ඛුද්දක නිකාය

උදාන පාළි

3.10. ලෝකවෝලෝකන සුත්තං

3.10. බුදු ඇසින් ලෝකය දෙස බැලීම ගැන වදාළ උදානය

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා උරුවේලායං විහරති නජ්ජා නේරඤ්ජරාය තීරේ බෝධිරුක්ඛමූලේ පඨමාභිසම්බුද්ධෝ. තේන ඛෝ පන සමයේන භගවා සත්තාහං ඒකපල්ලංකේන නිසින්නෝ හෝති විමුත්තිසුඛපටිසංවේදී.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුන මුල් කාලයේ වැඩසිටියේ උරුවෙල් දනව්වේ නේරංජරා ගං තෙර බෝ රුක් සෙවනේ. ඒ කාලෙ භාග්‍යවතුන් වහන්සේ ඒ අමා නිවන් සුව විඳිමින් හත් දවසක් එකම පළඟකින් වැඩසිටියා.

අථ ඛෝ භගවා තස්ස සත්තාහස්ස අච්චයේන තම්හා සමාධිම්හා වුට්ඨහිත්වා බුද්ධචක්ඛුනා ලෝකං වෝලෝකේසි. අද්දසා ඛෝ භගවා බුද්ධචක්ඛුනා ලෝකං වෝලෝකෙන්තෝ සත්තේ අනේකේහි සන්තාපේහි සන්තප්පමානේ අනේකේහි ච පරිළාහේහි පරිඩය්හමානේ රාගජේහිපි දෝසජේහිපි මෝහජේහිපිති.

එදා භාග්‍යවතුන් වහන්සේ ඒ හත් දවස ඇවෑමෙන්, ඒ සමාධියෙන් නැගිටලා, සම්බුදු ඇසින් ලෝක සත්වයා දෙස බලා වදාළා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ සම්බුදු ඇසින් ලෝක සත්වයා දෙස බලද්දී, රාගය නිසා හටගත්, ද්වේෂය නිසා හටගත්, මෝහය නිසා හටගත් නොයෙක් තැවිලිවලින් තැවි තැවී ඉන්න නොයෙක් දැවිලිවලින් දැවි දැවී ඉන්න සත්වයන් දැක වදාළා.

අථ ඛෝ භගවා ඒතමත්ථං විදිත්වා තායං වේලායං ඉමං උදානං උදානේසි:

ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.

අයං ලෝකෝ සන්තාපජාතෝ ඵස්සපරේතෝ රෝගං වදති අත්තතෝ,
යේන යේන හි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤථා.

“මේ ලෝක සත්වයා තුළ හට ගෙන තියෙන්නෙ සන්තාපයමයි. ස්පර්ශයෙන් පීඩිත වෙලයි ඉන්නෙ. එයින් උපදනා රෝගී බව, තමන්ගේ කියලා කියනවා. හිතාගෙන ඉන්නෙ යම් විදිහකින් නමුත් සිද්ධ වෙන්නෙ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.

අඤ්ඤථාභාවී භවසත්තෝ ලෝකෝ භවපරේතෝ භවමේවාභිනන්දති,
යදභිනන්දති තං භයං යස්ස භායති තං දුක්ඛං.
භවවිප්පහානාය ඛෝ පනිදං බ්‍රහ්මචරියං වුස්සති.

භවයට ඇලුන සත්වයාට සිද්ධ වෙන්නෙ නොසිතන දෙයක්මයි. ලෝක සත්වයා භවයෙන් පීඩා විඳිනවා. නමුත්, සතුටින් පිළිගන්නෙ භවයමයි. ඔහු සතුටින් පිළිගන්න දේමයි ඔහුට භය ඇති කරන්නෙ. යමකින් භය වෙනවා නම්, ඒකමයි දුක. භවය දුරු කිරීම පිණිසමයි මේ නිවන් මග අනුගමනය කළ යුත්තේ.

යේ හි කේචි සමණා වා බ්‍රාහ්මණා වා භවේන භවස්ස
විප්පමොක්ඛමාහංසු සබ්බේ තේ අවිප්පමුත්තා භවස්මාති වදාමි.

සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා, ඔවුන් භවයක් කරා යන දේකින්මයි භවයකින් නිදහස් වීම ගැන කියන්නෙ. ඒ හැම කෙනෙක්ම භවයෙන් නම් නිදහස් වෙන්නෙ නෑ කියලයි කියන්න තියෙන්නේ.

යේ වා පන කේචි සමණා වා
බ්‍රාහ්මණා වා විභවේන භවස්ස නිස්සරණමාහංසු
සබ්බේ තේ අනිස්සටා භවස්මාති වදාමි.

තවත් සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා, ඔවුන් (අරූප ලොව උපත ආදී) විභවයෙනුයි භවයෙන් නිදහස් වීම ගැන කියන්නේ. නමුත් ඒ හැම දෙනෙක්ම භවයෙන් නම් නිදහස් වෙන්නෙ නෑ.

උපධිං පටිච්ච දුක්ඛමිදං සම්භෝති
සබ්බූපාදානක්ඛයා නත්ථි දුක්ඛස්ස සම්භවෝ
ලෝකමිමං පස්ස පුථූ
අවිජ්ජාය පරේතා භූතා භූතරතා
භවා අපරිමුත්තා.

කෙලෙස් සහිත කර්මයෙන්මයි මේ දුක හටගන්නේ. හැම උපාදානයක්ම ක්ෂය වුනොත් දුකේ හටගැනීමක් නෑ. මේ මුළු මහත් සත්ව ලෝකය දෙස බලන්න. අවිද්‍යාවෙන් තැලී පොඩි වී සිටිමින් ඉපදිලා ඉඳගෙන, ඒ ඉපදිච්ච සත්වයාට ම යි ඇලෙන්නෙ. (ඔවුන්) භවයෙන් නම් නිදහස් වෙන්නෙ නෑ.

යේ හි කේචි භවා
සබ්බධි සබ්බත්ථතාය
සබ්බේ තේ භවා අනිච්චා
දුක්ඛා විපරිණාමධම්මා.

යම්කිසි භවයක් තියෙනවා නම්, හැම තැනම, හැම අයුරකින්ම, ඒ හැම භවයක්ම අනිත්‍යයයි. දුකයි. වෙනස් වී යන ස්වභාවයට අයිතියි.

ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ
භවතණ්හා පහීයති විභවං නාභිනන්දති
සබ්බසෝ තණ්හානං ඛයා අසේසවිරාගනිරෝධෝ නිබ්බානං.

ඔය ආකාරයට ඒ ඇත්ත ස්වභාවයටම දියුණු කරපු ප්‍රඥාවෙන් දැකගත්තොත්, භව තණ්හාව ප්‍රහාණය වෙලා යනවා. විභව තණ්හාව පිළිගන්නෙ නෑ. සම්පූර්ණයෙන් තෘෂ්ණාව ක්ෂය වීමෙන්, ඒ තණ්හාවට නොඇලී, ඉතිරි නැතුව නිරුද්ධවීම ම යි ඒ අමා නිවන කියන්නේ.

තස්ස නිබ්බුතස්ස භික්ඛුනෝ
අනුපාදානා පුනබ්භවෝ න හෝති,
අභිභූතෝ මාරෝ විජිතසංගාමෝ
උපච්චගා සබ්බභවානි තාදී”ති.

නිවනට පත් වුන ඒ භික්ෂුවට උපාදාන නැති නිසා පුනර්භවයක් නෑ. ඔහු මාරයාව පැරැද්දුවා. යුද්ධයෙන් ජය ගත්තා. හැම භවයක්ම ඉක්මවා ගියා. අට ලෝ දහමෙන් කම්පා නොවෙන සිත් ඇති භික්ෂුවට තමයි ‘රහතන් වහන්සේ’ කියන්නේ.”

සාදු! සාදු!! සාදු!!!

නන්දවග්ගෝ තතියෝ.

තුන්වෙනි නන්ද වර්ගයයි.

තස්සුද්දානං –

කම්මං නන්දෝ යසෝජෝ ච සාරිපුත්තෝ ච කෝලිතෝ,
පිලින්දි කස්සපෝ පිණ්ඩෝ සිප්පං ලෝකේන තේ දසාති.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M