භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, (ආභිසමාචාරික සීලය, ආදිබ්‍රහ්මචරියක සීලය යන) ශික්ෂාවන්හි හික්මීමේ ආනිසංස ඇති කරගන්න. ප්‍රඥාව උතුම් කරුණ කරගෙන වාසය කරන්න. කෙලෙසුන්ගෙන් නිදහස් වීම හරය කරගෙන ජීවත් වෙන්න. සිහියම අධිපති කරගෙන ජීවත් වෙන්න. පින්වත් මහණෙනි, ඔය විදිහට ශික්ෂාවල අනුසස් දකිමින් හික්මෙන කොට, ප්‍රඥාව උතුම් කරුණ කරගෙන වාසය කරන කොට, කෙලෙස්වලින් නිදහස් වීම හරය කරගෙන ජීවත් වෙන කොට, සිහියම අධිපති කරගෙන දිවි ගෙවන කොට, ඔහු මෙන්න මේ ඵල දෙක අතරින් එක්තරා ඵලයක් කැමති වෙන්න ඕන. මේ ජීවිතයේදීම අරහත්වයට පත්වීම හරි, එහෙම නැතුව කෙලෙස් ටිකක් ඉතුරු වුනොත් අනාගාමී වීම හරි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“නිවන් මඟ සම්පූර්ණ කරගන්න කෙනා, නොපිරිහෙන ගුණ ධර්ම ඇති කෙනා, ප්‍රඥා උතුම් කරුණ වශයෙන් පවත්වන කෙනා, ඉපදීම ක්ෂය වීමෙහි නිමාව දකින කෙනා, අන්තිම සිරුර දරන කෙනා තමයි ඒකාන්තයෙන්ම මුනිවරයෙක් වෙන්නේ. ඔහු මානය අත්හැරලා ජරාවෙන් එතෙරට ගිය බවයි කියන්න තියෙන්නේ.
ඒ නිසා පින්වත් මහණෙනි, සියලු කල්හිම ධ්‍යානයේ ඇලී වාසය කරන්න. එකඟ සිතින් ජීවත් වෙන්න. කෙලෙස් තවන වීරියෙන් යුක්ත වෙන්න. ඉපදීම ක්ෂය වීමෙහි නිමාව දකින කෙනෙක් වෙන්න. සේනා සහිත මාරයා පරදවා දමන්න. ජාති, ජරා, මරණයන්ගෙන් එතෙරට ගිය කෙනෙක් වෙන්න.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-2-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M