1230. සේරිස්සක දිව්‍ය පුත්‍රයාගෙත් ඒ වෙළඳුන්ගේත් එක්වීම යම් තැනකදි සිදු වුනා. එය අහන්න. ඔවුන් විසින් පවසන ලද මේ සුභාෂිත කතාව සියලු දෙනාම අහගෙන ඉන්න.
1231. සේතව්‍ය නුවර පායාසී කියල රජ කෙනෙක් හිටියා. එයා යසස් ඇති භූමාටු දෙවියන් අතර උපන්නා. ඒ දෙවියා තමන්ගේ විමානයේ සතුටින් ඉන්නවා. නොමිනිස් වූ ඒ දෙවියා මිනිසුන්ට මෙහෙම කිව්වා.
1232. අමනුස්සයන්ගේ වාසස්ථාන තියෙන්නෙ සැක සහිත වනාන්තරයේ. ඒ වගේම අල්ප කෑම් බීම් ඇති අල්ප ජලය ඇති කාන්තාරේ. මේ ගමන හරිම දුෂ්කරයි. මේ වැලි කතර මැද තනි වෙලා සැක බියෙන් නැසී යන මිනිසුනේ.
1233. මේ වැලිකතරේ පලතුරු නෑ. අලවර්ග නෑ. ගින්දරට ඕන කරන දෙයක් නෑ. කෑම් බීම් කොහෙන් ලැබෙන්ටද? මෙහි තිබෙන්නේ රත්වෙලා ගිය දරුණු රළු පසුයි වැලියි විතරයි.
1234. මෙහි තිබෙන්නේ රළු පසක්. රත්වෙච්ච කබලක් වගේ. සැපක් නෑ. පරලොව නරකයක් වගේ. බොහෝ කල් ඉඳල පිශාචයන්ටයි වාසස්ථාන වෙලා තියෙන්නෙ. මේ ප්‍රදේශය සෘෂිවරුන්ගේ සාපලත් භූමියක් වගේ.
1235. ඉතින් ඔබ මොන වගේ දෙයක් නිසා මොන වගේ දෙයක් කැමති වෙලාද විමසන්නෙ නැතුව හිතුවක්කාර විදිහට මේ ප්‍රදේශයට ආවේ? ලෝභය නිසාද? භය නිසාද? නැත්නම් මං මුළා වීමක් නිසාද?
1236. පින්වත් දිව්‍ය පුත්‍රය, අපි අංග මගධ කියන රටවල්වල ඉන්න ගැල්කරුවො. අපි මේ බොහෝ බඩුමුට්ටු පුරවා ගෙන සින්ධුසෝවීර දේශයට යන්නෙ. මිල මුදල් උපයාගන්න අදහසින් තමයි අපි මේ ගැල් ගමන යන්නෙ.
1237. දවල් කාලෙ පිපාසය උහුල ගන්න බැරුව ගොනුන්ටයි මිනිසුන්ටයි පහසු තැනක් හොයාගෙනයි වේගයෙන් වේගයෙන් අපි ආවෙ. අපේ සියලු දෙනා රෑ මාර්ගයට ආවේ සුදුසු කාලෙ නොවේ.
1238. අපේ ගමන යන්න බැරි වුනා. පාර වැරදුනා. අන්ධයන් වගේ ආකූල වුනා. මේ වනයේ හොඳටම මංමුලා වුනා. දුර්ග මං මාවත් ඇති මේ වැලිකතර මැද්දෙ මුලා වූ සිත් ඇතිවයි අපි ඉන්නෙ. දිසාව සොයා ගන්න බෑ.
1239. පින්වත් දිව්‍ය පුත්‍රය, මේ වගේ දෙයක් අපි කලින් දැකලා නෑ. ඔබත් මේ විමානයත් හරිම ශ්‍රේෂ්ඨයි. මෙතැන් පටන් අපිට ජීවිතය ලැබුනා කියල මෙය දැක්කට පස්සෙ අපි සතුටු සිතින් ඔද වැඩිලයි ඉන්නෙ.
1240. මිනිසුනේ, මුහුදෙන් එතෙරත් මේ වගේ වැලි කතරෙත් වේවැල් බැඳ යන මාර්ගවලත් කණු සිටවල යන මාර්ගවලත් ගංගා පර්වත ආදී දුර්ගම ස්ථානවලත් මිල මුදල් හම්බ කිරීමට ඔබ බොහෝ දිශාවල යනවා.
1241. වෙන රජවරුන්ගේ රාජධානිවලට යන ඔබ විවිධ රටවල මිනිසුන් ගෙන් මොන වගේ දෙවල්ද අහන්නෙ? මොන වගේ දේවල්ද ඔබ දකින්නෙ? දරුවෙනි, ඒ අසිරිමත් තොරතුරු ගැන අපි අහන්න කැමැතියි.
1242. දිව්‍ය කුමාරය, මීට වඩා අතිශයින්ම අසිරිමත් වූ සැපයක් ගැන නම් අපි අහලත් නෑ. දැකලත් නෑ. මේ හැම දෙයක්ම මිනිස් සැපත ඉක්මවා ගිහින් තියෙනවා. මේ උතුම් වර්ණය දැකලා අපි තෘප්තිමත් වෙන්නෙ නෑ.
1243. ආකාසයේ පැන් පොකුණු තියෙනවා. බොහෝ මල් තියෙනවා. බොහෝ සුදු නෙළුම් තියෙනවා. නිතරම පලතුරු පිරුණු ගස් තියෙනවා. අතිශයින්ම සුවඳවත් වෙලා දිව්‍ය සුවඳ වහනය වෙනවා.
1244. වෛරෝඩි මැණිකෙන් කරපු උස් කණු තියෙනවා. පබළුවලින් කළ සැරසිලි තියෙනවා. මැසිරිගලින්, පද්මරාග මැණික් වලින් කරපු කණු තියෙනවා. මේ හැම එකක්ම බබලනවා.
1245. දහස් ගණන් කණු තියෙනවා. ඒවා සමාන කරන්න කිසිවක් නෑ. ඒ මුදුනේ තමයි ඔබේ ලස්සන විමානය තියෙන්නෙ. රන්වන් වේදිකාවන් තියෙනවා. රන්පට තියෙනවා. ඒ රන්පටින් ලස්සනට සරසලා තියෙනවා.
1246. මේ විමානය හරි මටසිළුටුයි. දඹරන් පැහැයෙන් බබලනවා. ප්‍රාසාදයට නගින්න ලස්සන පඩිපෙළවල් තියෙනවා. ඉතා ලස්සනට, ස්ථීරව, සියුම්ව, පිළිවෙලකට හැදිල තියෙනවා. මේ විමානය අතිශයින්ම දැකුම්කළු සිත් අලවන එකක්.
1247. මේ රුවන් විමානය ඇතුළේ බොහෝ කෑම් බීම් තියෙනවා. දිව්‍ය අප්සරාවන් පිරිවරා ගෙන ඉන්නවා. මිහිඟු බෙර පනා බෙර තූර්ය නාද ආදියෙන් සොඳුරු ඝෝෂා නැගෙනවා. පිළිගැනීමේ ස්තූති ගීතිකා ගැයෙනවා.
1248. ඒ ඔබ දිව්‍ය අප්සරාවන් පිරිවරා ගෙන සතුටු වෙනවා. මනෝරම්‍ය වූ මේ උතුම් දිව්‍ය විමානයෙහි තිබෙන සැප සම්පත් ගැන නම් සිතල ඉවර කරන්න බෑ. වෙසමුණි රජ්ජුරුවන්ගේ නලිනී ප්‍රාසාදය වගේ.
1249. ඔබ දෙවියෙක්වත්ද? එහෙම නැත්නම් යකෙක්වත් ද? එහෙමත් නැත්නම් ශක්‍ර දෙවියන් වත්ද? මනුෂ්‍යයෙක් වත්ද? පින්වත් දිව්‍ය පුත්‍රය, මේ ගැල් ගෙනියන වෙළෙන්ඳන් තමයි ඔය කරුණ අහන්නෙ. ඇත්තෙන්ම කවුද ඔබ?
1250. පින්වත් වෙළෙන්ඳනි, මගේ නම සේරිස්සක. මං යක්ෂයෙක්. මං තමයි මේ කාන්තාර සහිත වැලි කතර ආරක්ෂා කරන්නෙ. මේ ප්‍රදේශය මම පාලනය කරනවා. වෙසමුණි රජ්ජුරුවන්ගෙ වචනයට අනුව තමයි පාලනය කරන්නෙ.
1251. පින්වත් දිව්‍ය පුත්‍රය, ඔබේ ඔය සම්පත් හේතුප්‍රත්‍ය රහිතව පහළ වෙලාද? ක්‍රමක්‍රමයෙන් පරිණාමයට පත්වෙලාද? තමන් විසින් නිපදවාගෙනද? දෙවිවරු දීලද? මේ ගැල්ගෙනියන වෙළෙන්දන් තමයි ඔය කරුණ අහන්නෙ. මෙතරම් මනෝරම්‍ය වූ සැපසම්පත් ඔබට ලැබුනේ කොහොමද?
1252. පින්වත් වෙළෙන්ඳනි, මගේ මේ සම්පත් හේතුප්‍රත්‍ය රහිතව පහළ වෙලාත් නොවෙයි. ක්‍රමක්‍රමයෙන් පරිණාමයට පත්වෙලත් නොවෙයි. තමන් විසින් නිපදවාගෙනත් නොවෙයි. දෙවිවරු දීලත් නොවෙයි. තමන් විසින් කරගත්තු අලාමක පුණ්‍ය කර්ම නිසයි මෙතරම් මනෝරම්‍ය වූ සැපසම්පත් මට ලැබුනේ.
1253. පින්වත් දිව්‍ය පුත්‍රය, ඔබ සමාදන් වුන ව්‍රතය මොකක්ද? ඔබේ බඹසර ජීවිතය මොකක්ද? මොන වගේ දෙයක් පුරුදු කරලද මෙම විපාකය ලැබුනෙ? මේ ගැල්ගෙනියන වෙළෙන්දන් තමයි ඔය කරුණ අහන්නෙ. මෙතරම් මනෝරම්‍ය වූ සැපසම්පත් ඔබට ලැබුනේ කොහොමද?
1254. ඒ කාලෙ මං කොසොල් ජනපදයේමයි රජ කළේ. මං ප්‍රසිද්ධ පායාසී යන නමින්. මං පින්පව්වල විපාක නැත යන දෘෂ්ටියේ හිටියා. මං ලෝභ කෙනෙක් වෙලා හිටියා. පාපී කෙනෙක් වෙලා මරණින් මතු කිසිවක් නැත යන උච්ඡේදවාදියෙක් වෙලා හිටියේ.
1255. කුමාරකස්සප නමින් ශ්‍රමණයන් වහන්සේ නමක් හිටියා. උන්හන්සේ බහුශ්‍රැතයි. විචිත්‍ර ධර්මකථිකයි. උදාරයි. උන්වහන්සේ මට ධර්ම කථාව වදාළා. එදා තමයි මගේ දෘෂ්ටි හුල් ටික ඉවත් කළේ.
1256. ඉතින් මං උන්වහන්සේගේ ධර්ම කතාව අහලා උපාසකයෙක් බවට පත් වුනා. සතුන් මැරීමෙන් වෙන් වුනා. ලෝකයෙහි නුදුන් දෙය ගැනීම අත්හැරියා. මත්පැන් බිව්වෙ නෑ. බොරු කිව්වෙ නෑ. තම බිරිඳගෙන් විතරක් සතුටු වුනා.
1257. ඒක තමයි මගේ ව්‍රතය. ඒකම තමයි මගේ බඹසර. ඒක හොඳට පුරුදු කරල තමයි මේ පුණ්‍ය විපාකය ලැබුනේ. තමන් විසින් කර ගත්තු අලාමක පුණ්‍ය කර්ම නිසායි මේ දිව්‍ය විමානය මට ලැබුනේ.
1258. ප්‍රඥාවන්ත මිනිසුන් කියල තියෙන්නෙ නම් ඇත්තක්මයි. ඒ පණ්ඩිතයන්ගේ වචන වෙනස් වෙන්නෙ නම් නෑ. පින්කර ගත්තු කෙනා යම් ම තැනක යනවා නම් ඒ ගිය ගිය තැන තමන් කැමැති සැප සම්පත් ලබල සතුටු වෙනවා.
1259. අකුසල් කළ පුද්ගලයා යම් ම තැනක යනවා නම් ඒ ගිය ගිය තැන සෝක වැළපීම් ලැබෙනවා. වද වේදනා ලැබෙනවා. බන්ධන ලැබෙනවා. අයහපත ලැබෙනවා. කවදාවත් අපා දුකෙන් නිදහස් වෙන්නෙ නෑ.
1260. ඒ මොහොතේ ඒ දිව්‍ය පිරිස තුළ කැළඹුණු ස්වභාවයක් ඇති වුනා. මං මුළා වුන ස්වභාවයක් ඇති වුනා. දිව්‍ය කුමාරය, මේ පරිවාර දෙවියන්ගේත් ඔබගේත් දොම්නස් ගතියක් ඇති වුනේ මක් නිසාද?
1261. පින්වත් දරුවෙනි, මේ තියෙන්නෙ මහරි රුක් වනයක්. මේ වනයෙන් දිව්‍ය සුගන්ධය හමනවා. දිවා රෑ දෙකේම අන්ධකාරයත් නැතිකරල මේ විමානයට ඒ සුගන්ධය හමනවා.
1262. අවුරුදු සියයකට වතාවක් මේ මහරී රුක්වලින් එක එක මල් පෙත්ත ගානේ ගැලවිලා වැටෙනවා. එතකොට තමයි දැනගන්නෙ මං මේ දිව්‍ය ලෝකෙට ඇවිල්ල මිනිස් ආයුෂවලින් සියක් වසරක් ඉක්ම ගියා කියල.
1263. මං මේ විමානයේ ඉන්නෙ අවුරුදු පන්සියයක් විතරයි. මං ඒක දන්නවා. ආයුෂත් පිනත් එතකොට පිරිහිලා යනවා. අන්න ඒ ගැනයි මගේ හිතේ ගොඩාක් ශෝකය තියෙන්නෙ.
1264. පින්වත් දිව්‍ය පුත්‍රය, මේ වගේ කිසි දෙයකට සමාන කරන්න බැරි බොහෝ කල් පවතින විමානයක් ලැබිල ඔබ මොනවට නම් ශෝක වෙනවද? යම් කෙනෙකුට ආයුෂත් අඩු නම් පිනත් අඩු නම් අන්න එබඳු කෙනෙක් නම් ශෝක කළාට කමක් නෑ.
1265. පින්වත් දරුවනි, මා කෙරෙහි යහපත් හැඟීමෙන්මයි නුඹලා ප්‍රිය වචනවලින් මට මේ අවවාද කළේ. මාත් නුඹලාව ආරක්ෂා කරනවා. යම් තැනකට යන්න කැමති නම් සුවසේම එතැනට යන්න පුළුවනි.
1266. අපි බලාපොරොත්තු වන්නෙ මිල මුදල් ටිකක් යහමින් හම්බ කරගන්ට සින්ධුසෝවීර භූමියට යන්නයි. අපි පොරොන්දු වුන විදිහට තෑගිභෝග සම්පූර්ණ කරල සේරිස්සක නමින් ලොකු පූජාවක් කරනවා.
1267. ඔය සේරිස්සක පූජාවල් කරන්ට යන්න එපා! දැන් ඔය කියන යමක් ඇද්ද ඒ හැමදෙයක්ම ඒ විදිහට සිද්ධ වේවි. පව්කම් අත්හරින්න. ධර්මානුකූලව ජීවත් වීමට අධිෂ්ඨාන කරගන්න.
1268. මේ වෙළඳ පිරිස අතරේ එක්තරා උපාසකයෙක් ඉන්නවා. ඔහු බහුශ්‍රැතයි. සිල්වත්. ශ්‍රද්ධාවන්තයි. ත්‍යාගසම්පන්නයි. සුපේශල කෙනෙක්. විචක්ෂණ බුද්ධියක් තියෙනවා. ප්‍රීතිමත් සිතින් ඉන්න නුවණ තියෙන උපාසකයෙක්.
1269. ඔහු දැන දැන බොරු කියන කෙනෙක් නොවෙයි. සතුන් මැරීමට හිතන කෙනෙක් නොවෙයි. සමගි සම්පන්න වුන අය වෙන් කිරීමට කේලාම් කියන කෙනෙක් නොවෙයි. නුවණින් යුක්තව කතා කරනවා. යහපත් දේ කතා කරනවා.
1270. වැඩිහිටියන්ට ගරුසරු කරනවා. කීකරුයි. විනීතයි. පව් නොකරන කෙනෙක්. අධිසීලය තුළ පිරිසිදු වුන කෙනෙක්. ඔහු මව් පියන්වත් ධාර්මිකව පෝෂණය කරනවා. ආර්ය පැවතුම්වලින් යුක්තයි.
1271. මං හිතන්නෙ ඔහු මව්පියන්ට උපස්ථාන කරන්න ඕන නිසා තමයි භෝග සම්පත් සොයන්නෙ. තමන් උදෙසා නම් නොවෙයි. මව්පියන්ගෙ ඇවෑමෙන් පස්සෙ ඔහු නිවන අවබෝධ කර ගැනීම පිණිස සාසන බ්‍රහ්මචරියාවේ හැසිරේවි.
1272. ඔහු සෘජුයි. අවංකයි. ශටකපට නෑ. මායා නෑ. පිටින් හොඳ පෙන්නා ගෙන වෙන දෙයක් හිතේ තියාගෙන කතා බස් කරන්නෙ නෑ. ඒ විදිහේ යහපත් දේ කරමින් සිටින ධර්මයෙහි පිහිටි කෙනෙක් දුකක් ලබන්නෙ කොහොමද?
1273. ඒ උපාසක පින්වතා සිටපු නිසා තමයි මං නුඹලා ඉදිරියෙහි පහළ වුනේ. ඒ නිසා වෙළෙන්ඳනි, ධර්මයයි දකින්න ඕන. ඒ උපාසක පින්වතා නැතුව නුඹලා මේ ගමන ආවා නම් ආකූල වෙච්ච අන්ධයන් වගේ මේ මරු කතරේ අනුන්ගේ කරදර වලට බඳුන් වෙලා නුඹලා ඉක්මනින්ම විනාශ වෙනවා. ඒකාන්තයෙන්ම සත්පුරුයන්ගේ ඇසුර සැපයක්මයි.
1274. පින්වත් දේව පුත්‍රය, කවුද එයා? මොන වගේ වැඩක්ද කරන්නෙ? ඔහුට කතා කරන නම මොකක්ද? ඔහුගේ ගෝත්‍රය මොකක්ද? අපි කැමතියි ඒව දැනගන්ට. ඒක එහෙමමයි. ඔබ යම් කෙනෙක් ගැන අනුකම්පාවෙන් නම් මෙහි පහළ වුනේ ඔබ යමෙකුට ප්‍රියයි නම්, එයාගෙ පැමිණීම ලාභයක්මයි.
1275. ඔතැන කෙනෙක් ඉන්නවා. එයා කරණවෑමියෙක් (බාබර් කෙනෙක්). එයා ගේ නම සම්භව. එයා තමයි කොස්සෙන් පනාවෙන් ජීවත් වෙන උපාසකතුමා. එයාව හඳුනගන්න. එයා කම්කරුවෙක්. එයා බොහෝම තැන්පත් කෙනෙක්. එයාව පහත් කොට හිතන්න එපා!
1276. පින්වත් දිව්‍ය පුත්‍රය, අපි දන්නවා ඔබ කා ගැනද කීවෙ කියල. නමුත් එයා ඔය ආකාර කෙනෙක් කියල අපි දැනගෙන හිටියෙ නෑ. පින්වත් දිව්‍ය පුත්‍රය, අපි ඔබේ උදාර වූ වචනය අහල ඒ තැනැත්තාව පුදන්න කැමතියි.
1277. ඔය තවලමෙහි බාල මහළු ඒ වගේම මධ්‍යම වයස ඇති යම්කිසි ලෝභී මිනිසුන් ඉන්නවා නම් ඔවුන් සියල්ලෝම මේ විමානයට නගිත්වා! පින්වල විපාක හොඳින් බලත්වා!
1278. එතකොට ඒ සියලු දෙනාම “මං තමයි ඉස්සර වෙලා යන්නෙ” කියල එතැන හිටපු කරණවෑමියා පෙරටු කරගත්තා. හැමෝම ශක්‍ර දෙවියන්ගේ තව්තිසා භවනයට නගිනවා වගේ ඒ විමානයට නැග ගත්තා.
1279. ඉතින් ඒ සියලු දෙනාම “මං තමයි ඉස්සර වෙන්නෙ” කියල ඉතා උනන්දුවෙන් තෙරුවන් සරණ ගිය උපාසකවරු බවට පත් වුනා. සතුන් මැරීමෙන් වෙන් වුනා. ලෝකයෙහි සොරකමෙන් වෙන් වුනා.
1280. ඊට පස්සෙ මත්පැන් බිව්වෙත් නෑ. බොරු කිව්වෙත් නෑ. තමන්ගේ බිරිඳගෙන් පමණයි සතුටු වුනේ. ඔවුන් හැමෝම “මං තමයි ඉස්සර වෙන්නෙ” කියල ඉතා උනන්දුවෙන් තෙරුවන් සරණ ගිය උපාසකවරු බවට පත්වුනා. ඒ තවලම සතුටින් අනුමෝදන් වුනා. දිව්‍ය ඉර්ධියෙන් නැවත නැවතත් අනුමෝදන් වුනා.
1281. මිල මුදල් යහමින් හම්බ කරන්ට ආසා ඇති ඔවුන් සින්ධුසෝවීර භූමියට ගියා. ගිහින් හිතාගත් පරිද්දෙන්ම වෙළඳ ගනුදෙනු පරිපූර්ණ කරගත්ත. කිසි කරදරයක් නැතුව ආපසු පාටලීපුත්‍ර නගරයට ආවා.
1282. ඔවුන් කරදරයක් නැතුව සුවසේම තමන්ගේ නිවෙස්වලට ගියා. අඹුදරුවන් සමග සතුටු වුනා. ආනන්දයට පත් වුනා. සතුටු සිත් ඇති වුනා. වඩ වඩාත් සතුටු වුනා. සේරිස්සක කියල මහා උත්සවයකුත් කළා.
1283. ඔවුන් සේරිස්සක කියල පිරිවෙණකුත් හැදුවා. ඔන්න ඔය විදිහයි සත්පුරුෂයන්ගේ ඇසුර ලැබුනහම මහා යහපතක් වෙනවා. දහම් ගුණ ඇති උතුමන්ගේ ඇසුර ලැබුනහම මහා යහපතක් වෙනවා. එකම උපාසක පින්වතෙක් නිසා සියලු සත්වයන්ටම සැප සැළසුනා.
සාදු ! සාදු !! සාදු !!!
දසවෙනි සේරිස්සක විමානයයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn3_1-7-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M