ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

2.1.1. පඨම භික්ඛු සුත්තං

2.1.1. භික්ෂුව ගැන වදාළ පළමු දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, කරුණු දෙකකින් සමන්විත භික්ෂුවට මේ ජීවිතයේදීම දුක සේ, පීඩාවෙන්, අමාරුවෙන්, දැවි දැවී තමයි ජීවත් වෙන්න සිදුවන්නේ. කය බිඳිලා මිය පරලොව ගියාට පස්සෙත් දුගතියේ ඉපදීමමයි කැමති වෙන්න තියෙන්නෙත්. ඒ කරුණු දෙක මොනවාද? ඒවා තමයි ඉඳුරන් අසංවර කර ගැනීමත්, වළඳන භෝජනයේ සැබෑ අර්ථය නොදන්නාකමත්. පින්වත් මහණෙනි, මේ කරුණු දෙකෙන් සමන්විත භික්ෂුවට මේ ජීවිතයේදීම ජීවත් වෙන්න සිදුවෙන්නේ ගොඩාක් දුකින්, පීඩාවෙන්, අමාරුවෙන්, දැවි දැවී තමයි. කය බිඳිලා ගියාට පස්සෙත් දුගතියේ ඉපදීමමයි කැමති වෙන්න තියෙන්නේ.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“ඇස, කන, නාසය, දිව, කයත් ඒ වගේම මනස කියන මේ ආයතනයත් තියෙනවා. මේ දොරටු හය පිළිබඳව මෙහි භික්ෂුව සංවර වෙලා නැත්නම්,

වළඳන භෝජනයේ සැබෑ අර්ථය දන්නෙත් නැත්නම්, ඉන්ද්‍රියයනුත් අසංවරව නම් වාසය කරන්නේ ඔහු කායික දුකත්, මානසික දුකත් කියන මේ දුකට පැමිණෙනවා.

මේ විදිහට දැවෙන කයිනුත්, දැවෙන සිතෙනුත් යුතු ඔහු දිව රෑ දෙක්හිම වාසය කරනනේ දුකින්ම තමයි.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-2-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M