මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.
ඒ දිනවල දරපතුරුවලින් කළ වැරහැල්ලක් ඇඳගෙන සිටි නිසා දාරුචීරිය යැයි කියන බාහිය වාසය කළේ සුප්පාරක පටුනේ මුහුදු තීරේ. මිනිස්සු ඔහුට ගොඩාක් සැළකුවා. ගරු කළා. බුහුමන් කළා. පූජා කළා. යටහත් පැවැතුම් දැක්වූවා. ඒ වගේම ඔහුට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත්, පිරිකරත් හොඳට ලැබුනා. ඉතින් දවසක් හුදෙකලාවේ භාවනාවෙන් සිටිය බාහිය දාරුචීරියට මේ අදහස ඇති වුනා. ‘මේ ලෝකෙ රහතන් වහන්සේලා ඉන්නවා නම්, මමත් ඒ අය අතර කෙනෙක් තමයි’ කියලා.
එතකොට බාහිය දාරුචීරියගේ පුරාණ ලේ නෑයෙකු වන දෙවියෙක් ඔහුට අනුකම්පා කරලා, සෙත සළසන්න හිතලා, බාහිය දාරුචීරියගේ අර සිතුවිල්ල තම සිතින් දැනගෙන, බාහිය දාරුචීරිය ළඟට ආවා. ඇවිදින් බාහිය දාරුචීරියට මෙහෙම කිව්වා.
“ඒයි බාහිය, ඔබ රහතන් වහන්සේ නමක් නොවෙයි. රහත් වීමේ ප්‍රතිපදාවට බැසගත් කෙනෙකුවත් නොවෙයි. යම් ප්‍රතිපදාවකින් ඔබ අරහත්වයට පත් වෙනවා නම්, අරහත් වෙන මඟට පත්වෙනවා නම්, ඒ ප්‍රතිපදාවවත් ඔබට නෑ.”
“(එහෙම නම් පින්වත් දෙවිඳ,) මේ දෙවියන් සහිත ලෝකයේ ඉන්න රහතන් වහන්සේ කවුද? රහත් මඟට බැසගත් කෙනා කවුද?”
“පින්වත් බාහිය, උතුරු ජනපදයේ ‘සැවැත’ කියලා නගරයක් තියෙනවා. මේ දිනවල ඒ අරහත් වූ සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ එහි වැඩඉන්නවා. පින්වත් බාහිය, අන්න ඒ භාග්‍යවතුන් වහන්සේ නම්, රහතන් වහන්සේ නමක්. ඒ වගේම රහත් වීම පිණිස ශ්‍රී සද්ධර්මයත් දේශනා කරනවා.”
එතකොට ඒ දෙවියා විසින් සංවේග කරවපු බාහිය දාරුචීරිය ඒ මොහොතේම සුප්පාරක පටුනෙන් පිටත් වුනා. හැම තැනකදීම එකම රැයක් විතරයි ගත කළේ. සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයට (කෙළින්ම) ආවා. ඒ වෙලාවේදී බොහෝ භික්ෂූන් වහන්සේලා එළිමහනේ සක්මන් කර කරයි හිටියේ. ඉතින් බාහිය දාරුචීරිය ඒ භික්ෂූන් ළඟට ගියා. ගිහින් ඒ භික්ෂූන්ගෙන් මෙහෙම ඇහුවා.
“ස්වාමීනී, ඒ අරහත් වූ සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ මේ වෙලාවේ වැඩඉන්නෙ කොහේද? මං ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු සමිඳුන්ව බැහැදකින්නට කැමතියි.”
“පින්වත් බාහිය, භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩපාතෙට ඇතුළු ගමට වැඩම කළා.”
එතකොට බාහිය දාරුචීරිය කළබල වුනා. ජේතවනයෙන් නික්මුනා. සැවැත් නුවරට පිවිසුනා. එතකොට ඔහුට සැවැත් නුවර පිණ්ඩපාතෙ වඩින, දුටු පමණින්ම හිත පැහැදෙන, ප්‍රසාදය ම ඇති කරවන, ශාන්ත ඉඳුරන් ඇති, ශාන්ත සිතක් ඇති, ඉතා උතුම් ලෙස දමනය වෙලා සංසිඳී ගිය, සැබැවින්ම දමනය වුන, ඉඳුරන් රැකගත්, මහා හස්ථිරාජයෙක් වගේ ශ්‍රේෂ්ඨ වූ භාග්‍යවතුන් වහන්සේව දැකගන්නට ලැබුනා. ඉතින් (භාග්‍යවතුන් වහන්සේව) දැකලා, භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් අභියස හිසින් වැඳ වැටුනා. භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඉල්ලා සිටියා.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මට දහම් දෙසන සේක්වා! සුගතයන් වහන්ස, දහම් දෙසන සේක්වා! ඒක මට බොහෝ කලක් හිත සුව පිණිස පවතීවි.”
එතකොට භාග්‍යවතුන් වහන්සේ බාහිය දාරුචීරියට මෙහෙම වදාළා.
“පින්වත් බාහිය, තවම (දහම් දෙසීමට) කාලය නොවෙයි. මම පිණ්ඩපාතෙට ඇතුලු ගමට පිවිසිලයි ඉන්නෙ.”
දෙවන වතාවටත් බාහිය දාරුචීරිය භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කියා සිටියා.
“අනේ ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට අනතුරක් වේවිද? මගේ ජීවිතයට අනතුරක් වේවිද? කියලා දැනගන්නට විදිහක් නෑ. (ඉතින් ඊට කලින්) ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මට දහම් දෙසන සේක්වා! සුගතයන් වහන්ස, දහම් දෙසන සේක්වා! ඒක මට බොහෝ කලක් හිත සුව පිණිස පවතීවි.”
දෙවන වතාවටත් භාග්‍යවතුන් වහන්සේ බාහිය දාරුචීරියට මෙහෙම වදාළා.
“පින්වත් බාහිය, තවම (දහම් දෙසීමට) කාලය නොවෙයි. මම පිණ්ඩපාතෙට ඇතුලු ගමට පිවිසිලයි ඉන්නෙ.”
තුන්වන වතාවටත් බාහිය දාරුචීරිය භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කියා සිටියා.
“අනේ ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට අනතුරක් වේවිද? මගේ ජීවිතයට අනතුරක් වේවිද? කියලා දැනගන්නට විදිහක් නෑ. (ඉතින් ඊට කලින්) ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මට දහම් දෙසන සේක්වා! සුගතයන් වහන්ස, දහම් දෙසන සේක්වා! ඒක මට බොහෝ කලක් හිත සුව පිණිස පවතීවි.”
“පින්වත් බාහිය, එහෙම නම් ඔබ මෙන්න මේ විදිහට හික්මෙන්න ඕන. (යමක්) දකින කොට, ඒ දකින දේ ගැන කෙලෙස් ඇති නොවීමක්මයි වෙන්නෙ. (දැකීම් මාත්‍රයක් පමණයි) අසන කොට, ඒ අසන දේ ගැන කෙලෙස් ඇති නොවීමක්මයි වෙන්නෙ. (ඇසීම් මාත්‍රයක් පමණයි) ආඝ්‍රාණය කරන කොට, ඒ ආඝ්‍රාණය කරන දේ ගැන කෙලෙස් ඇති නොවීමක්මයි වෙන්නෙ. (ගඳ සුවඳ දැනීම් මාත්‍රයක් පමණයි) රස විඳින කොට, රස විඳින දේ ගැන කෙලෙස් ඇති නොවීමක්මයි වෙන්නෙ. (රසය විඳීම් මාත්‍රයක් පමණයි) පහස විඳින කොට, පහස විඳින දේ ගැන කෙලෙස් ඇති නොවීමක්මයි වෙන්නෙ. (පහස විඳීම් මාත්‍රයක් පමණයි) සිතින් දැනගන්න කොට, සිතින් දැනගන්න දේ ගැන කෙලෙස් ඇති නොවීමක්මයි වෙන්නෙ. (දැනගැනීම් මාත්‍රයක් පමණයි) පින්වත් බාහිය, ඔන්න ඔය විදිහටයි ඔබ හික්මෙන්නට ඕන.
පින්වත් බාහිය, යම් වෙලාවක ඔබට (යමක්) දකින කොට, ඒ දකින දේ ගැන කෙලෙස් ඇති නොවීමක් නම් වෙන්නෙ; අසන කොට, ඒ අසන දේ ගැන කෙලෙස් ඇති නොවීමක් නම් වෙන්නෙ; ආඝ්‍රාණය කරන කොට, ඒ ආඝ්‍රාණය කරන දේ ගැන කෙලෙස් ඇති නොවීමක් නම් වෙන්නෙ; රස විඳින කොට, රස විඳින දේ ගැන කෙලෙස් ඇති නොවීමක් නම් වෙන්නෙ; පහස ලබන කොට, පහස ලබන දේ ගැන කෙලෙස් ඇති නොවීමක් නම් වෙන්නෙ; සිතින් දැනගන්න කොට, ඒ දැනගන්න දේ ගැන කෙලෙස් ඇති නොවීමක් නම් වෙන්නෙ. එතකොට පින්වත් බාහිය, ඔබ ඒ හේතුවෙන් ඒකට බැඳෙන්නෙ නෑ. පින්වත් බාහිය, යම් වෙලාවක ඔබ ඒ නිසා කිසිවකට බැඳෙන්නෙ නැත්නම්, එතකොට පින්වත් බාහිය, ඔබ එතැන නෑ. යම් වෙලාවක පින්වත් බාහිය, ඔබ එතැන නැත්නම්, එතකොට පින්වත් බාහිය, ඔබ මෙලොවත් නෑ. පරලොවත් නෑ. ඒ දෙක අතරත් නෑ. දුක නිමාවට පත්වීම කියන්නේ ඕකටයි.”
එතකොට භාග්‍යවතුන් වහන්සේ ගේ සංක්ෂිප්ත ධර්ම දේශනාවෙන් බාහිය දාරුචීරියගේ සිත ඒ මොහොතේම සියලු ආශ්‍රවයන්ගෙන් නිදහස් වුනා.
ඉතින් භාග්‍යවතුන් වහන්සේ බාහිය දාරුචීරියට මේ කෙටි අවවාදයෙන් අවවාද කරලා, (පිණ්ඩපාතේ වඩින්න) පිටත් වී වදාළා.
එතකොට භාග්‍යවතුන් වහන්සේ වැඩිය සුළු වෙලාවකින් වසු පැටවෙක් ඉන්න ගවදෙනක් දාරුචීරියට ඇනලා, ජීවිතය නැති කළා.
භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පිණ්ඩපාතේ වැඩම කරලා, පිණ්ඩපාතෙන් පසු සවස් කාලෙ බොහෝ භික්ෂූන් සමඟ නගරයෙන් නික්මිලා වඩිද්දී කළුරිය කළ බාහිය දාරුචීරියව දැක වදාළා. දැකලා, භික්ෂූන් අමතා වදාළා.
“පින්වත් මහණෙනි, ඔය බාහිය දාරුචීරියගේ ශරීරය ගන්න. ඇඳක තියාගෙන බැහැරට ගෙනිහින් ආදාහනය කරන්න. මොහු නමින් ස්ථූපයක් හදන්න. පින්වත් මහණෙනි, ඔය කළුරිය කළේ ඔබේ සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක්.”
“එසේය, ස්වාමීනී” කියලා ඒ භික්ෂූන් වහන්සේලාද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. බාහිය දාරුචීරියගේ ශරීරය ඇඳක තබා බැහැරට ගෙන ගියා. ආදාහනය කළා. ඔහු නමින් ස්ථූපයක් කරලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමීනී, බාහිය දාරුචීරියගේ සිරුර ආදාහනය කළා. ඔහු නමින් ස්ථූපයක් කළා. (ස්වාමීනී,) ඔහුගේ ඉපදීම මොන වගේ එකක්ද? ඔහුගේ පරලොව මොන වගේ එකක්ද?”
“පින්වත් මහණෙනි, ඔය බාහිය දාරුචීරිය හරිම බුද්ධිමත්. ධර්මයට අනුකූල බවටම පත්වුනා. ධර්මයෙන් ගැටලු හදාගෙන මාව වෙහෙසට පත් කළේ නෑ. පින්වත් මහණෙනි, බාහිය දාරුචීරිය පිරිනිවන් පෑවා.”
ඉතින් භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ දැනගෙන ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“යම් අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවක ආපේ ධාතුවත්, පඨවි ධාතුවත්, තේජෝ ධාතුවත්, වායෝ ධාතුවත් නොපිහිටයිද, එතැන තරු දිලෙන්නේ නෑ. හිරු බබලන්නෙත් නෑ. සඳ බබලන්නෙත් නෑ. එතැන කළුවරකුත් නෑ.
යම් දවසක මුනිදහම තුළින් ඒ මුනිවරයා නම් වූ බ්‍රාහ්මණයා, තමා තුළින්ම ඒ අමා නිවන අවබෝධ කළොත්, එතකොට රූප අරූප ලෝකයෙනුත්, සැප දුක ඇති කාම ලෝකයෙනුත් නිදහස් වෙනවා.”
මේ උදානයත් භාග්‍යවතුන් වහන්සේ විසිනුයි වදාළේ කියලයි මං ඇහුවේ.
සාදු! සාදු!! සාදු!!!
පළමු වෙනි බෝධි වර්ගයයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M