ඛුද්දක නිකාය

විමානවත්ථු

5.4. කක්කටකරසදායක විමාන වත්ථු

5.4. කක්කටකරසදායක විමානය

911. මේ විමානය හරි උසයි. මැණික්වලින් කරපු කණු තියෙනවා. යොදුන් දොළහක් දුරට පැතිරිලා තියෙනවා. උස් මුදුන් ඇති ගෙවල් හත්සියයක් තියෙනවා. වෛරෝඩි මැණිකෙන් කරපු කණු තියෙනවා. සිත්කළුයි. සුන්දරයි.

912. ඔබ ඒ විමානයේ ඉඳගෙන පානය කරනවා. අනුභව කරනවා. දිව්‍ය වීණාවන්ගෙන් මිහිරි වාදනය ඇහෙනවා. දිව්‍ය වූ රසය තියෙනවා. පංචකාම ගුණත් තියෙනවා. රන් අබරණවලින් සැරසිලා දිව්‍ය අප්සරාවන් නටනවා.

913. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද?

914. මහානුභාව ඇති පින්වත් දෙවිය, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.

915. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍යපුත්‍රයා ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ.

916. විමාන දොරටුවේ සිහිය උපදවලා දෙන රන් කකුළුවෙක් ඉන්නවා. රත්තරනින් නිමවෙලා තියෙන්නෙ. හරි ලස්සනයි. පාද දහයක් තියෙනවා. ලස්සනට බබලනවා.

917. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.

918. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදි ඔය පින තමයි මං කරගත්තෙ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.

සාදු ! සාදු !! සාදු !!!

හතර වෙනි කක්කටකරසදායක විමානයයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn3_1-5-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M