අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.4.2.7. තතිය අධම්ම සුත්තං

10.4.2.7. අධර්මය ගැන වදාළ තෙවන දෙසුම

“මහණෙනි, අධර්මය ත්, ධර්මය ත් දත යුත්තේ ය. අයහපත ත්, යහපත ත් දත යුත්තේ ය. අධර්මය ත්, ධර්මය ත් දැන, අයහපත ත්, යහපත ත් දැන යම් සේ ධර්මය වෙයි ද, යම් සේ යහපත වෙයි ද එසේ පිළිපැදිය යුත්තේ ය.

මහණෙනි, අධර්මය කුමක් ද? ධර්මය කුමක්ද? අයහපත කුමක්ද? යහපත කුමක් ද?

මහණෙනි, ප්‍රාණඝාතය අධර්මය යි. ප්‍රාණඝාතයෙන් වැළකීම ධර්මය යි. ප්‍රාණඝාතය නිසාවෙන් අනේක වූ යම් පාපී අකුසල් දහම් හටගනියි ද මෙය අයහපත යි. ප්‍රාණඝාතයෙන් වැළකීම නිසාවෙන් අනේක වූ කුසල් දහම් දියුණුවීමෙන් පිරිපුන් ව යයි ද මෙය යහපත යි.

මහණෙනි, සොරකම අධර්මය යි. සොරකමින් වැළකීම ධර්මය යි. ….(පෙ)…. මහණෙනි, වැරදි කාම සේවනය අධර්මය යි. වැරදි කාම සේවනයෙන් වැළකීම ධර්මය යි. ….(පෙ)…. මහණෙනි, බොරු කීම අධර්මය යි. බොරු කීමෙන් වැළකීම ධර්මය යි. ….(පෙ)…. මහණෙනි, කේළාම් කීම අධර්මය යි. කේළාම් කීමෙන් වැළකීම ධර්මය යි. ….(පෙ)…. මහණෙනි, දරුණු වචන භාවිතය අධර්මය යි. දරුණු වචන භාවිතයෙන් වැළකීම ධර්මය යි. ….(පෙ)…. මහණෙනි, නිසරු දේ පැවසීම අධර්මය යි. නිසරු දේ පැවසීමෙන් වැළකීම ධර්මය යි. ….(පෙ)…. මහණෙනි, අන් සතු දේට ආශා කිරීම අධර්මය යි. අන් සතු දේට ආශා නොකිරීම ධර්මය යි. ….(පෙ)…. මහණෙනි, ද්වේෂය අධර්මය යි. අද්වේෂය ධර්මය යි. ….(පෙ)…. මහණෙනි, වැරදි දෘෂ්ටිය අධර්මය යි. නිවැරදි දෘෂ්ටිය ධර්මය යි. වැරදි දෘෂ්ටිය නිසාවෙන් අනේක වූ යම් පාපී අකුසල් දහම් හටගනියි ද මෙය අයහපත යි. නිවැරදි දෘෂ්ටිය නිසාවෙන් අනේක වූ කුසල් දහම් දියුණුවීමෙන් පිරිපුන් ව යයි ද මෙය යහපත යි.

මහණෙනි, අධර්මය ත්, ධර්මය ත් දත යුත්තේ ය. අයහපත ත්, යහපත ත් දත යුත්තේ ය. අධර්මය ත්, ධර්මය ත් දැන, අයහපත ත්, යහපත ත් දැන යම් සේ ධර්මය වෙයි ද, යම් සේ යහපත වෙයි ද එසේ පිළිපැදිය යුත්තේ ය යනුවෙන් යමක් කියන ලද්දේ ද, එය කියන ලද්දේ මෙය සඳහා ය.

සාදු! සාදු!! සාදු!!!

තතිය අධම්ම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-4-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M