අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.4.2.1. බ්‍රාහ්මණ පච්චෝරෝහිණී සුත්තං

10.4.2.1. පව් සෝදන බ්‍රාහ්මණයා ගැන වදාළ දෙසුම

එසමයෙහි ජාණුස්සෝණි බ්‍රාහ්මණ තෙමේ ඒ පොහෝ දිනයෙහි හිස පමණක් ස්නානය කොට අළුත් පට වස්ත්‍ර යුගලක් හැඳ අමු කුස තණ මිටක් අතට ගෙන භාග්‍යවතුන් වහන්සේට නුදුරින් එකත්පස් ව සිටියේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ ඒ පොහෝ දිනයෙහි හිස පමණක් ස්නානය කොට අළුත් පට වස්ත්‍ර යුගලක් හැඳ අමු කුස තණ මිටක් අතට ගෙන නුදුරින් එකත්පස් ව සිටි ජාණුස්සෝණි බ්‍රාහ්මණයා දුටු සේක. දැක ජාණුස්සෝණි බ්‍රාහ්මණයාට මෙය වදාළ සේක.

“කිම? බ්‍රාහ්මණය, ඔබ ඒ පොහෝ දිනයෙහි හිස පමණක් ස්නානය කොට අළුත් පට වස්ත්‍ර යුගලක් හැඳ අමු කුස තණ මිටක් අතට ගෙන එකත්පස් ව සිටින්නෙහි? බ්‍රාහ්මණය, අද බ්‍රාහ්මණ කුලයට කිසිවක් ඇද්ද?”

“භවත් ගෞතමයෙනි, අද බ්‍රාහ්මණ කුලයට පව් සේදීමේ දිනය නොවැ.”

“බ්‍රාහ්මණය, බ්‍රාහ්මණයන්ගේ පව් සේදීම සිදුවන්නේ කොයි අයුරින් ද?”

“භවත් ගෞතමයෙනි, මෙහිලා බ්‍රාහ්මණවරු ඒ පොහෝ දිනයෙහි හිස පමණක් ස්නානය කොට අළුත් පට වස්ත්‍ර යුගලක් හැඳ පොළොවෙහි අමු ගොම ගා අළුත් හීතණ ඒ මත අතුරා වැලි රැසට හා ගිනිහල් ගෙට අතර සැතපීම කරත්. ඔවුහු ඒ රාත්‍රියෙහි තුන් වරක් නැගිට දෑත් බැඳ ‘භවත් ගින්නට අපි පව් සෝදා හරිම්හ. භවත් ගින්නට අපි පව් සෝදා හරිම්හ’ ගින්නට නමදිත්. බොහෝ වූ ගිතෙලින් ද, වෙඬරුවෙන් ද, ඒ ගින්න පිනවත්. ඒ රාත්‍රිය ඇවෑමෙන් ප්‍රණීත වූ ඛාද්‍ය භෝජ්‍ය ගෙන එයින් බ්‍රාහ්මණයන් ව පිනවත්. භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයන්ගේ පව් සේදීම වන්නේ ඔය අයුරිනි.”

“බ්‍රාහ්මණය, බ්‍රාහ්මණයන්ගේ පව් සේදීම අන් අයුරු නොවැ. ආර්ය විනයෙහි පව් සේදීම වෙනත් අයුරකින් නොවැ.”

“භවත් ගෞතමයෙනි, ආර්ය විනයෙහි පව් සේදීම වන්නේ කවර අයුරින් ද? භවත් ගෞතමයාණෝ යම් සේ ආර්ය විනයෙහි පව් සේදීම වෙයි ද, ඒ අයුරින් දැනගැනීමට මට දහම් දෙසන සේක්වා!”

“එසේ වී නම් බ්‍රාහ්මණය, අසව. නුවණින් මෙනෙහි කරව. පවසන්නෙමි.”

“එසේ ය, භවත්නි” යි ජාණුස්සෝණි බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.

“බ්‍රාහ්මණය, මෙහිලා ආර්ය ශ්‍රාවකයා මෙසේ නුවණින් විමසයි. ප්‍රාණඝාතය හේතුවෙන් මෙලොවදී ත්, පරලොවදී ත් පවිටු විපාක ලැබෙයි යනුවෙන් මෙසේ හේ නුවණින් විමසා ප්‍රාණඝාතය අත්හරී. එවිට ප්‍රාණඝාතය නම් වූ පව සෝදා හළේ වෙයි.

සොරකම හේතුවෙන් මෙලොවදී ත්, පරලොවදී ත් පවිටු විපාක ලැබෙයි යනුවෙන් මෙසේ හේ නුවණින් විමසා සොරකම අත්හරී. එවිට සොරකම නම් වූ පව සෝදා හළේ වෙයි.

වැරදි කාම සේවනය හේතුවෙන් මෙලොවදී ත්, පරලොවදී ත් පවිටු විපාක ලැබෙයි යනුවෙන් මෙසේ හේ නුවණින් විමසා වැරදි කාම සේවනය අත්හරී. එවිට වැරදි කාම සේවනය නම් වූ පව සෝදා හළේ වෙයි.

බොරු කීම හේතුවෙන් මෙලොවදී ත්, පරලොවදී ත් පවිටු විපාක ලැබෙයි යනුවෙන් මෙසේ හේ නුවණින් විමසා බොරු කීම අත්හරී. එවිට බොරු කීම නම් වූ පව සෝදා හළේ වෙයි.

කේළාම් කීම හේතුවෙන් මෙලොවදී ත්, පරලොවදී ත් පවිටු විපාක ලැබෙයි යනුවෙන් මෙසේ හේ නුවණින් විමසා කේළාම් කීම අත්හරී. එවිට කේළාම් කීම නම් වූ පව සෝදා හළේ වෙයි.

දරුණු වචන කීම හේතුවෙන් මෙලොවදී ත්, පරලොවදී ත් පවිටු විපාක ලැබෙයි යනුවෙන් මෙසේ හේ නුවණින් විමසා දරුණු වචන භාවිතය අත්හරී. එවිට දරුණු වචන භාවිතය නම් වූ පව සෝදා හළේ වෙයි.

නිසරු දේ පැවසීම හේතුවෙන් මෙලොවදී ත්, පරලොවදී ත් පවිටු විපාක ලැබෙයි යනුවෙන් මෙසේ හේ නුවණින් විමසා නිසරු දේ පැවසීම අත්හරී. එවිට නිසරු දේ පැවසීම නම් වූ පව සෝදා හළේ වෙයි.

අනුන් සතු දේට ආසා කිරීම හේතුවෙන් මෙලොවදී ත්, පරලොවදී ත් පවිටු විපාක ලැබෙයි යනුවෙන් මෙසේ හේ නුවණින් විමසා අනුන් සතු දේට ආසා කිරීම අත්හරී. එවිට අනුන් සතු දේට ආසා කිරීම නම් වූ පව සෝදා හළේ වෙයි.

ද්වේෂය හේතුවෙන් මෙලොවදී ත්, පරලොවදී ත් පවිටු විපාක ලැබෙයි යනුවෙන් මෙසේ හේ නුවණින් විමසා ද්වේෂය අත්හරී. එවිට ද්වේෂය නම් වූ පව සෝදා හළේ වෙයි.

වැරදි දෘෂ්ටිය හේතුවෙන් මෙලොවදී ත්, පරලොවදී ත් පවිටු විපාක ලැබෙයි යනුවෙන් මෙසේ හේ නුවණින් විමසා වැරදි දෘෂ්ටිය අත්හරී. එවිට වැරදි දෘෂ්ටිය නම් වූ පව සෝදා හළේ වෙයි.

බ්‍රාහ්මණය, ආර්ය විනයෙහි පව් සේදීම වන්නේ ඔය අයුරිනි.”

“භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයන්ගේ පව් සේදීම අන් අයුරකිනි. ආර්ය විනයෙහි පව් සේදීම වෙනත් අයුරකිනි. භවත් ගෞතමයනි, මින් බ්‍රාහ්මණයන්ගේ පව් සේදීම මේ ආර්ය විනයෙහි පව් සේදීම සමඟ සලකා බලද්දී සොළොස් කලාවෙන් එක් කලාවක් වත් නොවටියි.

භවත් ගෞතමයෙනි, ඉතා මනහර ය. ….(පෙ)…. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු ලෙස මාව පිළිගන්නා සේක්වා!

සාදු! සාදු!! සාදු!!!

බ්‍රාහ්මණ පච්චෝරෝහණී සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-4-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M