ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

12. මුනි සුත්තං

12. මුනිවරයා ගැන වදාළ දෙසුම

209. සන්ථවාතෝ භයං ජාතං
නිකේතා ජායතේ රජෝ
අනිකේතමසන්ථවං
ඒතං වේ මුනිදස්සනං

එක්වී වසන කලටය කෙලෙස් බිය හටගන්නේ
නිවසක වසන කලටය ඒ කෙලෙස් උපදින්නේ
ගේ දොර ද අත්හළ එක්වීම් හැම දුරු කළ
‘මුනිවරු’ වෙසෙති ලොව දකින ලොව්තුරු අමා නිවනම

210. යෝ ජාතමුච්ඡිජ්ජ න රෝපයෙය්‍ය
ජායන්තමස්ස නානුප්පවෙච්ඡේ
තමාහු ඒකං මුනිනං චරන්තං
අද්දක්ඛි සෝ සන්තිපදං මහේසී

උපදින කෙලෙස් නසනා යළි නොම සදනා
යළි කිසි කෙලෙස් හටගන්නට ඉඩ නොදෙනා
සලකති එබඳු උතුමන් මුනිවරු ලෙසිනා
ඉසිවරයෙකි හෙතෙම ලොව නිවනම දකිනා

211. සංඛාය වත්ථූනි පහාය බීජං
සිනේහ මස්ස නානුප්පවෙච්ඡේ
ස වේ මුනි ජාතිඛයන්තදස්සී
තක්කං පහාය න උපේති සංඛං

දැනගෙන පොළොව – බිජුවට නසමින් නිබඳ
යළි බිජු නොපැළවෙන ලෙස – නොම දෙයි දිය ද
මුනිවරු දකිති ඉපදෙන දුක කෙළවර ද
දුරු කොට හැම තර්ක – නොම එති යළි ලොවට

212. අඤ්ඤාය සබ්බානි නිවේසනානි
අනිකාමයං අඤ්ඤතරම්පිතේසං
ස වේ මුනි වීතගේධෝ අගිද්ධෝ
නායූහතී පාරගතෝ හි හෝති

පවතින සියලු ජීවිත ගැන හඳුනගෙන
ඒ ජීවිත වලින් කිසිවක් නොපතමින
ගිජු බව අත්හැරිය කිසිවක ගිජු නොවන
රැස් නොම කරති මුනිවරු පරතෙර වඩින

213. සබ්බාභිභුං සබ්බවිදුං සුමේධං
සබ්බේසු ධම්මේසු අනූපලිත්තං
සබ්බඤ්ජහං තණ්හක්ඛයේ විමුත්තං
තං වාපි ධීරා මුනිං වේදයන්ති

හැම දෙය දිනුව හැම දෙස ඇති තතු දකින
නුවණැති හෙතෙම කිසි තැනකට නොම ඇලුන
හැම දෙය අත්හැරිය කෙලෙසුන්ගෙන් මිදුන
නුවණැති දනෝ ඔහු හඳුනති මුනි ලෙසින

214. පඤ්ඤාබලං සීලවතූපපන්නං
සමාහිතං ඣානරතං සතීමං
සංගාපමුත්තං අඛිලං අනාසවං
තං වාපි ධීරා මුනිං වේදයන්ති

වැටහෙන නුවණ බල ඇති සිල් ගුණය ඇති
එකඟව සිත ද ඇලෙන දැහැනේ සිහිය ඇති
දුරු කොට කෙලෙස් හුල් පිරිසිදු සිත පැවති
මොහු හට නැණැති අය මුනිවරයා කියති

215. ඒකං චරන්තං මුනිං අප්පමත්තං
නින්දාපසංසාසු අවේධමානං
සීහං’ව සද්දේසු අසන්තසන්තං
වාතං’ව ජාලම්හි අසජ්ජමානං
පදුමං’ව තෝයේන අලිප්පමානං
නේතාරමඤ්ඤේ සමනඤ්ඤ නෙය්‍යං
තං වාපි ධීරා මුනිං වේදයන්ති

තනිව වසන මුනිවරු නොපමාවෙන්
නොසැලෙති එන දොස් හා වරුණාවෙන්
හඬට සසල නැති – සිහ රජු විලසේ
දැල වෙත නොබැඳෙන – සුළඟක් විලසේ
දිය නොම තැවරෙන – පියුමක් විලසේ
හැමට නිවන දෙන – තම ගමන ද යන
මොහු ගැන හඳුනති – ‘මුනිවර’ විලසින

216. යෝ ගාහණේ ථම්භෝරිවාභිජායති
යස්මිං පරේ වාචාපරියන්තං වදන්ති
තං වීතරාගං සුසමාහිතින්ද්‍රියං
තං වාපි ධීරා මුනිං වේදයන්ති

අනුන් දොඩන විට ඔහු හට – උස් මිටි හැම බස
සසල නැතිව සිටිනා ඔහු – සිට වූ කණුවක් ලෙස
රාග කිසිවක් නොම ඇති – සමාහිත ඉඳුරන් ඇති
මොහු හට නැණැති අය – මුනිවරයෙකි’යි පවසති

217. යෝ වේ ඨිතත්තෝ තසරං’ව උජ්ජුං
ජිගුච්ඡති කම්මේහි පාපකේහි
වීමංසමානෝ විසමං සමං ච
තං වාපි ධීරා මුනිං වේදයන්ති

දහමේ පිහිටි නොසැලෙන ඇද ගති නැතිව
වරදක නොබැදෙමින් පව් පිළිකුල් කෙරුව
හොඳ හා නරක විමසන නිති නුවණැතිව
හඳුනාගනිති මුනිවරයෙකු ලෙස මොහුව

218. යෝ සඤ්ඤතත්තෝ න කරෝති පාපං
දහරෝ ච මජ්ඣිමෝ ච මුනී යතත්තෝ
අරෝසනෙය්‍යෝ සෝ න රෝසේති කඤ්චි
තං වාපි ධීරා මුනිං වේදයන්ති

සංවර වී සිටින හැම පව් නොම කරන
යෞවන මැදුම් කල හෝ මුනි ගුණ දරන
දොස් නොම කියන – පිටතින් දොස් නොම ලබන
මොහු මුනිවරයෙකි’යි – හඳුනති නැණැති දන

219. යදග්ගතෝ මජ්ඣතෝ සේසතෝ වා
පිණ්ඩං ලභේථ පරදත්තූපජීවි
නාලං ථුතුං නෝපි නිපච්චවාදී
තං වාපි ධීරා මුනිං වේදයන්ති

දෙන විට සැළි මුවින් හෝ උඩ මැද තැනකින්
ලැබගෙන පිඬු යැපෙන කිසිවෙකු දෙන දෙයකින්
තුති නොම කරන – නපුරක් නොකියන සිතකින්
මොහු හඳුනාගනිති මුනිවරයෙකු ලෙසකින්

220. මුනිං චරන්තං විරතං මේථුනස්මා
යෝ යොබ්බනේන උපනිබජ්ඣතේ ක්වචි
මදප්පමාදා විරතං විප්පමුත්තං
තං වාපි ධීරා මුනිං වේදයන්ති

නොඇලී කම්සුවේ බඹසර හැසිරෙමින
සිටිනා යොවුන් විය තුළ ලොව නොම ඇලෙන
දුරුවී පමාවෙන් කෙලෙසුන්ගෙන් මිදුන
හඳුනාගනිති මොහු මුනිවරයෙකු ලෙසින

221. අඤ්ඤාය ලෝකං පරමත්ථදස්සිං
ඕඝං සමුද්දං අතිතරිය තාදිං
තං ඡින්නගන්ථං අසිතං අනාසවං
තං වාපි ධීරා මුනිං වේදයන්ති

දැනගෙන ලොවේ පවතින ඇති තතු දකිනා
සිඳ සැඩ සමුදුර ද එතෙරට යන පිහිනා
දුරුකොට කෙලෙස් හැම භව ගැට සිඳ දමනා
මොහු ගැන නැණැති දන හඳුනති මුනි ලෙසිනා

222. අස්මා චුභෝ දූරවිහාරවුත්තිනෝ
ගිහී දාරපෝසී අමමෝ ච සුබ්බතෝ
පරපාණරෝධාය ගිහී අසඤ්ඤතෝ
නිච්චං මුනී රක්ඛති පාණිනෝ යතෝ

දෙදෙනෙක් ලොව සිටිති නිති වෙන් වී වසනා
ගිහියා ගත කරයි ලොව අඹු දරු රකිනා
දුරුකොට කෙලෙස් පිළිවෙත් සුරකියි සමණා
ගිහියා අසංවර වෙයි පර පණ නසනා
මුනිවරු වැඩසිටිති ලොව හැම පණ රකිනා

223. සිඛී යථා නීලගීවෝ විහංගමෝ
හංසස්ස නෝපේති ජවං කුදාචනං
ඒවං ගිහී නානුකරෝති භික්ඛුනෝ
මුනිනෝ විවිත්තස්ස වනම්හි ඣායතෝ’ ති

නිල් ගෙල තිබෙන මොණරිඳු ඉගිලෙන අහසේ
නොම පැමිණේය ජවයට හංසයෙකු ලෙසේ
මෙලෙසින් සමවන්ට ගිහියෙකු හට කිසි සේ
නොහැකිය වනේ දැහැන් වඩනා මුනි විලසේ

මුනි සුත්තං නිට්ඨිතං.

මුනිවරයා ගැන වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

උරග වග්ගෝ පඨමෝ.

(සර්පයා ගැන සඳහන් පළමු කොටස ය.)

තස්සුද්දානං :

උරගෝ ධනියෝ චේව – විසාණං ච තථා කසී
චුන්දෝ පරාභවෝ වේච – වසලෝ මෙත්ත භාවනා
සාතාගිරෝ ආළවකෝ – විජයෝ ච තථා මුනි
ද්වාදසේතානි සුත්තානි – උරගවග්ගෝති වුච්චති

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_1-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M