ඛුද්දක නිකාය

පේතවත්ථු

1.5. තිරෝකුඩ්ඩ පේත වත්ථු

1.5. තිරෝකුඩ්ඩ ප්‍රේත වස්තුව

14. තිරෝකුඩ්ඩේසු තිට්ඨන්ති සන්ධිසිංඝාටකේසු ච
ද්වාරබාහාසු තිට්ඨන්ති ආගන්වාන සකං ඝරං

14. (මළගිය ඥාතීන් පෙරේත ලෝකයේ ඉපදුනාට පස්සේ) තමන් කලින් හිටපු ගෙවල්වලට ආයෙමත් එනවා. ඇවිදින් බිත්තියෙන් එහා පැත්තෙත්, දොර මුල්ලෙත්, බිත්තිය මුල්ලෙත්, හතර මංසංධිවලත් ඉන්නවා.

15. පහූතේ අන්නපානම්හි ඛජ්ජභොජ්ජේ උපට්ඨිතේ
න තේසං කෝචි සරති සත්තානං කම්මපච්චයා

15. ගෙවල්වල උදවිය හොඳට කෑම බීම හදාගෙන, කාල බීල ඉන්නකොට, අර මැරිච්ච උදවියගේ අකුසල කර්ම නිසා, කාටවත් ඔවුන්ව මතක් වෙන්නේ නැහැ.

16. ඒවං දදන්ති ඤාතීනං යේ හොන්ති අනුකම්පකා
සුචිං පණීතං කාලේන කප්පියං පානභෝජනං
ඉදං වෝ ඤාතීනං හෝතු සුඛිතා හොන්තු ඤාතයෝ

16. නමුත් ඔවුන් ගැන අනුකම්පා කරන ඥාතිවරු සුදුසු කාලෙට කැපසරුප් විදිහට, ප්‍රණීත විදිහට දානෙ හදලා ඒ ඥාතීන්ගේ නාමයෙන් (ගුණවතුන්ට) පූජා කරනවා. අපගේ පරලොව ගිය ඥාතීන්ට මේ පින අයිති වෙත්වා! ඒ නෑදෑයෝ සුවපත් වෙත්වා! කියලා පින් දෙනකොට, එතැනට ඒ මිය පරලොව ගිය ඥාති ප්‍රේතයෝ රැස් වෙනවා.

17. තේ ච තත්ථ සමාගන්ත්වා ඤාතිපේතා සමාගතා
පහූතේ අන්නපානම්හි සක්කච්චං අනුමෝදරේ

17. ඒ මලගිය ඤාතීන් ඒ ඒ තැන්වලට ඇවිදින් රැස්වෙලා ඉන්නවා. බොහෝ දන් පැන්වලින් දානමය පින්කම් සිදුකරන කොට ඉතා හොඳින් අනුමෝදන් වෙනවා.

18. චිරං ජීවන්තු නෝ ඤාති යේසං හේතු ලභාමසේ
අම්හාකඤ්ච කතා පූජා දායකා ච අනිප්ඵලා

18. ‘අනේ! අපේ මේ නෑදෑයෝ බොහෝ කලක් ජීවත් වෙත්වා’ ඔවුන් නිසා අපට මේ පුණ්‍ය සම්පත් ලැබුනා නෙව. අපටත් පූජාවන් ලැබුනා නෙව, කියල ඒ ඥාතී ප්‍රේතයෝ සෙත් පතනවා. දන් දුන්න උදවියටත් නිෂ්ඵල වන්නේ නෑ.

19. න හි තත්ථ කසී අත්ථි ගෝරක්ඛෙත්ථ න විජ්ජති
වණිජ්ජා තාදිසී නත්ථි හිරඤ්ඤේන කයාක්කයං
ඉතෝ දින්නේන යාපෙන්ති පේතා කාලකතා තහිං

19. ඒ ප්‍රේත ලෝකයේ කුඹුරු වැඩ නෑ. ගව පාලනයක් නෑ. වෙළහෙළඳාමකුත් නෑ, රන් රිදී, මිළ මුදල් ගනුදෙනුවක් නෑ. කළුරිය කරලා, ප්‍රේත ලෝකෙ උපන්නට පස්සෙ මේ මිනිස් ලෝකෙන් දෙන පිනකින් තමයි ඒ උදවිය ජීවත් වෙන්නෙ.

20. උන්නමේ උදකං වට්ඨං යථා නින්නං පවත්තති
ඒවමේව ඉතෝ දින්නං පේතානං උපකප්පති

20. ඒක උස් බිමකට වැටුන ජලය පහත් බිමකට ගලාගෙන යනවා වාගේ දෙයක්. ඒ විදිහටම තමයි මේ මිනිස් ලොව ඥාතීන් විසින් දෙන පින්වලින් ප්‍රේතයින්ට සැප ලැබෙන්නෙ.

21. යථා වාරිවහා පූරා පරිපූරෙන්ති සාගරං
ඒවමේව ඉතෝ දින්නං පේතානං උපකප්පති

21. ඒ වගේම මහා ගංගා, කුඩා ඇළ දොළවලින් රැස් වෙන දියෙන් මහ සයුරු පිරෙනවා වගේ, මිනිස් ලොව ඥාතීන් විසින් දෙන පින්වලින් තමයි ප්‍රේතයින්ට සැප ලැබෙන්නෙ.

22. අදාසි මේ අකාසි මේ ඤාතිමිත්තා සඛා ච මේ
පේතානං දක්ඛිණං දජ්ජා පුබ්බේ කතමනුස්සරං

22. ඒ ඥාතීන් ජීවත් වෙලා ඉන්න කාලෙ ‘මට මේ මේ දේවල් තියෙනව. මට මේ මේ උපකාර කරලා තියෙනවා. මේ අය මගේ ඥාති මිත්‍රයෝ, මේ අය මාගේ යාළුවෝ’ කියලා ඔවුන්ට ඉස්සර කරපු කියපු උපකාර සිහි කර ගෙන පින් දෙන්ට ඕන.

23. න හි රුණ්ණං ව සෝකෝ වා යා චඤ්ඤා පරිදේවනා
න තං පේතානමත්ථාය ඒවං තිට්ඨන්ති ඤාතයෝ

23. අඬලා වැඩක් නෑ. ශෝක වෙලා වැඩක් නෑ. වෙන වැළපීමක් කරලා වැඩක් නෑ. ප්‍රේත ලෝකයේ උපදින අයට ඒකෙන් කිසි ප්‍රයෝජනයක් නෑ. ඒ ඥාති ප්‍රේතයෝ ඒ විදිහටම එහෙ ඉන්නවා.

24. අයඤ්ච ඛෝ දක්ඛිණා දින්නා සංඝම්හි සුප්පතිට්ඨිතා
දීඝරත්තං හිතායස්ස ඨානසෝ උපකප්පති

24. (බිමිබිසාර රජතුමනි, ඔබ අද තමන්ගේ මියගිය ඥාතීන් උදෙසා) මේ දානය පූජා කරගත්තා. ආර්ය සංඝයා කෙරෙහි පිදූ දානය යහපත් ලෙස පිනේ පිහිටියා. බොහෝ කලක් ඒ උදවියට මේ පින හිත සුව පිණිස හේතු වෙනවා. මේ මොහොතේම ඒ ඇත්තන්ට මේ පින් ලැබෙනවා.

25. සෝ ඤාතිධම්මෝ ච අයං නිදස්සිතෝ
පේතාන පූජා ච කතා උළාරා
බලඤ්ච භික්ඛූනමනුප්පදින්නං
තුම්හේහි පුඤ්ඤං පසුතං අනප්පක‘න්ති.

25. මේක හොඳ ඥාතිධර්මයක්. හොඳ ආදර්ශයක්. මිය ගිය උදවියට උසස් පූජාවක් කළා වෙනවා. භික්ෂු සංඝයාට ශක්තියක් ලබා දුන්නා වෙනවා. (රජතුමනි) ඔබ විසින් බොහෝ කලක් යහපත පිණිස හේතු වන මහත් පිනක් රැස් කර ගත්තා.

සාදු! සාදු!! සාදු!!!

තිරෝකුඩ්ඩපේතවත්ථු පඤ්චමං.

පස්වෙනි තිරෝකුඩ්ඩ ප්‍රේත වස්තුවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M