ඛුද්දක නිකාය

විමානවත්ථු

6.4. පඨම උපස්සයදායක විමාන වත්ථු

6.4. පළමු උපස්සයදායක විමානය

1069. පින්වත් දිව්‍ය පුත්‍රය, වළාකුළු නැති ආකාසයේ දිළිසෙමින් යන පුන් සඳක් වගේ ඔබේ විමානයත් ආකාසයේ බැබලෙමින් තියෙනවා.

1070. මහානුභාව ඇති පින්වත් දිව්‍ය පුත්‍රය, දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත් වෙලා ඉන්නෙ. මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.

1071. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍යපුත්‍රයා ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ.

1072. ස්වාමීනි, මමත් මගේ බිරිඳත් මනුස්ස ලෝකෙදි රහතන් වහන්සේ නමකට සෙනසුනක් පූජා කරගත්තා. ආර්ය සංඝයා විෂයෙහි සිත පහදවා ගෙන බොහොම පිළිවෙලට අපි මහා දන් පැන් පූජා කළා.

1073. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.

1074. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදි ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.

සාදු ! සාදු !! සාදු !!!

හතර වෙනි උපස්සයදායක විමානය යි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn3_1-6-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M