ඛුද්දක නිකාය

විමානවත්ථු

5.3. ඡත්තමාණවක විමාන වත්ථු

5.3. ඡත්තමාණවක විමානය

887. කතා බස් කරන මනුෂ්‍ය වර්ගයා අතර උත්තම වූ යම් කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ තමයි නිවන් මග සම්පූර්ණ කළ ශාක්‍ය මුනින්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ. තමන් වහන්සේගේ ප්‍රඥා බලමහිමයත් චතුරංග සමන්වාගත වීර්යයත් නිසා සංසාරෙන් එතෙරට වැඩියා. අන්න ඒ සුගතයන් වහන්සේව සරණ යන්න.

888. ධර්මයක් තියෙනවා. ඒ ධර්මයෙන් රාගය දුරු කරනවා. තෘෂ්ණාව නැති, ශෝක නැති, පිළිකුල් රහිත වූ අසංඛත නිවනයි ඒ ධර්මය. මේ ධර්මය මධුරයි. හොඳින් ප්‍රගුණ වෙනවා. විස්තර විභාග සහිතයි. මේ ධර්මයත් සරණ යන්න.

889. යම් ආර්ය සඟ පිරිසකට දානයක් පූජා කළ විට මහත්ඵල ලැබෙනවා කියලා කියනවා නම් උන්වහන්සේලා පාරිශුද්ධ පුරුෂ යුගල හතරකින් යුක්තයි. ධර්මයේ පිහිටි උන්වහන්සේලා පුද්ගල වශයෙන් අට දෙනෙක් වෙනවා. මේ ආර්ය සංඝයාද සරණ යන්න.

890. මේ දිව්‍ය විමානය අහසෙහි බබලන හැටි බැලුවහම හිරු මඬලවත් මේ තරම් බබලන්නෙ නෑ. සඳ මඬලවත් මේ තරම් බබලන්නෙ නෑ. ඵුස කියන තාරුකාව පවා මේ තරම් බබලන්නෙ නෑ. එතරම්ම සුවිශාලයි. ප්‍රභාෂ්වරයි. දෙව්ලොවින් මෙලොවට පැමිණි ඔබ කවුද?

891. ඒ විමානෙන් විහිදෙන ආලෝකය හිරු රැස් පවා පරදවනවා. යොදුන් විස්සක් විතර දුරට රැස් විහිදෙනවා. දවල් කාලෙ වගේම රෑටත් රැස් විහිදෙනවා. ඒ විමානය පිරිසිදුයි. නිර්මලයි. සුන්දරයි.

892. විචිත්‍ර වූ සුදු නෙළුම් රතු නෙළුම් වගේ බොහෝ නෙළුම් තියෙනවා. නොයෙක් වර්ගයේ මල් පිරිල තියෙනවා. නොයෙක් විසිතුරු කැටයම් තියෙන ඉතා පිරිසිදු රත්තරනින් හැදුණු දැල් විමානේ වටේට තියෙනවා. හිරු මඬලක් වගෙයි අහසේ බබලන්නෙ.

893. රතුපාට, කහපාට දිවසළුවලින් සරසලා තියෙන්නෙ. අගිල්, පුවඟු, සඳුන් වගේ සුවඳින් යුක්තයි. රන්වන්පාටින් බබලන දිව්‍ය අප්සරාවන් පිරුණු මේ විමානය පෙනෙන්නෙ තාරුකාවන් පිරිවරා ගත් ගගන තලය වගේ.

894. මෙහි ඉන්න දිව්‍ය ස්ත්‍රී පුරුෂයන් එක එක පැහැයෙන් යුක්තයි. මල්වලින් සැරසිලා දිව්‍යාභරණවලින් සැරසිලා සතුටු සිතින් ඉන්නෙ. ඒ දිව්‍ය ස්ත්‍රී පුරුෂයන් බොහෝ දෙනෙකුගේ කේශකලාපයන් ලස්සනට සරසලයි තියෙන්නෙ. මඳ සුළඟින් සෙලවෙන රන්වන් මල්වලින් සුවඳ විහිදෙනවා.

895. මේ පුණ්‍ය විපාක ලැබුනේ මොන වගේ සංවරකමක් දමනය වීමක් නිසාද? මෙහි ඔබ උපන්නෙ මොන වගේ පුණ්‍ය විපාකයකින් ද?

896. එක්තරා මාණවකයෙක් මහමග යමින් සිටියා. ශාස්තෘන් වහන්සේ ඔහුට මුණ ගැහිලා අනුශාසනා කළා. ඒ මහානීයරත්නය වන මුඹවහන්සේගේ ධර්මය අසා පිළිපදිනවා කියල ඒ ඡත්ත මාණවක කිව්වා.

897. ස්වාමීනි, පරමොත්තම වූ ජිනයන් වහන්සේ සරණ යන්න. ධර්මයත් භික්ෂු සංඝයාත් සරණ යන්න කියල වදාළ වෙලාවේ මං පළමුව කිව්වේ ඒ ගැන දන්නෙ නෑ කියලයි. පස්සෙ තමයි මුඹවහන්සේගේ වචනය අහලා තෙරුවන් සරණ ගියේ.

898. ඒ අපිරිසිදු වූ නානාප්‍රකාර ප්‍රාණඝාත කරන්න එපා. ප්‍රාණීන් කෙරෙහි සංයමය නැති අය ගැන නුවණැත්තන් වර්ණනා කරන්නෙ නෑ කියල වදාළ වෙලාවේ ස්වාමීනි, මං පළමුව කිව්වේ ඒ ගැන දන්නෙ නෑ කියලයි. පස්සෙ තමයි මුඹවහන්සේගේ වචනය අහලා ඒ විදිහට කළේ.

899. අනුන් විසින් රකින දේවල් තමන්ට දීල නැත්නම් ඒ නොදුන් දේවල් ගන්න හිතන්න එපා කියල වදාළ වෙලාවේ ස්වාමීනි, මං පළමුව කිව්වේ ඒ ගැන දන්නෙ නෑ කියලයි. පස්සෙ තමයි මුඹවහන්සේගේ වචනය අහලා ඒ විදිහට කළේ.

900. අනුන් විසින් ආරක්ෂා කරන කාන්තාවන් ඉන්නවා. ඔවුන් කරා යන්න එපා. ඒක පහත් දෙයක් කියල වදාළ වෙලාවේ ස්වාමීනි, මං පළමුව කිව්වේ ඒ ගැන දන්නෙ නෑ කියලයි. පස්සෙ තමයි මුඹවහන්සේගේ වචනය අහළ ඒ විදිහට කළේ.

901. අසත්‍ය බව දැන දැනත් කියන්න එපා. බොරු කීම නුවණැත්තන් වර්ණනා කරන දෙයක් නොවෙයි කියල වදාළ වෙලාවේ ස්වාමීනි, මං පළමුව කිව්වේ ඒ ගැන දන්නෙ නෑ කියලයි පස්සෙ තමයි මුඹවහන්සේගේ වචනය අහලා ඒ විදිහට කළේ.

902. පුරුෂයෙකුගේ හොඳ සිහිය නැති වෙන්නෙ යම් බීමත්කමකින් නම් ඒ සෑම මද්‍යපානයක්ම දුරින්ම දුරු කරන්න කියල වදාළ වෙලාවේ ස්වාමීනි, මං පළමුව කිව්වේ ඒ ගැන දන්නෙ නෑ කියලයි. පස්සෙ තමයි මුඹවහන්සේගේ වචනය අහලා ඒ විදිහට කළේ.

903. ඒ මං පන්සිල් රැක ගත්තා. තථාගතයන් වහන්සේ වදාළ ධර්මය පිළිපැද්ද. දෙමංසංධියකට ආපු වෙලාවෙදි මාව හොරුන්ට මැදි වුනා. ඔවුන් වස්තුව ගන්ට හිතාගෙන මාව මැරුවා.

904. පිනක් හැටියට මෙච්චරයි සිහි කරන්න තිබුනේ. එයින් බැහැර වෙලා මට වෙන පිනක් නෑ. ඒ සුචරිත කර්මයෙහි විපාක වශයෙන් මං කැමති කම් සැප තිබෙන තව්තිසාවෙහි ඉපදුනා.

905. සීල සංවරය ඇති කර ගත්තෙ මොහොතයි. ධම්මානුධම්ම පටිපදාවේ විපාකය බලනු මැනව. යසසින් දිළෙන්නාක් වැනි මාව දකින විට හීන සම්පත් ඇති බොහෝ අය මං වගේ කෙනෙක් වෙන්නයි කැමති වෙන්නෙ.

906. සුළු දේශනාවක අසිරිය බලන්න. මං සුගතියටත් ගියා. සැපත් ලැබුවා. එහෙම එකේ යම් කෙනෙක් නිතර නිතර ධර්මය ඇසුවොත් නම් ඒ අය දුක් බිය රහිත අමා නිවනම ස්පර්ශ කරාවි කියලයි මට හිතෙන්නෙ.

907. තථාගතයන් වහන්සේගේ ධර්මයෙහි පිහිටලා සුළු දෙයක් කළත් මහා විපාක ලැබෙනවා. විපුල ඵල ලැබෙනවා. පින් කරගත්තු ඡත්තමාණවක දිහා බලන්න. හිරු මඬල පොළොව බබුලුවනවා වගේ එයා දෙව්ලොව බබුලුවනවා.

908. මේ කුසලය මොන වගේ දෙයක්ද? මොන වගේ යහපතකද හැසිරෙන්න ඕන, කියල ඇතැම් දෙවිවරු රැස්වෙලා සාකච්ඡා කරනවා. අපිට ආයෙමත් මනුෂ්‍ය ජීවිතයක් ලැබුනොත් සිල්වත් වෙලා ධර්මයේ හැසිරෙනවා කියල. (මෙයින් අදහස් කරන්නේ ධර්මය ජීවමානව පවතින කාලවලදී දෙවිවරුන් මිනිස් ලොවට පැමිණ ධර්මයේ හැසිරෙන්නට කැමති බවයි.)

909. ශාස්තෘන් වහන්සේ මට බොහෝම උපකාර කොට වදාළා. අනුකම්පා කොට වදාළා. මහ මද්දහනෙ මං ඉන්න තැනට වැඩමවා වදාළා. සත්‍ය නාම වූ ඒ රජුන් කරා මං පැමිණුනා. මට අනුකම්පා කරන සේක්වා! ආයෙමත් මං බණ අහන්නම්.

910. මේ සාසනයෙහි යමෙක් කාමරාගය දුරු කරනවා නම්, භවරාගානුසයත් දුරු කරල මෝහයත් දුරු කෙරුවට පස්සෙ උන්වහන්සේලා ආයෙ කවදාවත් මව්කුසක නිදාගන්න එන්නෙ නෑ. පිරිනිවීමට පත්වෙලා එනිසාම නිවී සිහිල් වෙලා යනවා.

සාදු ! සාදු !! සාදු !!!

තුන්වෙනි ඡත්තමාණවක විමානයයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn3_1-5-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M