ඛුද්දක නිකාය

ථේරී ගාථා

5.10. පටාචාරා ථේරීගාථා

5.10. පටාචාරා තෙරණියගේ ගාථා

112. නංගලේහි කසං ඛෙත්තං බීජානි පවපං ඡමා,
පුත්තදාරානි පෝසෙන්තා ධනං වින්දන්ති මානවා.

112. මේ මිනිස්සු නගුල්වලින් කුඹුරු හාලා, කුඹුරේ බීජ වපුරලා, අඹු දරුවන්වත් පෝෂණය කරගෙන ධනය හම්බ කරගන්නවා.

113. කිමහං සීලසම්පන්නා සත්ථුසාසනකාරිකා,
නිබ්බානං නාධිගච්ඡාමි අකුසීතා අනුද්ධතා.

113. ඉතින්, සිල්වත් ජීවිතයකුත් ගෙවා ගෙන බුද්ධ ශාසනයක හැසිරෙන, කම්මැලිකමක් උඩඟුකමක් නැති මං නිවන් අවබෝධ නොකර ඉන්නෙ කොහොම ද?

114. පාදේ පක්ඛාලයිත්වාන උදකේසු කරෝමහං,
පාදෝදකඤ්ච දිස්වාන ථලතෝ නින්නමාගතං.

114. මං පා සෝද ගන්ට වතුර වක්කළා. ඒ පා සෝදපු වතුර ටික උස් තැනකින් පහත් තැනකට ගලාගෙන යනවා මං දැක්කා.

115. තතෝ චිත්තං සමාධේසිං අස්සං භද්දං’වජානියං,
තතෝ දීපං ගහෙත්වාන විහාරං පාවිසිං අහං.

115. ඒ ගැනත් මං හොඳට හිත එකඟ කරගත්තා. ශ්‍රේෂ්ඨ අශ්වයෙක් දමනය වුණා වගේ. ඊට පස්සෙ මං පහනත් අරගෙන කුටිය ඇතුළට ගියා.

116. සෙය්‍යං ඕලෝකයිත්වාන මඤ්චකම්හි උපාවිසිං,
තතෝ සූචිං ගහෙත්වාන වට්ටිං ඕකස්සයාමහං,
පදීපස්සේව නිබ්බානං විමොක්ඛෝ අහු චේතසෝති.

116. පහන් එළියෙන් ඇඳ සොයා ගත්තා. ඇඳේ වාඩි වුණා. පහන නිවන්ට හිතාගෙන පහන් තිරේ පහළට ඇද්දා. අන්න ඒ වගේ පහනක් නිවිල යන විදිහටම මගේ හිත කෙලෙස්වලින් නිදහස් වුණා.

ඉත්ථං සුදං පටාචාරා ථේරී ගාථායෝ අභාසිත්ථා’ති.

මේ වනාහී පටාචාරා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_5-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M