එකල්හී අජිත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සතුටු විය යුතු පිළිසඳර කථාව නිමවා එකත්පස්ව හිඳගත්තේ ය. එකත්පස්ව හුන් අජිත පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“භවත් ගෞතමයෙනි, අපගේ පණ්ඩිත නම් සබ්රහ්මචාරී කෙනෙක් සිටියි. ඔහු විසින් පන්සියයක් පමණ චින්තාවෝ සිතන ලද්දාහු ය. ඒ තුළින් අන්‍ය තීර්ථකයෝ නිග්‍රහ කරන ලද්දාහු ය. ඔවුන් නිග්‍රහ ලැබූ බව ද අපි දනිමු.”
එවිට භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. “මහණෙනි, ඔබ පණ්ඩිතයෙකු වන කරුණු දරා සිටින්නහු ද?”
“භාග්‍යවතුන් වහන්ස, මේ එයට කාලය යි. සුගතයන් වහන්ස, මේ එයට කාලය යි. භාග්‍යවතුන් වහන්සේ මේ පිළිබඳ ව යමක් වදාරණ සේක් ද, භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරා ගන්නාහු ය.”
“එසේ වී නම් මහණෙනි, අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.”
‘එසේ ය, ස්වාමීනී’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් අධාර්මික වාදයෙන් අධාර්මික වාදය දැඩි නිග්රහයකට ලක් කරයි. බලවත් ව පෙළයි. එකරුණෙන් අධාර්මික පිරිස සතුටු කරවයි. එකරුණෙන් ඒ අධාර්මික පිරිස උස් හඬින්, මහ හඬින් මෙසේ කියයි. ‘භවත්නි, සැබැවින් ම පණ්ඩිතයෙක් නොවැ. භවත්නි, සැබැවින් ම පණ්ඩිතයෙක් නොවැ’ යනුවෙනි.
මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් අධාර්මික වාදයෙන් ධාර්මික වාදය දැඩි නිග්රහයකට ලක් කරයි. බලවත් ව පෙළයි. එකරුණෙන් අධාර්මික පිරිස සතුටු කරවයි. එකරුණෙන් ඒ අධාර්මික පිරිස උස් හඬින්, මහ හඬින් මෙසේ කියයි. ‘භවත්නි, සැබැවින් ම පණ්ඩිතයෙක් නොවැ. භවත්නි, සැබැවින් ම පණ්ඩිතයෙක් නොවැ’ යනුවෙනි.
මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් අධාර්මික වාදයෙන් ධාර්මික වාදය ත්, අධාර්මික වාදය ත් දැඩි නිග්රහයකට ලක් කරයි. බලවත් ව පෙළයි. එකරුණෙන් අධාර්මික පිරිස සතුටු කරවයි. එකරුණෙන් ඒ අධාර්මික පිරිස උස් හඬින්, මහ හඬින් මෙසේ කියයි. ‘භවත්නි, සැබැවින් ම පණ්ඩිතයෙක් නොවැ. භවත්නි, සැබැවින් ම පණ්ඩිතයෙක් නොවැ’ යනුවෙනි.
මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් ධාර්මික වාදයෙන් ධාර්මික වාදය ත්, අධාර්මික වාදය ත් දැඩි නිග්රහයකට ලක් කරයි. බලවත් ව පෙළයි. එකරුණෙන් අධාර්මික පිරිස සතුටු කරවයි. එකරුණෙන් ඒ අධාර්මික පිරිස උස් හඬින්, මහ හඬින් මෙසේ කියයි. ‘භවත්නි, සැබැවින් ම පණ්ඩිතයෙක් නොවැ. භවත්නි, සැබැවින් ම පණ්ඩිතයෙක් නොවැ’ යනුවෙනි.
මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් ධාර්මික වාදයෙන් ධාර්මික වාදය දැඩි නිග්රහයකට ලක් කරයි. බලවත් ව පෙළයි. එකරුණෙන් ධාර්මික පිරිස සතුටු කරවයි. එකරුණෙන් ඒ ධාර්මික පිරිස උස් හඬින්, මහ හඬින් මෙසේ කියයි. ‘භවත්නි, සැබැවින් ම පණ්ඩිතයෙක් නොවැ. භවත්නි, සැබැවින් ම පණ්ඩිතයෙක් නොවැ’ යනුවෙනි.
“‘මහණෙනි, අධර්මය ත්, ධර්මය ත් දත යුත්තේ ය. අයහපත ත්, යහපත ත් දත යුත්තේ ය. අධර්මය ත්, ධර්මය ත් දැන, අයහපත ත්, යහපත ත් දැන යම් සේ ධර්මය වෙයි ද, යම් සේ යහපත වෙයි ද එසේ පිළිපැදිය යුත්තේ ය’
මහණෙනි, අධර්මය කුමක්ද? ධර්මය කුමක්ද? අයහපත කුමක්ද? යහපත කුමක්ද?
මහණෙනි, වැරදි දෘෂ්ටිය අධර්මය යි. නිවැරදි දෘෂ්ටිය ධර්මය යි. වැරදි දෘෂ්ටිය නිසාවෙන් අනේක වූ යම් පාපී අකුසල් දහම් හටගනියි ද මෙය අයහපත යි. නිවැරදි දෘෂ්ටිය නිසාවෙන් අනේක වූ කුසල් දහම් දියුණුවීමෙන් පිරිපුන් ව යයි ද මෙය යහපත යි.
මහණෙනි, වැරදි සංකල්පනා අධර්මය යි. නිවැරදි සංකල්පනා ධර්මය යි. ….(පෙ)…. මහණෙනි, වැරදි වචන භාවිතය අධර්මය යි. නිවැරදි වචන භාවිතය ධර්මය යි. ….(පෙ)…. මහණෙනි, වැරදි කායික ක්‍රියා අධර්මය යි. නිවැරදි කායික ක්‍රියා ධර්මය යි. ….(පෙ)…. මහණෙනි, වැරදි ජීවිකාව අධර්මය යි. නිවැරදි ජීවිකාව ධර්මය යි. ….(පෙ)…. මහණෙනි, වැරදි උත්සාහය අධර්මය යි. නිවැරදි උත්සාහය ධර්මය යි. ….(පෙ)…. මහණෙනි, වැරදි සිහිය අධර්මය යි. නිවැරදි සිහිය ධර්මය යි. ….(පෙ)…. මහණෙනි, වැරදි චිත්තේකාග්‍රතාව අධර්මය යි. නිවැරදි චිත්තේකාග්‍රතාව ධර්මය යි. ….(පෙ)…. මහණෙනි, වැරදි ඥානය අධර්මය යි. නිවැරදි ඥානය ධර්මය යි. ….(පෙ)…. මහණෙනි, වැරදි විමුක්තිය අධර්මය යි. නිවැරදි විමුක්තිය ධර්මය යි. වැරදි විමුක්තිය නිසාවෙන් අනේක වූ යම් පාපී අකුසල් දහම් හටගනියි ද මෙය අයහපත යි. නිවැරදි විමුක්තිය නිසාවෙන් අනේක වූ කුසල් දහම් දියුණුවීමෙන් පිරිපුන් ව යයි ද මෙය යහපත යි.
‘මහණෙනි, අධර්මය ත්, ධර්මය ත් දත යුත්තේ ය. අයහපත ත්, යහපත ත් දත යුත්තේ ය. අධර්මය ත්, ධර්මය ත් දැන, අයහපත ත්, යහපත ත් දැන යම් සේ ධර්මය වෙයි ද, යම් සේ යහපත වෙයි ද එසේ පිළිපැදිය යුත්තේ ය’ වශයෙන් යමක් කියන ලද්දේ ද, එය කියන ලද්දේ මෙකරුණ සඳහා ය.”
සාදු! සාදු!! සාදු!!!
අජිත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-3-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M