“මහණෙනි, අධර්මය ත්, ධර්මය ත් දත යුත්තේ ය. අයහපත ත්, යහපත ත් දත යුත්තේ ය. අධර්මය ත්, ධර්මය ත් දැන, අයහපත ත්, යහපත ත් දැන යම් සේ ධර්මය වෙයි ද, යම් සේ යහපත වෙයි ද එය පිළිපැදිය යුත්තේ ය.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාළ සුගතයන් වහන්සේ හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ වැඩම කොට නොබෝ කල්හී ඒ භික්ෂූන්ට මේ අදහස ඇතිවිය. ‘ආයුෂ්මත්නි, භාග්‍යවතුන් වහන්සේ අප හට සංක්ෂේප වශයෙන් මෙම දහම් කරුණ වදාරා එහි විස්තර විභාග නොවදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක. එනම් ‘මහණෙනි, අධර්මය ත්, ධර්මය ත් දත යුත්තේ ය. අයහපත ත්, යහපත ත් දත යුත්තේ ය. අධර්මය ත්, ධර්මය ත් දැන, අයහපත ත්, යහපත ත් දැන යම් සේ ධර්මය වෙයි ද, යම් සේ යහපත වෙයි ද එසේ පිළිපැදිය යුත්තේ ය’ වශයෙනි. භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් වදාරණ ලද, විස්තර වශයෙන් අරුත් විග්‍රහ නොකරන ලද මෙකරුණෙහි අර්ථ විග්‍රහය කවරෙක් නම් කරන්නේ ද?’
එකල්හී ඒ භික්ෂූන්ට මේ අදහස ඇතිවිය. ‘මේ ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ශාස්තෘන් වහන්සේ විසින් ද වර්ණනා කරන ලද්දාහු ය. නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලා විසින් ද සම්භාවනා කරන ලද්දාහු ය. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරණ ලද, විස්තර විභාග වශයෙන් නොවදාරණ ලද මේ ධර්මයෙහි අර්ථ විග්‍රහ කොට පෙන්වන්නට ආයුෂ්මත් අනඳ තෙරණුවෝ සමර්ථයහ. එහෙයින් අපි ආයුෂ්මත් අනඳ තෙරුන් කරා එළඹෙන්නමෝ නම්, එළැඹ ආයුෂ්මත් අනඳ තෙරුන්ගෙන් මෙකරුණ විමසන්නමෝ නම්, ආයුෂ්මත් අනඳ තෙරණුවෝ යම් පරිද්දෙකින් අපට පවසත් ද, එපරිද්දෙන් එය දරා ගන්නමෝ නම් අගනේ ය’ යි.
එකල්හී ඒ භික්ෂූහු ආයුෂ්මත් ආනන්ද තෙරුන් කරා ගියහ. ගොස් ආයුෂ්මත් අනඳ තෙරුන් සමඟ සතුටු වූහ. සතුටු විය යුතු පිළිසඳර කථාව නිමවා එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ඒ භික්ෂූහු ආයුෂ්මත් අනඳ තෙරුන් හට මෙය පැවසූහ.
“ආයුෂ්මත් ආනන්දය, භාග්‍යවතුන් වහන්සේ අපට ‘මහණෙනි, අධර්මය ත්, ධර්මය ත් දත යුත්තේ ය. අයහපත ත්, යහපත ත් දත යුත්තේ ය. අධර්මය ත්, ධර්මය ත් දැන, අයහපත ත්, යහපත ත් දැන යම් සේ ධර්මය වෙයි ද, යම් සේ යහපත වෙයි ද එසේ පිළිපැදිය යුත්තේ ය’ යනුවෙන් සංක්ෂේප වශයෙන් මෙම දහම් කරුණ වදාරා එහි විස්තර විභාග නොවදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක.
එකල්හී භාග්‍යවතුන් වහන්සේ වැඩම කොට නොබෝ කල්හී ඒ අපට මේ අදහස ඇතිවිය. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මහණෙනි, අධර්මය ත්, ධර්මය ත් දත යුත්තේ ය. අයහපත ත්, යහපත ත් දත යුත්තේ ය. අධර්මය ත්, ධර්මය ත් දැන, අයහපත ත්, යහපත ත් දැන යම් සේ ධර්මය වෙයි ද, යම් සේ යහපත වෙයි ද එසේ පිළිපැදිය යුත්තේ ය’ වශයෙන් සංක්ෂේපයෙන් වදාරණ ලද, විස්තර වශයෙන් විග්‍රහ නොකරන ලද මෙකරුණෙහි අර්ථ විග්‍රහය කවරෙක් නම් කරන්නේ ද?’
එකල්හී ආයුෂ්මතුනි, ඒ අපට මේ අදහස ඇතිවිය. ‘මේ ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ශාස්තෘන් වහන්සේ විසින් ද වර්ණනා කරන ලද්දාහු ය. නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලා විසින් ද සම්භාවනා කරන ලද්දාහු ය. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරණ ලද, විස්තර විභාග වශයෙන් නොවදාරණ ලද මේ ධර්මයෙහි අර්ථ විග්‍රහ කොට පෙන්වන්නට ආයුෂ්මත් අනඳ තෙරණුවෝ සමර්ථයහ. එහෙයින් අපි ආයුෂ්මත් අනඳ තෙරුන් කරා එළඹෙන්නමෝ නම්, එළැඹ ආයුෂ්මත් අනඳ තෙරුන්ගෙන් මෙකරුණ විමසන්නමෝ නම්, ආයුෂ්මත් අනඳ තෙරණුවෝ යම් පරිද්දෙකින් අපට පවසත් ද එපරිද්දෙන් එය දරා ගන්නමෝ නම් අගනේ ය’ යි.
ආයුෂ්මත් ආනන්දයන් මෙය අපට විග්‍රහ කොට දෙත්වා!”
“ආයුෂ්මත්නි, එය මෙබඳු දෙයකි. අරටුවකින් වැඩ ඇති පුරුෂයෙක් අරටුවක් සොයන්නේ, අරටුවක් විමසමින් යන්නේ ඉතා හොඳ අරටුවක් ඇති මහා වෘක්ෂයක් හමුවෙයි. ඔහු එහි මුල අත්හැර, කඳ අත්හැර, අතු කොළවල අරටුව සෙවීමට සිතන්නේ ය. මෙය ද එබඳු උපමාවෙකින් යුතු දෙයකි. ආයුෂ්මතුන් හට ශාස්තෘන් වහන්සේ මුණගැසී තිබියදී ත්, ඒ භාග්‍යවතුන් වහන්සේ මගහැර මෙකරුණ අපගෙන් ඇසිය යුතු යැයි සිතුවාහු ය. ආයුෂ්මත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ ම දැනගත යුත්ත දන්නා සේක. දැකගත යුත්ත දක්නා සේක. හටගත් දහම් ඇස් ඇති සේක. හටගත් නුවණ ඇති සේක. හටගත් ධර්මය ඇති සේක. හටගත් ශ්‍රේෂ්ඨත්වය ඇති සේක. මැනැවින් පවසන සේක. ප්‍රවර්තනය කරන සේක. අර්ථ මතු කිරීමෙහි නේතෘ වන සේක. අමෘතය දෙන සේක. ධර්මස්වාමී වන සේක. තථාගත වන සේක. ඔය කරුණ සඳහා ඒ කාලය තිබුණේ ය. එහෙයින් ඔබ ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත ම එළැඹ ඔය කරුණ අසනු මැනැව. භාග්‍යවතුන් වහන්සේ ඔබට යම් සේ වදාරණ සේක් ද ඒ අයුරින් එය දරාගනු මැනැව.”
“ආයුෂ්මත් ආනන්දය, ඒකාන්ත වශයෙන් ම ඒ භාග්‍යවතුන් වහන්සේ ම දැනගත යුත්ත දන්නා සේක. දැකගත යුත්ත දක්නා සේක. හටගත් දහම් ඇස් ඇති සේක. හටගත් නුවණ ඇති සේක. හටගත් ධර්මය ඇති සේක. හටගත් ශ්‍රේෂ්ඨත්වය ඇති සේක. මැනැවින් පවසන සේක. ප්‍රවර්තනය කරන සේක. අර්ථ මතු කිරීමෙහි නේතෘ වන සේක. අමෘතය දෙන සේක. ධර්මස්වාමී වන සේක. තථාගත වන සේක. ඔය කරුණ සඳහා ඒ කාලය තිබුණේ ය. යම් හෙයකින් අපි ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත ම එළැඹ ඔය කරුණ අසන්නමෝ නම්, භාග්‍යවතුන් වහන්සේ අපට යම් සේ වදාරණ සේක් ද ඒ අයුරින් එය දරාගන්නමෝ වෙමු. එනමුදු ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ද ශාස්තෘන් වහන්සේ විසින් ද වර්ණනා කරන ලද්දාහු ය. නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලා විසින් ද සම්භාවනා කරන ලද්දාහු ය. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරණ ලද, විස්තර විභාග වශයෙන් නොවදාරණ ලද මේ ධර්මයෙහි අර්ථ විග්‍රහ කොට පෙන්වන්නට ආයුෂ්මත් අනඳ තෙරණුවෝ සමර්ථයහ. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ මෙය බරෙක් වශයෙන් නොගෙන විග්‍රහ කරත්වා!”
“එසේ වී නම් ආයුෂ්මත්නි, අසනු මැනැව. මැනැවින් මෙනෙහි කළ මැනැව. පවසන්නෙමි.”
“එසේ ය, ආයුෂ්මතුනි”යි ඒ භික්ෂූහු ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ මෙය වදාළහ.
“ආයුෂ්මත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට ‘මහණෙනි, අධර්මය ත්, ධර්මය ත් දත යුත්තේ ය. අයහපත ත්, යහපත ත් දත යුත්තේ ය. අධර්මය ත්, ධර්මය ත් දැන, අයහපත ත්, යහපත ත් දැන යම් සේ ධර්මය වෙයි ද, යම් සේ යහපත වෙයි ද එසේ පිළිපැදිය යුත්තේ ය’ වශයෙන් සංක්ෂේප වශයෙන් යම් දහම් කරුණ වදාරා එහි විස්තර විභාග නොවදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක් ද, ආයුෂ්මත්නි, එහි අධර්මය කුමක්ද? ධර්මය කුමක්ද? අයහපත කුමක්ද? යහපත කුමක්ද?
ආයුෂ්මත්නි, වැරදි දෘෂ්ටිය අධර්මය යි. නිවැරදි දෘෂ්ටිය ධර්මය යි. වැරදි දෘෂ්ටිය නිසාවෙන් අනේක වූ යම් පාපී අකුසල් දහම් හටගනියි ද මෙය අයහපත යි. නිවැරදි දෘෂ්ටිය නිසාවෙන් අනේක වූ කුසල් දහම් දියුණුවීමෙන් පිරිපුන් ව යයි ද මෙය යහපත යි.
ආයුෂ්මත්නි, වැරදි සංකල්පනා අධර්මය යි. නිවැරදි සංකල්පනා ධර්මය යි. ….(පෙ)…. ආයුෂ්මත්නි, වැරදි වචන භාවිතය අධර්මය යි. නිවැරදි වචන භාවිතය ධර්මය යි. ….(පෙ)…. ආයුෂ්මත්නි, වැරදි කායික ක්‍රියා අධර්මය යි. නිවැරදි කායික ක්‍රියා ධර්මය යි. ….(පෙ)…. ආයුෂ්මත්නි, වැරදි ජීවිකාව අධර්මය යි. නිවැරදි ජීවිකාව ධර්මය යි. ….(පෙ)…. ආයුෂ්මත්නි, වැරදි උත්සාහය අධර්මය යි. නිවැරදි උත්සාහය ධර්මය යි. ….(පෙ)…. ආයුෂ්මත්නි, වැරදි සිහිය අධර්මය යි. නිවැරදි සිහිය ධර්මය යි. ….(පෙ)…. ආයුෂ්මත්නි, වැරදි චිත්තේකාග්‍රතාව අධර්මය යි. නිවැරදි චිත්තේකාග්‍රතාව ධර්මය යි. ….(පෙ)…. ආයුෂ්මත්නි, වැරදි ඥානය අධර්මය යි. නිවැරදි ඥානය ධර්මය යි. ….(පෙ)…. ආයුෂ්මත්නි, වැරදි විමුක්තිය අධර්මය යි. නිවැරදි විමුක්තිය ධර්මය යි. වැරදි විමුක්තිය නිසාවෙන් අනේක වූ යම් පාපී අකුසල් දහම් හටගනියි ද මෙය අයහපත යි. නිවැරදි විමුක්තිය නිසාවෙන් අනේක වූ කුසල් දහම් දියුණුවීමෙන් පිරිපුන් ව යයි ද මෙය යහපත යි.
ආයුෂ්මත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට ‘මහණෙනි, අධර්මය ත්, ධර්මය ත් දත යුත්තේ ය. අයහපත ත්, යහපත ත් දත යුත්තේ ය. අධර්මය ත්, ධර්මය ත් දැන, අයහපත ත්, යහපත ත් දැන යම් සේ ධර්මය වෙයි ද, යම් සේ යහපත වෙයි ද එසේ පිළිපැදිය යුත්තේ ය’ යනුවෙන් සංක්ෂේප වශයෙන් යම් දහම් කරුණක් වදාරා එහි විස්තර විභාග නොවදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක් ද, ආයුෂ්මත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් වදාරන ලද, විස්තර විභාග වශයෙන් නොවදාරණ ලද මෙකරුණෙහි අර්ථය ඔය අයුරින් විස්තර වශයෙන් මම දනිමි. ඉදින් ආයුෂ්මත්නි, ඔබ කැමති නම් භාග්‍යවතුන් වහන්සේ කරා ම එළැඹ මෙකරුණ අසනු මැනැවි. භාග්‍යවතුන් වහන්සේ යම් සේ වදාරණ සේක් ද එලෙසින් ම එය දරාගත මැනැවි.”
“එසේය, ආයුෂ්මත” කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ආනන්දයන්ගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළහ.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ අප හට සංක්ෂේප වශයෙන් මෙම දහම් කරුණ වදාරා එහි විස්තර විභාග නොවදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක. එනම් ‘මහණෙනි, අධර්මය ත්, ධර්මය ත් දත යුත්තේ ය. අයහපත ත්, යහපත ත් දත යුත්තේ ය. අධර්මය ත්, ධර්මය ත් දැන, අයහපත ත්, යහපත ත් දැන යම් සේ ධර්මය වෙයි ද, යම් සේ යහපත වෙයි ද එසේ පිළිපැදිය යුත්තේ ය’ වශයෙනි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විහාරයට වැඩම කොට නොබෝ වේලාවකින් ඒ අපට මේ අදහස ඇතිවිය. ‘ආයුෂ්මත්නි, භාග්‍යවතුන් වහන්සේ අප හට සංක්ෂේප වශයෙන් මෙම දහම් කරුණ වදාරා එහි විස්තර විභාග නොවදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක. එනම් ‘මහණෙනි, අධර්මය ත්, ධර්මය ත් දත යුත්තේ ය. අයහපත ත්, යහපත ත් දත යුත්තේ ය. අධර්මය ත්, ධර්මය ත් දැන, අයහපත ත්, යහපත ත් දැන යම් සේ ධර්මය වෙයි ද, යම් සේ යහපත වෙයි ද එසේ පිළිපැදිය යුත්තේ ය’ වශයෙනි. භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් වදාරණ ලද, විස්තර වශයෙන් විග්‍රහ නොකරන ලද මෙකරුණෙහි අර්ථ විග්‍රහය කවරෙක් නම් කරන්නේ දැ’යි.
එකල්හී ස්වාමීනී, අපට මේ අදහස ඇතිවිය. ‘මේ ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ශාස්තෘන් වහන්සේ විසින් ද වර්ණනා කරන ලද්දාහු ය. නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලා විසින් ද සම්භාවනා කරන ලද්දාහු ය. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරණ ලද, විස්තර විභාග වශයෙන් නොවදාරණ ලද මේ ධර්මයෙහි අර්ථ විග්‍රහ කොට පෙන්වන්නට ආයුෂ්මත් අනඳ තෙරණුවෝ සමර්ථයහ. එහෙයින් අපි ආයුෂ්මත් අනඳ තෙරුන් කරා එළඹෙන්නමෝ නම්, එළැඹ ආයුෂ්මත් අනඳ තෙරුන්ගෙන් මෙකරුණ විමසන්නමෝ නම්, ආයුෂ්මත් අනඳ තෙරණුවෝ යම් පරිද්දෙකින් අපට පවසත් ද එපරිද්දෙන්, එය දරා ගන්නමෝ නම් අගනේ ය’ යි.
එකල්හී ස්වාමීනී, අපි ආයුෂ්මත් අනඳ තෙරුන් කරා ගියෙමු. ගොස් ආයුෂ්මත් අනඳ තෙරුන්ගෙන් මෙකරුණ විමසුවෙමු. ස්වාමීනී, ඒ අපට ආයුෂ්මත් ආනන්ද තෙරුන් විසින් මේ අයුරින්, මේ පදයන්ගෙන්, මේ ව්‍යංජනයන්ගෙන්, අර්ථය මැනැවින් විග්‍රහ කරන ලද්දේ ය.”
“මහණෙනි, සාදු! සාදු! මහණෙනි, ආනන්දයෝ පණ්ඩිතයහ. මහණෙනි, ආනන්දයෝ මහා ප්‍රාඥයහ. මහණෙනි, ඉදින් ඔබ මා කරා ද අවුත් මෙකරුණ විමසන්නහු නම්, මම් ද ආනන්දයන් විසින් මෙකරුණ යම් පරිදි විග්‍රහ කරන ලද්දේ ද එපරිදි විග්‍රහ කරමි. මෙකරුණෙහි අර්ථය මෙය ම ය. එය එපරිද්දෙන් ම දරව්.”
සාදු! සාදු!! සාදු!!!
තතිය අධම්ම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-3-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M