භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, මේ දෘෂ්ටි දෙකකින් මැඩී ගිය සිත් තියෙන දෙව් මිනිසුන් ඉන්නවා. ඇතැම් කෙනෙක් ඇලෙනවා. ඇතැම් කෙනෙක් ඉක්මවා දුවනවා. ඒත් ඤාණවන්ත කෙනා මේ දෙකම නුවණින් දකිනවා.
පින්වත් මහණෙනි. ඇතැම් කෙනෙක් ඇලෙන්නෙ කොහොමද?
පින්වත් මහණෙනි, දෙවි මිනිසුන් ඉන්නේ භවයේ ඇලිලයි. භවයේම රැඳිලයි. භවය ගැනමයි සතුටු වෙන්නේ. ඉතින් ඔවුන්ට මේ භවය නිරුද්ධ කිරීම ගැන දහම් දෙසන කොට, ඒ ධර්මයට සිත බැසගන්නෙ නෑ. පහදින්නේ නෑ. පිහිටන්නෙ නෑ. ශ්රද්ධාවට පැමිණෙන්නෙ නෑ. පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහට තමයි ඇතැම් කෙනෙක් ඇලෙන්නෙ.
පින්වත් මහණෙනි, ඇතැම් කෙනෙක් ඉක්මවා දුවන්නේ කොහොමද?
පින්වත් මහණෙනි, සමහර කෙනෙක් මේ භවය නිසාම පීඩාවට පත්වෙනවා. ලැජ්ජාවට පත්වෙනවා. පිළිකුල් කරනවා. විභවයෙන් (උච්ඡේද දෘෂ්ටියෙන්) සතුටු වෙනවා. ‘අනේ ඇත්තට මේ සත්වයා කය බිඳිලා මැරුණට පස්සේ සිඳිලා යනවා නම්, විනාශ වෙලා යනවා නම්, මරණින් මත්තේ නැත්නම් කොච්චර හොඳද? එහෙම නම් ඒක ශාන්තයි, ප්‍රණීතයි. මේක තමයි ඇත්ත.’ පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහට ඇතැම් කෙනෙක් ඉක්මවා දුවනවා.
පින්වත් මහණෙනි, නුවණැස තියෙන කෙනා කොහොමද මේක හරි හැටි දකින්නේ?
මෙහි භික්ෂුව හේතු ප්රත්යයන්ගෙන් සකස්ව ඇති දෙය හේතු ප්‍රත්‍යයෙන් සකස්ව ඇති දෙයක් හැටියටම දකිනවා. ඇති දේ ඇති හැටියෙන්ම දැකලා, ඒ සකස්ව ඇති දේ ගැන කළකිරීම පිණිස, නොඇලීම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස, ආර්ය මාර්ගයෙහි යෙදෙනවා. පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහට තමයි නුවණැස ඇති කෙනා ඇති සැටියෙන් දකින්නේ.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“යම් කෙනෙක් ඇති දේ ඇති හැටියටම දැකලා ඒ සකස්ව ඇති දේ ඉක්මවා යනවා නම්, යථාභූත ඤාණයෙන් දැකීම නිසා භව තණ්හාව ගෙවලා දානවා. එයින් නිදහස් වෙනවා.
ඔහු තමයි ඒ සකස් වූ පංච උපාදානස්කන්ධය මුළුමනින්ම අවබෝධ කරන්නේ. භව විභව හැම දෙයක් කෙරෙහිම ඔහු තුළ තණ්හාව නෑ. ඒ භික්ෂුව මේ සකස්ව තිබූ දෙය සිඳ දැමීම නිසා ආයෙ නම් පුනර්භවයකට එන්නෙ නෑ.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
දෙවෙනි වර්ගය නිමා විය.
දුක නිපාතය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-2-2-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M