අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.2.4.9. කෝකාලික සුත්තං

10.2.4.9. කෝකාලික භික්ෂුව අරභයා වදාළ දෙසුම

සැවැත් නුවර දී ය ………..

එකල්හී කෝකාලික භික්ෂුව යම් තැනක භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් කෝකාලික භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, සාරිපුත්ත මොග්ගල්ලානයෝ පවිටු ආශා ඇත්තෝ ය. පවිටු ආශාවන්ගේ වසඟයට ගියාහු ය” යි.

“කෝකාලික, එසේ කියන්නට එපා! කෝකාලික, එසේ කියන්නට එපා! කෝකාලික, සාරිපුත්ත මොග්ගල්ලානයන් පිළිබඳව සිත පහදා ගනුව. සාරිපුත්ත මොග්ගල්ලානයෝ සුපේශලයෝ ය.”

දෙවනුව ද කෝකාලික භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවේ ය.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ සිත පහදවා ගන්නට යැ’යි, විශ්වාස කරන්නට යැ’යි වදාරණ නමුදු සාරිපුත්ත මොග්ගල්ලානයෝ පවිටු ආශා ඇත්තෝ ය. පවිටු ආශාවන්ගේ වසඟයට ගියාහු ය” යි.

“කෝකාලික, එසේ කියන්නට එපා! කෝකාලික, එසේ කියන්නට එපා! කෝකාලික, සාරිපුත්ත මොග්ගල්ලානයන් පිළිබඳව සිත පහදා ගනුව. සාරිපුත්ත මොග්ගල්ලානයෝ සුපේශලයෝ ය.”

තෙවනුව ද කෝකාලික භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවේ ය.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ සිත පහදවා ගන්නට යැ’යි, විශ්වාස කරන්නට යැ’යි වදාරණ නමුදු සාරිපුත්ත මොග්ගල්ලානයෝ පවිටු ආශා ඇත්තෝ ය. පවිටු ආශාවන්ගේ වසඟයට ගියාහු ය” යි.

“කෝකාලික, එසේ කියන්නට එපා! කෝකාලික, එසේ කියන්නට එපා! කෝකාලික, සාරිපුත්ත මොග්ගල්ලානයන් පිළිබඳව සිත පහදා ගනුව. සාරිපුත්ත මොග්ගල්ලානයෝ සුපේශලයෝ ය.”

ඉක්බිති කෝකාලික භික්ෂුව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට පිටත්ව ගියේ ය. බැහැරට ගිය නොබෝ කලකින් කෝකාලික භික්ෂුවගේ මුළු ශරීරයෙහි අබ ඇට පමණින් බිබිලි පැතිර හටගත්තේ ය. අබ ඇට පමණින් තිබූ ඒ ගෙඩි මුං ඇට පමණ විශාල විය. මුං ඇට පමණින් වූ ඒ ගෙඩි කඩල ඇට පමණට විශාල විය. කඩල ඇට පමණ වූ ඒ ගෙඩි ඩෙබර ගෙඩි තරමට විශාල විය. ඩෙබර තරමේ වූ ඒ ගෙඩි ලොකු නෙල්ලි තරමට විශාල විය. ලොකු නෙල්ලි තරමේ වූ ඒ ගෙඩි බෙලි ගැට තරමට විශාල විය. බෙලි ගැට තරමේ වූ ඒ ගෙඩි බෙලි ගෙඩි තරමට විශාල විය. බෙලි ගෙඩ තරමේ වූ ඒ ගෙඩි පිපිරුණේ ය. ලේ ත්, සැරව ත් වැගිරුණේ ය. විසක් ගිලින ලද මාළුවෙකු මෙන් කෙසෙල් පත් මත වැතිර සිටියේ ය.

එකල්හී තුදු නම් පච්චේක බ්‍රහ්ම තෙමේ කෝකාලික භික්ෂුව යම් තැනක ද, එතැනට පැමිණියේ ය. පැමිණ අහසෙහි සිට කෝකාලික භික්ෂුවට මෙසේ පැවසී ය. “කෝකාලික, සාරිපුත්ත මොග්ගල්ලානයන් පිළිබඳව සිත පහදා ගනුව. සාරිපුත්ත මොග්ගල්ලානයෝ සුපේශලයෝ ය” යි.

“ආයුෂ්මත, නුඹ කවරෙක් වෙහි ද?”

“මම් තුදු නම් පච්චේක බ්‍රහ්මයා වෙමි.”

“ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද්දේ නුඹ

අනාගාමී යැයි කියා නොවේ ද? එසේ ඇති කල්හී කුමකට නම් මෙහි ආයෙහි ද? යම්තාක් මෙය තාගේ අපරාධය වෙයි ද, ඒ තාක් බලව.”

එකල්හී තුදු පච්චේක බ්‍රහ්ම තෙමේ කෝකාලික භික්ෂුවට ගාථාවලින් පැවසුවේ ය.

(ගාථා)

1. අඥාන තැනැත්තා පාපී වචනයන්ගෙන් බැණීම නම් වූ යම් ආයුධයකින් තමාව ත් වනසා ගන්නේ ද, ඒ පවිටු පුද්ගලයා උපදින විට ම ඔහුගේ මුවෙහි දරුණු වචනය නැමැති කෙටේරිය උපදින්නේ ය.

2. යමෙක් නින්දා ලැබිය යුත්තා හට ප්‍රශංසා කරයි ද, එමෙන් ම යමෙක් ප්‍රශංසා ලැබිය යුත්තා හට නින්දා කරයි ද, ඒ තැනැත්තා තම මුවින් පව් රැස් කරන්නේ ය. ඒ පාපයෙන් සැපක් නොවිඳින්නේ ය.

3. සූදු ක්‍රීඩාවෙකින් කෙනෙක් තමන්ගේ සකල ධනය ම පරදින්නේ ද, ඒ පරාජය අල්පමාත්‍ර දෙයකි. එනමුදු යමෙක් සුගතයන් වහන්සේලා පිළිබඳ ව තම සිත දූෂිත කරගනියි නම් මෙය මහත් ම විපත වෙයි.

4. යම් හෙයකින් පවිටු වූ වචනය ද, මනස ද පිහිටුවාගෙන ආර්යයන් හට ගරහන්නේ වෙයි ද, ඔහු නිරබ්බුද ගණනින් එක්දහස් එකසිය තිස් හයක් ද, අබ්බුද පසක් ද වශයෙන් මෙතෙක් කල් නිරයෙහි පැහෙන්නේ ය.”

එකල්හී කෝකාලික භික්ෂුව ඒ රෝගයෙන් ම මරණයට පත් වූයේ ය. මියගිය කෝකාලික භික්ෂුව සාරිපුත්ත මොග්ගල්ලානයන් වහන්සේලා කෙරෙහි වෛර බැඳුණු සිතින් පදුම නිරයෙහි උපන්නේ ය.

එකල්හී සහම්පතී බ්‍රහ්ම තෙමේ මධ්‍යම රාත්‍රියෙහි ඉතා සොඳුරු පැහැයකින් යුතුව මුළු ජේතවනය බබුළුවාගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව සිට ගත්තේ ය. එකත්පස් ව සිටි සහම්පතී බ්‍රහ්මරාජයා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළේ ය.

“ස්වාමීනී, කෝකාලික භික්ෂුව මැරුණේ ය. ස්වාමීනී, මියගිය කෝකාලික භික්ෂුව සාරිපුත්ත මොග්ගල්ලානයන් වහන්සේලා කෙරෙහි වෛර බැඳුණු සිතින් පදුම නිරයෙහි උපන්නේ ය” යි. සහම්පතී බ්‍රහ්මතෙමේ මෙය පැවසුවේ ය. මෙය පවසා භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට, පැදකුණු කොට එහි ම නොපෙනී ගියේ ය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රැය ඇවෑමෙන් භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, මේ රෑ සහම්පතී බ්‍රහ්ම තෙමේ මධ්‍යම රාත්‍රියෙහි ඉතා සොඳුරු පැහැයකින් යුතුව මුළු ජේතවනය බබුළුවාගෙන මා යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ මා හට සකසා වන්දනා කොට එකත්පස් ව සිට ගත්තේ ය. එකත්පස් ව සිටි සහම්පතී බ්‍රහ්මරාජයා මා හට මෙකරුණ සැළ කළේ ය.

‘ස්වාමීනී, කෝකාලික භික්ෂුව මැරුණේ ය. ස්වාමීනී, මියගිය කෝකාලික භික්ෂුව සාරිපුත්ත මොග්ගල්ලානයන් වහන්සේලා කෙරෙහි වෛර බැඳුණු සිතින් පදුම නිරයෙහි උපන්නේ ය’ යි. මහණෙනි, සහම්පතී බ්‍රහ්මතෙමේ මෙය පැවසුවේ ය. මෙය පවසා මා හට සකසා වන්දනා කොට, පැදකුණු කොට එහි ම නොපෙනී ගියේ ය.”

මෙසේ වදාළ කල්හී එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, පදුම නිරයෙහි ආයුෂ ප්‍රමාණය කොතරම් කලක් වෙයි ද?”

“භික්ෂුව, පදුම නිරයෙහි ආයුෂ ප්‍රමාණය ඉතා දීර්ඝ ය. එය මෙපමණ වර්ෂ ගණනක් ඇත්තේ ය. මෙපමණ වර්ෂ සිය ගණනක් ඇත්තේ ය. මෙපමණ වර්ෂ දහස් ගණනක් ඇත්තේ ය. මෙපමණ වර්ෂ සිය දහස් ගණනක් ඇත්තේ ය යැයි ගණන් කරන්නට පහසු නැත.”

“ස්වාමීනී, උපමාවක් කළ හැකි සේක් ද?”

“පුළුවනි, භික්ෂුව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“භික්ෂුව, එය මෙවැනි දෙයකි. කෝසල දේශයෙහි විසි කිරියක් ඇති තල ගැලක් වෙයි ද, වසර සියයක් සියයක් ඇවෑමෙන් පුරුෂයෙක් ඒ ගැලෙන් එක් එක් තල ඇටයක් බැහැර කරන්නේ නම්, භික්ෂුව, විසි කිරියක් ඇති ඒ කෝසොල් රටෙහි තල ඇට පිරුණු ගැල ඔය උපක්‍රමයෙන් වහා අවසානයට යන්නේ ය. එනමුදු එක් ‘අබ්බුද’ නිරයක ආයුෂ එසේ අවසන් නොවන්නේ ය.

භික්ෂුව, යම් සේ ‘අබ්බුද’ නිරයන් විස්සක ආයුෂ ඇද්ද, මෙසේ එය එක් ‘නිරබ්බුද’ නිරයක ආයුෂ වෙයි. භික්ෂුව, යම් සේ ‘නිරබ්බුද’ නිරයන් විස්සක ආයුෂ ඇද්ද, මෙසේ එය එක් ‘අබබ’ නිරයක ආයුෂ වෙයි. භික්ෂුව, යම් සේ ‘අබබ’ නිරයන් විස්සක ආයුෂ ඇද්ද, මෙසේ එය එක් ‘අහහ’ නිරයක ආයුෂ වෙයි. භික්ෂුව, යම් සේ ‘අහහ’ නිරයන් විස්සක ආයුෂ ඇද්ද, මෙසේ එය එක් ‘අටට’ නිරයක ආයුෂ වෙයි. භික්ෂුව, යම් සේ ‘අටට’ නිරයන් විස්සක ආයුෂ ඇද්ද, මෙසේ එය එක් ‘කුමුදු’ නිරයක ආයුෂ වෙයි. භික්ෂුව, යම් සේ ‘කුමුදු’ නිරයන් විස්සක ආයුෂ ඇද්ද, මෙසේ එය එක් ‘සෝගන්ධික’ නිරයක ආයුෂ වෙයි. භික්ෂුව, යම් සේ ‘සෝගන්ධික’ නිරයන් විස්සක ආයුෂ ඇද්ද, මෙසේ එය එක් ‘උප්පලක’ නිරයක ආයුෂ වෙයි. භික්ෂුව, යම් සේ ‘උප්පලක’ නිරයන් විස්සක ආයුෂ ඇද්ද, මෙසේ එය එක් ‘පුණ්ඩරීක’ නිරයක ආයුෂ වෙයි. භික්ෂුව, යම් සේ ‘පුණ්ඩරීක’ නිරයන් විස්සක ආයුෂ ඇද්ද, මෙසේ එය එක් ‘පදුම’ නිරයක ආයුෂ වෙයි. භික්ෂුව, සාරිපුත්ත මොග්ගල්ලානයන් කෙරෙහි වෛර බැඳගත් සිතින් යුතු කෝකාලික භික්ෂුව ඒ පදුම නිරයෙහි උපන්නේ ය.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාළ ශාස්තෘ වූ සුගතයන් වහන්සේ යළි මේ ගාථා වදාළ සේක.

1. අඥාන තැනැත්තා පාපී වචනයන්ගෙන් බැණීම නම් වූ යම් ආයුධයකින් තමාව ත් වනසා ගන්නේ ද, ඒ පවිටු පුද්ගලයා උපදින විට ම ඔහුගේ මුවෙහි දරුණු වචනය නැමැති කෙටේරිය උපදින්නේ ය.

2. යමෙක් නින්දා ලැබිය යුත්තා හට ප්‍රශංසා කරයි ද, එමෙන් ම යමෙක් ප්‍රශංසා ලැබිය යුත්තා හට නින්දා කරයි ද, ඒ තැනැත්තා තම මුවින් පව් රැස් කරන්නේ ය. ඒ පාපයෙන් සැපක් නොවිඳින්නේ ය.

3. සූදු ක්‍රීඩාවෙකින් කෙනෙක් තමන්ගේ සකල ධනය ම පරදින්නේ ද, ඒ පරාජය අල්පමාත්‍ර දෙයකි. එනමුදු යමෙක් සුගතයන් වහන්සේලා පිළිබඳ ව තම සිත දූෂිත කරගනියි නම් මෙය මහත් ම විපත වෙයි.

4. යම් හෙයකින් පවිටු වූ වචනය ද, මනස ද පිහිටුවාගෙන ආර්යයන් හට ගරහන්නේ වෙයි ද, ඔහු නිරබ්බුද ගණින් එක්දහස් එකසිය තිස් හයක් ද, අබ්බුද පසක් ද වශයෙන් මෙතෙක් කල් නිරයෙහි පැහෙන්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

කෝකාලික සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-4-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M