ඛුද්දක නිකාය

විමානවත්ථු

6.10. උත්තර විමාන වත්ථු

6.10. උත්තර විමානය

1109. පින්වත් දිව්‍ය පුත්‍රය, සක්දෙව් රජුගේ සුධර්මා කියල දිව්‍ය ශාලාවක් තියෙනවා. අන්න එතැන තමයි දිව්‍ය සමූහයා සමගියෙන් රැස් වෙන්නෙ. ඔබේ විමානයත් අන්න ඒ වගේ ලස්සනයි. ආකාසයේ බැබලෙමින් තිබෙනවා.

1110. මහානුභාව ඇති දිව්‍ය පුත්‍රය, දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත් වෙලා ඉන්නෙ. මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.

1111. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍යපුත්‍රයා ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ.

1112. මං මනුස්ස ලෝකයේ මනුස්සයෙක් වෙලා හිටියේ. පායාසි රජ්ජුරුවන්ගේ සේවක තරුණයෙක්. මට ධනයක් ලැබුනා. ඒකෙන් තමයි මං දන් දුන්නෙ. සිල්වතුන් වහන්සේලාව මට හරි ප්‍රියයි. ඉතින් මං උන්වහන්සේලා ගැන සිත පහදවා ගෙනයි හිටියේ. මං බොහෝම පිළිවෙලට දන්පැන් හදලා මහා දන් පූජා කළා.

1113. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.

1114. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදි ඔය පින තමයි මං කර ගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.

සාදු ! සාදු !! සාදු !!!

දස වෙනි උත්තර විමානයයි.

හයවෙනි පායාසි වර්ගය නිමා විය.

එහි පිළිවෙල උද්දානයයි:

අගාරික විමාන වස්තු දෙක, ඵලදායක, උපස්සය විමාන වස්තු දෙක, භික්ඛදායක, යවපාලක, කුණ්ඩලී විමාන වස්තු දෙක, පායාසී විමාන වස්තුව යන මෙයිනුයි පුරුෂ විමාන පිළිබඳව දෙවැනි වර්ගය කියන්නෙ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn3_1-6-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M