ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

3.4.7. ධම්මානුධම්මපටිපන්න සුත්තං

3.4.7. ධර්මානුධර්ම ප්‍රතිපදාව ගැන වදාළ දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදිලා ඉන්න භික්ෂුවට ‘මේ භික්ෂුව ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදිලා ඉන්න කෙනෙක්’ය කියලා කියන්න සුදුසු මෙන්න මේ විදිහේ ස්වභාවයක් තියෙනවා. ඔහු කියනවා නම් කියන්නේම ධර්මයක් විතරයි, අධර්මයක් කියන්නේ නෑ. හිතනවා නම් හිතන්නේ සදහම් සිතුවිල්ලක්මයි, අධර්මයක් හිතන්නේ නෑ. ඒ දෙකම නැතුව ඉන්නවා නම්, ඉතා හොඳ සිහි නුවණින් යුතු උපේක්ෂාවෙන් වැඩ ඉන්නවා.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“ධර්මය තුළමයි ජීවත් වෙන්නේ. ධර්මයේමයි ඇලිලා ඉන්නේ. නැවත නැවත සිතන්නෙත් ධර්මයමයි. මේ විදිහට ධර්මය සිහි කරන භික්ෂුව මේ සද්ධර්මයෙන් පිරිහෙන්නේ නෑ.

ඇවිදින වෙලාවෙදිත්, එහෙම නැත්නම් සිටගෙනන සිටිද්දිත්, වාඩිවෙලා සිටිද්දිත්, එහෙමත් නැත්නම් සැතපිලා සිටිද්දිත්, තමන් තුළ කෙලෙස් සංසිඳීයාම විසින් තමා තුළ මහත් ශාන්තියක් ඇති කරවනවා.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-4-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M