භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, කෙලෙස් තවන වීරිය නැති, පාපයට භය නැති භික්ෂුව චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්න සුදුස්සෙක් වෙන්නේ නෑ. ඒ අමා නිවන අවබෝධ කරන්න සුදුස්සෙක් වෙන්නෙත් නෑ. සියලු බන්ධන සිඳ බිඳ දැමීමෙන් ලබන ඒ උත්තරීතර අරහත් ඵලය ලබන්න සුදුස්සෙක් වෙන්නෙත් නෑ.
නමුත් පින්වත් මහණෙනි, කෙලෙස් තවන වීරිය තියෙන, පවට භය තියෙන භික්ෂුව තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න සුදුස්සෙක් වෙන්නේ. ඒ අමා නිවන අවබෝධ කරන්න සුදුස්සෙක් වෙන්නෙත්. සියලු බන්ධන සිඳ බිඳ දැමීමෙන් ලබන ඒ උත්තරීතර අරහත් ඵලය ලබන්න සුදුස්සෙක් වෙන්නෙත්.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“කෙලෙස් තවන වීරිය නැති, පවට භය නැති, අකුසල් දුරු කරන්න කම්මැලි, ලිහිල් වෙච්ච වීරිය තියෙන කෙනෙක් ඉන්නවා. ඔහු හැම තිස්සෙම නිදා වැටි වැටී තමයි ඉන්නේ. පවට ලැජ්ජාවක් නෑ. නිවන් සුව විඳින්න ඕනකමකුත් නෑ. ඒ වගේ භික්ෂුවක් නම් මේ උතුම් අරහත්වය ස්පර්ශ කරන්න සුදුස්සෙක් වෙන්නේ නෑ.
යම් කෙනෙක් සතිපට්ඨානයේ සිත පිහිටුවාගෙන ඉන්නවා. තැනට සුදුසු නුවණත් තියෙනවා. ධ්‍යානත් වඩනවා. කෙලෙස් තවන වීරියෙන් යුක්තයි. පවට භයයි. ධර්මයේ හැසිරෙන්න ප්‍රමාද වෙන්නේ නෑ. අන්න ඒ භික්ෂුව මේ ජීවිතයේදීම සියලු බන්ධන සිඳ බිඳ දමා ඉපදෙන දිරන ජීවිතය ගෙවා දමා මෙහිදී ම උත්තරීතර වූ අරහත්වය ස්පර්ශ කරනවා.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-2-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M