මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.
ඒ වෙලාවේ ආයුෂ්මත් චුල්ලපන්ථක තෙරුන් පළඟක් බැඳගෙන, කය ඍජු කරගෙන, භාවනා අරමුණේ ඉතා හොඳින් සිහිය පිහිටුවාගෙන භාග්‍යවතුන් වහන්සේට නුදුරින් වැඩසිටියා. භාග්‍යවතුන් වහන්සේ පළඟක් බැඳගෙන, කය ඍජු කරගෙන, භාවනා අරමුණේ ඉතා හොඳින් සිහිය පිහිටුවාගෙන තමන් වහන්සේට නුදුරින් සිටින ආයුෂ්මත් චුල්ලපන්ථක තෙරුන්ව දැක වදාළා.
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“හිටගෙන ඉන්න කොටත්, වාඩි වී ඉන්න කොටත්, එහෙම නැත්නම් සැතැපී ඉන්න කොටත්, ඒ භික්ෂුව ඉන්නේ සතිපට්ඨානයේ පිහිටි කයින් නම්, සතිපට්ඨානයේ පිහිටි සිතින් නම්, අන්න ඒ විදිහටයි මනා අධිෂ්ඨානයකින් යුතුව ධර්මයේ හැසිරෙන්නේ. ඔහුට කලින් හරි, පස්සෙ හරි විශේෂ අවබෝධය ලබන්න පුළුවනි. කලින් හරි පස්සෙ හරි (අරහත්වය නම් වූ) විශේෂ අවබෝධය ලැබුවට පස්සේ අන්න ඒ භික්ෂුව මාරයාට නොපෙනෙන දිශාවට යනවා.”
සාදු! සාදු!! සාදු!!!
පස්වෙනි සෝණ වර්ගය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-5-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M