ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

12. ද්වයතානුපස්සනා සුත්තං

12. යුගළ වශයෙන් නුවණින් සිහිකිරීම ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං.

මා විසින් මෙසේ අසා දැනගන්නා ලදී.

ඒකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමේ මිගාරමාතු පාසාදේ. තේන ඛෝ පන සමයේන භගවා තදහුපෝසථේ පණ්ණරසේ පුණ්ණාය පුණ්ණමාය රත්තියා භික්ඛුසංඝපරිවුතෝ අබ්භෝකාසේ නිසින්නෝ හෝති. අථ ඛෝ භගවා තුණ්හීභූතං තුණ්හීභූතං භික්ඛුසංඝං අනුවිලෝකෙත්වා භික්ඛූ ආමන්තේසි.

එකල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර පූර්වාරාම නම් වූ මිගාර මාතාවගේ ප්‍රාසාදයෙහිය. එසමයෙහි උපෝසථ දිනයක් වූ පුන් පොහෝ දිනයෙහි පුන් සඳ මඬල පායා තිබූ ඒ රැයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂු පිරිස පිරිවරා එළිමහනෙහි හිඳගෙන සිටි සේක. එවේලෙහි ඉතා ශාන්ත ලෙස නිහඬව වැඩ සිටින භික්ෂු සංඝයා බැලූ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා මෙසේ වදාළ සේක.

යේ තේ භික්ඛවේ, කුසලා ධම්මා අරියා නිය්‍යානිකා සම්බෝධ ගාමිනෝ. තේසං වෝ භික්ඛවේ, කුසලානං ධම්මානං අරියානං නිය්‍යානිකානං සම්බෝධගාමීනං කා උපනිසා සවණායාති. ඉති චේ භික්ඛවේ, පුච්ඡිතාරෝ අස්සු තේ එවමස්සු වචනීයා.

“පින්වත් මහණෙනි, ඉතා උතුම් වූ, නිවනට පමුණුවන, අවබෝධය පිණිස හේතුවන යම් කුසල් දහම් ඇත. පින්වත් මහණෙනි, ඉතා උතුම් වූ, නිවනට පමුණුවන, අවබෝධය පිණිස හේතුවන ඒ කුසල් දහම් ගැන අසා දැන ගැනීමෙන් ඔබලාට ඇති ප්‍රයෝජනය කුමක්දැ’යි කියා මේ ගැන කිසිවෙක් පින්වත් මහණෙනි, ඔබෙන් කරුණු විමසන්නට පු`ඵවනි. එවිට ඔවුන්ට මෙලෙසින් පිළිතුරු දිය යුතුයි.”

යාවදේව ද්වයතානං ධම්මානං යථාභූතං ඤාණායාති.

“යුගල වශයෙන් පෙන්වා දෙන ලද ධර්මයන්ගේ සැබෑ තත්වය අවබෝධ කරගැනීමේ නුවණ ලබා ගැනීම පිණිසය” කියාය.

කිඤ්ච ද්වයතං වදේථ.

මේ පවසන්නේ කවර නම් යුගලක් ගැනද යත්,

ඉදං දුක්ඛං. අයං දුක්ඛසමුදයෝති. අයමේකානුපස්සනා.

“මෙය වනාහී දුකය. මෙය වනාහී ඒ දුකේ හටගැනීමය”. යන මේ යුගළය නුවණින් සිහිකරන පළමු ආකාරයය.

අයං දුක්ඛනිරෝධෝ. අයං දුක්ඛනිරෝධගාමිණීපටිපදාති. අයං දුතියානුපස්සනා.

“මෙය වනාහී දුකින් නිදහස් වීමය. මෙය වනාහී දුකින් නිදහස් වීම පිණිස හේතුවන වැඩ පිළිවෙලය”. යන මේ යුගළය නුවණින් සිහිකරන දෙවන ආකාරයයි.

ඒවං සම්මා ද්වයතානුපස්සිනෝ ඛෝ භික්ඛවේ, භික්ඛුනෝ අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝ ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකංඛං දිට්ඨේව ධම්මේ අඤ්ඤා, සති වා උපාදිසේසේ අනාගාමිතාති. ඉදමවෝච භගවා ඉදං වත්වා සුගතෝ අථාපරං ඒතදවෝච සත්ථා.

“පින්වත් මහණෙනි, මේ ආකාරයෙන් යුගළ වශයෙන් මනාකොට නුවණින් සිහිකරන අප්‍රමාදීව කෙලෙස් තවන වීර්යයෙන් යුතුව දහමට දිවි පුදා වාසය කරන භික්ෂුවට මේ ප්‍රතිඵල දෙක අතුරින් එක් ප්‍රතිඵලයක් කැමති විය යුතුයි. එනම් මේ ජීවිතයේදීම අරහත්වය හෝ කෙලෙසුන් ඉතිරි කල්හි අනාගාමී බවය”. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාළ ශාස්තෘ වූ සුගතයාණන් වහන්සේ මෙයද වදාළ සේක.

727. යේ දුක්ඛං නප්පජානන්ති අථෝ දුක්ඛස්ස සම්භවං
යත්ථ ච සබ්බසෝ දුක්ඛං අසේසං උපරුජ්ඣති
තං ච මග්ගං න ජානන්ති දුක්ඛූපසමගාමිනං

යමෙක් ලොවේ නොදනී නම් – පවතින දිවියේ දුක ගැන
ඒ හැම දුක් හටගන්නා – ආකාරය නොදනී නම්
හැම අයුරින් දුක් නැතිවූ – තැන ගැන හේ නොදනී නම්
ඒ දුක් නැති කරනා මග – ගැන ඔහු දන්නේ නැතිනම්

728. චේතෝවිමුත්තිහීනා තේ අථෝ පඤ්ඤාවිමුත්තියා
අභබ්බා තේ අන්තකිරියාය තේ වේ ජාතිජරූපගා

සිත වැඩුමෙන් ලබාගන්න – විමුක්තියක් නැත ඔවුන්ට
නුවණ වඩා ලබාගන්න – විමුක්තියද නැත ඔවුන්ට
මේ දුක අවසන් කරන්ට – නොහැකිය ඒ උදවිය හට
සැබැවින් ඒ හැම පැමිණෙත් – ඉපදෙන දිරනා දුකටම

729. යේ ච දුක්ඛං පජානන්ති අථෝ දුක්ඛස්ස සම්භවං
යත්ථ ච සබ්බසෝ දුක්ඛං අසේසං උපරුජ්ඣති
තං ච මග්ගං පජානන්ති දුක්ඛූපසමගාමිනං

යමෙක් ලොවේ හඳුනත් නම් – පවතින දිවියේ දුක ගැන
ඒ හැම දුක් හටගන්නා – ආකාරය හඳුනත් නම්
හැම අයුරින් දුක් නැතිවූ – තැන ගැන හේ හඳුනයි නම්
ඒ දුක් නැති කරනා මග – ගැන ඔහු දැන ගත්තේ නම්

730. චේතෝවිමුත්තිසම්පන්නා අථෝ පඤ්ඤාවිමුත්තියා
භබ්බා තේ අන්තකිරියාය න තේ ජාතිජරූපගාති

සිත වැඩුමෙන් ලබාගන්න – විමුක්තියක් ඇත ඔවුන්ට
නුවණ වඩා ලබාගන්ට – විමුක්තියද ඇත ඔවුන්ට
මේ දුක අවසන් කරන්ට – හැකිමය ඒ උදවිය හට
සැබැවින් ඒ හැම පැමිණෙත් – ජාති ජරා නැති නිවනට

සියා අඤ්ඤේන’පි පරියායේන සම්මා ද්වයතානුපස්සනාති, ඉති චේ භික්ඛවේ, පුච්ඡිතාරෝ අස්සු. සියාතිස්සු වචනීයා.

ඉදින් පින්වත් මහණෙනි, යම් කිසිවෙක් ඇසුවොත් වෙන ආකාරයෙකිනුත් යුගළ වශයෙන් මනාකොට නුවණින් මෙනෙහි කිරීමක් තිබේද? යි කියා, එසේ තිබෙන බව කිව යුතුයි.

කථං ච සියා

එසේ තිබෙන්නේ කුමක්ද යත්

යං කිඤ්චි දුක්ඛං සම්භෝති, සබ්බං උපධිපච්චයාති අයමේකානුපස්සනා.

“යම් කිසි දුකක් හට ගනී නම්, ඒ සියල්ලම කෙලෙස් සහිත කර්ම (උපධි) නිසාමය, යන මේ යුගළය නුවණින් සිහි කරන පළමු ආකාරයයි”.

උපධිනං ත්වේව අසේසවිරාගනිරෝධා. නත්ථි දුක්ඛස්ස සම්භවෝති. අයං දුතියානුපස්සනා.

“කෙලෙස් සහිත කර්මයන් ඉතිරි නැතිව නිරුද්ධ වීමෙන් දුකේ හටගැනීම නැති වී යන්නේය”. යන මේ යුගළය නුවණින් සිහි කරන දෙවන ආකාරයයි.

ඒවං සම්මා…. සුගතෝ අථාපරං ඒතදවෝච සත්ථා.

පින්වත් මහණෙනි, මේ ආකාරයෙන් යුගළ වශයෙන්…. ශාස්තෘ වූ සුගතයාණන් වහන්සේ මෙයද වදාළ සේක.

731. උපධිනිධානා පභවන්ති දුක්ඛා
යේ කේචි ලෝකස්මිං අනේකරූපා
යෝ වේ අවිද්වා උපධිං කරෝති
පුනප්පුනං දුක්ඛමුපේති මන්දෝ
තස්මා පජානං උපධිං න කයිරා
දුක්ඛස්ස ජාතිප්පභවානුපස්සී’ති

මේ ලෝකය තුළ පවතින – නොයෙක් ස්වරූපෙන් සැකසුන
දුකක් තිබේ නම් යම්කිසි – ඒ සියල්ල හට ගන්නේ
කෙලෙස් සහිත කර්ම නිසා
අවිදු අඳුර ඇති උදවිය – කරයි කර්ම සකෙලෙස් වූ
ඒ අනුවණ කෙනා ලොවේ – යළි යළි දුක වෙත පැමිණේ
මේ ගැන දැනගත්ත කෙනා – ඉපදීමත් සමඟින් ලොව
හටගන්නා සියළු දුකට – මුල සකෙලෙස් කර්ම ම යයි
නොකරන්නේ හේ කිසිවිට – ඒ සකෙලෙස් කර්ම ලොවේ

සියා අඤ්ඤේන’පි පරියායේන සම්මා ද්වයතානුපස්සනාති. ඉති චේ භික්ඛවේ, පුච්ඡිතාරෝ අස්සු, සියාතිස්සු වචනීයා.

ඉදින් පින්වත් මහණෙනි, යම් කිසිවෙක් ඇසුවොත් වෙන ආකාරයෙකිනුත් යුගළ වශයෙන් මනාකොට නුවණින් මෙනෙහි කිරීමක් තිබේද? යි කියා. එසේ තිබෙන බව කිව යුතුය.

කථං ච සියා,

එසේ තිබෙන්නේ කුමක්ද යත්,

යං කිඤ්චි දුක්ඛං සම්භෝති, සබ්බං අවිජ්ජාපච්චයාති අයමේකානුපස්සනා.

“යම් කිසි දුකක් හට ගනී නම්, ඒ සියල්ලම අවිද්‍යාව නිසාය, යන මේ යුගළය නුවණින් සිහි කරන පළමු ආකාරයයි”.

අවිජ්ජායත්වේව අසේසවිරාගනිරෝධා නත්ථි දුක්ඛස්ස සම්භවෝති. අයං දුතියානුපස්සනා.

“ඒ අවිද්‍යාවම ඉතිරි නැතිව නිරුද්ධ වීමෙන් දුකේ හටගැනීම නැති වී යන්නේය”. යන මේ යුගළය නුවණින් සිහි කරන දෙවන ආකාරයයි.

ඒවං සම්මා…. සුගතෝ අථාපරං ඒතදවෝච සත්ථා.

පින්වත් මහණෙනි, මේ ආකාරයෙන් යුගළ වශයෙන්…. ශාස්තෘ වූ සුගතයාණන් වහන්සේ මෙයද වදාළ සේක.

732. ජාතිමරණසංසාරං යේ වජන්ති පුනප්පුනං
ඉත්ථභාවඤ්ඤථාභාවං අවිජ්ජායේව සා ගති

මේ ලොව තුළ යම් කිසිවෙක් – ඉපදෙන මැරෙනා සසරට
පැමිණෙත් නම් නැවත නැවත – මෙලොවට හෝ අනෙක් තැනක
තිබෙනා වෙන උපතක හෝ
සියළු උපත සිදුවන්නේ – අවිදු අඳුර ඇති නිසාය

733. අවිජ්ජා හයං මහාමෝහෝ යේනිදං සංසිතං චිරං
විජ්ජාගතාච යේ සත්තා නාගච්ඡන්ති පුනබ්භවන්ති

බොහෝ කලක සිට විඳිනා – සසර දුකේ හේතුව නම්
මහා මෝහයෙන් යුතු වූ – අවිදු අඳුරමය පවතින
එහෙත් ලොවේ යම් කිසිවෙක් – නසමින් මේ අවිදු අඳුර
ලැබ ගත්තොත් අරහත් නැණ – යළි යළි නොම එත් භවයට

සියා අඤ්ඤේන’පි පරියායේන සම්මා ද්වයතානුපස්සනාති.ඉති චේ භික්ඛවේ, පුච්ඡිතාරෝ අස්සු, සියාතිස්සු වචනීයා.

ඉදින් පින්වත් මහණෙනි, යම් කිසිවෙක් ඇසුවොත් වෙන ආකාරයෙකිනුත් යුගළ වශයෙන් මනාකොට නුවණින් මෙනෙහි කිරීමක් තිබේදැ? යි කියා, එසේ තිබෙන බව කිව යුතුයි.

කථං ච සියා,

එසේ තිබෙන්නේ කුමක්ද යත්,

යං කිඤ්චි දුක්ඛං සම්භෝති, සබ්බං සංඛාරපච්චයාති අයමේකානුපස්සනා.

“යම් කිසි දුකක් හට ගනී නම්, ඒ සියල්ල සංස්කාරයන් නිසාය, යන මේ යුගළය නුවණින් සිහි කරන පළමු ආකාරයය”.

සංඛාරානං ත්වේව අසේසවිරාගනිරෝධා නත්ථි දුක්ඛස්ස සම්භවෝති. අයං දුතියානුපස්සනා.

“ඒ සංස්කාරයන්ම ඉතිරි නැතිව නිරුද්ධ වීමෙන් දුකේ හටගැනීම නැති වී යන්නේය”. යන මේ යුගළය නුවණින් සිහි කරන දෙවන ආකාරයය.

ඒවං සම්මා…. සුගතෝ අථාපරං ඒතදවෝච සත්ථා.

පින්වත් මහණෙනි, මේ ආකාරයෙන් යුගළ වශයෙන්…. ශාස්තෘ වූ සුගතයාණන් වහන්සේ මෙයද වදාළ සේක.

734. යං කිඤ්චි දුක්ඛං සම්භෝති, සබ්බං සංඛාරපච්චයා”
සංඛාරානං නිරෝධේන නත්ථි දුක්ඛස්ස සම්භවෝති.

උපදී නම් යම් ම දුකක් – ඒ හැම දුක් උපදින්නේ සංස්කාරයන් නිසාය
සංස්කාර නැති වීමෙන් – නැතිවී යයි දුකේ උපත

735. ඒතමාදීනවං ඤත්වා දුක්ඛං සංඛාරපච්චයා
සබ්බසංඛාරසමථා සඤ්ඤාය උපරෝධනා
ඒවං දුක්ඛක්ඛයෝ හෝති ඒතං ඤත්වා යථාතථං

සංස්කාර වලින් හැදෙන – මේ දුක් පීඩා දැනගෙන
ඒ සියළුම සංස්කාර – මැනවින් සංසිඳුවා ගෙන
මුළාවකට රැවටෙන බව – හඳුනා එය දුරු කළ විට
ඇති තතු නුවණින් දුටු විට – මෙලෙසින් දුක අවසන් වේ

736. සම්මද්දසා වේදගුනෝ සම්මදඤ්ඤාය පණ්ඩිතා
අභිභුය්‍ය මාරසංයෝගං නාගච්ඡන්ති පුනබ්භවන්ති

හැම දෙය නුවණින් දකිමින් – දහමේ පරතෙරට ම ගිය
ඇති තතු වටහා ගනිමින් – මාර සෙනඟ මැඩලා ගෙන
ඤාණය ලැබ ගත්ත පිරිස – නොඑති යළි යළිත් භවයට

සියා අඤ්ඤේන’පි…. කථං ච සියා,

ඉදින් පින්වත් මහණෙනි, වෙන ආකාරයෙකිනුත්…. එසේ තිබෙන්නේ කුමක්ද යත්,

යං කිඤ්චි දුක්ඛං සම්භෝති, සබ්බං විඤ්ඤාණපච්චයාති. අයමේකානුපස්සනා.

“කිසියම් දුකක් හට ගනී නම්, ඒ සියල්ල විඤ්ඤාණය නිසාය, යන මේ යුගළය නුවණින් සිහි කරන පළමු ආකාරයයි”.

විඤ්ඤාණස්ස ත්වේව අසේසවිරාගනිරෝධා නත්ථි දුක්ඛස්ස සම්භවෝති. අයං දුතියානුපස්සනා.

“ඒ විඤ්ඤාණයේම ඉතිරි නැතිව නිරුද්ධ වීමෙන් දුකේ හටගැනීම නැති වන්නේය”. යන මෙය නුවණින් සිහි කරන දෙවන ආකාරය වේ.

ඒවං සම්මා…. සුගතෝ අථාපරං ඒතදවෝච සත්ථා.

පින්වත් මහණෙනි, මේ ආකාරයෙන් යුගළ වශයෙන්…. ශාස්තෘ වූ සුගතයාණන් වහන්සේ මෙයද වදාළ සේක.

737. යං කිඤ්චි දුක්ඛං සම්භෝති සබ්බං විඤ්ඤාණපච්චයා
විඤ්ඤාණස්ස නිරෝධේන නත්ථි දුක්ඛස්ස සම්භවෝ

ලොවේ උපදින යම් දුකක් වෙද – එ හැම සිත මුල්කොටම සිදු වේ
ඒ සිතම නැතිවෙලා ගියවිට – සියළු දුක් නැතිවීම සිදු වේ

738. ඒතමාදීනවං ඤත්වා දුක්ඛං විඤ්ඤාණපච්චයා
විඤ්ඤාණුපසමා භික්ඛු නිච්ඡාතෝ පරිනිබ්බුතෝ’ති

සිත ම මුල් කරගෙන – මෙ දුක හටගන්නා බව
හඳුනා මේ විපත – සිතම සංසිඳුවා ගත්
තණ්හා රහිත සමණා – යන්නේය පිරිනිවුමට

සියා අඤ්ඤේන’පි…. කථං ච සියා,

පින්වත් මහණෙනි, වෙන ආකාරයෙකිනුත්…. එසේ තිබෙන්නේ කුමක්ද යත්,

යං කිඤ්චි දුක්ඛං සම්භෝති, සබ්බං ඵස්සපච්චයාති. අයමේකානුපස්සනා.

“කිසියම් දුකක් හට ගනී නම්, ඒ සියල්ල ස්පර්ශය (ඇසත් රූපත් සිතත් එක්වීම, කණත් ශබ්දත් සිතත් එක්වීම, නාසයත් ගඳ සුවඳත් සිතත් එක්වීම, දිවත් රසත් සිතත් එක්වීම, කයත් පහසත් සිතත් එක්වීම, සිතත් සිතිවිලිත් ඒ ගැන දැනීමත් එක්වීම) නිසාය. යන මේ යුගළය නුවණින් සිහිකරන පළමු ආකාරයයි.

ඵස්සස්ස ත්වේව අසේසවිරාගනිරෝධා නත්ථි දුක්ඛස්ස සම්භවෝති. අයං දුතියානුපස්සනා.

“ඒ ස්පර්ශයේම ඉතිරි නැතිව නිරුද්ධ වීමෙන් දුකේ හටගැනීම නැති වන්නේය”. යන මේ යුගළය නුවණින් සිහි කරන දෙවන ආකාරය යි.

ඒවං සම්මා…. සුගතෝ අථාපරං ඒතදවෝච සත්ථා.

පින්වත් මහණෙනි, මේ ආකාරයෙන් ද යුගළ වශයෙන්…. ශාස්තෘ වූ සුගතයාණන් වහන්සේ මෙයද වදාළ සේක.

739. තේසං ඵස්සපරේතානං භවසෝතානුසාරිනං
කුම්මග්ගපටිපන්නානං ආරා සංයෝජනක්ඛයෝ

ස්පර්ශයෙන් යට වුන – භව සැඩ පහර වෙත යන
නොමග ගිය උදවිය හට – සිඳුම මේ භව බන්ධන
ඉතා දුර පවතින දෙයක් ම ය

740. යේ ච ඵස්සං පරිඤ්ඤාය අඤ්ඤාය උපසමේ රතා
තේ වේ ඵස්සාභිසමයා නිච්ඡාතා පරිනිබ්බුතා’ති

හැඳින ස්පර්ශයේ මායා – අවබෝධ කොට දුකේ පීඩා
නිවන් සුව තුළ ඇති වූ – සංසිඳීමට නතු වූ
ස්පර්ශය ද දැනගත් – තණ්හාව නැති කරගත්
පිරිස නම් සැබැවින්ම – පිරිනිවී යන්නාහුය

සියා අඤ්ඤේනපි…. කථං ච සියා,

පින්වත් මහණෙනි, වෙන ආකාරයෙකිනුත්…. එසේ තිබෙන්නේ කුමක්ද යත්,

යං කිඤ්චි දුක්ඛං සම්භෝති, සබ්බං වේදනාපච්චයාති. අයමේකානුපස්සනා.

“කිසියම් දුකක් හට ගනී නම්, ඒ සියල්ල විඳීම නිසාය, යන මේ යුගළය නුවණින් සිහි කරන පළමු ආකාරය වේ”.

වේදනානං ත්වේව අසේසවිරාගනිරෝධා නත්ථි දුක්ඛස්ස සම්භවෝති. අයං දුතියානුපස්සනා.

“ඒ විඳීම ඉතිරි නැතිව නිරුද්ධ වීමෙන් දුකේ හටගැනීම නැති වන්නේය”. යන මේ යුගළය නුවණින් සිහි කරන දෙවන ආකාරය යි.

ඒවං සම්මා…. සුගතෝ අථාපරං ඒතදවෝච සත්ථා.

පින්වත් මහණෙනි, මේ ආකාරයෙන් ද යුගළ වශයෙන්…. ශාස්තෘ වූ සුගතයාණන් වහන්සේ මෙය ද වදාළ සේක.

741. සුඛං වා යදි වා දුක්ඛං අදුක්ඛමසුඛං සහ
අජ්ඣත්තං ච බහිද්ධා ච යං කිඤ්චි අත්ථි වේදිතං

සැපක් හෝ විඳිනා දුකක් හෝ – එ දෙක නැති මැදහත් බවක් හෝ
තමා තුළ හෝ අනුන් තුළ හෝ – ඇති වේද විඳිනා දෙයක්

742. ඒවං දුක්ඛන්ති ඤත්වාන මෝසධම්මං පලෝකිතං
ඵුස්ස ඵුස්ස වයං පස්සං ඒවං තත්ථ විජානාති
වේදනානං ඛයා භික්ඛු නිච්ඡාතෝ පරිනිබ්බුතෝ’ති

නැසෙන වැනසෙන හිස් දෙයක් ලෙස – නුවණ යොදවා හැඳින මේ දුක
පහස ලැබ ලැබ නැසෙන හැටි දැක – එහි සැබෑ තතු හොඳින් දැනගෙන
විඳින හැමදෙය නිමා කරගත් – සියළු තණ්හා ගිනි නිවාගත්
සමණ තෙම පිරිනිවී යන්නේ

සියා අඤ්ඤේනපි…. කථං ච සියා,

පින්වත් මහණෙනි, වෙන ආකාරයෙකිනුත්…. එසේ තිබෙන්නේ කුමක්ද යත්,

යං කිඤ්චි දුක්ඛං සම්භෝති, සබ්බං තණ්හාපච්චයාති. අයමේකානුපස්සනා.

“කිසියම් දුකක් හට ගනී නම්, ඒ සියල්ල තණ්හාව නිසා ය.” යන මේ යුගළය නුවණින් සිහි කරන පළමු ආකාරයයි”.

තණ්හාය ත්වේව අසේසවිරාගනිරෝධා නත්ථි දුක්ඛස්ස සම්භවෝති. අයං දුතියානුපස්සනා.

“ඒ තණ්හාව ම ඉතිරි නැතිව නිරුද්ධ වීමෙන් දුකේ හටගැනීම නැති වන්නේය”. යන මෙය නුවණින් සිහිකරන දෙවන ආකාරය වේ.

ඒවං සම්මා…. සුගතෝ අථාපරං ඒතදවෝච සත්ථා.

පින්වත් මහණෙනි, මේ ආකාරයෙන් ද යුගළ වශයෙන්…. ශාස්තෘ වූ සුගතයාණන් වහන්සේ මෙය ද වදාළ සේක.

743. තණ්හා දුතියෝ පුරිසෝ දීඝමද්ධාන සංසරං
ඉත්ථභාවඤ්ඤථාභාවං සංසාරං නාතිවත්තති

බොහෝ කලක් මේ සසරේ – දුක් විඳ විඳ යන ගමනේ
තණ්හාවට එකතු වෙලා – මේ ලෙස ලෝ සත යන්නේ
මේ ලෝකෙන් වෙන ලොවකට – එතැනින් වෙන ලෝකයකට
සැරිසරමින් කැරකෙන්නේ – පැන යන හැටි නොම දන්නේ

744. ඒතමාදීනවං ඤත්වා තණ්හාදුක්ඛස්ස සම්භවං
වීතතණ්හෝ අනාදානෝ සතෝ භික්ඛු පරිබ්බජේ’ති

තණ්හාවම මුල් කරගෙන – මේ දුක හටගන්නා බව
හඳුනා මේ කරදර ගොඩ – නැතිකොට ඒ තණ්හාවම
නොබැඳී ලොව කිසි දෙයකට – සිහිනුවණින් යුතු හැම විට
ඒ සමණා පමණි ලොවේ – මෙ දුකින් නික්මී යන්නේ

සියා අඤ්ඤේන’පි…. කථං ච සියා.

පින්වත් මහණෙනි, වෙන ආකාරයෙකිනුත්…. එසේ තිබෙන්නේ කුමක්ද යත්,

යං කිඤ්චි දුක්ඛං සම්භෝති සබ්බං උපාදානපච්චයාති. අයමේකානුපස්සනා.

“කිසියම් දුකක් හට ගනී නම්, ඒ සියල්ලම බැඳීයාම හෙවත් උපාදාන නිසාමය, යන මේ යුගළය නුවණින් සිහි කරන පළමු ආකාරයයි”.

උපාදානානං ත්වේව අසේසවිරාගනිරෝධා නත්ථි දුක්ඛස්ස සම්භවෝති. අයං දුතියානුපස්සනා.

“ඒ බැඳීයාම ම ඉතිරි නැතිව නිරුද්ධ වීමෙන් දුක් හටගැනීම නැති වන්නේය”. යන මේ යුගළය නුවණින් සිහි කරන දෙවන ආකාරයයි.

ඒවං සම්මා…. අථාපරං ඒතදවෝච සත්ථා.

පින්වත් මහණෙනි, මේ ආකාරයෙන්ද යුගළ වශයෙන්…. ශාස්තෘ වූ සුගතයාණන් වහන්සේ මෙය වදාළ සේක.

745. උපාදාන පච්චයා භවෝ භූතෝ දුක්ඛං නිගච්ඡති
ජාතස්ස මරණං හෝති ඒසෝ දුක්ඛස්ස සම්භවෝ

බැඳීම හේතුව වෙන විට – යළිත් භවය සැකසෙනවා
එවිට යළිත් උපදිනවා – දුක වෙත කැරකී යනවා
ඉපදුන සතුනට මෙලොවේ – මරණය එහි උරුමය වේ
උපාදාන යන බැඳීම – නිසාය දුක හටගැනීම

746. තස්මා උපාදානක්ඛයා සම්මදඤ්ඤාය පණ්ඩිතා
ජාතික්ඛයං අභිඤ්ඤාය නාගච්ඡන්ති පුනබ්භවන්ති

එනිසා නුවණැති කෙනා – මේ ගැන නුවණම යොදා
උපාදාන නැති කරමින් – ඉපදීමද නැතිකොට
අරහත් නැණ ඇති කරගෙන – නොඑත් ය යළි භවයට

සියා අඤ්ඤේන’පි…. කථං ච සියා,

පින්වත් මහණෙනි, වෙන ආකාරයෙකිනුත්…. එසේ තිබෙන්නේ කුමක්ද යත්,

යං කිඤ්චි දුක්ඛං සම්භෝති සබ්බං ආරම්භපච්චයාති. අයමේකානුපස්සනා.

“කිසියම් දුකක් හට ගනී නම්, ඒ සියල්ලම කර්ම රැස් වීමෙනි. යන මේ යුගළය නුවණින් සිහි කරන පළමු ආකාරයයි”.

ආරම්භානං ත්වේව අසේසවිරාගනිරෝධා නත්ථි දුක්ඛස්ස සම්භවෝති. අයං දුතියානුපස්සනා.

“ඒ කර්ම රැස්වීම ම ඉතිරි නැතිව නිරුද්ධ වීමෙන් දුකේ හටගැනීම නැති වන්නේය”. යන මේ යුගළය නුවණින් සිහි කරන දෙවන ආකාරය යි.

ඒවං සම්මා…. අථාපරං ඒතදවෝච සත්ථා.

පින්වත් මහණෙනි, මේ ආකාරයෙන්ද යුගළ වශයෙන්…. ශාස්තෘ වූ සුගතයාණන් වහන්සේ මෙය වදාළ සේක.

747. යං කිඤ්චි දුක්ඛං සම්භෝති සබ්බං ආරම්භපච්චයා
ආරම්භානං නිරෝධේන නත්ථි දුක්ඛස්ස සම්භවෝ

පටන් ගත්තු කර්ම නිසා – සියළුම දුක් හටගන්නේ
එ හැම කර්ම නැති වුන කල – හැම දුක් නැති වී යන්නේ

748. ඒතමාදීනවං ඤත්වා දුක්ඛං ආරම්භපච්චයා
සබ්බාරම්භං පටිනිස්සජ්ජ අනාරම්භවිමුත්තිනෝ

ලොවේ තිබෙන මේ හැම දුක – පටන් ගත්තු කර්ම නිසා
දැනගෙන මේ කරදර ගොඩ – පටන් ගත්තු කර්ම නසා
කිසිදු කර්මයක් නොමැතිව – විමුක්තියට පත්වන්නේ.

749. උච්ඡින්නභවතණ්හස්ස සන්තචිත්තස්ස භික්ඛුනෝ
විතිණ්ණෝ ජාතිසංසාරෝ නත්ථි තස්ස පුනබ්භවෝති

භව තණ්හා මුලින් නසා – සාන්ත සිත් ඇති සමණා
තොර වී හැම තණ්හාවෙන් – එතෙරව ඉපදෙන සසරෙන්
නිවනට පත්වුණ කෙනාට – භවයක් නැත යළි හැදෙන්ට

සියා අඤ්ඤේන’පි…. කථං ච සියා,

පින්වත් මහණෙනි, වෙන ආකාරයෙකිනුත්…. එසේ තිබෙන්නේ කුමක්ද යත්,

යං කිඤ්චි දුක්ඛං සම්භෝති, සබ්බං ආහාරපච්චයාති. අයමේකානුපස්සනා.

“කිසියම් දුකක් හට ගනී නම්, ඒ සියල්ල(කබලිංකාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතනා ආහාර, විඤ්ඤාණ ආහාර යන) ආහාර නිසාය, යන මේ යුගළය නුවණින් සිහි කරන පළමු ආකාරයයි”.

ආහාරානං ත්වේව අසේසවිරාගනිරෝධා නත්ථි දුක්ඛස්ස සම්භවෝති. අයං දුතියානුපස්සනා.

“ඒ ආහාරයන්ගේම ඉතිරි නැතිව නිරුද්ධ වීමෙන් දුකේ හටගැනීම නැති වන්නේය”. යන මේ යුගළය නුවණින් සිහි කරන දෙවන ආකාරයයි.

ඒවං සම්මා…. සුගතෝ අථාපරං ඒතදවෝච සත්ථා.

පින්වත් මහණෙනි, මේ ආකාරයෙන්ද යුගළ වශයෙන්…. ශාස්තෘ වූ සුගතයාණන් වහන්සේ මෙය ද වදාළ සේක.

750. යං කිඤ්චි දුක්ඛං සම්භෝති සබ්බං ආහාරපච්චයා
ආහාරානං නිරෝධේන නත්ථි දුක්ඛස්ස සම්භවෝ

හටගන්නේ මේ හැම දුක් – අහරින් යැපෙනා නිසාය
සියළු අහර නැති වුන කල – නැතිවෙනු නියතය මේ දුක

751. ඒතමාදීනවං ඤත්වා දුක්ඛං ආහාරපච්චයා
සබ්බාහාරං පරිඤ්ඤාය සබ්බාහාරමනිස්සිතෝ

ජීවිතයේ ඇති මේ දුක – ආහාරෙන් සැකසෙන බව
හඳුනා මේ කරදර ගොඩ – දැනගෙන හැම ආහාරම
සියළු අහර කෙරෙහි තිබෙන – සියළු ඇල්ම දුරලන්නේ

752. ආරෝග්‍යං සම්මදඤ්ඤාය ආසවානං පරික්ඛයා
සංඛාය සේවි ධම්මට්ඨෝ සංඛං නෝපේති වේදගූති

“ලෙඩ නැති බව” නිවනම බව – දැනගෙන නුවණින් ඒ බව
සියළු කෙලෙස් මුල් දුරු කොට – නුවණින් සලකා හැම ලෙස
දහමට සපැමිණ නිරතුරු – දහම තුළම ගොස් පරතෙර
නිවනට පත් ඒ උතුමා – නොම එයි යළි කිසි ලොවකට

සියා අඤ්ඤේන’පි…. කථං ච සියා,

පින්වත් මහණෙනි, වෙන ආකාරයෙකිනුත්…. එසේ තිබෙන්නේ කුමක්ද යත්,

යං කිඤ්චි දුක්ඛං සම්භෝති, සබ්බං ඉඤ්ජිතපච්චයාති අයමේකානුපස්සනා.

“කිසියම් දුකක් හට ගනී නම්, ඒ සියල්ල කෙලෙසුන් නිසා ඇතිවන චලනයෙනි, යන මෙය නුවණින් සිහි කරන පළමු ආකාරය වේ”.

ඉඤ්ජිතානං ත්වේව අසේසවිරාගනිරෝධා නත්ථි දුක්ඛස්ස සම්භවෝති. අයං දුතියානුපස්සනා.

“කෙලෙසුන් නිසා ඇතිවන ඒ සිය`ඵ චලනයන් ඉතිරි නැතිව නිරුද්ධ වීමෙන් දුකේ හටගැනීම නැති වන්නේය”. යන මේ යුගළය නුවණින් සිහි කරන දෙවන ආකාරය වේ.

ඒවං සම්මා…. සුගතෝ අථාපරං ඒතදවෝච සත්ථා.

පින්වත් මහණෙනි, මේ ආකාරයෙන් ද යුගළ වශයෙන්…. ශාස්තෘ වූ සුගතයාණන් වහන්සේ මෙයද වදාළ සේක.

753. යං කිඤ්චි දුක්ඛං සම්භෝති සබ්බං ඉඤ්ජිතපච්චයා
ඉඤ්ජිතානං නිරෝධේන නත්ථි දුක්ඛස්ස සම්භවෝ

ජීවිතවල හට අරගෙන – පවතින යම් දුකක් වේද
ඒ හැම දුක් හටගන්නේ – කෙලෙසුන්ගේ සෙලවීමෙනි
සැලෙන කෙලෙස් නැතිවුන කළ – නැති වී යනු ඇත ඒ දුක

754. ඒතමාදීනවං ඤත්වා දුක්ඛං ඉඤ්ජිතපච්චයා
තස්මා හි ඒජං වොස්සජ්ජ සංඛාරේ උපරුන්ධිය
අනේජෝ අනුපාදානෝ සතෝ භික්ඛු පරිබ්බජේති

ලොව තුළ තිබෙනා මේ දුක – කෙලෙස් චලනයෙන් සිදුවේ
හඳුනා මේ විපත හොඳින් – තණ්හාවම දුරු කරමින්
සංස්කාර හැම නැතිකොට – තණ්හා රහිතව සිටිමින්
නොබැඳුන ලොව කිසි දෙයකට – සිහිනුවණින් යුතුව සිටින
මනා නුවණ ඇති සමණා – සියළු දුකින් නික්මෙන්නේ

සියා අඤ්ඤේන’පි…. කථං ච සියා,

පින්වත් මහණෙනි, වෙන ආකාරයෙකිනුත්…. එසේ තිබෙන්නේ කුමක්ද යත්,

නිස්සිතස්ස චලිතං හෝතී’ති අයමේකානුපස්සනා.

“කෙලෙසුන්ට බැඳී සිටින්නාට සැලීම ඇති වේ” යන මෙය නුවණින් සිහි කරන පළමු ආකාරයය.

අනිස්සිතෝ න චලතී’ති අයං දුතියානුපස්සනා.

“කෙලෙසුන් කෙරෙහි පවතින ඒ සියළු බැඳීම් ඉතිරි නැතිව නිරුද්ධ වීමෙන් සැලීම නැති වේ”. යන මෙය නුවණින් සිහි කිරීමේ දෙවන ආකාරය වේ.

ඒවං සම්මා…. සුගතෝ අථාපරං ඒතදවෝච සත්ථා.

පින්වත් මහණෙනි, මේ ආකාරයෙන් යුගළ වශයෙන්…. ශාස්තෘ වූ සුගතයාණන් වහන්සේ මෙය ද වදාළ සේක.

755. අනිස්සිතෝ න චලති නිස්සිතෝ ච උපාදියං
ඉත්ථභාවඤ්ඤථාභාවං සංසාරං නාතිවත්තති

කෙලෙසුන්ට නොබැඳුන තැන – සැලීමක් කිසිවිට නැත
කෙලෙසුන්ට බැඳුන විට – එයට ම බැඳී යන්නේ
මේ ලොවින් වෙන ලොවකට – එතැනින් තවත් ලොවකට
සැරිසරා යන ගමනින් – පැන ගත නොහැකි වන්නේ

756. ඒතමාදීනවං ඤත්වා නිස්සයේසු මහබ්භයං
අනිස්සිතෝ අනුපාදානෝ සතෝ භික්ඛු පරිබ්බජේති

කෙලෙසුන්ට බැඳුන විට – හැදෙන මේ මහාභය තුළ
ඇති විපත හඳුනාගෙන – කෙලෙසුන්ට නොම බැඳෙමින්
නොබැඳී කිසිම දෙයකට – යුතුව හොඳ සිහි නුවණින්
සිටින ඒ නැණැති සමණා – හැම දුකින් නික්මෙන්නේ

සියා අඤ්ඤේනපි…. කථං ච සියා,

පින්වත් මහණෙනි, වෙන ආකාරයෙකිනුත්…. එසේ තිබෙන්නේ කුමක්ද යත්,

රූපේහි භික්ඛවේ ආරුප්පා සන්තතරාති. අයමේකානුපස්සනා.

“පින්වත් මහණෙනි, මේ රූපාවචර ධ්‍යානයන් ඉක්ම ගිය අරූපාවචර සමාධිය වඩාත් ශාන්ත වේ”. යන මෙය නුවණින් සිහි කරන පළමු ආකාරය වේ.

ආරුප්පේහි නිරෝධෝ සන්තතරෝති. අයං දුතියානුපස්සනා.

“අරූපාවචර සමාධිය ඉක්මවා ගිය නිරෝධ සමාපත්තිය ඊටත් වඩා ශාන්ත වේ” යන මෙය නුවණින් සිහි කරන දෙවන ආකාරය වේ.

ඒවං සම්මා…. සුගතෝ අථාපරං ඒතදවෝච සත්ථා.

පින්වත් මහණෙනි, මේ ආකාරයෙන් ද යුගළ වශයෙන්…. ශාස්තෘ වූ සුගතයාණන් වහන්සේ මෙය ද වදාළ සේක.

757. යේ ච රූපූපගා සත්තා යේ ච ආරුප්පවාසිනෝ
නිරෝධං අප්පජානන්තා ආගන්තාරෝ පුනබ්භවං

රූපලෝකවල ඉපදුන – අරූප තලවල ඉපදුන
සියළු සතුන් එහිම ඇලී – දුකින් මිදීමක් නොදකී
ඒ උදවිය ඒ නිසාම – යළි යළි පැමිණෙත් භවයට

758. යේ ච රූපේ පරිඤ්ඤාය අරූපේසු සුසණ්ඨිතා
නිරෝධේ යේ විමුච්චන්ති තේ ජනා මච්චු හායිනෝති

රූපය තුළ පවතින තතු – නුවණ යොදාගෙන දකිමින්
අරූප සමවතේ පවා – සිහිය පිහිටුවා නුවණින්
නිරෝධයට පැමිණෙන අය – පැන යති ඒ හැම භවයෙන්
ලොවේ එබඳු අය පමණක් – මාර සෙනඟ බැහැර දමත්

සියා අඤ්ඤේන’පි…. කථං ච සියා.

පින්වත් මහණෙනි, වෙන ආකාරයකින්ද…. එසේ තිබෙන්නේ කුමක්ද යත්,

යං භික්ඛවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය ඉදං සච්චන්ති උපනිජ්ඣායිතං.

“පින්වත් මහණෙනි, දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බමුණන් සහිත වූ, දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයා විසින් “මෙයමය සත්‍යය” කියා මහා ඝෝෂාවකින් කියන්නා වූ යම් දෙයක් වේද,

තද’මරියානං ඒතං මුසාති යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං අයමේකානුපස්සනා.

සද්ධර්මය අවබෝධ කළ උතුමන් විසින් ‘එය අසත්‍යයක් බව’ එහි ඇති සැබෑම තත්වය මනාව දියුණු කළ නුවණින් විමසා බලා දැන ගනිත්, යන මේ යුගලය නුවණින් සිහි කරන පළමු ආකාරය වේ.

යං භික්ඛවේ සදේවකස්ස…. සදේවමනුස්සාය ඉදං මුසාති උපනිජ්ඣායිතං.

පින්වත් මහණෙනි, දෙවියන් සහිත වූ… දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයා විසින් ‘මෙය අසත්‍යයක්ය’ යි මහා ඝෝෂාවකින් කියන ලද යම් දෙයක් වේ නම්,

තද’මරියානං ඒතං සච්චන්ති යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං, අයං දුතියානුපස්සනා.

සද්ධර්මය අවබෝධ කළ උතුමන් විසින් ‘එයම සත්‍යය’ බව එහි සැබෑ තත්වය මනාව දියුණු කළ නුවණින් විමසා බලා දැනගනිත්, යන මේ යුගලය නුවණින් සිහි කරන දෙවන ආකාරය වේ.

ඒවං සම්මා… සුගතෝ අථාපරං ඒතදවෝච සත්ථා.

පින්වත් මහණෙනි, මේ ආකාරයෙන් ද යුගළ වශයෙන්…. ශාස්තෘ වූ සුගතයාණන් වහන්සේ මෙය ද වදාළ සේක.

759. අනත්තනි අත්තමානිං පස්ස ලෝකං සදේවකං
නිවිට්ඨං නාමරූපස්මිං ඉදං සච්චන්ති මඤ්ඤති

තමා ලෙසට සිතා සිටින – කෙනාගෙ වසඟෙට ගත හැකි
‘ආත්ම’ යන දෙයක් තිබේ – යන ලෙස මැනගෙන සිටිනා
දෙව් මිනිසුන් මුලා වෙලා – සිටිනා හැටි හොඳින් බලව
එබඳු ආත්මයක් නොමැති – නාම රූපයෙහි බැසගෙන
‘ආත්මයක්’ යන හැඟුමෙන් – ඇත්තක් ලෙස සිතා ගනිත්

760. යේන යේන හි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤථා
තං හි තස්ස මුසා හෝති මෝසධම්මං හි ඉත්තරං

එහෙත් ඒ කෙනා මෙලොවේ – යම් යම් අයුරින් සිතුවද
සිදුවන්නේ නොසිතූවකි
කලින් සිතා ගෙන සිටි දෙය – බොරුවක් බවටම පත්වේ
වහා සැණින් වෙනසට යන – රැවටෙන සුළු දෙයක් පමණි
සැබැවින් මෙහි පවතින්නේ

761. අමෝසධම්මං නිබ්බානං තදරියා සච්චතෝ විදුං
තේ වේ සච්චාභිසමයා නිච්ඡාතා පරිනිබ්බුතාති

නොම රැවටෙන දහමක් වූ – අමා නිවන වෙත සපැමිණි
සදහම් දැකගත් උතුමෝ – සැබෑ දෙයම දැක ගත්තෝ
ඇත්ත දුටුව ඒ උතුමෝ – තණ්හාවෙන් තොරවීමෙන්
පැමිණෙත්මය පිරිනිවනට

සියා අඤ්ඤේනපි පරියායේන සම්මා ද්වයතානුපස්සනාති. ඉති චේ භික්ඛවේ පුච්ඡිතාරෝ අස්සු. සියාතිස්සු වචනීයා.

පින්වත් මහණෙනි, යම් කිසිවෙක් ඇසුවොත්, “වෙන ආකාරයකිනුත් යුගළ වශයෙන් මනාකොට නුවණින් මෙනෙහි කිරීමක් තිබේද”යි කියා, එසේ තිබෙන බව කිව යුතුය.

කථං ච සියා,

එසේ තිබෙන්නේ කුමක්ද යත්,

යං භික්ඛවේ සදේවකස්ස… සදේවමනුස්සාය ඉදං සුඛන්ති උපනිජ්ඣායිතං.

“පින්වත් මහණෙනි, දෙවියන් සහිත වූ…. දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයා විසින් “මෙය වනාහී සැපයෙකි” යි හඬ නඟා කියන ලද යමක් වේද,

තදමරියානං ඒතං දුක්ඛන්ති යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං අයමේකානුපස්සනා.

සද්ධර්මය අවබෝධ කළ උතුමන් විසින් ‘එය වනාහී දුකක්’ යයි එහි ඇති සැබෑ තත්වය මනාව දියුණු කළ නුවණින් විමසා බලා දැන ගනිත්, යන මේ යුගළය නුවණින් සිහි කරන පළමු ආකාරය වේ.

යං භික්ඛවේ සදේවකස්ස…. සදේවමනුස්සාය ඉදං දුක්ඛන්ති උපනිජ්ඣායිතං.

“පින්වත් මහණෙනි, දෙවියන් සහිත වූ… දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයා විසින් ‘මෙය වනාහි දුකකි” යි හඬ නඟා කියන ලද යමක් වේ නම්,

තද’මරියානං ඒතං සුඛන්ති යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං, අයං දුතියානුපස්සනා.

සද්ධර්මය අවබෝධ කළ උතුමන් විසින් ‘එය වනාහි සැපකි’යි එහි ඇති සැබෑ තත්වය මනාව දියුණු කළ නුවණින් විමසා බලා දැන ගනිත්, යන මේ යුගළය නුවණින් සිහි කරන දෙවන ආකාරය වේ.

ඒවං සම්මා ද්වයතානුපස්සිනෝ ඛෝ භික්ඛවේ, භික්ඛුනෝ අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝ ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකංඛං.

“පින්වත් මහණෙනි, මේ අයුරින් යුගළ වශයෙන් මනාකොට නුවණින් සිහිකරන, අප්‍රමාදීව, කෙලෙස් තවන වීර්යයෙන් යුතුව දහමට දිවි පුදා වාසය කරන භික්ෂුවට මේ ප්‍රතිඵල දෙක අතුරින් එක් ප්‍රතිඵලයක් කැමති විය යුතුයි.

දිට්ඨේව ධම්මේ අඤ්ඤා, සති වා උපාදිසේසේ අනාගාමිතාති. ඉදමවෝච භගවා, ඉදං වත්වා සුගතෝ අථාපරං ඒතදවෝච සත්ථා.

එනම් මේ ජීවිතයේදීම අරහත්වයට පත්වීම හෝ, කෙලෙසුන් ඉතිරි කල්හි අනාගාමී බවය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාළ ශාස්තෘ වූ සුගතයාණන් වහන්සේ යළි මෙය ද වදාළ සේක.

762. රූපා සද්දා රසා ගන්ධා ඵස්සා ධම්මා ච කේවලා
ඉට්ඨා කන්තා මනාපා ච යාවතත්ථීති වුච්චති

රූප, ශබ්ද, රස, සුවඳ ද – සිරුරට ලැබෙනා පහස ද
සිතේ නැගෙන සිතිවිලි යන – සියළුම දේ මෙලොවේ
සොඳුරු ය එය මනහර වේ – ඒ කෙරෙහිම සිත ඇලවේ

763. සදේවකස්ස ලෝකස්ස ඒතේ වෝ සුඛසම්මතා
යත්ථ චේ තේ නිරුජ්ඣන්ති තං තේසං දුක්ඛසම්මතං

ලෝ සත දෙවියන් ද ඇතුළු – සම්මත කරගෙන ඉන්නේ
මේ සියල්ල ‘සැප’ වශයෙන්
මේවා යම් තැනක නැත් ද – ඒ තැන ‘දුක’ ඇති තැන ලෙස
ඔවුන් හිතාගෙන ඉන්නේ

764. සුඛන්ති දිට්ඨමරියේහි සක්කායස්සුපරෝධනං
පච්චනීකමිදං හෝති සබ්බලෝකේන පස්සතං

සදහම් දැකගත් උතුමන් – ‘සැප’ යයි නිති පවසන්නේ
මේ සියල්ල නැති තැනමය
නුවණැති උතුමන් දකිනා – මේ අපූරු සදහම් ඇස
ලෝ වැස්සන්ගේ මතයට – වෙනස් ව යන්නේ

765. යං පරේ සුඛතෝ ආහු තදරියා ආහු දුක්ඛතෝ
යං පරේ දුක්ඛතෝ ආහු තදරියා සුඛතෝ විදුං

ලොව ‘සැප’ යයි කියනා දෙය – නුවණැත්තෝ දුකැ’යි කියත්
ලොව ‘දුක’ යයි කියනා දෙය – නුවණැත්තෝ සැප’යි කියත්

766. පස්ස ධම්මං දුරාජානං සම්පමූළ්හෙත්ථ අවිද්දසු
නිවුතානං තමෝ හෝති අන්ධකාරෝ අපස්සතං

අපහසුවෙන් දැක ගත යුතු – සිරි සදහම් හඳුන ගනිව්
අවිදු අඳුර යුතු හැම දෙන – මේ ගැන හැමදා රැවටෙත්
අවිදු අඳුර තිබෙන කෙනා – කිසිවක් දැකගත නොහැකිව
ඝණ බොල් අඳුරේ ඉන්නේ

767. සතං ච විවටං හෝති ආලෝකෝ පස්සතාමිව,
සන්තිකේ න විජානන්ති මගා ධම්මස්ස’කෝවිදා

ලෝකය දකිනා කෙනෙකුට – ආලෝකය ලැබෙන විලස
නුවණැති යහපත් අය හට – නිවනට මග ලැබී තිබේ
සදහම් හඳුනනු බැරි අය – තමා ළඟම ඇති සැනසුම
කවදාවත් දැන නො ගෙනම – ජීවත් වෙයි සතුන් විලස

768. භවරාගපරේතේහි භවසෝතානුසාරිභි
මාරධෙය්‍යානුපන්නේහි නායං ධම්මෝ සුසම්බුධෝ

භව රාගෙට යට වීමෙන් – භව සැඩපහරට වැටෙමින්
මාර තොණ්ඩුවේ පැටලුන – අනුවණ ජනයා හට නම්
පහසුවෙකින් දත නොහැකිය – මේ සම්බුදු සිරි සදහම්

769. කෝ නු අඤ්ඤත්‍රමරියේහි පදං සම්බුද්ධුමරහති
යං පදං සම්මදඤ්ඤාය පරිනිබ්බන්ති අනාසවාති

මැනවින් සිහි නුවණ යොදා – අමා නිවන දැක ගත්තෝ
කෙලෙසුන් හැම තොර වීමෙන් – පිරිනිවනට යන ඇත්තෝ
අමා නිවන දැක ගන්නට – හැකි පින්වත් අය වන්නේ
නිවන් මගේ ගමන් කරන – උතුමන් මිස වෙන කවුරුද?

ඉදමවෝච භගවා අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති. ඉමස්මිං ඛෝ පන වෙය්‍යාකරණස්මිං භඤ්ඤමානේ සට්ඨිමත්තානං භික්ඛූනං අනුපාදාය ආසවේහි චිත්තානි විමුච්චිංසූති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ පින්වත් භික්ෂූහූ, භාග්‍යවතුන් වහන්සේගේ දහම සතුටින් පිළිගත්තාහුය. මේ සිරි සදහම් දෙසුම පවත්වන කල්හි සැටක් පමණ භික්ෂූන්ගේ සිත් කිසිවක් අල්ලා නොගෙන, සිය`ඵ කෙලෙසුන්ගෙන් සදහටම නිදහස් වී ගියේය.

ද්වයතානුපස්සනා සුත්තං නිට්ඨිතං.

යුගළ වශයෙන් නුවණින් සිහි කිරීම ගැන වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

මහාවග්ගෝ තතියෝ.

(තුන්වෙනි මහා වර්ගය යි.)

තස්සුද්දානං :

(මේ දෙසුමේ අන්තර්ගත දෙසුම්)

සච්චං උපධි අවිජ්ජා ච සංඛාර විඤ්ඤාණ පඤ්චමං, ඵස්සවේදනියා තණ්හා උපාදානාරම්භා ආහාරා, ඉඤ්ජිතං චලිතං රූපං සච්චං දුක්ඛේන සෝළසාති.

මහා වර්ගයේ අන්තර්ගත දෙසුම්.

1. චතුරාර්ය සත්‍යය

2. කෙලෙස් සහිත කර්ම(උපධි)

3. අවිද්‍යාව

4. සංස්කාර

5. විඤ්ඤාණය

6. ස්පර්ශය

7. වේදනාව

8. තණ්හාව

9. බැඳී යාම(උපාදාන)

10. පටන් ගත් කර්ම(ආරම්භ)

11. ආහාර

12.කෙලෙස් චලනය(ඉඤ්ජිත)

13. සැලීම. (චලිත)

14. රූප

15. සත්‍යය

16. දුක යන දහසයයි.

මහාවග්ගෝ තතියෝ.

තුන්වැන්න වූ ලොකු කොටස.

තස්සවග්ගස්සුද්දානං :

(මහා වග්ගයේ අන්තර්ගත දෙසුම්)

පබ්බජ්ජා ච පධානං ච සුභාසිතං ච පූරළාසං මාඝසුත්තං ච සහියෝ ච සේලෝ සල්ලං ච වුච්චති වාසෙට්ඨෝචාපි කෝකාලි නාලකෝ ද්වයතානුපස්සනා ද්වාදසේතානි සුත්තානි මහා වග්ගෝති වුච්චතීති.

1. පැවිදි වීම ගැන දෙසුම

2. දිවි පුදා වෙර වැඩුම.

3. සුභාෂිත.

4. උතුම් භෝජන.

5. මාඝට කළ දෙසුම.

6. සභියට කළ දෙසුම.

7. සේල හට කළ දෙසුම.

8. සෝක හුළ.

9. වාසෙට්ඨ හට කළ දෙසුම.

10. කෝකාලික.

11. නාලකට කළ දෙසුම.

12. යුගළ වශයෙන් කළ දෙසුම.

දොළොස් දෙසුමෙකින් යුතු මේ කොටස ලොකු කොටස යන අරුත මතු කරන “මහා වග්ගය” නමින් හඳුන්වා දෙනු ලැබේ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_3-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M