ඛුද්දක නිකාය

ථේර ගාථා

20.1.1. අධිමුත්තත්ථේරගාථා

20.1.1. අධිමුත්ත තෙරුන්ගේ ගාථා

705. යඤ්ඤත්ථං වා ධනත්ථං වා යේ හනාම මයං පුරේ,
අවසේ තං භයං හෝති වේධන්ති විලපන්ති ච.

705. (සොරු) ඉස්සර අපි බිලි පූජාවලටත් සල්ලි ගන්ටත් මිනිස්සු මැරුවා. අපි ඒ මිනිස්සුන්ව යටත් කර ගත්තහම ඒ ගොල්ල හරියට බය වුණා. බයට පත්වෙලා වෙව්ලන්න පටන් ගත්තා. හඬා වැලපෙන්න පටන් ගත්තා.

706. තස්ස තේ නත්ථි භීතත්තං භිය්‍යෝ වණ්ණෝ පසීදති,
කස්මා න පරිදේවේසි ඒවරූපේ මහබ්භයේ.

706. එහෙත් හරිම පුදුමයි, ඔබ බයවෙලා සිටින බවක් අපට පේන්නෙ නෑ. අනික ඔබේ ශරීරයත් ලස්සනට බබලනවා. මේ වගේ භයානක අවස්ථාවක් ඉදිරියේදී වැලපෙන්නෙ නැතිව ඉන්නෙ කොහොමද?

707. නත්ථි චේතසිකං දුක්ඛං අනපෙක්ඛස්ස ගාමණි,
අතික්කන්තා භයා සබ්බේ ඛීණසංයෝජනස්ස වේ.

707. (අධිමුත්ත තෙරිඳු) පින්වත, මං ඉන්නෙ අපේක්ෂාවක් නැති සිතින්. මට කිසිම මානසික දුකක් නෑ. හැම බන්ධනයක්ම නැති කරල දාපු කෙනෙකුට බිය උපදින හැමදේම ඉක්මවා යන්ට පුළුවන්.

708. ඛීණාය භවනෙත්තියා දිට්ඨේ ධම්මේ යථාතථේ,
න භයං මරණේ හෝති භාරනික්ඛේපනේ යථා.

708. චතුරාර්ය සත්‍යය ධර්මය සම්පූර්ණයෙන්ම අවබෝධ කළොත් භව රැහැන් ඔක්කොම කැඩිලා යනවා. කෙලෙස් බර පැත්තකින් තිබ්බාම මරණය ඉදිරියේ භය වෙන්න කිසි දෙයක් නෑ.

709. සුචිණ්ණං බ්‍රහ්මචරියං මේ මග්ගෝ චාපි සුභාවිතෝ,
මරණේ මේ භයං නත්ථි රෝගානමිව සංඛයේ.

709. මං මේ උතුම් ජීවිතයේ ඉතා හොඳට හසුරුවලා තියෙන්නෙ. නිවනට යන මග සම්පූර්ණ කරල තියෙන්නෙ. මරණය ගැන මට කිසිම භයක් නෑ. මරණය කියල කියන්නෙ මට සනීප වෙච්ච ලෙඩක් වගේ දෙයක්.

710. සුචිණ්ණං බ්‍රහ්මචරියං මේ මග්ගෝ චාපි සුභාවිතෝ,
නිරස්සාදා භවා දිට්ඨා විසං පීත්වාව ඡඩ්ඩිතං.

710. මං මේ උතුම් ජීවිතය ඉතා හොඳට හසුරුවා ගත්තා. නිවන් මග සම්පූර්ණ කර ගත්තා. ආශ්වාදයක් නැති මේ භවය නුවණින් දැකගත්තා. ඒ නිසා මරණය කියල කියන්නෙ මට නම් බීපු විෂක් වමනෙ දැම්මා වගේ.

711. පාරගූ අනුපාදානෝ කතකිච්චෝ අනාසවෝ,
තුට්ඨෝ ආයුක්ඛයා හෝති මුත්තෝ ආඝාතනා යථා.

711. සංසාරෙන් එතෙර වෙච්ච, කිසි බැඳීමක් නැති කිසි ආශ්‍රවයක් නැති මුනිවරයා ජීවත් වෙන්ට තිබෙන කාලය අවසන් වුණාම ඒ ගැන සතුටු වෙනවා. හිස ගසාලන දං ගෙඩියෙන් නිදහස් වුණ කෙනෙක් වගෙයි. (රහතුන්ට ජීවත්වීම මරණය කැඳවන දංගෙඩියක් වැන්න.)

712. උත්තමං ධම්මතං පත්තෝ සබ්බලෝකේ අනත්ථිකෝ,
ආදිත්තාව ඝරා මුත්තෝ මරණස්මිං න සෝචති.

712. මේක ධර්මතාවක්, අරහත්වයට පැමිණි කෙනා මේ ලෝකයේ කිසිම දෙයක් ගැන කිසිම අපේක්සාවක් නෑ. ගිනි ගන්න ගෙදරකින් එළියට පැනපු කෙනෙක් වගෙයි. මරණය ඉදිරියේ ශෝක වෙන්න දෙයක් නෑ.

713. යදත්ථි සංගතං කිඤ්චි භවෝ වා යත්ථ ලබ්භති,
සබ්බං අනිස්සරං ඒතං ඉති වුත්තං මහේසිනා.

713. හේතු ඵල දහමින් සකස් වූ දෙයක් යම් තැනක තියෙනවා නම්, භවයක් යම් තැනක තියෙනවා නම්, ඒ හැමතැනම තියෙන්නෙ ආත්ම රහිත දෙයක්. මහා ඉසිවර බුදු සමිඳුන් තමයි මේ දහම වදාළේ.

714. යෝ තං තථා පජානාති යථා බුද්ධේන දේසිතං,
න ගණ්හාති භවං කිඤ්චි සුතත්තංව අයෝගුළං.

714. බුදු සමිඳුන් වදාළ ධර්මය ඒ විදිහටම අවබෝධ කර ගත්තොත් එයා කිසි භවයක් අල්ල ගන්නෙ නෑ. එයාට භවය පෙනෙන්නෙ ගින්දර පාටට රත්වෙලා ගිය යකඩ ගුලියක් වගෙයි.

715. න මේ හෝති අහෝසින්ති භවිස්සන්ති න හෝති මේ,
සංඛාරා විගමිස්සන්ති තත්ථ කා පරිදේවනා.

715. ඉස්සර මං හිටිය කියල අදහසක් මට නෑ. අනාගතයේ මං ඉන්නවා කියල අදහසක් මට නෑ. සකස් වෙන හැමදෙයක් ම වෙනස් වෙලා යනවා. ඉතින් එවැනි දෙයක් ගැන මං වැලපෙන්නෙ මොකටද?

716. සුද්ධං ධම්මසමුප්පාදං සුද්ධං සංඛාරසන්තතිං,
පස්සන්තස්ස යථාභූතං න භයං හෝති ගාමණි.

716. පින්වත, පැහැදිලිව ම ජීවිතය කියන්නෙ දුක පිණිස හේතු ඵල ධර්මයක සකස් වීමයි. (පටිච්ච සමුප්පාදයකි.) පැහැදිලිවම සකස් වෙච්ච දේවල්වල පැවැත්මකි. මේ සත්‍යය ඒ ආකාරයෙන්ම අවබෝධ වුණ කෙනෙකුට භයක් ඇති වෙන්නෙ නෑ.

717. තිණකට්ඨසමං ලෝකං යදා පඤ්ඤාය පස්සති,
මමත්තං සෝ අසංවින්දං ‘නත්ථි මේ’ති න සෝචති.

717. දියුණු කරපු ප්‍රඥාවෙන් ජීවිතය දිහා බලනකොට පෙනෙන්නෙ දර ගොඩක් වගෙයි. මගේ කියා අල්ලාගත හැකි කිසිම දෙයක් එයාට ලැබෙන්නෙ නෑ. ඉතින් එහෙම කෙනෙකුට මගේ දේ නැති වෙනවා කියල ශෝක කරන්න දෙයක් නෑ.

718. උක්කණ්ඨාමි සරීරේන භවේනම්හි අනත්ථිකෝ,
සෝ’යං භිජ්ජිස්සති කායෝ අඤ්ඤෝ ච න භවිස්සති.

718. ඇත්තෙන්ම මේ ශරීරය ගැන මං කලකිරිලයි ඉන්නෙ. මේ භවයෙන් මට කිසිම වැඩක් නෑ. මේ කය බිඳීයන දෙයක්මයි. ආයෙමත් වෙන කයක් මට ඕනෙ නෑ.

719. යං වෝ කිච්චං සරීරේන තං කරෝථ යදිච්ඡථ,
න මේ තප්පච්චයා තත්ථ දෝසෝ පේමං ච හෝහිති.

719. දැන් ඉතින් මේ ශරීරයෙන් ඔබට ප්‍රයෝජනයක් තිබෙනවා නම් ඒ කැමති දේ කරන්න. (මරා දමන්න) ඒ ගැන මට පසුතැවෙන්ට දෙයක් නෑ. තරහකුත් නෑ. ප්‍රේමයකුත් නෑ.

720. තස්ස තං වචනං සුත්වා අබ්භුතං ලෝමහංසනං,
සත්ථානි නික්ඛිපිත්වාන මාණවා ඒතදබ්‍රවුං.

720. රහතන් වහන්සේගේ වචන අහගෙන හිටිය හොරු පිරිස විස්මයට පත්වුණා. ඔවුන්ගේ සිරුරුවල ලොම් කෙලින් වුණා. අතේ තිබුණ ආයුධ වීසි කරලා දැම්මා. ඒ රහත් මුනිඳුන්ට මෙහෙම කිව්වා.

721. කිං භදන්තේ කරිත්වාන කෝ වා ආචරියෝ තව,
කස්ස සාසනමාගම්ම ලබ්භතේ තං අසෝකතා.

721. (සොරු) පින්වත් මුනිඳුනි, ඇත්තෙන්ම කවුද ඔබේ ගුරුවරයා? මේ විදිහට ශෝක නොවී සිටින්ට පුළුවන් වුණේ කාගෙ ධර්මයක් තුළින්ද?

722. සබ්බඤ්ඤූ සබ්බදස්සාවී ජිනෝ ආචරියෝ මම,
මහාකාරුණිකෝ සත්ථා සබ්බලෝකතිකිච්ඡකෝ.

722. (අධිමුත්ත සමිඳු) මගේ ගුරුදේවයන් වහන්සේ අවබෝධ කළ යුතු සියලුම දේ අවබෝධ කළ කෙනෙක්. සියලු ලෝකය ජයගත් කෙනෙක්. මහා කාරුණික කෙනෙක්. සර්වඥ කෙනෙක්. උන්වහන්සේ මගේ ශාස්තෘන් වහන්සේ. උන්වහන්සේ තමයි මේ ලෝකයට සදහම් බෙහෙත් බෙදන්නෙ.

723. තේනායං දේසිතෝ ධම්මෝ ඛයගාමී අනුත්තරෝ,
කස්ස සාසනමාගම්ම ලබ්භතේ තං අසෝකතා.

723. හැම දුක් අවසන් කරන පරම ශ්‍රේෂ්ඨ වූ මේ ධර්මය ඒ බුදු සමිඳාණන් තමයි මට කියල දුන්නේ. ඉතින් මං ඒ ධර්මය තුළට පැමිණුනා. මේ ශෝක රහිත ජීවිතය ලබාගත්තා.

724. සුත්වාන චෝරා ඉසිනෝ සුභාසිතං නික්ඛිප්ප සත්ථානි ච ආවුධානි ච,
තම්හා ච කම්මා විරමිංසු ඒකේ ඒකේ පබ්බජ්ජ මරෝචයිංසු.

724. මහ ඉසිවර ඒ රහතුන්ගේ උතුම් ධර්මය අහපු ඒ හොරු ඔක්කොම අවි ආයුධ වීසිකරලා දැම්මා. සමහර අය සොරකම් වලින් වැලකිලා යහපත් අය වුණා. තවත් අය මහණ වුණා. බුදු සසුන බැබලුවා. (රහත් වුණා.)

725. තේ පබ්බජිත්වා සුගතස්ස සාසනේ භාවෙත්ව බොජ්ඣංගබලානි පණ්ඩිතා,
උදග්ගචිත්තා සුමනා කතින්ද්‍රියා ඵුසිංසු නිබ්බානපදං අසංඛත’න්ති.

725. ඒ හොරු සුගතයන් වහන්සේගේ ශාසනයේ මහණ වෙලා බොජ්ඣංග ධර්ම, බලධර්ම දියුණු කරගෙන නුවණ ලබාගෙන සතුටු සිතින් භාවනා කරමින් ඒ දියුණු කරපු ශ්‍රද්ධාදී ඉඳුරන් නිසාම හේතු ඵල දහම ඉක්මවා ගියා. ඒ අමා නිවන් සුව අවබෝධ කළා.

ඉත්ථං සුදං ආයස්මා අධිමුත්තෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් අධිමුත්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_20-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M