ඛුද්දක නිකාය

උදාන පාළි

2.10. භද්දිය සුත්තං

2.10. භද්දිය තෙරුන් අරභයා වදාළ උදානය

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා අනුපියායං විහරති අම්බවනේ. තේන ඛෝ පන සමයේන ආයස්මා භද්දියෝ කාළිගෝධාය පුත්තෝ අරඤ්ඤගතෝ’පි රුක්ඛමූලගතෝ’පි සුඤ්ඤාගාරගතෝ’පි අභික්ඛණං උදානං උදානේති: “අහෝ සුඛං, අහෝ සුඛ”න්ති. අස්සෝසුං ඛෝ සම්බහුලා භික්ඛූ ආයස්මතෝ භද්දියස්ස කාළිගෝධාය පුත්තස්ස අරඤ්ඤගතස්ස’පි රුක්ඛමූලගතස්ස’පි සුඤ්ඤාගාරගතස්ස’පි අභික්ඛණං උදානං උදානෙන්තස්ස “අහෝ සුඛං, අහෝ සුඛ”න්ති. සුත්වාන නේසං ඒතදහෝසි: නිස්සංසයං ඛෝ ආවුසෝ ආයස්මා භද්දියෝ කාළිගෝධාය පුත්තෝ අනභිරතෝ බ්‍රහ්මචරියං චරති, යං’ස පුබ්බේ අගාරියභූතස්ස රජ්ජසුඛං, සෝ තමනුස්සරමානෝ අරඤ්ඤගතෝ’පි රුක්ඛමූලගතෝ’පි සුඤ්ඤාගාරගතෝ’පි අභික්ඛණං උදානං උදානේති: අහෝ සුඛං, අහෝ සුඛ”න්ති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ අනුපිය නුවර අඹ වනයකයි.

ඒ දිනවලම කාලිගෝධාවගේ පුතණුවන් වූ ආයුෂ්මත් භද්දිය තෙරුන් අරණ්‍යයකට ගියත්, රුක් සෙවනකට ගියත්, හිස් කුටියකට ගියත් හැම තිස්සේම “අහා! සැපයි. අහා! සැපයි” කියනවා. කාලිගෝධාවගේ පුත් ආයුෂ්මත් භද්දිය තෙරුන් හැම තිස්සේම කරන මේ උදානය ගැන බොහෝ භික්ෂූන්ට අහන්න ලැබුනා. අහලා, ඒ භික්ෂූන්ට මෙහෙම හිතුනා. “ප්‍රිය ආයුෂ්මතුනි, එකත් එකටම කාලිගෝධාවගේ පුත් ආයුෂ්මත් භද්දිය තෙරුන් මේ බඹසර හැසිරෙන්නෙ කැමැත්තෙන් නම් නෙවෙයි. අරණ්‍යයකට ගියත්, රුක් සෙවනකට ගියත්, හිස් කුටියකට ගියත් හැම තිස්සේම ‘අහා! සැපයි. අහා! සැපයි’ කිය කියා උදාන පහළ කරන්නේ කලින් ගිහි ගෙදර සිටිද්දී විඳපු යම් රජ සැපයක් තිබුනා නම්, ඒවා ගැන තමයි මේ සිහි කර කර ඉන්නෙ” කියලා.

අථ ඛෝ සම්බහුලා භික්ඛූ යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නා ඛෝ තේ භික්ඛූ භගවන්තං ඒතදවෝචුං: “ආයස්මා භන්තේ භද්දියෝ කාළිගෝධාය පුත්තෝ අරඤ්ඤගතෝ’පි රුක්ඛමූලගතෝ’පි සුඤ්ඤාගාරගතෝ’පි අභික්ඛණං උදානං උදානේති: “අහෝ සුඛං, අහෝ සුඛ”න්ති. නිස්සංසයං ඛෝ භන්තේ ආයස්මා භද්දියෝ කාළිගෝධාය පුත්තෝ අනභිරතෝ බ්‍රහ්මචරියං චරති, යං’ස පුබ්බේ අගාරියභූතස්ස රජ්ජසුඛං, සෝ තමනුස්සරමානෝ අරඤ්ඤගතෝ’පි රුක්ඛමූලගතෝ’පි සුඤ්ඤාගාරගතෝ’පි අභික්ඛණං උදානං උදානේති: “අහෝ සුඛං, අහෝ සුඛ”න්ති.

ඉතින් බොහෝ භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණුනා. පැමිණිලා, භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“ස්වාමීනී, කාලිගෝධාවගේ පුත් ආයුෂ්මත් භද්දිය තෙරුන් අරණ්‍යයකට ගියත්, රුක් සෙවනකට ගියත්, හිස් කුටියකට ගියත් හැම තිස්සේම ‘අහා! සැපයි. අහා! සැපයි’ කිය කියා ප්‍රීති බස් කියනවා. ස්වාමීනී, එකත් එකටම කාලිගෝධාවගේ පුත් ආයුෂ්මත් භද්දිය තෙරුන් මේ බඹසර හැසිරෙන්නෙ අකැමැත්තෙන් වෙන්න ඕන. අරණ්‍යයකට ගියත්, රුක් සෙවනකට ගියත්, හිස් කුටියකට ගියත් හැම තිස්සේම ‘අහා! සැපයි. අහා! සැපයි’ කිය කියා උදාන පහළ කරන්නේ කලින් ගිහි ගෙදර සිටිද්දී විඳපු යම් රජ සැපයක් තිබුනා නම්, ඒවා ගැන හිත හිතා වෙන්න ඕන.”

අථ ඛෝ භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තේසි: “ඒහි ත්වං භික්ඛු, මම වචනේන භද්දියං භික්ඛුං ආමන්තේහි: සත්ථා තං ආවුසෝ භද්දිය ආමන්තේතී”ති.

ඉතින් ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් අමතා වදාළා.

“පින්වත් භික්ෂුව, ඔබ මෙහි එන්න. මගේ වචනයෙන් භද්දිය භික්ෂුව අමතන්න. ‘ප්‍රිය ආයුෂ්මත් භද්දිය, අන්න ඔබට ශාස්තෘන් වහන්සේ කතා කරනවා’ කියලා.”

“ඒවං භන්තේ”ති ඛෝ සෝ භික්ඛු භගවතෝ පටිස්සුත්වා යේනායස්මා භද්දියෝ කාළිගෝධාය පුත්තෝ තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්මන්තං භද්දියං කාළිගෝධාය පුත්තං ඒතදවෝච “සත්ථා තං ආවුසෝ භද්දිය, ආමන්තේතී”ති. “ඒවමාවුසෝ”ති ඛෝ ආයස්මා භද්දියෝ කාළිගෝධාය පුත්තෝ තස්ස භික්ඛුනෝ පටිස්සුත්වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ ආයස්මන්තං භද්දියං කාළිගෝධාය පුත්තං භගවා ඒතදවෝච: “සච්චං කිර ත්වං භද්දිය, අරඤ්ඤගතෝ’පි රුක්ඛමූලගතෝ’පි සුඤ්ඤාගාරගතෝ’පි අභික්ඛණං උදානං උදානේසි: “අහෝ සුඛං, අහෝ සුඛ”න්ති. “ඒවං භන්තේති”. කිං පන ත්වං භද්දිය, අත්ථවසං සම්පස්සමානෝ අරඤ්ඤගතෝ’පි රුක්ඛමූලගතෝ’පි සුඤ්ඤාගාරගතෝ’පි අභික්ඛණං උදානං උදානේසි: “අහෝ සුඛං අහෝ සුඛ”න්ති.

“එසේය, ස්වාමීනී” කියලා ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දීලා කාලිගෝධාවගේ පුත් වූ ආයුෂ්මත් භද්දිය තෙරුන් ළඟට ගියා. ගිහින් කාලිගෝධාවගේ පුත් ආයුෂ්මත් භද්දිය තෙරුන්ට මෙහෙම කිව්වා.

“ප්‍රිය ආයුෂ්මත් භද්දිය, අන්න ඔබට ශාස්තෘන් වහන්සේ කතා කරනවා”

“එසේය, ප්‍රිය ආයුෂ්මතුනි” කියලා කාලිගෝධාවගේ පුත් ආයුෂ්මත් භද්දිය තෙරුන් ඒ භික්ෂුවට පිළිතුරු දීලා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා පැත්තකින් වාඩි වුනා. පැත්තකින් වාඩිවුන කාලිගෝධාවගේ පුත් ආයුෂ්මත් භද්දියගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙහෙම ඇහුවා.

“පින්වත් භද්දිය, ඔබ අරණ්‍යයකට ගියත්, රුක් සෙවනකට ගියත්, හිස් කුටියකට ගියත් හැම තිස්සේම ‘අහා! සැපයි. අහා! සැපයි’ කිය කියා ප්‍රීති බස් කියන බව ඇත්තක්ද?”

“එසේය, ස්වාමීනී”

“පින්වත් භද්දිය, ඔබ අරණ්‍යයකට ගියත්, රුක් සෙවනකට ගියත්, හිස් කුටියකට ගියත් හැම තිස්සේම ‘අහා! සැපයි. අහා! සැපයි’ කිය කියා ප්‍රීති බස් කියන්නෙ මොන වගේ යහපතක් දකිමින්ද?”

“පුබ්බේ මේ භන්තේ අගාරියභූතස්ස රජ්ජං කාරෙන්තස්ස අන්තෝ’පි අන්තේපුරේ රක්ඛා සුසංවිහිතා අහෝසි. බහි’පි අන්තේපුරේ රක්ඛා සුසංවිහිතා අහෝසි. අන්තෝ’පි නගරේ රක්ඛා සුසංවිහිතා අහෝසි. බහි’පි නගරේ රක්ඛා සුසංවිහිතා අහෝසි. අන්තෝ’පි ජනපදේ රක්ඛා සුසංවිහිතා අහෝසි. බහි’පි ජනපදේ රක්ඛා සුසංවිහිතා අහෝසි. සෝ ඛෝ අහං භන්තේ ඒවං රක්ඛිත ගෝපිතෝ සන්තෝ භීතෝ උබ්බිග්ගෝ උස්සංකී උත්‍රාසී විහාසිං. ඒතරහි ඛෝ පනාහං භන්තේ අරඤ්ඤගතෝ’පි රුක්ඛමූලගතෝ’පි සුඤ්ඤාගාරගතෝ’පි ඒකෝ අභිතෝ අනුබ්බිග්ගෝ අනුස්සංකී අනුත්‍රාසී අප්පොස්සුක්කෝ පන්නලෝමෝ පරදවුත්තෝ මිගභූතේන චේතසා විහරාමි. ඉදං ඛෝ අහං භන්තේ අත්ථවසං සම්පස්සමානෝ අරඤ්ඤගතෝ’පි රුක්ඛමූලගතෝ’පි සුඤ්ඤාගාරගතෝ’පි අභික්ඛණං උදානං උදානේමි: “අහෝ සුඛං අහෝ සුඛ”න්ති.

“ස්වාමීනී, මම ඉස්සර ගිහි ගෙදර ඉන්න කාලේ ආණ්ඩු කරද්දී අන්තඃපුරයේ ඇතුළතත් ඉතා හොඳට ආරක්ෂාව යොදවලයි තිබුනේ. අන්තඃපුරයෙන් පිටතත් ඉතා හොඳට ආරක්ෂාව යොදවලයි තිබුනේ. ඒ වගේම ඇතුළු නුවරත් ඉතා හොඳට ආරක්ෂාව යොදවලා තිබුනේ. පිට නුවරත් ඉතා හොඳට ආරක්ෂාව යොදවලා තිබුනේ. ජනපද ඇතුළෙත් ඉතා හොඳට ආරක්ෂාව සපයලයි තිබුනේ. ජනපදයෙන් පිටතත් හොඳින් ආරක්ෂාව සපයලයි තිබුනේ. ඉතින් ස්වාමීනී, ඔය විදිහට ආරක්ෂා වෙලා, රැකිලා සිටිද්දීත්, මං භයෙන් හිටියේ. හිත ගැස්සි, ගැස්සී හිටියේ. සැකෙන් හිටියේ. තැති ගැනීමෙන් හිටියේ.

නමුත් ස්වාමීනී, දැන් මම අරණ්‍යයකට ගියත්, රුක් සෙවනකට ගියත්, හිස් කුටියකට ගියත් තනියමයි ඉන්නෙ. කිසි භයක් නෑ. හිතේ ගැස්සීමක් නෑ. සැකයක් නෑ. තැති ගැනීමක් නෑ. ජීවත් වෙන්න කියලා අමුතු උත්සාහයක් නෑ. මානය නැමැති ලොම් හලලයි ඉන්නෙ. සැහැල්ලුවෙන් ඉන්නෙ. නිදහසේ ඉන්නෙ. මුවෙක් වගේ අහිංසක සිතකිනුයි ඉන්නෙ. ස්වාමීනී, මං අරණ්‍යයකට ගියත්, රුක් සෙවනකට ගියත්, හිස් කුටියකට ගියත් හැම තිස්සේම ‘අහා! සැපයි. අහා! සැපයි’ කිය කියා ප්‍රීති බස් කියන්නෙ මගේ ජීවිතයට සිදුවෙච්ච ඔය යහපත මට ම පෙනෙන නිසා.”

අථ ඛෝ භගවා ඒතමත්ථං විදිත්වා තායං වේලායං ඉමං උදානං උදානේසි:

ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.

යස්සන්තරතෝ න සන්ති කෝපා
ඉතිභවාභවතංච වීතිවත්තෝ,
තං විගතභයං සුඛිං අසෝකං
දේවා නානුභවන්ති දස්සනායා”ති.

“යම් කෙනෙකුගේ සිත ඇතුළේ කිසි කෝපයක් නැත්නම්, ලාභ අලාභ ආදී දේවල් ගැන සිත පැටලෙන ස්වභාවය ඉක්මවා ගියා නම්, ඔහු භය දුරු කරපු කෙනෙක්. සුවපත් කෙනෙක්. ශෝක රහිත කෙනෙක්. ඒ රහතුන්ගේ ජීවිතය තේරුම් ගන්න දෙවියන්ටවත් බෑ.”

සාදු! සාදු!! සාදු!!!

මුචලින්දවග්ගෝ දුතියෝ.

දෙවෙනි මුචලින්ද වර්ගයයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M