අංගුත්තර නිකාය

ඒකාදසක නිපාතෝ

11.2.9. දුතිය සමාධි සුත්තං

11.2.9. සමාධිය ගැන වදාළ දෙවෙනි දෙසුම

සැවැත් නුවර දී ය…..

එකල්හී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක. ‘පින්වතුන් වහන්සැ’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, යම් සේ පඨවී ධාතුවෙහි පඨවී යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, ආපෝ ධාතුවෙහි ආපෝ යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, තේජෝ ධාතුවෙහි තේජෝ යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, වායෝ ධාතුවෙහි වායෝ යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනය යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනය යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනය යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, මේ ලෝකයෙහි මේ ලෝකය යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, පරලොවෙහි පරලොව යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, යම් හෙයකින් දකින ලද යමක් ඇද්ද, අසන ලද යමක් ඇද්ද, ආඝ්‍රාණය කරන ලද යමක් ඇද්ද, රස විඳින ලද යමක් ඇද්ද, පහස ලබන ලද යමක් ඇද්ද, දැනගත් යමක් ඇද්ද, ලැබුණු යමක් ඇද්ද, සොයන ලද යමක් ඇද්ද, මනසින් විමසන ලද යමක් ඇද්ද, එහිලා ද ඔහුට හැඳිනීමෙක් නැත්තේ නම්, එසේ නමුත් හැඳිනීමෙකින් ද යුක්ත වැ සිටින්නේ නම්, එබඳු වූ සමාධි ප්‍රතිලාභයක් භික්ෂුවකට ලැබිය හැක්කේ ද?”

“ස්වාමීනී, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහ. ස්වාමීනී, මේ වදාරණ ලද කරුණෙහි අර්ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහෙන සේක් නම් මැනැවි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරා ගන්නාහු ය.”

“එසේ වී නම් මහණෙනි, අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.” “එසේය, ස්වාමීනී”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, යම් සේ පඨවී ධාතුවෙහි පඨවී යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, ….(පෙ)…. යම් හෙයකින් දකින ලද යමක් ඇද්ද, අසන ලද යමක් ඇද්ද, ආඝ්‍රාණය කරන ලද යමක් ඇද්ද, රස විඳින ලද යමක් ඇද්ද, පහස ලබන ලද යමක් ඇද්ද, දැනගත් යමක් ඇද්ද, ලැබුණු යමක් ඇද්ද, සොයන ලද යමක් ඇද්ද, මනසින් විමසන ලද යමක් ඇද්ද, එහිලා ද ඔහුට හැඳිනීමෙක් නැත්තේ නම්, එසේ නමුත් හැඳිනීමෙකින් ද යුක්ත වැ සිටින්නේ නම්, එබඳු වූ සමාධි ප්‍රතිලාභයක් භික්ෂුවකට ලැබිය හැක්කේ ය.

“ස්වාමීනී, යම් සේ පඨවී ධාතුවෙහි පඨවී යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, ….(පෙ)…. යම් හෙයකින් දකින ලද යමක් ඇද්ද, අසන ලද යමක් ඇද්ද, ආඝ්‍රාණය කරන ලද යමක් ඇද්ද, රස විඳින ලද යමක් ඇද්ද, පහස ලබන ලද යමක් ඇද්ද, දැනගත් යමක් ඇද්ද, ලැබුණු යමක් ඇද්ද, සොයන ලද යමක් ඇද්ද, මනසින් විමසන ලද යමක් ඇද්ද, එහිලා ද ඔහුට හැඳිනීමෙක් නැත්තේ නම්, එසේ නමුත් හැඳිනීමෙකින් ද යුක්ත වැ සිටින්නේ නම්, එබඳු වූ සමාධි ප්‍රතිලාභයක් භික්ෂුවකට ලැබිය හැක්කේ කෙසේද?”

“මහණෙනි, මෙහිලා භික්ෂුව මෙබඳු වූ හැඳිනීමෙකින් යුක්ත වූයේ වෙයි. ‘මෙම සමාධිය ශාන්ත වූ දෙයකි. මෙම සමාධිය ඉතා ප්‍රණීත දෙයකි. එනම්, සකස් වූ සියළු දෙයෙහි සංසිඳී ගිය බවෙක් ඇද්ද, යළි උපතකට හේතු වන සියල්ල දුරැලූ බවෙක් ඇද්ද, තෘෂ්ණාවෙහි නැසී ගිය බවෙක් ඇද්ද, නොඇල්මට පත් වූ බවෙක් ඇද්ද, භවය නිරුද්ධ වූ බවෙක් ඇද්ද, නිර්වාණයක් ඇද්ද, එයයි.’

මහණෙනි, මෙබඳු වූ සමාධි ප්‍රතිලාභයෙකි භික්ෂුවකට ලැබෙන්නේ. එනම්, යම් සේ පඨවී ධාතුවෙහි පඨවී යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, ….(පෙ)…. යම් හෙයකින් දකින ලද යමක් ඇද්ද, අසන ලද යමක් ඇද්ද, ආඝ්‍රාණය කරන ලද යමක් ඇද්ද, රස විඳින ලද යමක් ඇද්ද, පහස ලබන ලද යමක් ඇද්ද, දැනගත් යමක් ඇද්ද, ලැබුණු යමක් ඇද්ද, සොයන ලද යමක් ඇද්ද, මනසින් විමසන ලද යමක් ඇද්ද, එහිලා ද ඔහුට හැඳිනීමෙක් නැත්තේ නම්, එසේ නමුත් හැඳිනීමෙකින් ද යුක්ත වැ සිටින්නේ නම්, එබඳු වූ සමාධි ප්‍රතිලාභයක් භික්ෂුවකට ලැබෙන්නේ මේ අයුරිනි.”

සාදු! සාදු!! සාදු!!!

දුතිය සමාධි සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_11-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M