ඛුද්දක නිකාය

ථේර ගාථා

6.1.1. උරුවේලකස්සපත්ථේරගාථා

6.1.1. උරුවේල කස්සප තෙරුන්ගේ ගාථා

375. දිස්වාන පාටිහීරානි ගෝතමස්ස යසස්සිනෝ
න තාවාහං පණිපතිං ඉස්සාමානේන වඤ්චිතෝ

375. ගෞතම බුදු සමිඳුන්ගේ කීර්තිය හැමතැනම පැතිරිලා තිබුණා. ඒ ප්‍රාතිහාර්යයන් මං දැක්කා. නමුත් මං තුළ තිබුණ ඉරිසියාත්, මාන්නයත් නිසා මම උන්වහන්සේට වන්දනා කළේ නෑ.

376. මම සංකප්පමඤ්ඤාය චෝදේසි නරසාරථි
තතෝ මේ ආසි සංවේගෝ අබ්භුතෝ ලෝමහංසනෝ

376. පුරිසදම්මසාරථී වූ බුදු සමිඳුන් මගේ සිතුවිලි හඳුනාගත්තා. මට චෝදනා කළා. ඒ වෙලාවේ මං ගැන මහා සංවේගයක් මටම ඇතිවුණා. අද්භූත වූ ලොමු දහ ගැනීමකින් ඇඟ කිලිපොලා ගියා.

377. පුබ්බේ ජටිලභූතස්ස යා මේ සිද්ධි පරිත්තිකා
නාහං තදා නිරංකත්වා පබ්බජිං ජිනසාසනේ

377. ඉස්සර ජටාධර තාපසයෙක්ව ඉන්න කාලෙ මට පුංචි ඉර්ධියක් තිබුණ තමයි. ඒත් මං ඒවා අත්හැරියා. බුද්ධ ශාසනයේ පැවිදි වුණා.

378. පුබ්බේ යඤ්ඤේන සන්තුට්ඨෝ කාමධාතුපුරක්ඛතෝ
පච්ඡා රාගං ච දෝසං ච මෝහං චාපි සමූහනිං

378. ඉස්සර කාම භවයම පෙරට ගෙන යාග කරමින් මං සතුටු වුණේ. දැන් මම එය අත්හැරියා. රාග, ද්වේෂ, මෝහත් මුලින්ම උපුටා දැම්මා.

379. පුබ්බේනිවාසං ජානාමි දිබ්බචක්ඛු විසෝධිතං
ඉද්ධිමා පරචිත්තඤ්ඤූ දිබ්බසෝතඤ්ච පාපුණිං

379. පුබ්බේ නිවාස ඥානය මා ලබාගත්තා. දිවැස් නුවණත්, පිරිසිදු කරගත්තා. ඍද්ධිබල ද ලබාගත්තා. අනුන්ගේ සිත් දැනීමේ නුවණක් මට තියෙනවා. දිව්‍ය කනක් තියෙනවා.

380. යස්ස චත්ථාය පබ්බජිතෝ අගාරස්මානගාරියං
සෝ මේ අත්ථෝ අනුප්පත්තෝ සබ්බසංයෝජනක්ඛයෝ’ති

380. ගිහි ගෙය අත්හැරල පැවිදි වුණේ යම් අර්ථයක් පිණිස නම් ඒ අර්ථය මට ලැබුණා. හැම බන්ධනයෙන්ම මං නිදහස් වුණා.

ඉත්ථං සුදං ආයස්මා උරුවේලකස්සපෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් උරුවේලකස්සප නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_6-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M