ඛුද්දක නිකාය

ථේර ගාථා

14.1.1. ඛදිරවනියරේවතත්ථේරගාථා

14.1.1. ඛදිරවනයේ රේවත තෙරුන්ගේ ගාථා

645. යදා අහං පබ්බජිතෝ අගාරස්මානගාරියං
නාභිජානාමි සංකප්පං අනරියං දෝසසංහිතං

645. මං ගිහි ජීවිතය අත්හැරලා මහණ වෙච්ච දවසේ ඉඳලා මේ දක්වාම මගේ හිතේ කිසිම ද්වේෂ සහගත සිතිවිල්ලක් ඇති වෙච්ච බවක් මං දන්නෙ නෑ.

646. ඉමේ හඤ්ඤන්තු වජ්ඣන්තු දුක්ඛං පප්පොන්තු පාණිනෝ
සංකප්පං නාභිජානාමි ඉමස්මිං දීඝමන්තරේ

646. මේ සත්වයෝ මැරෙත්වා! වැනසෙත්වා! දුකට පත්වෙත්වා! යන හැඟීමක් වත් මෙච්චර දීර්ඝ කාලයක් තුළ මා තුළ ඇතිවුණ බවක් මං දන්නෙ නෑ.

647. මෙත්තං ච අභිජානාමි අප්පමාණං සුභාවිතං
අනුපුබ්බං පරිචිතං යථා බුද්ධේන දේසිතං

647. මෛත්‍රිය ගැන බුදුසමිඳුන් කියා දුන්න ආකාරයටම මං මෛත්‍රී භාවනාව කළා. අප්‍රමාණ මෙත් සිත ක්‍රම ක්‍රමයෙන් පුරුදු කළ බව මං දන්නවා.

648. සබ්බමිත්තෝ සබ්බසඛෝ සබ්බභූතානුකම්පකෝ
මෙත්තං චිත්තං ච භාවේමි අබ්‍යාපජ්ඣරතෝ සදා

648. තරහක් නැති සිතින් යුතුව හැම මිතුරන් යහළුවන් සත්වයන් හැමදෙනා ගැනම අනුකම්පාවෙන් මං මෛත්‍රී සිත වඩනවා.

649. අසංහීරං අසංකුප්පං චිත්තං ආමෝදයාමහං
බ්‍රහ්මවිහාරං භාවේමි ආකාපුරිසසේවිතං

649. කිසිම බැඳීමක් නැති වෙනස් වීමක් නැති ඒ මෛත්‍රියෙන්මයි සිතේ සතුට ඇති වෙන්නේ. නුවණ නැති ජනතාව මෙය පුරුදු කරන්නෙ නෑ. එහෙත් මං සතර බ්‍රහ්ම විහරණයන්ම පුරුදු කරනවා.

650. අවිතක්කං සමාපන්නෝ සම්මාසම්බුද්ධසාවකෝ
අරියේන තුණ්හීභාවේන උපේතෝ හෝති තාවදේ

650. සම්බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුව විතර්ක නැති ධ්‍යානයට කියන්නෙ ආර්ය වූ නිශ්ශබ්දතාවය කියලා. ඒ භික්ෂුව එයට සම වදිනවා.

651. යථා’පි පබ්බතෝ සේලෝ අචලෝ සුප්පතිට්ඨිතෝ
ඒවං මෝහක්ඛයා භික්ඛු පබ්බතෝ’ව න වේධති

651. ඉතා හොඳින් නිශ්චලව පිහිටි ගල් පර්වතය වගේ මෝහය නැති කරපු භික්ෂුවත් අකම්පිතයි.

652. අනංගණස්ස පෝසස්ස නිච්චං සුචිගවේසිනෝ
වාලග්ගමත්තං පාපස්ස අබ්භමත්තං ව ඛායති

652. නිතරම යහපතම හොයාගෙන ගිය කෙලෙස් නැති කෙනාට කෙස් ලෝමයක අග තිබෙන දෙයක් තරම් ඉතා කුඩා වරද පවා වළාකුලක් වගේ ලොකුවට පේනවා.

653. නගරං යථා පච්චන්තං ගුත්තං සන්තරබාහිරං
ඒවං ගෝපේථ අත්තානං ඛණෝ වෝ මා උපච්චගා

653. ඇතුළු නුවරත්, පිට නුවරත් ඉතා හොඳට ආරක්ෂා වෙලා තියෙන නගරයක් වගෙයි, තමන්ගෙ ජීවිතය වරදට වැටෙන්න නොදී රැකගන්න ඕනෙ. මේ උතුම් අවස්ථාව මග හරින්ට එපා.

654. නාභිනන්දාමි මරණං නාභිනන්දාමි ජීවිතං
කාලං ච පටිකංඛාමි නිබ්බිසං භතකෝ යථා

654. මට දැන් මරණය ගැන අමුතු ආශාවක් නැත. ජීවිතය ගැනත් අමුතු ආශාවක් නැත. මාසෙ පඩිය ලබාගෙන ඉන්න කෙනෙක් වගේ මං මේ කල් බලාගෙන ඉන්නෙ පිරිනිවන් පෑමටයි.

655. නාභිනන්දාමි මරණං නාභිනන්දාමි ජීවිතං
කාලං ච පටිකංඛාමි සම්පජානෝ පතිස්සතෝ

655. මට දැන් මරණය ගැන ද අමුතු ආශාවක් නැහැ. ජීවිතය ගැන ද අමුතු ආශාවක් නැහැ. හොඳට සිහිය පිහිටුවාගෙන නුවණින් යුක්තව මං මේ කල් බලාගෙන ඉන්නෙ පිරිනිවන් පෑමටයි.

656. පරිචිණ්ණෝ මයා සත්ථා කතං බුද්ධස්ස සාසනං
ඕහිතෝ ගරුකෝ භාරෝ භවනෙත්ති සමූහතා

656. මං ශාස්තෘන් වහන්සේව ඉතා ගෞරවයෙන් ඇසුරු කළා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා. භව රැහැන කපලා දැම්මා.

657. යස්ස චත්ථාය පබ්බජිතෝ අගාරස්මානගාරියං
සෝ මේ අත්ථෝ අනුප්පත්තෝ සබ්බසඤ්ඤෝජනක්ඛයෝ

657. ගිහි ජීවිතය අතහැරලා මං මහණ වුණේ උතුම් බලාපොරොත්තුවක් ඇතිව. මගේ ඒ උතුම් අදහස ඉෂ්ට වුණා. හැම බැන්ධනයක්ම නැතිකරලා දැම්මා.

658. සම්පාදේථප්පමාදේන ඒසා මේ අනුසාසනී
හන්දාහං පරිනිබ්බිස්සං විප්පමුත්තොම්හි සබ්බධී’ති

658. ඉතින් පින්වත්නි, මෙච්චරයි මට කියන්න තියෙන්නෙ. අප්‍රමාදීව නිවන් මගේ හැසිරෙන්න. මා නම් ඒකාන්තයෙන්ම පිරිනිවන් පානවා. හැම දුකින්ම නිදහස් වුණා.

ඉත්ථං සුදං ආයස්මා ඛදිරවනියෝ රේවතෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් ඛදිරවනයේ රේවත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_14-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M