351. රනින් කළ පඩිපේලි තියෙනවා. පෝරු තියෙනවා. රන්වන් වැලි තමයි අතුරල තියෙන්නෙ. මිහිරි සුවඳ හමන මනෝරම්‍ය වූ සුදුනෙළුම් පිපිල තියෙනවා.
352. ඒ පොකුණ වටේටම ගස් තියෙනවා. නානා සුවඳවර්ග හැම තැනම හමනවා. නොයෙක් නෙළුම් වර්ගවලින් පිරිල තියෙනවා. සුදු නෙළුම්වලින් වැහිලයි තියෙන්නෙ.
353. මනස්කාන්ත සුළඟ හමා එද්දී මිහිරි සුවඳ දැනෙනවා. හංසයන්, කොස්වාළිහිණියන්, මිහිරි නාද පතුරවනවා. සක්වා ලිහිණියනුත් මිහිරි නාද පතුරවනවා.
354. නොයෙක් කුරුළු කොබෙයියන්ගෙන් පිරිල තියෙන්නෙ. උන් ගේ නානා කුරුළු නාදයෙන් යුක්තයි. නොයෙක් ඵල දරන රුක් ගොමු පිරිල තියෙනවා. සුවඳ මල් දරන වනාන්තර තියෙනවා.
355. මේ විදිහේ සුන්දර නුවරක් නම් මිනිස්සුන්ගේ නගරවලවත් දැක ගන්ට නෑ. ප්‍රාසාද පිරිල තියෙනවා. ඒ හැම එකක්ම රත්තරනින් කරල තියෙන්නෙ.
356. හාත්පස සතර දිසාවම බබුලුවාගෙන එන දිව්‍ය දාසියන් පන්සියයක් ඉන්නවා. ඒ සියලු දෙනාම ඔබේ පිරිවර සේනාවයි.
357. ඔවුන් ලස්සන මාලවළලු දාගෙන රන් පළඳනාවන් පැළඳගෙන සැරසිලා ඉන්නෙ. ඔබ වෙනුවෙන් තිබෙන රනින් කරපු යහන් රාශියක් තිබෙනවා.
358. කදලී මුව සම් අතුරලා සකස් කරල තියෙනවා. දික් ලොම් ඇති කොඳු පලස් අතුරල තියෙනවා. ඒ යහන්වල වාසය කරන කොට ඔබට සියලු සැප සමෘද්ධිමත් වෙනවා.
359. මැදියම් රැයෙහි දී ඔබ අවදි වෙනවා. අවදි වෙලා උද්‍යාන භූමියට යනවා. ඔබ එතැන එක්තරා පොකුණක් ළඟට යනවා.
360. ඒ නිල් තණ ඇති සුන්දර පොකුණු තීරයේ ඔබ හිටගෙන ඉන්නවා. එතකොට මුඩු කන් ඇති බල්ලෙක් එනවා. ඇවිදින් ඔබේ සියලු අඟපසඟ කාල දානවා.
361. එතකොට ඒ බල්ලා කාපු ඔබේ ඇඟේ ඉතිරි වෙන්නෙ ඇටසැකිල්ල විතරයි. ඉතින් ඔබ කරන්නෙ පොකුණට බහින එක. හරි පුදුමයි. එතකොට ආයෙමත් ඔබේ කය පැරණි විදිහට හැදෙනවා.
362. දැන් ඔබ සියලු අඟපසඟින් පිරිපුන් සුන්දර ප්‍රිය දැකුම් ඇති තැනැත්තියක්. රෙද්දකින් ඇඟ පොරොවගෙන ඔබ මා ළඟට පැමිණෙනවා.
363. ඔබ කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පාප කර්මයක් ද කළේ? මොන වගේ කර්ම විපාකයක් නිසාද ඔබේ අඟපසඟ මේ මුඬු කන් ඇති බල්ලෙක් කාල දමන්නෙ?
364. කිම්බිලා කියල නගරයක් තිබුනා. ඒ නගරයේ ශ්‍රද්ධාවන්ත උපාසකයෙක් හිටියා. ඒ ගෘහපතියාගේ බිරිඳ වුනේ මමයි. මං ස්වාමියා ඉක්මවා ගියා. දුස්සීල වුනා.
365. මං ඔය විදිහට ස්වාමියා ඉක්මවා දුරාචාරයේ හැසිරෙන කොට සැමියා මට මෙහෙම කිව්වා. ‘ඔබ මාව ඉක්මවලා දුරාචාරයේ හැසිරෙනවා. ඒක ගැලපෙන දෙයක් නොවෙයි. සුදුසු දේකුත් නොවෙයි.’
366. එතකොට මං මහා දරුණු විදිහට දිව්රලා බොරු කිව්වා. ‘අනේ අපොයි! මං නම් කයින්වත් සිතින්වත් ඔයාව ඉක්මවා ගියෙ නෑ’ කියල.
367. මං යම් හෙයකින් කයෙන් හරි හිතෙන් හරි ඔයාව ඉක්මවා යනවා නම් මේ මුඩු කන ඇති බල්ලෙක් ඇවිදින් මගේ අඟපසඟ කාල දමාපුවාවෙ.
368. ඒ දුරාචාරී කර්මයේ විපාකයත්, බොරු කියපු කර්මයේ විපාකයත් යන කර්ම විපාක දෙක නිසා දැන් අවුරුදු හත්සියයක් මුළුල්ලෙ මං මේ දුක විඳිනවා. මුඩු කන් ඇති බල්ලෙක් ඇවිදින් මගේ අඟපසඟ කාල දානවා.
369. රජතුමනි, ඔබ මට බොහෝම උපකාර කළා. මට හිත සුව පිණිසමයි ඔබ මෙහි ආවෙ. දැන් මං අර කන්මුඩු බල්ලාගෙන් නිදහස් වුනා. දැන් මට සෝකයක් නෑ. භයකුත් නෑ.
370. රජතුමනි, ඒ මං ඔබට නමස්කාර කරමි. ඇඳිලි බැඳගෙන මං ආයාචනා කරනවා. රජතුමනි, ඔබ මාත් සමඟ දිව්‍ය වූ කම්සුව විඳින්න එන්න.
371. සොඳුර, මා ඔබත් සමඟ දිව්‍ය වූ කම්සුව වින්ඳා. දැන් මං ඔබගෙන් ඉල්ලා සිටින්නේ ඉක්මනින්ම මාව නුවරට ඇරලවන්න කියලයි.
සාදු! සාදු!! සාදු!!!
දොළොස් වෙනි කණ්ණමුණ්ඩ ප්‍රේත වස්තුවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_2-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M