ඛුද්දක නිකාය

විමානවත්ථු

7.11. සුනික්ඛිත්ත විමාන වත්ථු

7.11. සුනික්ඛිත්ත විමානය

1284. මේ විමානය හරි උසයි. මැණික්වලින් කරපු කණු තියෙනවා. යොදුන් දොළොසක් දුරට පැතිරිලා තියෙනවා. උස් මුදුන් ඇති ගෙවල් හත්සියයක් තියෙනවා. වෛරෝඩි මැණිකෙන් කරපු කණු තියෙනවා. සිත්කලුයි. සුන්දරයි.

1285. ඔබ ඒ විමානයේ ඉඳගෙන පානය කරනවා. අනුභව කරනවා. දිව්‍ය වීණාවන්ගෙන් මිහිරි වාදනය ඇහෙනවා. දිව්‍ය වූ රසය තියෙනවා. පංචකාම ගුණත් තියෙනවා. රන් අබරණවලින් සැරසිලා දිව්‍ය අප්සරාවන් නටනවා.

1286. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද?

1287. මහානුභාව ඇති පින්වත් දිව්‍ය පුත්‍රය, දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත් වෙලා ඉන්නෙ. මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.

1288. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ.

1289. සුගතයන් වහන්සේගේ ස්ථූපයට පිළිවෙලක් නැතුව මල් පූජා කරල තිබුණා. මං ඒවා ලස්සනට සකස් කළා. බුදු ගුණ මනසිකාරය සිතේ පිහිටුවා ගත්තා. ඒ මහා ඉර්ධි ඇතිව මහා ආනුභාව ඇතිව දිව්‍ය වූ කාමගුණයන්ගෙන් දැන් සතුටු වෙනවා.

1290. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.

1291. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදි ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.

සාදු ! සාදු !! සාදු !!!

එකොළොස්වෙනි සුනික්ඛිත්ත විමානයයි.

හත්වෙනි සුනික්ඛිත්ත වර්ගය නිමා විය.

එහි පිළිවෙල උද්දානයයි:

දළිද්දා (චිත්තලතා – නන්දන) කියන විමාන වස්තු දෙක, විහාර විමාන වස්තු දෙක, ගෝපාල විමාන වස්තුව, කන්ථක විමාන වස්තුව, අනේකවණ්ණ විමාන වස්තුව, මට්ටකුණ්ඩලී විමාන වස්තුව, සේරිස්සක විමාන වස්තුව, සුනික්ඛිත්ත විමාන වස්තුව කියන මේ පුරුෂ විමාන වස්තුවලිනුයි තුන්වෙනි වර්ගය කියන්නෙ.

විමාන වස්තු සමාප්තයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn3_1-7-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M