මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.
ඒ කාලෙ නොයෙක් ආගමික මතවලට අයිති බොහෝ ශ්‍රමණවරු, බ්‍රාහ්මණ පූජකවරු, පරිබ්‍රාජකවරු සැවැත් නුවර හිටියා. ඔවුන් තුළ නොයෙක් දෘෂ්ටි තියෙනවා. නොයෙක් මත දරනවා. නොයෙක් මතවලට කැමැතියි. නොයෙක් දෘෂ්ටිවලට ඇලී ගැලී සිටියා.
සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු මේ වගේ දෙයක්, මේ වගේ දෘෂ්ටියක් කියමින් හිටියේ. ‘ලෝකය කියන්නේ සදාකාලික දෙයක්. මේක විතරයි ඇත්ත. අනිත් ඔක්කොම බොරු.’
සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු මේ විදිහේ දෙයක්, මේ විදිහේ දෘෂ්ටියක් කියමින් හිටියේ. ‘ලෝකය කියන්නේ අශාස්වත (හේතු රහිතවම නැසී යන) දෙයක්. මේක විතරයි ඇත්ත. අනිත් ඔක්කොම බොරු.’
ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු මේ වගේ දෙයක්, මේ වගේ දෘෂ්ටියක් කියමින් හිටියේ. ‘ලෝකයේ කෙළවරක් තියෙනවා. මේක විතරයි ඇත්ත. අනිත් ඔක්කොම බොරු.’
සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු මේ වගේ දෙයක්, මේ වගේ දෘෂ්ටියක් කියමින් හිටියේ. ‘ලෝකය අනන්තයි. මේක විතරයි ඇත්ත. අනිත් ඔක්කොම බොරු.’
සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු මේ වගේ දෙයක්, මේ වගේ දෘෂ්ටියක් කියමින් හිටියේ. ‘ඒකමයි ආත්මය. ඒකමයි ශරීරයත්. මේක විතරයි ඇත්ත. අනිත් ඔක්කොම බොරු.’
සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු මේ වගේ දෙයක්, මේ වගේ දෘෂ්ටියක් කියමින් හිටියේ. ‘ආත්මය වෙන එකක්. ශරීරය වෙන එකක්. මේක විතරයි ඇත්ත. අනිත් ඔක්කොම බොරු.’
සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු මේ වගේ දෙයක්, මේ වගේ දෘෂ්ටියක් කියමින් හිටියේ. ‘තථාගතයන් වහන්සේ (රහත් පුද්ගලයා) මරණින් මත්තේ ඉන්නවා. මේක විතරයි ඇත්ත. අනිත් ඔක්කොම බොරු.’
සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු මේ වගේ දෙයක්, මේ වගේ දෘෂ්ටියක් කියමින් හිටියේ. ‘තථාගතයන් වහන්සේ (රහත් පුද්ගලයා) මරණින් මත්තේ නැතිවෙලා යනවා. මේක විතරයි ඇත්ත. අනිත් ඔක්කොම බොරු.’
සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු මේ වගේ දෙයක්, මේ වගේ දෘෂ්ටියක් කියමින් හිටියේ. ‘තථාගතයන් වහන්සේ (රහත් පුද්ගලයා) මරණින් මත්තේ ඉන්නත් පුළුවනි. නොඉන්නත් පුළුවනි. මේක විතරයි ඇත්ත. අනිත් ඔක්කොම බොරු.’
සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු මේ වගේ දෙයක්, මේ වගේ දෘෂ්ටියක් කියමින් හිටියේ. ‘තථාගතයන් වහන්සේ (රහත් පුද්ගලයා) මරණින් මත්තේ නොසිටින්නත් පුළුවනි. නොසිටීම නොවෙන්නත් පුළුවනි. මේක විතරයි ඇත්ත. අනිත් ඔක්කොම බොරු.’
ඉතින් ඔවුන් ඒ ගැන රණ්ඩු හදාගත්තා. කොලාහල කරගත්තා. වාද විවාද ඇති කරගත්තා. එකිනෙකාට වචන නැමැති ආයුධවලින් විදගත්තා. ‘ධර්මය මේ වගේ එකක්. ඔය වගේ එකක් නොවෙයි. ධර්මය ඔය වගේ එකක් නොවෙයි. ධර්මය මේ වගේ එකක්’ කියලා.
එදා බොහෝ භික්ෂූන් වහන්සේලා උදේ වරුවේ සිවුරු පොරවාගෙන, පාත්‍ර සිවුරු අරගෙන සැවැත් නුවරට පිණ්ඩපාතේ වැඩියා. සැවැත් නුවර පිණ්ඩපාතේ කරගෙන, වළඳලා ඉවර වෙලා, හවස් වරුවේ භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා පැත්තකින් වාඩි වුනා. පැත්තකින් වාඩි වුන ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “ස්වාමීනී, මේ සැවැත් නුවර අන්‍යාගමික ශ්‍රමණ බ්‍රාහ්මණවරු, පරිබ්‍රාජකයෝ හරියට ඉන්නවා. ඒ උදවිය නොයෙක් දෘෂ්ටිවලයි ඉන්නේ. නොයෙක් දෘෂ්ටි දරාගෙනයි ඉන්නේ. නොයෙක් දෘෂ්ටිවලට කැමතියි. නොයෙක් දෘෂ්ටි ඇසුරු කරගෙනයි ඉන්නේ. සමහර කෙනෙක් …. (පෙ) …. ධර්මය ඔය වගේ එකක් නොවෙයි. මේ වගේ එකක්’ කියලා රණ්ඩු කරගන්නවා.”
“පින්වත් මහණෙනි, ඔය අන්‍යාගම්කාර පරිබ්‍රාජකයෝ අන්ධයි. ඇස් නෑ. අර්ථය දන්නෙත් නෑ. අනර්ථය දන්නෙත් නෑ. ධර්මය දන්නෙත් නෑ. අධර්මය දන්නෙත් නෑ. ඉතින් ඒ උදවිය අර්ථය නොදන්න නිසා, අනර්ථය නොදන්න නිසා, ධර්මය නොදන්න නිසා, අධර්මය නොදන්න නිසා, රණ්ඩු කරගන්නවා. කොලාහල කරගන්නවා. වාද විවාද කරගන්නවා. එකිනෙකාට වචන නැමැති ආයුධ වලින් විදගන්නවා.
පින්වත් මහණෙනි, මේක බොහෝම ඉස්සර සිදුවෙච්ච දෙයක්. මේ සැවැත් නුවර එක්තරා රජ කෙනෙක් හිටියා. ඉතින් පින්වත් මහණෙනි, දවසක් ඔය රජ්ජුරුවෝ එක්තරා පුරුෂයෙකුට අඬගැහුවා. ‘එම්බා පුරුෂය, මෙහෙ එනවා. සැවැත් නුවර ඉන්න උපතින්ම අන්ධ වෙච්ච අය යම්තාක් ඉන්නවාද, ඒ ඔක්කොම එකට එක් රැස් කරනවා’ කියලා.
ඉතින් පින්වත් මහණෙනි, ඒ පුරුෂයා ‘එසේය, දේවයන් වහන්ස’ කියලා රජ්ජුරුවන්ට උත්තර දීලා සැවැත් නුවර යම්තාක් උපතින් අන්ධ පිරිස් ඇත්නම්, ඒ සියලු දෙනාවම අරගෙන රජ්ජුරුවෝ ළඟට ගියා. ගිහින් ඒ රජ්ජුරුවන්ට මෙහෙම කිව්වා. ‘දේවයන් වහන්ස, ඔන්න සැවැත් නුවර හිටපු උපතින්ම අන්ධ හැමකෙනෙක්ම රැස්කළා.’
‘එහෙමනම් යාළුවා, දැන් මේ උපතින් අන්ධ උදවියට ඇතෙක්ව පෙන්නන ඕන.’ ඉතින් පින්වත් මහණෙනි, ඒ පුරුෂයා ‘එසේය, දේවයන් වහන්ස’ කියලා රජ්ජුරුවන්ට උත්තර දීලා, ‘උපතින්ම අන්ධ මිනිසුනි, මෙන්න ඉන්නවා ඇතා’ කියලා ඒ ජාත්‍යන්ධයන්ට ඇතාව පෙන්නුවා.
ඇතැම් ජාත්‍යයන්ධයින්ට ‘ඒයි, උපතින් අන්ධ මිනිසුනි, මේ විදිහට ඇතාව දැනගනින්’ කියලා, ඇතාගේ ඔළුව දැක්වූවා. ඇතැම් ජාත්‍යයන්ධයින්ට ‘ඒයි, උපතින් අන්ධ මිනිසුනි, මේ විදිහට ඇතාව දැනගනින්’ කියලා, ඇතාගේ කන දැක්වූවා. ඇතැම් ජාත්‍යයන්ධයින්ට ‘ඒයි, උපතින් අන්ධ මිනිසුනි, මේ විදිහට ඇතාව දැනගනින්’ කියලා, ඇතාගේ දළ දැක්වූවා. ඇතැම් ජාත්‍යයන්ධයින්ට ‘ඒයි, උපතින් අන්ධ මිනිසුනි, මේ විදිහට ඇතාව දැනගනින්’ කියලා, ඇතාගේ හොඬවැල දැක්වූවා. ඇතැම් ජාත්‍යයන්ධයින්ට ‘ඒයි, උපතින් අන්ධ මිනිසුනි, මේ විදිහට ඇතාව දැනගනින්’ කියලා, ඇතාගේ කඳ දැක්වූවා. ඇතැම් ජාත්‍යයන්ධයින්ට ‘ඒයි, උපතින් අන්ධ මිනිසුනි, මේ විදිහට ඇතාව දැනගනින්’ කියලා, ඇතාගේ කකුලක් දැක්වූවා. ඇතැම් ජාත්‍යයන්ධයින්ට ‘ඒයි, උපතින් අන්ධ මිනිසුනි, මේ විදිහට ඇතාව දැනගනින්’ කියලා, ඇතාගේ කලවය දැක්වූවා. ඇතැම් ජාත්‍යයන්ධයින්ට ‘ඒයි, උපතින් අන්ධ මිනිසුනි, මේ විදිහට ඇතාව දැනගනින්’ කියලා, ඇතාගේ නගුට දැක්වූවා. ඇතැම් ජාත්‍යයන්ධයින්ට ‘ඒයි, උපතින් අන්ධ මිනිසුනි, මේ විදිහට ඇතාව දැනගනින්’ කියලා, ඇතාගේ වලිග හිස දැක්වූවා.
ඉතින් පින්වත් මහණෙනි, ඒ පුරුෂයා ජාත්‍යන්ධයන්ට ඇතාව හඳුන්වලා දුන්නා. ඊට පස්සේ රජ්ජුරුවෝ ළඟට ගියා. ගිහිල්ලා රජ්ජුරුවන්ට මෙහෙම කිව්වා. ‘දේවයන් වහන්ස, ඒ ජාත්‍යන්ධයන් ඇතාව දැකගත්තා. දේවයන් වහන්ස, දැන් ඔබවහන්සේට කැමති දෙයක් කරන්න කාලයයි’ කියලා.
ඉතින් පින්වත් මහණෙනි, ඒ රජ්ජුරුවෝ ජාත්‍යන්ධයන් ළඟට ගියා. ගිහින් ජාත්‍යන්ධයන්ට කතා කළා. ‘ඒයි උපතින් අන්ධ මිනිසුනි, ඔබ ඇතාව දැක්කද?’
‘එසේය, දේවයන් වහන්ස, අපි ඇතාව දැක්කා.’ ‘එහෙනම් උපතින් අන්ධ මිනිසුනි, ඇතාව දැක්කේ කොයි විදිහටද කියලා කියන්න.’
ඉතින් පින්වත් මහණෙනි, ඇතාගේ ඔළුව අතගාලා දැනගත්තු ජාත්‍යන්ධයන් මෙහෙම කිව්වා. ‘දේවයන් වහන්ස, ඇතා හරියට කළගෙඩියක් වගෙයි.’
ඉතින් පින්වත් මහණෙනි, ඇතැම් ජාත්‍යන්ධයන් ඇතාව දැනගත්තේ කන අතගාලා. ඒ උදවිය මෙහෙම කිව්වා. ‘දේවයන් වහන්ස, ඇතා හරියට කුල්ලක් වගෙයි.’
ඉතින් පින්වත් මහණෙනි, ඇතාගේ දළ අතගාපු ජාත්‍යන්ධයන් මෙහෙම කිව්වා. ‘දේවයන් වහන්ස, ඇතා හරියට හී වැලක් වගෙයි.’
ඉතින් පින්වත් මහණෙනි, ඇතාගේ හොඬ අතගාලා දැනගත්තු ජාත්‍යන්ධයන් මෙහෙම කිව්වා. ‘දේවයන් වහන්ස, ඇතා හරියට නඟුලිස වගෙයි.’
ඉතින් පින්වත් මහණෙනි, ඇතාගේ කඳ අතගාලා දැනගත්තු ජාත්‍යන්ධයන් මෙහෙම කිව්වා. ‘දේවයන් වහන්ස, ඇතා හරියට අටුවක් වගෙයි.’
ඉතින් පින්වත් මහණෙනි, ඇතාගේ කකුල අතගාපු ජාත්‍යන්ධයන් මෙහෙම කිව්වා. ‘දේවයන් වහන්ස, ඇතා හරියට හී කණුවක් වගෙයි.’
ඉතින් පින්වත් මහණෙනි, ඇතාගේ කලවා අතගාපු ජාත්‍යන්ධයන් මෙහෙම කිව්වා. ‘දේවයන් වහන්ස, ඇතා හරියට හී වංගෙඩියක් වගෙයි.’
ඉතින් පින්වත් මහණෙනි, ඇතාගේ නඟුට අතගාපු ජාත්‍යන්ධයන් මෙහෙම කිව්වා. ‘දේවයන් වහන්ස, ඇතා හරියට මෝල් ගහක් වගෙයි.’
ඉතින් පින්වත් මහණෙනි, ඇතාගේ වලිග හිස අතගාපු ජාත්‍යන්ධයන් මෙහෙම කිව්වා. ‘දේවයන් වහන්ස, ඇතා හරියට මුස්නයක් වගෙයි.’
එතකොට ඒ ජාත්‍යන්ධයන් ‘නෑ. ඇතා ඔය වගේ නොවෙයි. ඇතා මේ වගෙයි. නෑ. ඇතා මේ වගේ නොවෙයි. ඇතා ඔය වගෙයි’ කිය කියා අත්මිටි මොළවාගෙන. එකිනෙකා ගහ ගත්තා. පින්වත් මහණෙනි, ඒක දැකපු රජ්ජුරුවෝ සතුටු වෙන්න පටන් ගත්තා.
පින්වත් මහණෙනි, ඔය අන්‍යාගම්කාර පරිබ්‍රාජක කවුරුත් අන්ධයි. ඇස් නෑ. …. (පෙ) …. ඔය වගේ නෙවෙයි ධර්මය. මේ වගෙයි ධර්මය’ කිය කියා වචන නැමැති ආයුධවලින් විදගන්නෙ ඒ නිසයි.
ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“සමහර අන්‍යාගමික ශ්‍රමණ බ්‍රාහ්මණවරු මිත්‍යා දෘෂ්ටිවලමයි ඇලෙන්නේ. එක පැත්තක් විතරයි දකින්නේ. ඒ උදවිය ඊට පස්සේ එකිනෙකාට විරුද්ධව වාද කරගන්නවා විතරයි.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-6-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M