ඛුද්දක නිකාය

උදාන පාළි

6.6. තතිය නානාතිත්ථිය සුත්තං

6.6. අන්‍ය ආගමිකයින් අරභයා වදාළ තුන්වෙනි උදානය

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.

ඒ කාලෙ නොයෙක් ආගමික මතවලට අයිති බොහෝ ශ්‍රමණවරු, බ්‍රාහ්මණ පූජකවරු, පරිබ්‍රාජකවරු සැවැත් නුවර හිටියා. ඔවුන් තුළ නොයෙක් දෘෂ්ටි තියෙනවා. නොයෙක් මත දරනවා. නොයෙක් මතවලට කැමැතියි. නොයෙක් දෘෂ්ටිවලට ඇලී ගැලී සිටියා.

(1)

(ඔවුන් අතර) සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔවුන්ට තියෙන්නේ මේ වගේ දෘෂ්ටියක්. ‘ආත්මයත්, ලෝකයත් ශාස්වතයි. (නොවෙනස්ව සදාකාලිකව පවතිනවා) මේ මතයම තමයි ඇත්ත. අනිත් සේරම බොරු’ කියලා.

(2)

සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔවුන්ට තියෙන්නේ මේ වගේ දෘෂ්ටියක්. ‘ආත්මයත්, ලෝකයත් අශාස්වතයි. (හේතු රහිතව නැසී යන දෙයක්) මේක තමයි ඇත්ත. අනිත් සේරම බොරු’ කියලා.

(3)

සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔවුන්ට තියෙන්නේ මේ වගේ දෘෂ්ටියක්. ‘ආත්මයත්, ලෝකයත් ශාස්වතත් වෙනවා. අශාස්වතත් වෙනවා. මේක තමයි ඇත්ත. අනිත් සේරම බොරු’ කියලා.

(4)

සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔවුන්ට තියෙන්නේ මේ වගේ දෘෂ්ටියක්. ‘ආත්මයත්, ලෝකයත් ශාස්වතත් නෑ. අශාස්වතත් නෑ. මේක තමයි ඇත්ත. අනිත් සේරම බොරු’ කියලා.

(5)

සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔවුන්ට තියෙන්නේ මේ වගේ දෘෂ්ටියක්. ‘ආත්මයත්, ලෝකයත් තමන් විසින් හදපු දෙයක්. මේක තමයි ඇත්ත. අනිත් සේරම බොරු’ කියලා.

(6)

සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔවුන්ට තියෙන්නේ මේ වගේ දෘෂ්ටියක්. ‘ආත්මයත්, ලෝකයත් අනුන් (දෙවියන් වහන්සේ කියල කෙනෙක්) විසින් හදපු දෙයක්. මේක තමයි ඇත්ත. අනිත් සේරම බොරු’ කියලා.

(7)

සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔවුන්ට තියෙන්නේ මේ වගේ දෘෂ්ටියක්. ‘ආත්මයත්, ලෝකයත් තමන් විසින් හදපු දෙයක් වගේම අනුන් විසිනුත් හදපු දෙයක්. මේක තමයි ඇත්ත. අනිත් සේරම බොරු’ කියලා.

(8)

සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔවුන්ට තියෙන්නේ මේ වගේ දෘෂ්ටියක්. ‘ආත්මයත්, ලෝකයත් තමන් විසින් හදපු දෙයක් නොවෙයි. අනුන් විසිනුත් හදපු දෙයක් නොවෙයි. (හේතු ප්‍රත්‍ය රහිතව) ඉබේ හටගත්තු දෙයක්. මේක තමයි ඇත්ත. අනිත් සේරම බොරු’ කියලා.

(9)

සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔවුන්ට තියෙන්නේ මේ වගේ දෘෂ්ටියක්. ‘සැප දුකත්, ආත්මයත්, ලෝකයත් ශාස්වතයි. මේක තමයි ඇත්ත. අනිත් සේරම බොරු’ කියලා.

(10)

සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔවුන්ට තියෙන්නේ මේ වගේ දෘෂ්ටියක්. ‘සැප දුකත්, ආත්මයත්, ලෝකයත් අශාස්වතයි. මේක තමයි ඇත්ත. අනිත් සේරම බොරු’ කියලා.

(11)

සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔවුන්ට තියෙන්නේ මේ වගේ දෘෂ්ටියක්. ‘සැප දුකත්, ආත්මයත්, ලෝකයත් ශාස්වතත් වෙනවා. අශාස්වතත් වෙනවා. මේක තමයි ඇත්ත. අනිත් සේරම බොරු’ කියලා.

(12)

සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔවුන්ට තියෙන්නේ මේ වගේ දෘෂ්ටියක්. ‘සැප දුකත්, ආත්මයත්, ලෝකයත් ශාස්වතත් නෑ. අශාස්වතත් නෑ. මේක තමයි ඇත්ත. අනිත් සේරම බොරු’ කියලා.

(13)

සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔවුන්ට තියෙන්නේ මේ වගේ දෘෂ්ටියක්. ‘සැප දුකත්, ආත්මයත්, ලෝකයත් තමා විසින් කරපු දෙයක්. මේක තමයි ඇත්ත. අනිත් සේරම බොරු’ කියලා.

(14)

සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔවුන්ට තියෙන්නේ මේ වගේ දෘෂ්ටියක්. ‘සැප දුකත්, ආත්මයත්, ලෝකයත් අනුන් විසින් කරපු දෙයක්. මේක තමයි ඇත්ත. අනිත් සේරම බොරු’ කියලා.

(15)

සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔවුන්ට තියෙන්නේ මේ වගේ දෘෂ්ටියක්. ‘සැප දුකත්, ආත්මයත්, ලෝකයත් තමා විසිනුත්, අනුන් විසිනුත් කරපු දෙයක්. මේක තමයි ඇත්ත. අනිත් සේරම බොරු’ කියලා.

(16)

සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔවුන්ට තියෙන්නේ මේ වගේ දෘෂ්ටියක්. ‘සැප දුකත්, ආත්මයත්, ලෝකයත් තමන් විසින් කරපු දෙයකුත් නෙවෙයි. අනුන් විසින් හදපු දෙයකුත් නෙවෙයි. ඉබේ හටගත්තු දෙයක්. මේක තමයි ඇත්ත. අනිත් සේරම බොරු’ කියලා.

ඉතින් ඔවුන් ‘ධර්මය මේ වගේ එකක්. ඔය වගේ එකක් නොවෙයි. (ධර්මය) ඔය වගේ එකක් නොවෙයි. මේ වගේ එකක්’ කිය කියා ඒ ගැන රණ්ඩු වෙනවා. කෝලාහල කරගන්නවා. වාද විවාද කර ගන්නවා. එකිනෙකාට වචන නැමැති ආයුධවලින් විදගනිමින් වාසය කරනවා.

එදා බොහෝ භික්ෂූන් වහන්සේලා උදේ වරුවේ සිවුරු පොරවාගෙන, පාත්‍ර සිවුරු අරගෙන සැවැත් නුවරට පිණ්ඩපාතේ වැඩියා. සැවැත් නුවර පිණ්ඩපාතේ කරගෙන, වළඳලා ඉවර වෙලා, හවස් වරුවේ භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා පැත්තකින් වාඩි වුනා. පැත්තකින් වාඩි වුන ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“ස්වාමීනී, මේ සැවැත් නුවර අන්‍යාගමික ශ්‍රමණ බ්‍රාහ්මණවරු, පරිබ්‍රාජකයෝ හරියට ඉන්නවා. ඒ උදවිය නොයෙක් දෘෂ්ටිවලයි ඉන්නේ. නොයෙක් දෘෂ්ටි දරාගෙනයි ඉන්නේ. නොයෙක් දෘෂ්ටිවලට කැමතියි. නොයෙක් දෘෂ්ටි ඇසුරු කරගෙනයි ඉන්නේ.

(ඒ අය අතරේ) සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. මෙන්න මේ වගේ දෙයක් තමයි කියන්නේ. මේ වගේ දෘෂ්ටියක් තමයි තියෙන්නේ. ‘ආත්මයත්, ලෝකයත් කියන්නේ ශාස්වතයි. මේකම තමයි ඇත්ත. අනික් ඔක්කොම බොරු. …. (පෙ) …. ධර්මය මේ වගෙයි. මේ වගේ නොවෙයි. ධර්මය මේ වගේ නොවෙයි. මෙන්න මේ වගෙයි’ කියලා.”

“පින්වත් මහණෙනි, ඔය අන්‍යාගම්කාර පරිබ්‍රාජකයෝ අන්ධයි. ඇස් නෑ. අර්ථය දන්නෙත් නෑ. අනර්ථය දන්නෙත් නෑ. ධර්මය දන්නෙත් නෑ. අධර්මය දන්නෙත් නෑ. ඉතින් ඒ උදවිය අර්ථය නොදන්න නිසා, අනර්ථය නොදන්න නිසා, ධර්මය නොදන්න නිසා, අධර්මය නොදන්න නිසා, රණ්ඩු කරගන්නවා. කොලාහල කරගන්නවා. වාද විවාද කරගන්නවා. එකිනෙකාට වචන නැමැති ආයුධ වලින් විදගන්නවා. ‘ධර්මය මේ වගේ මිසක් ධර්මය ඒ වගේ නොවෙයි. ධර්මය ඒ වගේ නොවෙයි. ධර්මය මේ වගේ’ කිය කියා වාසය කරන්නේ.”

ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.

“මේ සත්ව ප්‍රජාව එක්කො තමා විසින් කරන ලදැයි කියන දෘෂ්ටියට එනවා. එක්කෝ අනුන් විසින් කරන ලදැයි කියන දෘෂ්ටියට එනවා. සමහරු ඔය දෘෂ්ටි දෙකම ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ ඉබේම හටගත්ත දෙයක් කියන මතයට එනවා. ඒක හුලක් බව ඔවුන් දැක්කේ නැ.

මේවා මිත්‍යා දෘෂ්ටිය හේතුවෙන් හැදෙන උල් බව දකින කොට, මෙය ‘මම කරමි’ කියන අදහස ඔහුට ඇතිවෙන්නෙ නෑ. ‘වෙන කෙනෙක් කරනවා’ කියන අදහසත් ඔහුට ඇතිවෙන්නෙ නෑ.

මේ සත්ව ප්‍රජාව හරි මාන්නක්කාරයි. මාන්නයෙන් ගැට ගැහිලයි ඉන්නේ. මාන්නයෙන් බැඳිලා ඉන්නේ. ඔය එක එක දෘෂ්ටි ගැන මහ ඉහළින් කතා කර කර හිටියට සංසාරයෙන් නම් එතෙර වෙන්නෙ නෑ.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-6-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M