(ධනිය ගොපළු තෙම)
බත ද පිසුවෙමි – කිරි ද දෙව්වෙමි
‘මහී’ ගං තෙර මම – වසමි හැම දෙන සමඟ
සෙවණ කළ කුටිය තුළ – ඇවිළ වූ ගිනි ද ඇත
එම්බා වළාවෙනි !
කැමති නම් වැසි වසිනු මැන
(භාග්‍යවතුන් වහන්සේ)
ක්‍රෝධය නසා දැමුවෙමි – කෙලෙස් ටැඹ ගැලවූයෙමි
‘මහී’ ගං තෙර මම – වසමි හුදෙකලාවෙ ම
විවර කළ කුටිය තුළ – නිවන ලද ගිනි ද ඇත
එම්බා වළාවෙනි !
කැමති නම් වැසි වසිනු මැන
(ධනිය ගොපළු තෙම)
ලේ උරන – රුදුරු මැසි මදුරු නැත
නැගුණු ළා තණ පඳුරු ගොන්නු කති
වැසි දහර වැටෙන විට – ඉවසත් ය ඔවුන් එය
එම්බා වළාවෙනි !
කැමති නම් වැසි වසිනු මැන
(භාග්‍යවතුන් වහන්සේ)
මනා ලෙස සකස් කළ – පහුර බැඳ නිමා විය
සැඩ පහර සිඳලමින් – එතෙර වී හමාර ය
නොමැත පහුරෙන් යළිත් – මෙ මට ගත හැකි වැඩක්
එම්බා වළාවෙනි !
කැමති නම් වැසි වසිනු මැන
(ධනිය ගොපළු තෙම)
ලෝල නැති ගෝපිකා – කීකරු ය මට ඉතා
බොහො කලක් සිටි නිසා – මම මනාපයි ඉතා
ඇගේ කිසි දොසක් නම් – නොම අසමි කිසි දිනෙක
එම්බා වළාවෙනි !
කැමති නම් වැසි වසිනු මැන
(භාග්‍යවතුන් වහන්සේ)
භව දුකින් මිදුන සිත – කීකරු ය මට ඉතා
බොහෝ කල් වැඩු නිසා – දමනයයි මට ඉතා
සිතේ කිසි දොසක් නම් – නොම දකිමි කිසි දිනෙක
එම්බා වළාවෙනි !
කැමති නම් වැසි වසිනු මැන
(ධනිය ගොපළු තෙම)
හරිහම්බ කර ගත්ත – මගේ දෙයකින් යැපෙමි
මා ලෙස ම දරුවෝ ද – ලෙඩ දුකින් තොරයෝ ය
ඔවුන්ගේ කිසි දොසක් – නොම අසමි කිසි දිනෙක
එම්බා වළාවෙනි !
කැමති නම් වැසි වසිනු මැන
(භාග්‍යවතුන් වහන්සේ)
කාගෙවත් ළඟ මෙමා – වැඩ කරන්නෙක් නොවෙමි
වැඩ රහිත කෙනෙක් ලෙස – සැරිසරමි සියලු ලොව
හම්බ කරනා යමක් – ඇවැසි නැත මට කිසිත්
එම්බා වළාවෙනි !
කැමති නම් වැසි වසිනු මැන
(ධනිය ගොපළු තෙම)
තරුණ වස්සෝ ද වෙති – චූටි පැටවුන් ද වෙති
ගැබ්දරණ දෙනුන් වෙති – පට්ටි ගවයන් ද වෙති
වැඩුණු ගවයන් ඇතුළු – මහා වස්සෝ ද වෙති
එම්බා වළාවෙනි !
කැමති නම් වැසි වසිනු මැන
(භාග්‍යවතුන් වහන්සේ)
තරුණ වස්සෝ ද නැත – චූටි පැටවුන් ද නැත
ගැබ් දරණ දෙනුන් නැත – පට්ටි ගවයන් ද නැත
වැඩුණු ගවයන් ඇතුළු – මහා වස්සෝ ද නැත
එම්බා වළාවෙනි !
කැමති නම් වැසි වසිනු මැන
(ධනිය ගොපළු තෙම)
නොසෙල්වෙන ලෙස කණු ද – හොඳින් සිටුවා තිබේ
මුදු තණින් කළ සොඳුරු – කඹවලින් බැඳ තිබේ
චූටි පැටවුන්ට එය – සිඳලන්ට නොහැකි ම ය
එම්බා වළාවෙනි !
කැමති නම් වැසි වසිනු මැන
(භාග්‍යවතුන් වහන්සේ)
හැම බැඳුම් බිඳ දැමූ – මහා වස්සෙකු විලස
ඇත් රජෙක් සිඳ දමන – දිරා ගිය වැලක් ලෙස
නොඑන්නෙමි යළිත් මම – මව් කුසක නිදන්නට
එම්බා වළාවෙනි !
කැමති නම් වැසි වසිනු මැන
උතුරමින් වල ගොඩැලි – මහා වැසි ඇද හැලුණි
වසින හඬ අසා සිටි – ධනිය මේ කරුණ කී
(ධනිය ගොපළු තෙම)
සැබැවින් ම අපට නම් – මහත් වූ ලාභයකි
ඇස් පුරා දැක ගතිමු – අපේ භගවතාණන්
නැණැස් ඇති සමිඳුනේ – අපි ඔබව සරණ යමු
මහා මුනිතුමනි ඔබ,
අප සියලු දෙනා හට – ශාස්තෘ වනු මැනැව !
ගෝපීත් සමඟ මම – කීකරුව වසන්නෙමු
සුගතයන්ගේ සසුන් – බඹසරෙහි සරන්නෙමු
මැරෙන ඉපදෙන ලොවෙන් – එතෙරට ම දුවන්නෙමු
සියලු දුක්වල නිමාවක් – මෙහි ම කරන්නෙමු
(පවිටු මාරයා)
සතුටු වෙයි පුතුන් නිසා – ලොවේ පුතුන් සිටින කෙනා
ගවහිමි තුටුවෙයි එලෙසින් – හරකබාන සිටින නිසා
මිනිසා හට කෙලෙස් වලින් – සතුටක් ම ය ලැබ දෙන්නේ
යමෙක් කෙලෙස් රහිත වේ ද – ඔහු සතුටින් නොවසන්නේ
(භාග්‍යවතුන් වහන්සේ)
ශෝක වෙයි පුතුන් නිසා – ලොවේ පුතුන් සිටින කෙනා
ගවහිමි දුක් වෙයි එලෙසින් – හරකබාන සිටින නිසා
මිනිසා හට කෙලෙස් වලින් – ශෝකය ම යි උපදින්නේ
යමෙක් කෙලෙස් රහිත වේ ද – ඔහු ශෝකෙන් නොවසන්නේ
ධනිය නිසා වදාළ දෙසුම නිමා විය.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M