ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

1.3.6. දාන සංවිභාග සුත්තං

1.3.6. බෙදා හදා වැළඳීම ගැන වදාළ දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, මේ මිනිසුන් මා තරම්ම මේ බෙදා හදා අනුභව කිරීමේ ආනිශංස දන්නවා නම්, කවදාවත් අනුන්ට කිසිවක් නොදී නම් අනුභව කරන්නේ නෑ. (බෙදා හදාගෙන) අනුභව කරන අයගේ සිත් මසුරුකම විසින් ග්‍රහණය කර ගන්නෙත් නෑ. ඔවුන් අනුභව කරන අන්තිම පිඬෙන් වුනත්, බෙදා හදා දෙන්න කෙනෙක් ඉන්නවා නම්, ඒ දෙයින් වුනත් බෙදා හදාගන්නෙ නැතුව නම් අනුභව කරන්නේ නෑ. යම් කරුණකින් පින්වත් මහණෙනි, මේ ජනතාව මා තරම්ම මේ බෙදා හදා අනුභව කිරීමේ ආනිශංස දන්නේ නැද්ද, ඒ නිසා අනුන්ටත් බෙදා හදා දී අනුභව කරන්නේ නෑ. මසුරුකම විසින් ඔවුන්ගේ සිත් යට කරගෙන පවතිනවා.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“මහා ඉසිවර වූ සම්බුදු රජුන් පෙන්වා වදාළ විදිහට, මේ බෙදා හදා අනුභව කිරීමේ තිබෙන මහත් ප්‍රයෝජනය මේ සත්වයන් දන්නවා නම්,

මසුරු මලකඩ දුරු කරලා දානවා. සුදුසු කාලයේදී මහත් ඵල ලැබෙන තැනටම දීම වන ඒ ආර්යන් වහන්සේලාටම ප්‍රසන්න සිතින් දන් දෙනවා.

සැබෑවටම දන් පිළිගැනීමට සුදුසු වූ දක්ෂිණාර්හ උතුමන්ටම බොහෝ දන් දෙනවා. මේ මනුෂ්‍ය ජීවිතයෙන් චුත වෙන බොහෝ දන් දෙන ඒ මිනිසුන් දෙව්ලොවට ම යනවා.

ඒ විදිහට දෙව්ලොව ගිය ඔවුන් තමන් රුචි වූ පරිද්දෙන් සැප ලබල සතුටු වෙනවා. මසුරුකම් නැති ඔවුන්, ඒ බෙදා හදා අනුභව කිරීමේ ආනිශංස භුක්ති විඳිනවා.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-1-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M