(පුණ්ණක)
හැම ආශාවෙන් තොර වුන – හැම දේකම මුල හඳුනන
භගවත් සමිඳාණන් වෙත – ආවෙමු අපි පැන අසන්ට
“ඉසිවරු හා හැම මිනිසුන් – ලොව රජවරු හා බමුණන්
සියළුදෙනම නොයෙක් ලෙසින් – දෙවිවරුන්ට පුද දෙත් නම්
කවර දෙයක් නිසා ද ඒ – උදවිය එලෙසින් පුදන්නෙ?
භගවත් සමිඳාණනි මෙය – විමසන මට කියනු මැනවි”
(භාග්‍යවතුන් වහන්සේ)
ඉසිවරු හා හැම මිනිසුන් – ලොව රජවරු හා බමුණන්
සියළු දෙනම නොයෙක් ලෙසින් -දෙවිවරුන්ට පුදදෙත් නම්
ජරා දුකින් මිදෙන්නටත් – සියළු සැපත ලබන්නටත්
හිතාගෙනය පුණ්ණකයෙනි, – ඒ අය දෙවියන් පුදන්නෙ
(පුණ්ණක)
ඉසිවරු හා හැම මිනිසුන් – ලොව රජවරු හා බමුණන්
සියළු දෙනම නොයෙක් ලෙසින්-දෙවිවරුන්ට පුද දෙත් නම්
භගවත් සමිඳාණනි කිම,
නො පමාවෙන් ඒ උදවිය – එලෙසින් යාගය කළ පසු
නිදුකාණෙනි, ඒ හැම දෙන – එතෙර වෙත් ද ජරා දුකින් ?
ඒ හැම දෙනා එතෙර වෙත්ද – ඉපදෙන දිරනා ලෝකෙන්?
භගවත් සමිඳාණනි එය – විමසන මට කියා දෙන්න
(භාග්‍යවතුන් වහන්සේ)
පුණ්ණකයෙනි, ඔවුන් සැවොම – සිටිති අයැද දෙවියන්ගෙන්
පිදුවත් තුතිමල් දෙවිඳුට
කාම සැපත කෙරෙහි තිබෙන – ඇල්ම බැල්ම ඇති නිසාය
ලබනු පිණිස ලාභයක් ම – එලෙසින් ඉල්ලා සිටින්නෙ
දෙවියන් පුදනා ඒ හැම – ඇලෙමින් භව රාගයේම
ඉපදෙන දිරනා මේ ලොව – කිසිදා තරණය නො කරත්
(පුණ්ණක)
සැබැවින් ලොව නිදුකාණනි,
දෙවියන් පුදනා ඒ හැම – දේව යාතිකාව තුළින්
ඉපදෙන දිරනා මෙලොවින් – එතෙරවීම නො කරත් නම්
මේ දෙවි මිනිසුන්ගෙ ලොවේ – ඉපදෙන දිරනා ඉරණම
කවුරුද තරණය කෙරුවේ?
භාග්‍යවත් නිදුකාණනි,
විමසන මට ඒ පැනයත් – පහදා පවසාලනු මැන
(භාග්‍යවතුන් වහන්සේ)
මේ ජීවිත ලෝකය තුළ – ඇතුළ මෙන්ම පිටත ගැනත්
නුවණින් විමසා බලමින් – ලොවේ තිබෙන සියළු තැනත්
කිසි කම්පනයක් නොමැතිව – උපශාන්ත බවට පත් ව
දුම් දමනා කෙලෙස් නොමැති – උවදුරු කිසිවක් ද නොමැති
ආශා සිතිවිල්ලක් නැති – ඒ අරහත් මුනිඳු ලොවේ
තරණය කර දැමුවේ ම ය – ඉපදෙන දිරනා මේ ලොව
පුණ්ණක නිසා වදාළ දෙසුම මෙහි තෙවැන්න වේ.
සාදු ! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_5-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M