මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.
එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියලා භික්ෂු සංඝයා අමතා වදාළා. “එසේය, ස්වාමීනී” කියලා ඒ භික්ෂූන් වහන්සේලාත් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට වදාළා. “පින්වත් මහණෙනි, දබ්බමල්ලපුත්ත භික්ෂුව අහසට පැන නැගිලා, අහසේම සිටිමින් පළඟක් බැඳගත්තා. තේජෝ ධාතු සමාපත්තියට සමවැදුනා. එයින් නැගී සිට පිරිනිවන් පෑවා. (ඒ දබ්බමල්ලපුත්ත භික්ෂුවගේ) කය ගිනි අරගෙන දැවිලා අළු හැදුනෙත් නෑ. දැලි හැදුනෙත් නෑ. ඒක හරියට ගිනිගෙන දැවෙන ගිතෙල්වල හරි, තලතෙල්වල හරි අළුවත්, දැලිවත් හැදෙන්නෙ නෑ වගේ. අන්න ඒ වගේමයි අහසට පැන නැගී, පළඟක් බැඳගෙන, තේජෝ ධාතු සමාපත්තියට සමවැදී, එයින් නැගී සිට පිරිනිවන් පා වදාළා, ගිනි ගෙන දැවෙන දබ්බමල්ලපුත්ත තෙරුන්ගේ සිරුරේ අළුවත්, දැලිවත් ඉතිරි ඉතිරි වුනේ නෑ.
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“යකඩ කුළුගෙඩි පහර වදින කොට, ගින්දර විසි වෙනවා. නමුත් ඒ ගින්දර කෙමෙන් කෙමෙන් නිවීගෙන යනවා. ගින්දර ගිය තැනක් හොයන්න නෑ.
කාම බන්ධනයෙනුත්, සසර සැඩපහරිනුත් එතෙර වුන කෙලෙසුන්ගෙන් ඉතා හොඳින් මිදුණු උතුමන්ද ඒ වගේමයි. නොසැලෙන සැපයට පැමිණි ඒ රහතුන් ගියේ කොහෙද කියලා කාටවත් කියන්න බෑ.”
සාදු! සාදු!! සාදු!!!
අටවෙනි පාටලීගාමීය වර්ගය නිමා විය.
උදාන පාළි නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-8-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M