අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.4.2.3. සංගාරව සුත්තං

10.4.2.3. සංගාරව බ්‍රාහ්මණයාට වදාළ දෙසුම

එකල්හී සංගාරව බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සතුටු විය යුතු පිළිසඳර කථාව නිමවා එකත්පස්ව හිඳගත්තේ ය. එකත්පස්ව හුන් සංගාරව බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“භවත් ගෞතමයෙනි, මෙතෙර යනු කුමක්ද? එතෙර යනු කුමක්ද?”

“බ්‍රාහ්මණය, මෙතෙර යනු ප්‍රාණඝාතය යි. එතෙර යනු ප්‍රාණඝාතයෙන් වැළකීම යි. මෙතෙර යනු සොරකම යි. එතෙර යනු සොරකමින් වැළකීම යි. මෙතෙර යනු වැරදි කාම සේවනය යි. එතෙර යනු වැරදි කාම සේවනයෙන් වැළකීම යි. මෙතෙර යනු බොරු කීම යි. එතෙර යනු බොරු කීමෙන් වැළකීම යි. මෙතෙර යනු කේළාම් කීම යි. එතෙර යනු කේළාම් කීමෙන් වැළකීම යි. මෙතෙර යනු දරුණු වචන භාවිතය යි. එතෙර යනු දරුණු වචන භාවිතයෙන් වැළකීම යි. මෙතෙර යනු නිසරු දේ පැවසීම යි. එතෙර යනු නිසරු දේ පැවසීමෙන් වැළකීම යි. මෙතෙර යනු අන් සතු දෙයට ආසා කිරීම යි. එතෙර යනු අන් සතු දෙයට ආසා නොකිරීම යි. මෙතෙර යනු ද්වේෂය යි. එතෙර යනු ද්වේෂ රහිත බව යි. මෙතෙර යනු වැරදි දෘෂ්ටිය යි. එතෙර යනු නිවැරදි දෘෂ්ටිය යි. බ්‍රාහ්මණය, මෙය වනාහී මෙතෙර ය. මෙය එතෙර ය.

(ගාථා)

1. මිනිසුන් අතුරින් යම් කෙනෙක් එතෙර වූ නිවනට යන්නෝ වෙත් ද, ඔවුහු ස්වල්පයහ. එනමුදු මේ අවශේෂ මහා ජනයා සසර නම් වූ මෙතෙර ම ඔබ මොබ දිව යති.

2. යම් කෙනෙක් මැනැවින් වදාරණ ලද ධර්මය කෙරෙහි ධර්මානුකූලව හැසිරෙත් ද, ඒ ජනයෝ එතෙර නම් වූ නිවනට යති. මාරයාගේ බලප්‍රදේශය තරණය කොට එතෙර වීම ලෙහෙසි නැත.

3. නුවණැත්තා පාපී අකුසල් දහම් අත්හැර කුසල් දහම් දියුණු කළ යුත්තේ ය. ගිහි ගෙයින් නික්මී ගොස් නිකෙලෙස් බඹසරට පැමිණ යම් කාය චිත්ත විවේකයක් ඇද්ද ඒ කෙරෙහි වෙහෙසී සිත් ඇලවිය යුත්තේ ය.

4. පංච කාමයන් අත්හැර පලිබෝධ රහිත ව සිටිමින් නුවණැත්තා නිවන කෙරෙහි ඇල්ම කැමති විය යුත්තේ ය. කෙලෙසුන්ගෙන් තම සිත පිරිසිදු කළ යුත්තේ ය.

5. යමෙකුගේ සිත සම්බෝධි අංගයන් තුළ මැනැවින් දියුණුවට පත්වෙයි ද, උපාදානයන් දුරු කොට, උපාදාන රහිත වූ යම් නිවනක් ඇද්ද, එහි ඇලී සිටින නුවණින් බබලන යම් රහත්හු වෙත් ද, ඔවුහු ලෝකයෙහි පිරිනිවීමට පත්වූවාහු වෙති.

සාදු! සාදු!! සාදු!!!

සංගාරව සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-4-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M