කම් සැප විඳින්නට රුචි වුණ කෙනා හට
ලද විට ඒ කාම සම්පත් තමා හට
ලැබුණා පතා සිටි දේවල් මෙමා හට
කියමින් පිණා යයි සතුටින් සැබෑවට
ලද ලද කම් සැපයටම නිති කැමති වන
කෙනෙකුට ඒ තුළම සිත සැනසුම සදන
කාලය පැමිණි විට ඒ සම්පත් නැසෙන
වැළපෙයි එයා විලසට ළය හුල ඇණුන
මෙය දැක හැම කාමයන් දුරු කරන කෙනා
බැහැරට දමයි සර්පයෙකුගෙ හිස ලෙසිනා
මෙලෙසින් සිහි නුවණ පවතින ඒ සමණා
පැන යයි සියළු තණ්හාවෙන් ලොව බැඳෙනා
කෙත් වත් රන් රුවන් මෙහෙකරුවන් ආදී
ගවයන් අසුන් හා නෑයන් ඇති විහිදී
බොහො කාමයන් සිතමින් එයටම පැහැදී
ගිජු වෙන කෙනා සිත වෙන’තක නොම යාදී
දුර්වල කෙලෙස් ඔහුව යටකර ගෙන යන්නේ
කරදර කම්කටොළු ඔහු මඩිමින් ඉන්නේ
කාමය තුළින් ඔහු දුක වෙතමයි යන්නේ
හිල් වුන නැවට ගලනා දිය කඳ වැන්නේ
එනිසා හැමවිටම සිහියෙන් කල් ගෙවමින්
දැනගෙන කාමයන් බැහැරට හැර දමමින්
දිය ඉස නැව සදාගෙන එතෙරටම යමින්
තරණය කළ යුතුය සැඩ දිය බිඳ හරිමින්
කාමයන් ගැන වදාළ දෙසුම නිමා විය.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M