියෙනවා, ඒවා නැති කරන්නට ඕන නුවණින් යුක්තව පාවිච්චි කිරීමෙනුයි. තව ආශ්‍රව ජාතියක් තියෙනවා, ඒවා නැති කරන්න ඕන වීරියෙන් යුක්තව ඉවසීමෙනුයි. තව ආශ්‍රව ජාතියක් තියෙනවා, ඒවා නැති කරන්නට ඕන බැහැර කිරීමෙන් ම යි. තව ආශ්‍රව ජාතියක් තියෙනවා, ඒවා නැති කරන්නට ඕන දුරු කිරීමෙන් ම යි. තවත් ආශ්‍රව ජාතියක් තියෙනවා, ඒවා නැති කරන්නට ඕන සමථ විදර්ශනා භාවනාවෙන් ම යි.
(දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව)
පින්වත් මහණෙනි, දර්ශනයෙන් නැති කරල දාන්නෙ කොයි ආශ්‍රව ද? පින්වත් මහණෙනි, මේ ගැන කියද්දි, අශ්‍රැතවත් පෘථග්ජනයා ගැනත් දැන ගෙන ඉන්න ඕන. මේ තැනැත්තා ආර්යයන් වහන්සේලා හඳුනන්නෙ නෑ. ආර්ය ධර්මයක් තේරුම් ගන්න දක්ෂත් නෑ. ආර්ය ධර්මයක හික්මෙන්නෙත් නෑ. සත්පුරුෂයන් වහන්සේලා හඳුනන්නෙ නෑ. සත්පුරුෂ ධර්මයක් තේරුම් ගන්න දක්ෂත් නෑ. සත්පුරුෂ ධර්මයක හික්මෙන්නෙත් නෑ.
ඉතින්, මේ අශ්‍රැතවත් පෘථග්ජනයා නුවණින් සිහි කරන්න ඕන මොනවා ද කියල දන්නෙ නෑ. සිහි නොකළ යුත්තේ මොනව ද කියල දන්නෙත් නෑ. මේ විදිහට මේ පුද්ගලයා නුවණින් සිහිකරන්න ඕන දේ දන්නෙ නැති නිසා, සිහිකරන්න හොඳ නැති දේත් දන්නෙ නැති නිසා කරන්නෙ මේකයි. යම් දෙයක් සිහි නොකළ යුතු නම්, ඒක තමයි සිහි කරන්නෙ. හැබැයි යම් දෙයක් සිහි කළ යුතු නම්, ඒක සිහි කරන්නෙ නෑ.
පින්වත් මහණෙනි, සිහි කරන්න හොඳ නැතිවුනත්, අශ්‍රැතවත් පෘථග්ජනයා විසින් සිහි කර කර ඉන්න දේ මොකක් ද?
පින්වත් මහණෙනි, යම් දෙයක් සිහි කරන කොට, නැති කාම ආශ්‍රවයන් පවා උපදිනවා නම්, තියෙන කාම ආශ්‍රවයන් තවත් වැඩි වෙනවා නම්, නැති භවාශ්‍රවයන් පවා උපදිනවා නම්, තියෙන භව ආශ්‍රවයන් තවත් වැඩි වෙනවා නම්, නැති අවිද්‍යා ආශ්‍රවයන් පවා උපදිනවා නම්, තියෙන අවිද්‍යා ආශ්‍රවයන් තවත් වැඩි වෙනවා නම්, අන්න ඒවා තමයි සිහිකරන්න හොඳ නැත්තෙ. නමුත් අශ්‍රැතවත් පෘථග්ජනයා සිහි කරන්නෙ ඒවා ම යි.
පින්වත් මහණෙනි, නුවණින් සිහි කළ යුතු ම වුනත්, අශ්‍රැතවත් පෘථග්ජනයා විසින් සිහි නොකර ඉන්න දේ මොකක් ද?
පින්වත් මහණෙනි, යම් දෙයක් නුවණින් සිහි කරන කොට, නූපන් කාම ආශ්‍රවයන් උපදින්නෙ නැත්නම්, තියෙන කාම ආශ්‍රවයනුත් නැතිවෙලා යනවා නම්, නූපන් භවාශ්‍රවයන් උපදින්නෙ නැත්නම්, තියෙන භව ආශ්‍රවයනුත් නැතිවෙලා යනවා නම්, නූපන් අවිද්‍යා ආශ්‍රවයන් උපදින්නෙ නැත්නම්, තියෙන අවිද්‍යා ආශ්‍රවයනුත් නැතිවෙලා යනවා නම්, අන්න ඒවා තමයි නුවණින් සිහිකරන්න ඕන. නමුත් අශ්‍රැතවත් පෘථග්ජනයා විසින් සිහි නොකරන්නෙත් ඒවා ම යි.
ඉතින්, සිහිකරන්න හොඳ නැති දේ සිහි කර කර ඉන්න, නුවණින් සිහි කරන්න ඕන දේ සිහි කරන්නෙ නැති, අශ්‍රැතවත් පෘථග්ජනයාට නූපන් ආශ්‍රවයන් පවා උපදිනවා. තියෙන ආශ්‍රවයන් පවා වැඩි වෙලා යනවා.
ඒ අශ්‍රැතවත් පෘථග්ජනයා අයෝනිසෝ මනසිකාරයේ යෙදෙන්නෙ මෙහෙමයි.
‘ඉස්සර මං ඉඳල තියෙනවා ද? ඉස්සර මං ඉඳල නැද්ද? ඉස්සර මං හිටියා නම් කවුරු වෙලා ඉන්න ඇද්ද? ඉස්සර මං හිටියා නම් කොයි විදිහට ඉන්න ඇද්ද? ඉස්සර මං කවුරු කවුරු විදිහට ඉන්න ඇද්ද?
අනාගතේ මං ඉඳීවි ද? අනාගතේ මං ඉන්න එකක් නැද්ද? අනාගතේ මං කවුරු වෙලා ඉඳීවි ද? අනාගතේ මං කොහොම ඉඳීවි ද? අනාගතේ මං කවුරු කවුරු වෙලා ඉඳීවි ද?’
ඒ අශ්‍රැතවත් පෘථග්ජනයාට මේ වර්තමාන කාලෙ පවා තමන් ගැන ‘අරක කොහොම ද? මේක කොහොම ද?’ කියන ස්වභාවය තමයි තියෙන්නෙ. ‘ඇත්තෙන් ම මං ඉන්නවා ද? මං නැද්ද? මං කවුද? මං කොහොම කෙනෙක් ද? ඇත්තෙන් ම මේ සත්වයා ඇවිත් ඉන්නෙ කොහේ ඉඳල ද? ඊට පස්සේ කොහේ යාවි ද?’
පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා ඔය විදිහට වැරදි පිළිවෙලට හිත හිත ඉන්න නිසා මෙන්න මේ දෘෂ්ටි හයෙන් මොකක් හරි දෘෂ්ටියක් ඔහු තුළ ඇති වෙනවා.
1. අශ්‍රැතවත් පෘථග්ජනයාට ‘මට ආත්මයක් තියෙනවා’ කියන දෘෂ්ටිය ඇතිවෙනවා. එතකොට ඔහුට හැඟීම් ඇතිවන්නේ ඒක ඇත්තක් වගේ ම යි. ස්ථිර දෙයක් වගේ ම යි.
2. අශ්‍රැතවත් පෘථග්ජනයාට ‘මගේ ආත්මය නැති වෙලා යන එකක්’ කියන දෘෂ්ටිය ඇතිවෙනවා. එතකොට ඔහුට හැඟීම් ඇතිවන්නේ ඒක ඇත්තක් වගේ ම යි. ස්ථිර දෙයක් වගේ ම යි.
3. අශ්‍රැතවත් පෘථග්ජනයාට ‘ආත්මයකින් තමයි මං ආත්මය හඳුනගන්නෙ’ කියන දෘෂ්ටිය ඇතිවෙනවා. එතකොට ඔහුට හැඟීම් ඇතිවන්නේ ඒක ඇත්තක් වගේ ම යි. ස්ථිර දෙයක් වගේ ම යි.
4. අශ්‍රැතවත් පෘථග්ජනයාට ‘ආත්ම නොවන දෙය මං හඳුනගන්නෙ ආත්මයක් තුළින්’ කියන දෘෂ්ටිය ඇතිවෙනවා. එතකොට ඔහුට හැඟීම් ඇතිවන්නේ ඒක ඇත්තක් වගේ ම යි. ස්ථිර දෙයක් වගේ ම යි.
5. අශ්‍රැතවත් පෘථග්ජනයාට ‘මං ආත්මය හඳුනාගන්නෙ අනාත්මයක් තුළින්’ කියන දෘෂ්ටිය ඇතිවෙනවා. එතකොට ඔහුට හැඟීම් ඇතිවන්නේ ඒක ඇත්තක් වගේ ම යි. ස්ථිර දෙයක් වගේ ම යි.
6. අශ්‍රැතවත් පෘථග්ජනයාට මේ විදිහේ දෘෂ්ටියකුත් ඇති වෙනවා. ‘කතා බස් කරන, සැප දුක් විඳින, ආත්මයක් මා තුළ තියෙනවා. ඒ ඒ තැන හොඳ නරක කර්ම විපාක විඳින්නෙ ඒ ආත්මයෙන් තමයි. ඉතින්, මා තුළ තියෙන ඒ ආත්මය නිත්‍ය එකක්. ස්ථිර එකක්. සාදාකාලික එකක්. වෙනස් නොවන ස්වභාවයෙන් යුක්ත එකක්. හැමදාම එක ම විදිහට තියෙන එකක්’ කියලා.
පින්වත් මහණෙනි, මේකට තමයි කියන්නෙ දෘෂ්ටිගත වෙනවා කියල. මේකට තමයි කියන්නෙ දෘෂ්ටිවලට හිර වෙලා යනවා කියල. මේකට තමයි කියන්නෙ දෘෂ්ටි කාන්තාරය කියල. මේකට තමයි කියන්නෙ දෘෂ්ටි හුල කියල. මේකට තමයි කියන්නෙ දෘෂ්ටි කම්පන කියල. මේකට තමයි කියන්නෙ දෘෂ්ටි බන්ධනය කියල.
පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා මේ විදිහට දෘෂ්ටි බන්ධනයත් එක්ක එකතු වෙලා ඉන්න නිසා ඉපදීමෙන් නිදහස් වෙන්නෙ නෑ. ජරා මරණයෙන් නිදහස් වෙන්නෙ නෑ. ශෝක වලින්, වැළපීම් වලින්, කායික දුක් වලින්, මානසික දුක් වලින්, සුසුම් හෙළීම් වලින් නිදහස් වෙන්නෙ නෑ. ඒ පුද්ගලයා කිසිම දුකකින් නිදහස් වෙන්නෙ නෑ කියලයි කියන්න තියෙන්නෙ.
(ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා)
පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නවා. මොහු ආර්යයන් වහන්සේලාව හඳුනනවා. ආර්ය ධර්මය තේරුම් ගන්න දක්ෂයි. ආර්ය ධර්මයේ හොඳින් හික්මෙනවා. සත්පුරුෂයන් වහන්සේලාව හඳුනනවා. සත්පුරුෂ ධර්මය තේරුම් ගන්න දක්ෂයි. සත්පුරුෂ ධර්මයේ හොඳින් හික්මෙනවා.
ඉතින් මේ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා නුවණින් සිහි කරන්න ඕන මොනවා ද කියල දන්නවා. සිහි කරන්න හොඳ නැත්තෙ මොනවා ද කියලත් දන්නවා. මේ විදිහට මේ පුද්ගලයා නුවණින් සිහි කරන්න ඕන දේවල් දන්න නිසා, සිහි කරන්න හොඳ නැති දේවලුත් දන්න නිසා, යම් දෙයක් සිහි කරන්න හොඳ නැත්නම්, ඒ දේ සිහි කරන්නෙ නෑ. යම් දෙයක් සිහි කළ යුතු නම්, ඒ දේ විතරයි සිහි කරන්නෙ.
පින්වත් මහණෙනි, යම් දෙයක් සිහි කරන්නෙ නැත්නම් ඒ සිහිකරන්නට හොඳ නැති දේ මොනවා ද? පින්වත් මහණෙනි, යම් දෙයක් සිහි කරද්දී නූපන් කාම ආශ්‍රවයන් පවා උපදිනවා නම්, තියෙන කාම ආශ්‍රවයන් තවත් වැඩි වෙනවා නම්, නූපන් භවාශ්‍රවයන් පවා උපදිනවා නම්, තියෙන භව ආශ්‍රවයන් තවත් වැඩි වෙනවා නම්, නූපන් අවිද්‍යා ආශ්‍රවයන් පවා උපදිනවා නම්, තියෙන අවිද්‍යා ආශ්‍රවයන් තවත් වැඩි වෙනවා නම්, අන්න ඒවා තමයි සිහි කරන්න හොඳ නැත්තේ. ඒ නිසා ම යි ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඒවා සිහි නොකරන්නෙ.
පින්වත් මහණෙනි, යම් දෙයක් සිහි කරනවා නම් එසේ නුවණින් සිහි කරන්න ඕන දේ මොනවා ද?
පින්වත් මහණෙනි, යම් දෙයක් නුවණින් සිහි කරන කොට, නූපන් කාම ආශ්‍රවයන් ඇතිවෙන්නෙ නැත්නම්, තියෙන කාම ආශ්‍රවයනුත් නැති වෙලා යනවා නම්, නූපන් භව ආශ්‍රවයන් ඇතිවෙන්නෙ නැත්නම්, තියෙන භව ආශ්‍රවයනුත් නැතිවෙලා යනවා නම්, නූපන් අවිද්‍යා ආශ්‍රවයන් ඇති වෙන්නෙ නැත්නම්, තියෙන අවිද්‍යා ආශ්‍රවයනුත් නැතිවෙලා යනවා නම්, අන්න ඒවා තමයි නුවණින් සිහි කරන්න ඕන. ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා විසින් සිහි කරන්නෙත් ඒවා ම යි.
මේ විදිහට ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා සිහි කරන්න හොඳ නැති දේ සිහි නොකර සිටින විට, නුවණින් සිහි කරන්න ඕන දේවල් විතරක් සිහි කරන විට, නූපන් ආශ්‍රව උපදින්නෙත් නෑ. තියෙන ආශ්‍රවත් නැතිවෙලා යනවා.
මේ විදිහට ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ‘මේක තමයි දුක’ කියල අවබෝධය ඇතිවෙන විදිහට නුවණින් හිතන්න පටන් ගන්නවා. ‘මේක තමයි දුක හටගන්න කාරණේ’ කියල අවබෝධය ඇතිවෙන විදිහට නුවණින් හිතන්න පටන් ගන්නවා. ‘මේක තමයි දුක් නැති වී යාම’ කියල අවබෝධය ඇති වෙන විදිහට නුවණින් හිතන්න පටන් ගන්නවා. ‘මේක තමයි දුක් නැති වෙලා යන්න හේතු වෙන වැඩපිළිවෙල’ කියල අවබෝධය ඇති වෙන විදිහට නුවණින් හිතන්න පටන් ගන්නවා.
මේ විදිහට අවබෝධය ඇති වෙන අයුරින් නුවණින් හිතන්න පටන් ගත් ඔහු තුළ සසරට බැඳලා තියෙන බන්ධන තුනක් කැඩිල යනවා. සක්කාය දිට්ඨියත්, විචිකිච්ඡාවත්, සීලබ්බත පරාමාසත් කියන මේ තුනයි.
පින්වත් මහණෙනි, දර්ශනයෙන් නැති කරල දාන්න ඕන ආශ්‍රව ජාතියක් තියෙනවා කියල කිව්වෙ මේවටයි.
(සංවර වීමෙන් නැති කර දැමිය යුතු ආශ්‍රව)
පින්වත් මහණෙනි, සංවර වීම තුළින් නැති කරල දාන ආශ්‍රව මොනවාද?
පින්වත් මහණෙනි, මගේ ශාසනයට ඇතුළු වෙච්ච භික්ෂුව ඇස නම් වූ ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නෙ නුවණින් සළකාගෙන ම යි. පින්වත් මහණෙනි, ඇස නැමති ඉන්ද්‍රිය අසංවරව වාසය කළොත්, ඒ හේතුවෙන් යම් පීඩාකාරී දැවිලි ඇති වෙන ආශ්‍රව හටගන්නවා නම්, ඒ ඇස නැමති ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්න කොට, ඒ පීඩාකාරී දැවිලි ඇතිවෙන ආශ්‍රව හටගන්නෙ නෑ. භික්ෂුව නුවණින් සලකා ගෙන ම යි, කන නමැති ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නෙ …. (පෙ) …. නුවණින් සලකා ගෙන ම යි, නාසය නැමැති ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නෙ …. (පෙ) …. නුවණින් සලකා ගෙන ම යි, දිව නැමැති ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නෙ …. (පෙ) …. නුවණින් සලකා ගෙන ම යි, කය නැමැති ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නෙ …. (පෙ) …. නුවණින් සලකා ගෙන ම යි, මනස නැමැති ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නේ. පින්වත් මහණෙනි, මනස නැමති ඉන්ද්‍රිය අසංවරව වාසය කළොත්, ඒ හේතුවෙන් යම් පීඩාකාරී දැවිලි ඇතිවෙන ආශ්‍රව හට ගන්නවා නම්, ඒ මනස නැමති ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්න කොට, ඒ පීඩාකාරී දැවිලි ඇතිවෙන ආශ්‍රව හට ගන්නෙ නෑ.
පින්වත් මහණෙනි, අසංවරව වාසය කරන කෙනෙකුට ඒ හේතුවෙන් පීඩාකාරී දැවිලි ඇතිවෙන ආශ්‍රව හටගන්නා නමුත් සංවරව ඉන්න කෙනෙකුට ඒ හේතුවෙන් පීඩාකාරී දැවිලි ඇතිවෙන ආශ්‍රව හටගන්නේ නෑ.
පින්වත් මහණෙනි, මේවාට තමයි සංවර වීම තුළින් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කියල කියන්නේ.
(පාවිච්චියේ දී නුවණින් සළකල නැති කර දැමිය යුතු ආශ්‍රව)
පින්වත් මහණෙනි, පාවිච්චියේ දී නුවණින් සළකල නැති කර දැමිය යුතු ආශ්‍රව මොනවා ද?
පින්වත් මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව සිවුරු පාවිච්චි කරන්නෙත් නුවණින් සළකල ම යි. ‘මම මේ සිවුරු පාවිච්චි කරන්නෙ සීතලෙන් වළකින්න ඕන නිසා. උණුසුමින් වළකින්න ඕන නිසා. මැස්සන්ගෙන්, මදුරුවන්ගෙන්, අව්වෙන්, සුළඟින්, සර්පයන්ගෙන් වන කරදර වලින් වළකින්න ඕන නිසා. ලැජ්ජා ඇතිවෙන තැන් වසාගන්න ඕන නිසා’ කියල.
පිණ්ඩපාතය වළඳන්නෙත් නුවණින් සළකා ගෙන ම යි. ‘මං මේ දානෙ වළඳන්නෙ ඇඟ හදාගෙන සෙල්ලම් කරන්න නොවෙයි. ඇඟේ පතේ හයිය පෙන්නන්ටත් නොවෙයි. ශරීරයේ කෙට්ටු තැන් මසින් පුරවගන්නත් නොවෙයි. ලස්සන වෙන්න හිතාගෙනත් නොවෙයි. කය පවත්වා ගන්න විතර ම යි. ජීවත් වෙන්න විතර ම යි. වෙහෙස නැති කරගන්න විතර ම යි. මං මේ ගත කරන උතුම් ජීවිතේට අනුග්‍රහ කරගන්න විතර ම යි. මං මේ දානෙ වළඳලා පරණ බඩගිනි දුක නැති කර ගන්නවා. එතකොට අලුතින් බඩගිනි දුක් ඇතිවෙන්නෙ නෑ. මට පහසුවෙන් ම යහපත් විදිහට ජීවිතේ ගත කරන්න පුළුවනි’ කියලා.
කුටියක් පාවිච්චි කරන්නෙත් නුවණින් සළකල ම යි. ‘මං මේ කුටියකට ආවෙ සීතලෙන් වළකින්න ඕන නිසා. උණුසුමින් වළකින්න ඕන නිසා, මැස්සන් ගෙන්, මදුරුවන්ගෙන්, අව්වෙන්, සුළඟින්, සර්පයන්ගෙන් වන කරදර වලින් වළකින්න ඕන නිසා. දේශගුණික පීඩා වලින් වළකින්න ඕන නිසා. නිදහසේ බණ භාවනා කරගන්න ඕන නිසා’ කියලා.
ගිලන්පස, බේත් හේත් පාවිච්චි කරන්නෙත් නුවණින් සළකල ම යි. ‘මං මේ ගිලන්පස පාවිච්චි කරන්නේ ඇඟේ පතේ පීඩාවන් නැතිකර ගන්න විතරයි. ලෙඩ දුක් නැති කරගන්න විතරයි. පීඩාවකින් තොරව වාසය කරන්න විතර ම යි’ කියලා.
පින්වත් මහණෙනි, යම් දෙයක් පාවිච්චියේ දී නුවණින් සළකන්නෙ නැත්නම්, පීඩාකාරී ප්‍රශ්න හැදෙන ආශ්‍රව හටගන්නවා. පාවිච්චියේ දී නුවණින් සළකනවා නම්, ඒ පීඩාකාරී ප්‍රශ්න හැදෙන ආශ්‍රව හටගන්නෙ නෑ.
පින්වත් මහණෙනි, පාවිච්චියේ දී නුවණින් සළකල නැති කර දැමිය යුතු ආශ්‍රවයන් කියල කිව්වෙ මේවට තමයි.
(වීරියෙන් යුතුව ඉවසීමෙන් නැති කර දැමිය යුතු ආශ්‍රව)
පින්වත් මහණෙනි, වීරියෙන් යුක්තව ඉවසීමෙන් නැති කර දැමිය යුත්තේ මොන ආශ්‍රව ද? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව නුවණින් සළකල වීරිය ඇති කරගෙන ඉවසනවා. භික්ෂුව සීතලත් ඉවසගෙන ඉන්නවා. රස්නෙත් ඉවසගෙන ඉන්නවා. බඩගින්නත් ඉවසගෙන ඉන්නවා. පිපාසයත් ඉවසගෙන ඉන්නවා. මැස්සන්ගේ කරදරත් ඉවසගෙන ඉන්නවා. මදුරු කරදරත් ඉවසගෙන ඉන්නවා. සර්පයන්ගේ කරදරත් ඉවසගෙන ඉන්නවා. නපුරු වචන වලින් බැණුම් අහන්න ලැබෙන කොට, ඒකත් ඉවසගෙන ඉන්නවා. ගොඩක් දරුණු, කර්කශ, නපුරු, අමිහිරි, අකමැති, මාරාන්තික දුක් වේදනා ශරීර වලට ලැබෙනවා. එතකොටත් ඒ භික්ෂුව නිශ්ශබ්දව ඉවසගෙන ඉන්නවා.
පින්වත් මහණෙනි, නමුත් මේ විදිහට වීරියෙන් යුක්ත වෙලා ඉවසගන්න බැරි වුනොත් අන්න ඒ කෙනාට පීඩාකාරී ප්‍රශ්න හැදෙන ආශ්‍රව හටගන්නවා.
යම් කෙනෙක්, වීරියෙන් යුක්තව මේ විදිහට ඉවසනවා නම්, පීඩාකාරී ප්‍රශ්න හැදෙන ආශ්‍රව හටගන්නෙ නෑ.
පින්වත් මහණෙනි, වීරියෙන් යුක්තව ඉවසීමෙන් නැති කර දැමිය යුතු ආශ්‍රව කියන්නෙ මේවට තමයි.
(නුවණින් යුක්තව මගහැර යාමෙන් නැති කළ යුතු ආශ්‍රව)
පින්වත් මහණෙනි, නුවණින් යුක්තව මගහැරල යෑමෙන් නැති කර දැමිය යුතු ආශ්‍රව මොනවා ද?
පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව හොඳට නුවණ පාවිච්චි කරල නපුරු අලියාව මගහැරල යනවා. නපුරු අශ්වයාව මගහැරල යනවා. නපුරු හරකාව මගහැරල යනවා. දරුණු බල්ලාව මගහැරල යනවා. සර්පයන්, කාණු, කටු, ලැහැබ්, හෙළවල්, ප්‍රපාත, අසූචි වළවල්, කුණු වතුර පිරිච්ච වළවල් මගහැරල යනවා.
නොගැලපෙන තැන්වල වාඩිවෙන්න ගියොත්, නොගැලපෙන තැන්වල හැසිරෙන්න ගියොත්, පවිටු පුද්ගලයන්ගේ ආශ්‍රයට වැටෙන්න ගියොත්, ඒ හේතුවෙන් නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ ගැරහීමට ලක්වෙනවා නම්, එබඳු වූ වාඩිවීමත්, එබඳු වූ හැසිරීමත්, එබඳු වූ පාප මිත්‍රයාවත් නුවණින් සලකළා ම යි දුරු කරන්නෙ.
පින්වත් මහණෙනි, යම් කෙනෙක් මෙවැනි දේවල් නුවණ පාවිච්චි කරල මගහැරල නොගියොත්, පීඩාකාරී ප්‍රශ්න ඇතිවෙන ආශ්‍රවයන් හටගන්නවා. නමුත් නුවණ පාවිච්චි කරල මේවායින් මගහැරල ගියොත්, ඒ තැනැත්තාට පීඩාකාරී ප්‍රශ්න ඇතිවෙන ආශ්‍රවයන් හටගන්නෙ නෑ.
පින්වත් මහණෙනි, නුවණ පාවිච්චි කරල මගහැරල දැමීමෙන් නැති කර දැමිය යුතු ආශ්‍රව කියල කියන්නෙ මේවාට තමයි.
(නුවණ පාවිච්චි කරල දුරුකිරීමෙන් නැති කළ යුතු ආශ්‍රව)
පින්වත් මහණෙනි, නුවණ පාවිච්චි කරල දුරු කිරීමෙන් නැතිකර දැමිය යුතු ආශ්‍රව මොනවා ද?
පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව, කාම සිතුවිලි ඇතිවුනා ම ඉවසන්නෙ නෑ. නුවණ පාවිච්චි කරල අත්හරිනවා. දුරු කරනවා. අයින් කරනවා. නැත්තට ම නැති කරනවා. තරහ සිතුවිලි ඇතිවුනා ම ඉවසන්නෙ නෑ. නුවණ පාවිච්චි කරල ඒ තරහ සිතුවිලි අත්හරිනවා. දුරු කරනවා. අයින් කරනවා. නැත්තට ම නැති කරනවා. හිංසා සිතුවිලි ඇති වුනා ම ඉවසන්නෙ නෑ. නුවණ පාවිච්චි කරල ඒ හිංසා සිතුවිලි අත්හරිනවා. දුරු කරනවා. අයින් කරනවා. නැත්තට ම නැති කරනවා. ඇති වෙන සෑම පාපී අකුසලයක් ම ඉවසන්නෙ නෑ. නුවණ පාවිච්චි කරල ඒ පව් සිතුවිලි අත්හරිනවා. දුරු කරනවා. අයින් කරනවා. නැත්තට ම නැති කරනවා.
පින්වත් මහණෙනි, යම් හෙයකින් මේවා නුවණ පාවිච්චි කරල දුරු කළේ නැත්නම්, පීඩාකාරී ප්‍රශ්න හැදෙන ආශ්‍රව හටගන්නවා. මේ විදිහට නුවණ පාවිච්චි කරල ඒවා දුරු කළොත් පීඩාකාරී ප්‍රශ්න හැදෙන ආශ්‍රව හටගන්නෙ නෑ.
පින්වත් මහණෙනි, නුවණ පාවිච්චි කරල දුරු කිරීමෙන් නැති කළ යුතු ආශ්‍රව කිව්වෙ මේවාට යි.
(සමථ-විදර්ශනා භාවනා තුළින් නැති කළ යුතු ආශ්‍රව)
පින්වත් මහණෙනි, (සමථ-විදර්ශනා) භාවනාවෙන් නැති කර දැමිය යුතු ආශ්‍රව මොනවා ද?
පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව නුවණ පාවිච්චි කරල (සමථ විදර්ශනා තුළින්) සමාධියක් ඇති කරගන්නවා. චිත්ත විවේකයක් ඇති කරගන්නවා. විදර්ශනා ප්‍රඥාවෙන් ලැබෙන අවබෝධය තුළින් විරාගී වෙනවා. තණ්හා නිරෝධයට ම යොමු වෙනවා. නිවනට ම යොමු වෙනවා. ඒ වෙලාවෙ ඔහු බලවත්ව සතිය පවත්වන කොට, වඩන්නෙ සති සම්බොජ්ඣංගය යි. නුවණ පාවිච්චි කරල …. (පෙ) …. ත්‍රිලක්ෂණය හොඳට නුවණින් විමසන කොට වඩන්නෙ ධම්මවිචය සම්බොජ්ඣංගය යි. …. (පෙ) …. බලවත්ව වීරිය පවත්වන කොට වඩන්නෙ විරිය සම්බොජ්ඣංගය යි …. (පෙ) …. ප්‍රීතිය බලවත්ව පවත්වන කොට වඩන්නෙ ප්‍රීති සම්බොජ්ඣංගය යි …. (පෙ) …. කායික මානසික සැහැල්ලුව බලවත්ව පවත්වන කොට වඩන්නෙ පස්සද්ධි සම්බොජ්ඣංගය යි. …. (පෙ) …. සමාධිය බලවත්ව පවත්වන කොට වඩන්නෙ සමාධි සම්බොජ්ඣංගය යි. නුවණින් සළකාගෙන ම යි සමාධිය වඩන්නෙ. චිත්ත විවේකයත් ඇති කරගන්නවා. විදර්ශනා ප්‍රඥාවෙන් ලැබෙන අවබෝධය තුළින් විරාගී වෙනවා. තණ්හා නිරෝධයට ම යොමු වෙනවා. නිවනට ම යොමු වෙනවා. ඒ වෙලාවෙ ඔහු බලවත්ව උපේක්ෂාව පවත්වන කොට, වඩන්නෙ උපේක්ෂා සම්බොජ්ඣංගය යි.
පින්වත් මහණෙනි, යම් හෙයකින් බොජ්ඣංග ධර්මයන් භාවනා වශයෙන් වඩන්නෙ නැත්නම් පීඩාකාරී ප්‍රශ්න හැදෙන ආශ්‍රව හටගන්නවා. යම් හෙයකින් බොජ්ඣංග ධර්මයන් භාවනා වශයෙන් වඩනවා නම් පීඩාකාරී ප්‍රශ්න හැදෙන ආශ්‍රව හටගන්නෙ නෑ.
පින්වත් මහණෙනි, (සමථ විදර්ශනා භාවනාව තුළින් දියුණු වන) බොජ්ඣංග භාවනාවෙන් නැතිකර දැමිය යුතු ආශ්‍රව කියන්නෙ මේවාටයි.
පින්වත් මහණෙනි, යම් දවසක භික්ෂුව තුළ යම් ආශ්‍රවයන් දර්ශනය තුළින් නැතිකර දැමිය යුතු නම්, ඒ ආශ්‍රවයන් දර්ශනය තුළින් නැති වෙලා ගිහින් නම්, යම් ආශ්‍රවයන් සංවර වීමෙන් නැති කළ යුතු නම්, සංවර වීමෙන් ඒ ආශ්‍රවයන් ද නැති වෙලා ගිහින් නම්, යම් ආශ්‍රවයන් නුවණින් සළකා පාවිච්චියෙන් නැති කළ යුතු නම්, නුවණින් සලකා පාවිච්චියෙන් ඒ ආශ්‍රවයන් ද නැති වෙලා ගිහින් නම්, යම් ආශ්‍රවයන් වීරියෙන් යුතුව ඉවසීමෙන් නැති කළ යුතු නම්, වීරියෙන් යුතුව ඉවසීමෙන් ඒ ආශ්‍රවයන් ද නැති වෙලා ගිහින් නම්, යම් ආශ්‍රවයන් නුවණින් සළකා මගහැර දැමීමෙන් ප්‍රහාණය කළ යුතු නම්, නුවණින් සළකා මගහැරීමෙන් ඒ ආශ්‍රවයන් ද නැති වෙලා ගිහින් නම්, යම් ආශ්‍රවයන් නුවණින් සළකා දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු නම්, නුවණින් සලකා දුරු කිරීමෙන් ඒ ආශ්‍රවයන් ද නැති වෙලා ගිහින් නම්, යම් ආශ්‍රවයන් බොජ්ඣංග ධර්මයන් දියුණු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු නම්, බොජ්ඣංග ධර්මයන් දියුණු කිරීමෙන් ඒ ආශ්‍රවයන් ද ප්‍රහාණය වෙලා ගිහින් නම්,
පින්වත් මහණෙනි, අන්න ඒ භික්ෂුවටයි කියන්නෙ සියලු ආකාරයේ ආශ්‍රවයන්ගෙන් සංවර වූ කෙනා කියලා. තෘෂ්ණාව සිඳ දැම්ම කෙනා කියලා. හැම බන්ධනයක් ම ඉක්ම ගිය කෙනා කියලා. මාන්නය යනු මොකක් ද කියල පරිපූර්ණ වශයෙන් ම අවබෝධ කර ගෙන සියලු දුක් නිමාවට පත් කළ කෙනා කියලා.
භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ භික්ෂූන් වහන්සේලා ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.
හැම ආශ්‍රවයන් ගැන ම වදාළ දෙසුම නිමා විය.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M