ඛුද්දක නිකාය

ථේරී ගාථා

6.1. පඤ්චසතමත්තානං ථේරීනං ගාථා

6.1. පන්සියයක් පමණ තෙරණිවරුන්ගේ ගාථා

127. යස්ස මග්ගං න ජානාති ආගතස්ස ගතස්ස වා,
තං කුතෝ ආගතං සත්තං මම පුත්තෝති රෝදසි.

127. මේ ලෝකෙට ආවේ කොහින් ද කියල දන්නෙත් නෑ. මේ ලෝකෙන් යන්නෙ කොහේට ද කියල දන්නෙත් නෑ. එහෙම ආගිය මගක් දන්නෙ නැතිව කොහේ ඉඳන් ආපු කෙනෙක් ගැන ද ‘මගේ පුතා’ කිය කියා හඬන්නෙ?

128. මග්ගඤ්ච ඛොස්ස ජානාසි ආගතස්ස ගතස්ස වා,
න නං සමනුසෝචේසි ඒවං ධම්මා හි පාණිනෝ.

128. මේ ලෝකෙට ආපු හැටි දන්නෙත් නැති, මේ ලෝකෙන් යන හැටි දන්නෙත් නැති මේ සංසාර ගමන ගැන, යම් කෙනෙක් දැනගත්තොත් එයා ශෝක කරන්නෙ නෑ. මේක සත්වයන්ගේ ස්වභාවයක් කියල අවබෝධ කරගන්නවා.

129. අයාචිතෝ තතාගච්ඡි අනනුඤ්ඤාතෝ ඉතෝ ගතෝ,
කුතෝචි නූන ආගන්ත්වා වසිත්වා කතිපාහකං,
ඉතෝ’පි අඤ්ඤේන ගතෝ තතෝ අඤ්ඤේන ගච්ඡති.

129. ආයාචනා නොකරමයි මෙලොවට ආවේ. අනුමත නොකරද්දිමයි මෙලොවින් යන්නෙත්. කොහේ හරි ලෝකෙක ඉඳල මෙහෙ ඇවිදිල්ල ටික දවසක් ගෙවල වෙන ලෝකෙකට යනවා. ආයෙමත් එතනින් චුත වෙලා තව ලෝකෙකට යනවා.

130. පේතෝ මනුස්සරූපේන සංසරන්තෝ ගමිස්සති,
යථාගතෝ තථා ගතෝ කා තත්ථ පරිදේවනා.

130. මැරුණ එක්කෙනා මෙහෙදි මිනිස් ස්වරූපයෙන් සැරසිල යන්ට ගියා. ආවේ යම් ආකාරයකින් ද ඒ ආකාරයෙන් ම යන්ට ගියා. ඉතින් මේ ගැන අඬන්න දෙයක් තියෙනවා ද?

131. අබ්බහී වත මේ සල්ලං දුද්දසං හදයනිස්සිතං,
යා මේ සෝකපරේතාය පුත්තසෝකං ව්‍යපානුදි.

131. මං හිටියෙ දරු දුක නිසා හටගත්තු මහා වේදනාවකින්. ඒ භික්ෂුණිය මගේ හදවතේ තිබුණ දකින්ට අසීරු ඒ දරු දුක නමැති ශෝක හුල උදුරා දැම්මා.

132. සාජ්ජ අබ්බූළ්හසල්ලාහං නිච්ඡාතා පරිනිබ්බුතා,
බුද්ධං ධම්මඤ්ච සංඝඤ්ච උපේමි සරණං මුනිං.

132. අද මං ඉන්නෙ ඒ ශෝක හුල උදුරල දාලා. නිවිල ගිහින්. තණ්හාව නැති කරගෙන. මං බුදු සමිඳාණන්, සිරි සදහම්, ආර්ය සඟරුවන යන මේ තිසරණයට ම පැමිණියා.

ඉත්ථං සුදං පඤ්චසතමත්තා ථේරී භික්ඛුනියෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මේ වනාහී පන්සීයක් තෙරණිවරුන් වදාළ ගාථාවන් ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_6-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M