ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

11. ජතුකණ්ණි සුත්තං

11. ජතුකණ්ණි නිසා වදාළ දෙසුම

1101. සුත්වාන’හං වීරං අකාමකාමිං (ඉච්චායස්මා ජතුකණ්ණී)
ඕඝාතිගං පුට්ඨු මකාමමාගමං
සන්තිපදං බ්‍රෑහි සහාජනෙත්ත
යථා තච්ඡං භගවා බ්‍රෑහි මේතං

(ජතුකණ්ණි)

මහාවීර මුනිඳාණනි – කාම රහිත බවට කැමති
සැඩ දිය සිඳ එතෙරට වැඩි – උතුමෙකු ලෙස මම ඔබ ගැන
අසා පැමිණියෙමි මෙහි අද – කාමරහිත මුනිඳුන් වෙත
උපතින් ලද නුවණැස් ඇති – පින්වත් භගවත් මුනිඳුනි
පහදා දෙනු මැනවි මටද – ඒ ශාන්තපදය නිවන
සැබෑ ලෙසම එකරුණ ගැන – පහදා දෙනු මැන මා හට

1102. භගවා හි කාමේ අභිභුය්‍ය ඉරීයති
ආදිච්චෝ ව පඨවිං තේජි තේජසා
පරිත්තපඤ්ඤස්ස මේ භූරිපඤ්ඤ
ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං
ජාතිජරාය ඉධ විප්පහානං

භගවත් සමිඳාණෝ නම් – සිටිති සියළු කාමය මැඩ
තෙද බලයෙන් පොළොව මඩින – බබලන හිරු මඩල විලස
මහ පැණවත් මුනිඳාණනි – එතරම් නුවණක් නැති මට
මෙහිදිම නැති කර දමන්ට – ඉපදෙන මැරෙනා මේ දුක
දැන ගත හැකි පරිද්දෙන්ම – දෙසන සේක්වා සදහම්!

1103. කාමේසුවිනය ගේධං (ජතුකණ්ණීති භගවා)
නෙක්ඛම්මං දට්ඨු ඛේමතෝ
උග්ගහීතං නිරත්තං වා – මා තේ විජ්ජීත්ථ කිඤ්චනං

(භාග්‍යවතුන් වහන්සේ)

පින්වත් ජතුකණ්ණි ඔබත් – කාම ඇල්ම දුරු කරන්න
කාමෙන් නික්මුණ සැපයම – කෙම් බිම විලසින් දකින්න
අරගැනීම, අත හැරීම – යන මේ කිසි දෙයක් ඔබට
කිසිවිට ඇති නොම වේවා!

1104. යං පුබ්බේ තං විසෝසේහි – පච්ඡා තේ මාහු කිඤ්චනං
මජ්ඣේ චේ නෝ ගහෙස්සසි -උපසන්තෝ චරිස්සසි

අතීතෙ යම් දෙයක් වීද – ඒ හැම වියළා දමන්න
අනාගතේ තුළ ඇතිවන – කෙලෙසුන් හට නොගනීවා
වර්තමානයේ කිසිවක් – අල්ලා ගන්නේ නැතිනම්
සැබැවින් උපශාන්ත ලෙස – සැරිසරන්ට හැකිය ඔබට

1105. සබ්බසෝ නාම රූපස්මිං – වීතගේධස්ස බ්‍රාහ්මණ
ආසවාස්ස න විජ්ජන්ති – යේහි මච්චු වසං වජේති

ජතුකණ්ණි බමුණානනි,
නාම රූපයෙහි පවතින – හැම තණ්හාවම දුරු කළ
ඒ අරහත් බමුණිඳු හට – මාර වසඟයට ගෙන යන
සියළු කෙලෙස් නොමැත්තේය

ජතුකණ්ණි සුත්තං ඒකාදසමං.

ජතුකණ්ණි නිසා වදාළ දෙසුම මෙහි එකොළොස් වැන්න වේ.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_5-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M